Skip to content

පටුනට යන්න

අවසානය පැමිණෙන විට අප සිටිය යුත්තේ කොහේද?

අවසානය පැමිණෙන විට අප සිටිය යුත්තේ කොහේද?

අවසානය පැමිණෙන විට අප සිටිය යුත්තේ කොහේද?

යෙහෝවා දෙවි ගෙනෙන හර්මගෙදොන් යුද්ධයේදී දුෂ්ටයන්ව විනාශ කරද්දී යහපත් අයට සිදු වන්නේ කුමක්ද? ඒ ගැන හිතෝපදේශ 2:22හි, [නව ලොව පරිවර්තනය, NW] මෙසේ පවසනවා. “ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අය දිගු කල් ජීවත් වන්නෝය. පොළොව මත බේරී ජීවත් වන්නේ නිර්දෝෂ අයයි. නමුත් දුෂ්ටයන්ව පොළොවෙන් තුරන් කරනු ලබන්නේය. ද්‍රෝහිකම් කරන්නන්වද පොළොවෙන් උදුරා දමනු ලබන්නේය.”

එහි සඳහන් ලෙස නිර්දෝෂ අය ගැලවෙන්නේ කෙසේද? ඔවුන්ට ආරක්ෂා වීමට ස්ථානයක් තිබේවිද? නැත්නම් අවසානය පැමිණෙන විට ඔවුන් යා යුතු නිශ්චිත ස්ථානයක් තිබෙනවාද? දැන් අපි බයිබලයේ සඳහන් සිද්ධීන් හතරකින් මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයා බලමු.

ස්ථානය වැදගත් වූ අවස්ථා

නෝවා හා ලොත් ගැලවුණු ආකාරය ගැන 2 පේතෘස් 2:5-7හි මෙසේ සඳහන් වෙනවා. “දෙවි, නෝවාගේ කාලයේදී පැවති තමාට කිසි ගෞරවයක් නොදැක්වූ ලෝකයකට දඬුවම් කිරීමටද පසුබට නොවී එය ජලගැල්මකින් නැති කළ විට ධර්මිෂ්ඨකම ගැන දේශනා කළ නෝවාවද තවත් හත්දෙනෙකුවද ආරක්ෂා කළේය. එලෙසම ඔහු සොදොම් සහ ගොමෝරා යන නුවරවල් අළු කරමින් විනාශ කළේය. එමගින් තමාට කිසි ගෞරවයක් නොදක්වන අයට ඉදිරියේදී සිදු වන දේ පිළිබඳව ඔහු ආදර්ශයක් ලබා දුන්නේය. නමුත් කිසි ප්‍රතිපත්තියක් නැති ජනයාගේ නින්දිත ක්‍රියා දැක බොහෝ සෙයින් දුක් වූ ධර්මිෂ්ඨ මිනිසෙකු වූ ලොත්ව දෙවි ගලවාගත්තේය.”

නෝවා ජලගැල්මෙන් බේරුණේ කෙසේද? ඒ සඳහා ඔහු කළ යුතු දේ ගැන දෙවි මෙසේ පැවසුවා. “ජීවත් වන සියල්ලන්ව විනාශ කිරීමට කාලය පැමිණ ඇත. මන්ද ඔවුන් නිසා මුළු පොළොවම සැහැසික ක්‍රියාවලින් පිරී තිබේ. එබැවින් මම පොළොව පිටටත් මනුෂ්‍යයන් පිටටත් විනාශයක් ගෙනෙන්නෙමි. ඔබ හොඳ ලීවලින් නැවක් සාදන්න.” (උත්. 6:13, 14NW) දෙවි කී ලෙසම ඔහු ඒ නැව සෑදුවා. ජලගැල්ම ආරම්භ වීමට දින හතකට කලින් සියලු සතුන්ව නැවට ඇතුල් කරන්න කියා දෙවි, නෝවාට පැවසුවා. එමෙන්ම ඔහුටත් ඔහුගේ පවුලේ අයටත් එයට ඇතුල් වෙන්න කියාද දෙවි පැවසුවා. ඉන්පසු දෙවි නැවේ දොර වැසූ අතර “දහවල් හතළිහක්ද රාත්‍රි හතළිහක්ද නොකඩවා මහ වැසි පොළොවට ඇද” හැළුණා. (උත්. 7:1-4, 11, 12, 16NW) එම විනාශයේදී දෙවි, නෝවා සහ ඔහුගේ පවුලේ අයව “අනතුරක් නැතිව වතුරෙන් සුරක්ෂිතව” ගලවාගනු ලැබුවා. (1 පේතෘ. 3:20) ඔවුන්ට ගැලවීම ලැබුණේ ඔවුන් නැව ඇතුළේ සිටි නිසයි. බේරීම සඳහා ඔවුන්ට වෙන කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ.—උත්. 7:19, 20.

දැන් අපි ලොත් හා සම්බන්ධ සිද්ධිය සලකා බලමු. ඔහුට ලැබුණු උපදෙස් නෝවාට ලැබුණු ඒවාට වඩා වෙනස්. දේවදූතයන් දෙදෙනා ඔහුට පැවසුවේ ඔහු නොසිටිය යුතු ස්ථානය ගැනයි. ඒ ගැන ඔවුන් මෙසේ පැවසුවා. ‘ඔබේ පවුලේ සියලුදෙනාවම මේ නුවරෙන් [සොදොමෙන්] පිටතට අරන් යන්න. අපි මේ මුළු නුවරම විනාශ කරන්නයි යන්නේ.’ එම විනාශයෙන් බේරීම සඳහා කඳුකරයට පලා යන්න සිදු වුණා.—උත්. 19:12, 13, 17NW.

නෝවා සහ ලොත්ගේ අද්දැකීම්වලින් අපට පැහැදිලිව ඔප්පු වන දෙයක් තිබෙනවා. එනම් ‘දේවභක්තික ජනයාව පරීක්ෂාවලින් ගලවාගන්නේ කෙසේද කියාත්, අධර්මිෂ්ඨයන්ව විනිශ්චයේ දවස සඳහා වෙන් කර තබන්නේ කෙසේද කියාත් යෙහෝවා දෙවි දන්නා’ බවයි. (2 පේතෘ. 2:9) එමෙන්ම ජලගැල්මෙන් බේරෙන්න නෝවට නැව ඇතුළට යන්න සිදු වුණා. ලොත්ට සොදොමෙන් පිටතට යන්න සිදු වුණා. මින් පැහැදිලි වන්නේ ඔවුන්ගේ ගැලවීම සඳහා ඔවුන් සිටි ස්ථානය ඉතා වැදගත් වූ බවයි. නමුත් කෙනෙකු ගැලවීම ලැබීම සඳහා සෑම විටම විශේෂ ස්ථානයකට යා යුතු වුණාද? එසේ නැත්නම් ධර්මිෂ්ඨයන්ව ඔවුන් සිටින ස්ථානයේදීම ගලවාගන්න යෙහෝවා දෙවිට හැකිද? මේ ප්‍රශ්න සඳහා පිළිතුරු දැනගැනීමට දැන් අපි අනෙක් සිද්ධීන් දෙක සලකා බලමු.

ස්ථානය වැදගත් නොවූ අවස්ථා

දෙවි, ඊජිප්තුවරුන්ගෙන් තම සෙනඟව ගලවාගත් ආකාරය දැන් අපි බලමු. දසවෙනි පීඩාව ගෙන ඒමට පෙර ඊශ්‍රායෙල්වරුන්ට තම නිවෙස්වල උළුවහු කණු දෙකේ හා එහි උඩු ලීයේ පාස්කුව සඳහා මැරූ සතාගේ ලේ තවරන්න කියා යෙහෝවා දෙවි පැවසුවා. දෙවි එසේ පැවසුවේ ඇයි? ‘ඔහු දේශය මැදින් යද්දී උළුවහු කණු දෙකේ හා එහි උඩු ලීයේ තැවරූ ලේ දකින විට ඒ නිවස පසු කරගෙන යන අතර මාරාන්තික පීඩාවෙන් ඔහු එහි වැසියන්ට පහර දෙන්නේ නැහැ.’ නමුත් එම රාත්‍රියේදී දෙවි ‘සිංහාසනයේ සිටි පාරාවෝගේ කුලුඳුල් දරුවාටද සිරගෙයි සිටි සිරකරුවන්ගේ කුලුඳුල් දරුවන්ටද සියලු කුලුඳුල් සතුන්ටද පහර දුන්නා.’ මේ අවස්ථාවේදී ඊශ්‍රායෙල්වරුන්ගේ සියලු කුලුඳුලන් බේරුණා. නමුත් එම විනාශයෙන් ගැලවීම සඳහා ඔවුන්ට විශේෂ ස්ථානයකට යාමට අවශ්‍ය වුණේ නැහැ.—නික්. 12:22, 23, 29NW.

අපි දැන් රාහබ්ගේ සිද්ධිය සලකා බලමු. ඇය යෙරිකෝවේ ජීවත් වූ ගණිකාවක්. මේ අවස්ථාව වන විට ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශය අත් පත් කරගැනීමට ආසන්නවයි සිටියේ. යෙරිකෝ නගරය ඊශ්‍රායෙල්වරු යටත් කරගන්න බව තේරුම්ගත් රාහබ් එහි තොරතුරු සොයා බැලීමට පැමිණි ඊශ්‍රායෙල්වරුන් දෙදෙනාට පැවසුවේ නගරයේ සිටි ජනයා ඊශ්‍රායෙල්වරුන් ගැන ඉතා බියෙන් පසු වන බවයි. ඇය ඔවුන් දෙදෙනාව සඟවා තැබීමෙන් කළ ප්‍රේමණීය ක්‍රියාව නිසා යෙරිකෝ නගරය විනාශ කරද්දී තමාවත් තම පවුලේ අයවත් ආරක්ෂා කරන්න කියා ඇය ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. එසේ ආරක්ෂා කරන බවට තමාට ලකුණක් දෙන මෙන් ඉල්ලුවා. ඊශ්‍රායෙල්වරුන් දෙදෙනා ඇයට පැවසුවේ ඇයත් ඇගේ පවුලේ අයත් ඇගේ නිවසට එක් රැස් වී සිටිය යුතු බවයි. ඒ නිවස පිහිටා තිබුණේ නගරය වටා තිබූ පවුරට අලළායි. (යොෂු. 2:8-13, 15, 18, 19) කෙසේවෙතත් ‘නගරයේ පවුරු බිමට කඩා වැටෙන’ බව යෙහෝවා දෙවි යොෂුවාට පැවසුවා. (යොෂු. 6:5NW) ඒ නිසා ඊශ්‍රායෙල්වරුන් දෙදෙනා රාහබ්ට සිටින්න කියා පැවසූ ස්ථානයත් විනාශ වෙයිද? රාහබ් හා ඇයගේ පවුලේ අය ගැලවෙන්නේ කෙසේද?

යෙරිකෝ නගරය අල්ලාගැනීමට අවස්ථාව පැමිණි විට පූජකයන් හොරණෑ පිම්බ අතර ඊශ්‍රායෙල්වරු ශබ්ද නඟා කෑ ගැසූවා. ඒ සමඟම සිදු වූ දේ යොෂුවා 6:20හි [NW] මෙසේ සඳහන් වෙනවා. “සියලුදෙනාම එක හඬින් මහත් ඝෝෂාවක් නැඟුවෝය. එවිට ඒ නගරයේ පවුර බිමට කඩා වැටිණ.” දැන් මේ සිදු වන සිද්ධිය වෙනස් කරන්න හෝ පාලනය කරන්න කිසිම මිනිසෙකුට නොහැකියි. නමුත් ආශ්චර්යයවත් ලෙස නගරයේ පවුර කඩා වැටෙමින් තිබුණත් එය, රාහබ්ගේ නිවස අසලදී නැවතුණා. ඒ සමඟම යෙරිකෝවේ තොරතුරු සොයා බලන්න යැවූ ඊශ්‍රායෙල්වරුන් දෙදෙනාට යොෂුවා මෙසේ පැවසුවා. “ඔබට හමු වූ ගණිකාවගේ නිවසට ගොස් ඔබ ඇයට පොරොන්දු වූ ලෙස ඇයවත් ඇගේ ගෙයි වැසියන්වත් පිටතට ගෙනෙන්න.” (යොෂු. 6:22NW) අවසානයේදී රාහබ් හා ඇයගේ පවුලේ සියලුදෙනා ගැලවීම ලැබුවා.

වඩා වැදගත් කුමක්ද?

නෝවා, ලොත්, මෝසෙස්ගේ කාලයේ සිටි ඊශ්‍රායෙල්වරු සහ රාහබ් ගැලවීම ලැබූ ආකාරයෙන් අප ඉගෙනගන්නේ කුමක්ද? එමෙන්ම දෙවි, දුෂ්ට මිනිසුන්ව විනාශ කරද්දී ගැලවීම ලැබීමට නම් අපි සිටිය යුතු නිශ්චිත ස්ථානයක් තිබෙනවාද?

නෝවා නැව තුළ සිටි නිසා විනාශයෙන් ආරක්ෂාව ලැබුවා. නමුත් ඔහු නැව තුළට යන්න තීරණය කළේ ඇයි? ඔහුට දෙවි කෙරෙහි තිබූ විශ්වාසය හා කීකරුකම නිසා නොවෙයිද? ඔහු ගැන බයිබලයේ මෙසේ පවසනවා. “දෙවි අණ කළ එක් දෙයක්වත් අත් නෑර, නෝවා ඒ සියල්ල එලෙසම ඉටු කළේය.” (උත්. 6:22NW; හෙබ්‍රෙ. 11:7) අපි ගැන කුමක් කිව හැකිද? අපට කරන්න කියා දෙවි අණ කර ඇති සියල්ල අප කරනවාද? නෝවා “ධර්මිෂ්ඨකම ගැන දේශනා කරන්නෙකු” වූවා සේ අපත් උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කරනවාද? (2 පේතෘ. 2:5) අපගේ ප්‍රදේශයේ ජනයා හොඳ ප්‍රතිචාරයක් නොදැක්වූවත් අප එහි නොකඩවා හවුල් වෙනවාද?

ලොත් විනාශයෙන් ගැලවුණේ සොදොමින් පලා ගිය නිසයි. ඒ වගේම ඔහු දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ පුද්ගලයෙක් වූ අතර සොදොමේ හා ගොමෝරාවේ සිටි නීතිය නොතකන මිනිසුන්ගේ නින්දිත හැසිරීම ගැන කම්පා වුණා. අද දින පොදුවේ පවතින මිනිසුන්ගේ නින්දිත හැසිරීම් නිසා අපි ඇත්තටම කම්පා වෙනවාද? නැත්නම් අපි ඒවා සලකන්නේ සාමාන්‍ය දේවල් හැටියටද? “නොකිලිටිව, නිකැළැල්ව හා සමාදානයෙන්” සිටින්න අපි අපේ උපරිමය කරනවාද?—2 පේතෘ. 3:14.

ඊජීප්තුවේ වහල්භාවයේ සිටි ඊශ්‍රායෙල්වරුන්ට හා යෙරිකෝවේ සිටි රාහබ්ට ගැලවීම ලැබීමට නම් ඔවුන් ඔවුන්ගේ නිවෙස් තුළටම වී සිටිය යුතු වුණා. (හෙබ්‍රෙ. 11:28, 30, 31) ඒ ගැන ටිකක් සිතා බලන්න. ඊජීප්තු ජාතිකයන්ගේ සෑම නිවසකින්ම “මහත් අඳෝනාවක්” ඇසෙද්දී සෑම ඊශ්‍රායෙල් පවුලක්ම තම පවුලේ කුලුඳුලා දෙස මහත් ඕනෑකමකින් බලා සිටින්න ඇති. (නික්. 12:30NW) යෙරිකෝවේ පවුර කඩා වැටෙන ශබ්දය ළඟ ළඟම ඇසෙන විට රාහබ් හා ඇයගේ පවුලේ අයට කෙසේ හැඟෙන්න ඇද්ද? ඊශ්‍රායෙල්වරුන් දෙදෙනා පැවසූ දෙයට කීකරුව නිවස තුළටම වී සිටීමට නම් ඇයට දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් අවශ්‍ය වුණා.

සාතන්ගේ මේ දුෂ්ට ලෝකය ඉතා ඉක්මනින් අවසන් වෙනවා. දෙවිගේ “උදහස ප්‍රකාශ කරන දවසේදී” ඔහු ඔහුගේ සෙනඟව ආරක්ෂා කරන්නේ කෙසේද කියා අපි තවම දන්නේ නැහැ. (ශෙප. 2:3NW) අපි කොහේ සිටියත් කුමන තත්වයක සිටියත් අපගේ ගැලවීම රඳා පවතින්නේ යෙහෝවා දෙවි කෙරෙහි ඇති අපේ විශ්වාසය හා කීකරුකම මතයි. ඒ නිසා අපි යෙසායා අනාවැකියකින් පැවසූ සංකේතාත්මක “ආරක්ෂිත කාමර” තුළට වී සිටින්න උපරිම උත්සාහයක් දරමු.

ඔබේ නිවස ඇතුලේ තිබෙන ආරක්ෂිත කාමරවලට” යන්න

“මගේ සෙනඟෙනි, ඔබේ නිවස ඇතුලේ තිබෙන ආරක්ෂිත කාමරවලට ගොස් දොර වසාගන්න. උදහස පහ වන තුරු මොහොතකට සැඟවී සිටින්න” කියා බයිබලයේ අනාවැකියක් සඳහන් වෙනවා. (යෙසා. 26:20NW) මෙය මුලින්ම ඉටු වූයේ ක්‍රිස්තු පූර්ව 539දී මේද පර්සියාව බැබිලෝනිය යටත් කරගත් අවස්ථාවේදී විය හැකියි. පර්සියාවේ සයිරස් රජු බැබැලෝනියට ඇතුල් වෙද්දී තම සොල්දාදුවන්ට අණ කළේ පිටත සිටින සියලුදෙනාවම මරා දමන්න කියායි. එමනිසා සමහරවිට සියලුදෙනාටම තම නිවෙස්වලට වී සිටින්න කියා ඔහු අණ කළා විය හැකියි.

අද දින ‘ආරක්ෂිත කාමරවලින්’ නියෝජනය වන්නේ 1,00,000කට වැඩි, ලොව පුරා ඇති යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් විය හැකියි. මෙවැනි සභාවන්වලින් අපි සැමදෙනාම මහත් සේ ප්‍රයෝජන ලබනවා. එමෙන්ම ‘මහත් පීඩාව’ තුළදීත් අපව ශක්තිමත් කරන ප්‍රධාන ක්‍රමය එය බව අපට ස්ථිරයි. (එළි. 7:14) දෙවිගේ සෙනඟට ඔවුන්ගේ “ආරක්ෂිත කාමරවලට ගොස්” ඔහුගේ “උදහස පහ වන තුරු” සැඟවී සිටින්න කියා ආඥා කර තිබෙනවා. ඒ නිසා අපි සෑමදෙනාම ක්‍රිස්තියානි සභාව සමඟ කිට්ටුවෙන් ඇසුරු කිරීමට අදිටන් කරගනිමු. එමෙන්ම අපි පාවුල්ගේ මෙම උපදෙස ගැන බැරෑරුම්ව සිතා බලමු. “තවද, ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට පොලඹවන පිණිස එකිනෙකා ගැන සැලකිලිමත් වෙමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේ රැස්වීම අත් නෑර, එකිනෙකාව දිරිගන්වමු. ඒ දවස ළං වන බව ඔබට පෙනෙද්දී, වැඩි වැඩියෙන් එසේ කරමු.”—හෙබ්‍රෙ. 10:24, 25.

[7වන පිටුවේ පින්තූර]

දෙවි අතීතයේදී තම සෙනඟව ගලවාගැනීමට ක්‍රියා කළ ආකාරයෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?

[8වන පිටුවේ පින්තූරය]

අද දින ‘ආරක්ෂිත කාමර’ යන්නෙන් අදහස් කරන්නේ කුමක් විය හැකිද?