ජීවිතයේ නියම සතුට මට ලැබුණා
ජීවිතයේ නියම සතුට මට ලැබුණා
ගැස්ප මාටීන්ස්
දුර ඈත ගමක ඉන්න ඉතාමත් දුප්පත් කොල්ලෙක් නගරයට ගිහිල්ලා පොහොසත් වුණා. ඒ ගැන තමයි මගේ ජීවිත කතාවේ තියෙන්නේ. නමුත් මට ලැබුණු ධනය මම හිතපු ආකාරයේ එකක් නොවන බව මගේ ජීවිත කතාව කියවද්දී ඔබට තේරෙයි.
මම හැදී වැඩුණේ උතුරු ස්පාඤ්ඤයේ රියොහා කියන ගමෙයි. ඒ 1930 ගණන්වලදීයි. මට වයස අවුරුදු දහයක් වෙද්දී පාසැල් ගමන නතර කරන්න සිද්ධ වුණා. හැබැයි ඒ වෙද්දී මම කියවන්න ලියන්න ඉගෙනගෙන තිබුණා. මට සහෝදර සහෝදරියන් හයදෙනෙක් හිටියා. මගේ කාලයෙන් වැඩි හරියක් ගත වුණේ අපේ බැටළුවන් බලාගන්නයි අපේ පොඩි ඉඩමේ වගා කරන්නයි.
අපේ දුප්පත්කම නිසා අපි මුදල් හා වස්තුව හුඟක් වැදගත් දෙවල් හැටියට සැලකුවා. අපිට වඩා යමක් කමක් වැඩියෙන් තිබුණු අයට අපි ඊර්ෂ්‍යයා කළා. නමුත් අපේ පල්ලියේ පූජකයා කිව්වේ එයාගේ වසමට අයිති ගම්වලින් ආගමට ළැදි අය ඉන්නේ අපේ ගමේ විතරයි කියලා. ඒ වුණත් අපේ ගමේ ඉන්න හුඟදෙනෙක් ඉක්මනටම කතෝලික ආගම අත්හරියි කියලා ඔහු හිතන්න නැතුව ඇති.
වඩා හොඳ යමක් සොයා
කාලයක් ගත වුණාට පස්සේ මම මර්සේදෙස් කියන කාන්තාව එක්ක විවාහ වුණා. පස්සේ අපිට පුතෙක් ලැබුණා. අපි 1957දී ලැවොඔජා කියන නගරයට පදිංචියට ආවා. ඊට පස්සේ අපේ පවුලේ අනික් අයත් අපි ඉන්න ප්‍රදේශයටම ආවා. මම වෘත්තීය පුහුණුවක් ලබාගෙන තිබුණේ නැති නිසා මට හොඳ පඩියක් ලැබෙන රැකියාවක් හොයාගන්න අමාරු වුණා. ඒකට විසඳුමක් හොයාගන්නේ කොහෙන්ද කියලා මට හිතාගන්න බැරුව ගියා. යම් උපකාරයක් බලාපොරොත්තුවෙන් මම පුස්තකාලයට ගියත් මොනවා හොයන්නද කියලාවත් මම දැනගෙන හිටියේ නැහැ.
දවස් කිහිපයකට පස්සේ තැපැල් මාර්ගයෙන් බයිබල් පාඩම් පවත්වන ක්‍රමයක් ගැන ගුවන් විදුලි වැඩසටහනකින් මට දැනගන්න ලැබුණා. මම ඒ පාඨමාලාව අවසන් කරනවාත් එක්කම රෙපරමාදු ආගමේ පූජකයෙක් මාව මුණගැහෙන්න ආවා. පස්සේ මම ඔවුන්ගේ පල්ලියට කිහිපවතාවක්ම ගියා. නමුත් ඔවුන්ගේ ප්‍රධානීන් අතර තරඟකාරී බවක් මම දැක්ක නිසා ආයෙත් එතනට ගියේ නැහැ. ඒකෙන් පස්සේ මට හිතුණේ හැම ආගමක්ම එකයි කියලා.
අරමුණ වෙනස් වී
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වන එව්කානියෝ 1964දී අපේ ගෙදර ආවා. මම සක්ෂිකරුවන් ගැන කලින් දැනගෙන හිටියේ නැති වුණත් බයිබලය ගැන කතා කරන්න අශාවෙනුයි හිටියේ. මම හිතුවේ මම බයිබලය ගැන දන්නවා කියාලා. ඒ නිසා මම තැපෑලෙන් බයිබලය ගැන ඉගෙනගත්ත කරුණු ටිකක් ඔහුට කිව්වා. මම රෙපරමාදු ආගමේ සමහර විශ්වාසයන්වලට පක්ෂව කතා කරන්න උත්සාහ කළත් ඇත්තටම ඒවා විශ්වාස කළේ නැහැ.
ඔහු එක්ක කළ සාකච්ඡා දෙකකින් පස්සේ එව්කානියෝ දෙවිගේ වචනය දක්ෂ ලෙස විස්තර කරන ගීතා 37:11, 29; යෙසා. 9:6, 7; මතෙ. 6:9, 10.
බව පිළිගන්න මට සිද්ධ වුණා. මට වඩා අඩු අධ්‍යාපනයක් තිබුණු ඔහු බයිබල් පද විස්තර කරන ආකාරය ගැනත් ඒවා අදාළ වෙන ආකාරය පෙන්වන විදිහ ගැනත් මම පුදුම වුණා. අපි ජීවත් වෙන්නේ අවසාන කාලයේ බවත් දෙවිගේ රාජ්‍යයෙන් මේ පොළොව ඉතා ඉක්මනින්ම පාරාදීසක් කරන බවත් එව්කානියෝ මට බයිබලයෙන් පැහැදිලි කළා. මට ඒ ගැන තවත් දැනගන්න ඕන වුණා.—ඊට පස්සේ මම ඔහුත් එක්ක බයිබල් පාඩමක් කරන්න කැමති වුණා. එකෙන් මම හුඟක් අලුත් දේවල් ඉගෙනගත්තා. මට ඒවා හොඳින් තේරුණ නිසා මට ලොකු සතුටක් දැනුණා වගේම මගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්ද ලැබුණා. මම හොය හොය හිටපු දේ මට ලැබුණා. හොඳ රැකියාවක් හොයාගන්න එක තමයි ජීවිතයේ වැදගත්ම දේ කියලා මම කලින් හිතුවත් ඊට පස්සේ මට එහෙම හිතුණේ නැහැ. මට තියෙන ගැටලුවලට වඩා බරපතළ ගැටලු ඒ කියන්නේ අසනීප හා මරණය පවා දේවරාජ්‍යයෙන් විසඳන බව මම දැනගත්තා.—යෙසා. 33:24; 35:5, 6; එළි. 21:4.
දෙවිට විශ්වාසවන්තව සිටින අයට සදාකාලයටම ජීවත් වෙන්න පුළුවන් වන විදිහට දෙවි මේ පොළොව පාරාදීසයක් කරන බවට දීලා තියෙන පොරොන්දු ගැන මම හුඟක් ආශාවෙන් මගේ නෑදෑයන්ටත් කිව්වා.
මගේ පවුලේ අයටත් බයිබල් සත්‍යය
බයිබලය ගැන සාකච්ඡා කරන්න හැම ඉරිදාවකම හවස අපේ පවුලේ දොළොස්දෙනෙක් විතර මගේ මාමාගේ ගෙදරට එකතු වුණා. අපි සතියකට පැය දෙකක් හෝ තුනක් මේ විදිහට සාකච්ඡා කළා. එව්කානියෝට මේක දැනගන්න ලැබුණම ඔහු ඒ සාකච්ඡාවට ආපු හැම පවුලකටම වෙන වෙනම පාඩම් කරන්න පටන්ගත්තා.
මම පදිංචි වෙලා හිටිය නගරයෙන් කිලෝ මීටර් 120ක් විතර ඈතින් තියෙන ඩුරන්ගෝ නගරයේත් මගේ නෑදෑයන් පිරිසක් හිටියා. නමුත් එහෙ සාක්ෂිකරුවන් හිටියේ නැහැ. මම දවස් කිහිපයක් නිවාඩු අරගෙන බයිබලය ගැන ඔවුන්ට කියලා දෙන්න එහෙ ගියා. ඒ සාකච්ඡාවට දහදෙනෙක් විතර එකතු වුණා. අපි හැම දවසකම හවස සාකච්ඡා කරන්න පටන්ගත්තාම ඒක ඉවර වුණේ පාන්දර එකට දෙකට විතර. ඒ හැමදෙනාම ඔවුන් ඉගෙනගත්ත දේවල් ගැන ගොඩක් සතුටු වුණා. මම එහෙන් එන කොට බයිබල් හා පොත් පත් කිහිපයක් ඒ අයට දීලා ආවා. ඉන් පස්සේ අපි නිතර නිතර ඔවුන් සමඟ කතා කළා.
මීට පෙර කිසිදිනක සාක්ෂි දරා නැති ප්‍රදේශයක් වන ඩුරන්ගෝවලට මුල් වතාවට සාක්ෂිකරුවන් එද්දී ඔවුන් සමඟ බයිබලය පාඩම් කරන්න 18දෙනෙක් උනන්දුවෙන් බලාගෙන හිටියා. පසුව ඔවුන් ඒ හැම පවුලකටම වෙන වෙනම බයිබල් පාඩම් කළා.
සාක්ෂිකරුවන් බයිබලයෙන් උගන්වන දේවල් සත්‍ය බව මගේ බිරිඳ දැනගෙන හිටියත් මිනිසුන්ට තිබුණ බය නිසා ඒවා පිළිගන්න කැමති වුණේ නැහැ. ඒ කාලයේ ස්පාඤඤයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරලයි තිබුණේ. ඒ නිසා මර්සේදෙස් හිතුවා අපේ දරුවන් දෙන්නාව පාසැලෙන් අයින් කරයි කියලා. ඒ වගේම අපි හැමෝවම සමාජයෙන් කොන් කරයි කියලත් ඇය හිතුවා. නමුත් අපේ නෑදෑයනුත් සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන බව ඇය දැනගත්තාම ඇයටත් බයිබලය ගැන ඉගෙනගන්න ආශාවක් ඇති වුණා.
අවුරුදු දෙකකට පස්සේ මගේ පවුලේ 40දෙනෙක් දෙවිට කැප වී බව්තීස්ම වුණා. මට තිබුණ අරමුණම මගේ පවුලේ අයටත් තිබුණු එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. මට හිතුණේ වටිනා යමක් මම ලබාගත්තා කියලයි. ඇත්තටම දෙවි අපිට ගොඩක් ආශීර්වාද කරලා තියෙනවා.
වඩා තෘප්තිමත් ජීවිතයක්
එතැන් සිට ඉදිරි අවුරුදු 20 තුළදී මගේ පුතාලා දෙන්නව හදා වඩා ගන්නත් මම හිටපු සභාවේ වැඩකටයුතුවලටත් මම වැඩිපුර අවධානයක් දුන්නා. වැඩි කල් යන්න කලින් මට සභාවේ බොහෝ වගකීම් ලැබුණා. අපි ලැවොඔජාවලට පදිංචියට ආපු කාලේ එහෙ ජනගහනය 1,00,000 පමණ වුණත් සාක්ෂිකරුවන් හිටියේ 20දෙනෙක් විතරයි.
මට වයස අවුරුදු 56ක් වෙද්දී මම වැඩ කරමින් හිටිය ආයතනය වසා දැම්ම නිසා මට මගේ රැකියාව නැතුව ගියා. මගේ ආශාව වුණේ පූර්ණකාලීනව දෙවිට සේවය කිරීම නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් මම පුරෝගාමි සේවය පටන්ගත්තා. මට ලැබුණු විශ්‍රාම වැටුප ඉතා අඩු නිසා ජීවත් වෙන එක ලේසි වුණේ නැහැ. නමුත් මර්සේදෙස් පිරිසිදු කරන්නියක් හැටියට වැඩ කළ එක අපිට ලොකු උදව්වක් වුණා. අපිට ලැබුණ මුදල අපි අරපිරිමැස්මෙන් පාවිච්චි කළා. කවදාවත් අපි අත්‍යවශ්‍ය දේවල්
නැතුව හිටියේ නැහැ. මම තාමත් පුරෝගාමි සේවය කරනවා. මර්සේදෙස් කාලෙන් කාලෙට උපකාරික පුරෝගාමි සේවය කරනවා. එයා ඒක කරන්නේ හරිම ආශාවෙන්.මර්සේදෙස්, පොඩි කාලේ බයිබලය පාඩම් කර තිබුණ මර්චා කියන කාන්තාවට අවුරුදු කිහිපයකට කලින් ඉඳලා නිතිපතා සඟරා ලබා දුන්නා. ඇය ඉතා උනන්දුවෙන් ඒ සඟරා කියෙව්වා. ඇය බයිබලය ගැන ඉගෙනගන්න තවමත් ආසාවෙන් සිටින බව මර්සේදෙස්ට තේරුණා. පසුව ඇය නැවතත් බයිබලය ඉගෙනගන්න කැමති වෙලා ඉක්මනින්ම දියුණු වුණා. නමුත් ඇගේ පවුල් ජීවිතය තිබුණේ අනතුරෙයි. මොකද ඇගේ ස්වාමිපුරුෂයා වන බිතෙන්තේ නිතරම මත්පැන් පානය කළ නිසා ඔහුට හරියට රැකියාවක් කරගන්න බැරි වුණා.
මර්සේදෙස්, මර්චාට කිව්වා ඇගේ ස්වාමිපුරුෂයාට මාත් එක්ක කතා කරන්න අවස්ථාවක් දෙන්න කියලා. ඊට පස්සේ මම ඔහු සමඟ කිහිපවතාවක්ම මුණගැසී කතා කළා. ඒ වගේ සාකච්ඡා කිහිපයකින් පස්සේ ඔහු බයිබල් පාඩමකට කැමති වුණා. බිතෙන්තේ ටිකෙන් ටික වෙනස් වෙන්න පටන්ගත්තා. ඔහු දින ගණනක් මත්පැන් නොගෙන හිටියා. ඔහු ඒ කාලය ටිකෙන් ටික වැඩි කිරීමෙන් මත්පැන් පානය සම්පූර්ණයෙන්ම නැවැත්වුවා. ඒ නිසා ඔහුගේ පවුල් ජීවිතය ශක්තිමත් වුණා. දැන් ඔහු ඔහුගේ භාර්යාව හා දුවත් සමඟ කැනරි දූපත්වල ජීවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන් එහෙ තියෙන කුඩා සභාවට ගොඩක් උදව් කරනවා.
ජීවිතය ගැන දැනෙන සතුට
මාත් එක්ක බයිබලය ඉගෙනගත්ත මගේ නෑදෑයන් කිහිපදෙනෙක් දැන් මිය ගිහිල්ලා. ඒත් අපේ පවුල්වල අය නම් එන්න එන්නම වැඩි වෙනවා. ඒ වගේම දෙවි අපිට ගොඩක් ආශීර්වාද කරලා තියෙනවා. (හිතෝ. 10:22) මීට අවුරුදු 40කට කලින් බයිබලය ගැන ඉගෙනගත්ත අය ඔවුන්ගේ දරුවන් හා මුණුපුරන් එක්ක තාමත් දෙවිට සේවය කරනවා දකින්න ලැබෙන එක කොයි තරම් සතුටක්ද!
මගේ නෑදෑයන්ගෙන් බොහෝදෙනෙක් දැන් වැඩිමහල්ලන්, සභා සේවකයන් හා පුරෝගාමීන් හැටියට සේවය කරනවා. මගේ ලොකු පුතායි එයාගේ බිරිඳයි ස්පාඤ්ඤයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කරනවා. මම සාක්ෂිකරුවෙක් වුණ කාලයේ ස්පාඤ්ඤයේ සාක්ෂිකරුවන් හිටියේ 3,000ක් විතරයි. නමුත් දැන් 1,00,000ක් විතර ඉන්නවා. මම පුරෝගාමි සේවයෙන් ලොකු ප්‍රීතියක් ලබනවා වගේම මට ඒ සේවය කරන්න ලැබුණු එක ගැන මම දෙවිට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මට හොඳ අධ්‍යාපනයක් ලබන්න නොහැකි වුණත් විටින් විට චාරිකා සේවයේ හවුල් වෙන්න යෙහෝවා දෙවි මට ආශීර්වාද කරලා තියෙනවා.
මම පොඩි කාලේ හිටිය ගමේ දැන් කවුරුත් නැහැ කියලා මෑතකදී මට දැනගන්න ලැබුණා. ඒ අය එයාලාගේ ගෙවල්දොරවල්, ගොවිතැන් අත්හැරලා ගිහිල්ලා තියෙන්නේ වැඩියෙන් මුදල් හම්බ කරගෙන වඩා හොඳ ජීවිතයක් ගත කරන්නයි. ඒ අයගෙන් මම ඇතුළු සෑහෙන පිරිසකට ඊට වඩා වටිනා වස්තුවක් වන දෙවිට සේවය කිරීමේ ප්‍රස්තාව ලැබිලා තියෙන එක ගැන මම හුඟක් සතුටු වෙනවා. ජීවිතයට අරමුණක් තියෙන බවත් ජීවිතේ නියම සතුට ලැබෙන්නේ දෙවිට සේවය කිරීමෙන් බවත් අපි ඉගෙනගත්තා.
[32වන පිටුවේ පින්තූරය]
සහෝදර මාටීන්ස්ගේ පවුලේ අය ඇතුළු නෑදෑයන්