පාඨකයන්ගෙන් ප්‍රශ්න
පාඨකයන්ගෙන් ප්‍රශ්න
පව්කාර තැනැත්තියක ලෙස ප්‍රසිද්ධ වී සිටි ස්ත්‍රියකට ඇගේ පව්වලට සමාව ලැබුණු බව යේසුස් පැවසීමෙන් අදහස් කළේ කුමක්ද?—ලූක් 7:37, 48.
සීමොන් නම් පරිසිවරයෙකුගේ නිවසට යේසුස් කෑමකට ගිය අවස්ථාවේදී ස්ත්‍රියක් “ඔහුගේ පාද ළඟ ඉඳ” අඬන්න පටන්ගත්තා. ඉන්පසු ඇය තම කඳුළුවලින් යේසුස්ගේ පාද තෙමා හිසකෙස්වලින් ඒවා පිසදැමුවා. එතැනින් නොනැවතුණු ඇය ඔහුගේ පාද සිප, සුවඳ තෙල් ආලේප කළා. බයිබල් වාර්තාවේ පවසන්නේ ඇය ‘පව්කාර තැනැත්තියක ලෙස එම නුවරෙහි ප්‍රසිද්ධ වී සිටි’ බවයි. සෑම කෙනෙකුම පව්කාරයන් බව ඇත්තයි. නමුත් කෙනෙක් පව්කාර ක්‍රියා කිරීමට ප්‍රසිද්ධ වී සිටින විට බයිබලයේ ඔහුව හෝ ඇයව එලෙස හඳුන්වනවා. සමහරවිට ඇය ගණිකාවක් විය හැකියි. “ඔබේ පව්වලට දැන් සමාව ලැබිලා” කියා යේසුස් පැවසුවේ එවැනි කෙනෙකුටයි. (ලූක් 7:36-38, 48) ඒ වන විට යේසුස් පව්කාරයන්ව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කර තිබුණේ නැහැ. එසේනම් ඇගේ පව්වලට සමාව ලැබුණා කියා පැවසීමෙන් අදහස් කළේ කුමක්ද?
මෙම ස්ත්‍රියගේ පව්වලට සමාව ලැබී තිබෙන බව පැවසීමට පෙර යේසුස් වැදගත් කාරණයක් පැහැදිලි කර දීම සඳහා සීමොන්ට මෙවැනි කතන්දරයක් පැවසුවා. “එක්තරා ණයහිමියෙකුට මිනිසුන් දෙදෙනෙක් ණය වෙලා සිටියා. එක් කෙනෙකුට ගෙවන්න තිබුණු ණය ඩිනාරි පන්සියයයි. අනික් තැනැත්තාගේ ණය ඩිනාරි පනහයි. ඔවුන් දෙදෙනාටම එම ණය ආපසු ගෙවන්න බැරි වුණු නිසා ණයහිමියා කැමැත්තෙන්ම ඔවුන් දෙදෙනාවම ණයෙන් නිදහස් කළා. දැන් මේ ගැන සිතන්න. ඔවුන් දෙදෙනාගෙන් ණයහිමියාට වැඩියෙන් ආදරය කරන්නේ කවුද?” සීමොන්, “වැඩියෙන් ණය වෙලා සිටි තැනැත්තා විය යුතුයි” කියා පිළිතුරු දුන්නා. ඉන්පසු යේසුස් ඔහුට මෙසේ පැවසුවා. “ඔබේ නිගමනය හරියි.” (ලූක් 7:41-43) යේසුස් මෙහිදී ගෙවන්න බැරි විශාල ණයකට පාපය සමාන කළා. අප සියලුදෙනා දෙවිට කීකරු වීමට බැඳී සිටියත් දෙවිට අකීකරු වෙන අවස්ථාද තිබෙනවා. ඒ සෑම අවස්ථාවකදීම අපි ඔහුට විරුද්ධව පව් කරනවා. එය අප දෙවිට ණය වෙනවා හා සමානයි. ඒත් එම කතන්දරයේ ණයහිමියා මෙන් යෙහෝවා දෙවිත් අපේ පව්වලට සමාව දෙනවා. “අපට වැරදි කළ අයට අප සමාව දී තිබෙන ආකාරයටම අපේ වැරදිවලටද අපට සමාව දෙන්න” කියා දෙවිට යාච්ඤා කරන මෙන් යේසුස් තම ගෝලයන්ට පැවසුවේ ඒ නිසයි.—මතෙ. 6:12.
අතීතයේදී දෙවි සමාව දුන්නේ කුමන පදනමක් මතද? දෙවි යුක්තිගරුක දෙවි කෙනෙක්. ආදම් කළ පාපයට ඔහුට මරණයෙන් වන්දි ගෙවීමට සිදු වුණේ ඒ නිසයි. මෝසෙස්ට දුන් නීතියට අනුව ඊශ්‍රායෙල් ජාතිකයන්ට තම පාපවලට සමාව ලබාගැනීමට හැකි වුණේ සතෙක්ව පූජා කිරීමෙනුයි. පාවුල් ඒ ගැන පැවසුවේ මෙසේයි. “නීතියට අනුව සෑම දෙයක්ම පාහේ පවිත්‍ර කරනු ලබන්නේ ලේ මාර්ගයෙනි. ඒ අනුව ලේ වැගිරීමක් සිදු වන්නේ නැත්නම් පව්වලට සමාවක් ලැබෙන්නේද නැත.” (හෙබ්‍රෙ. 9:22) එසේනම් ඉහත කී ස්ත්‍රියට සමාව ලැබෙන බව යේසුස් පැවසූ විට එතැන සිටි අය “පව්වලට සමාව දෙන්න තරම් හැකියාවක් තිබෙන මේ මිනිසා කවුද?” කියා සිතීම පුදුමයට කාරණයක් නොවෙයි. (ලූක් 7:49) එසේනම් පව්කාර ස්ත්‍රියට සමාව ලැබෙන්නේ කුමන පදනමක් මතද?
පළමු මිනිස් යුවළ දෙවිට අකීකරු වූ විට යෙහෝවා දෙවි පැවසූ මුල් අනාවැකියේ ඔහුගේ අරමුණ සඳහන් වෙනවා. එහි ‘පැවත එන තැනැත්තෙක්’ ගැනත් එම තැනැත්තාගේ විලුඹ සාතන් හා ඔහුගෙන් “පැවත එන්නන්” විසින් පොඩි කරන බවත් සඳහන් වෙනවා. (උත්. 3:15) දෙවිගේ සතුරන් විසින් යේසුස්ව මරණයට පත් කිරීමෙන් එම අනාවැකිය ඉටු වුණා. (ගලා. 3:13, 16) යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් සියලුදෙනාටම පාපයෙන් හා මරණයෙන් මිදීමේ ප්‍රස්ථාව ලැබී තිබෙනවා. දෙවි අරමුණු කළ දේ කිසිම හේතුවක් නිසා ඉටු නොවී තිබෙන්නේ නැහැ. ඒ නිසා උත්පත්ති 3:15හි සඳහන් අනාවැකිය පැවසූ විට එය හරියට ඉටු වුණා හා සමානයි. එනම් යෙහෝවා දෙවි එය සලකන්නේ යේසුස් සියලු මිනිස් වර්ගයාව ගලවාගැනීමට ජීවිතය දුන්නා හා සමානවයි. ඒ නිසා තම පොරොන්දු කෙරෙහි විශ්වාසය තබන අයට සමාව දීමේ හැකියාව දෙවිට තිබෙනවා.
පුරාණයේදී යෙහෝවා දෙවි ඒනොක්, නෝවා, ආබ්‍රහම්, රාහබ් සහ යෝබ් වැනි අයව ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගනු ලැබුවා. “ආබ්‍රහම් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබුවේය. ඒ නිසා ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ගණන් ගන්නා ලදි” කියාද ‘ගණිකාවක් වන රාහබ්ගේ ක්‍රියාව නිසා ඇය ධර්මිෂ්ඨ තැනැත්තියක ලෙස ප්‍රකාශ කරනු ලැබුවා’ කියාද යාකොබ් වාර්තා කළා. ඔවුන් දෙවිගේ පොරොන්දු කෙරෙහි මහත් විශ්වාසයක් තැබුවා.—දාවිත් රජ ගැන සලකා බලන්න. ඔහු බරපතළ පව් කළා. නමුත් ඔහු ඒ සෑම අවස්ථාවකදීම අවංකව පසුතැවිලි වුණා. ඒ ඔහුට දෙවි කෙරෙහි නොසැලෙන විශ්වාසයක් තිබුණු නිසයි. බයිබලයේ මෙවැනි දෙයක් පවසනවා. “දෙවි ක්‍රිස්තුස්ව එව්වේ මිනිසාට දෙවි සමඟ සමාදාන වීමට මඟක් සලසන පූජාවක් ලෙසය. ඒ සඳහා ඔවුන් ක්‍රිස්තුස්ගේ රුධිරය කෙරෙහි විශ්වාසය තැබීම අවශ්‍ය විය. දෙවි ඒ දේ කළේ තමන් ධර්මිෂ්ඨ බව තහවුරු කිරීමටය. අතීතයේදී ඔහුගේ ධර්මිෂ්ඨකම පැහැදිලි වූයේ ඔහු ඉවසිලිවන්තව ක්‍රියා කරමින් මිනිසුන් කළ පාපවලට සමාව දීමෙනි. මේ වර්තමාන කාලයේදී ඔහුගේ ධර්මිෂ්ඨකම පැහැදිලි වන්නේ යේසුස් කෙරෙහි විශ්වාසය තබන මිනිසුන්ව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කිරීමෙනි.” (රෝම 3:25, 26) ඉන් පැහැදිලි වන්නේ දාවිත්ගේ පාපවලට සමාව ලැබුණේ ඉදිරියේදී ඔප්පු කිරීමට නියමිතව තිබූ යේසුස්ගේ ජීවිත පූජාවේ පදනම මත බවයි.
යේසුස්ගේ පාදවල තෙල් ආලේප කළ ස්ත්‍රියද පව්කාර ජීවිතයක් ගත කළත් අවංකව පසුතැවිලි වුණා. ඒ සඳහා ඇයට ආශාවක් තිබෙන බව ඇගේ ක්‍රියාවලින් ඔප්පු වුණා. පාපයෙන් මිදීම ලබා දීම සඳහා යෙහෝවා දෙවි පත් කර තිබෙන්නේ යේසුස්ව බව ඇය තේරුම්ගෙන සිටියා. යේසුස් තම ජීවිතය මනුෂ්‍ය වර්ගයා සඳහා පූජා කිරීමට නියමිතව තිබුණේ ඉදිරියේදී වුණත් එය අනිවාර්යයෙන්ම සිදු වන නිසා එම පූජාවේ පදනම මත “ඔබේ පව්වලට දැන් සමාව ලැබිලා” කියා පැවසීමට යේසුස්ට හැකි වුණා.
එම වාර්තාවෙන් පෙනෙන පරිදි යේසුස් පව්කාරයන්ව හෙළා දුටුවේ නැහැ. ඔහු ඔවුන්ට කරුණාවෙන් සැලකුවා. යෙහෝවා දෙවිත් පසුතැවිලි වන පව්කාරයන්ට සමාව දෙනවා. එවැනි දෙයක් දැන සිටීම පව්කාරයන් වන අපට මොන තරම් සැනසිල්ලක්ද!
[7වන පිටුවේ පින්තූරය]
ඔවුන් ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගනු ලැබුවා