Skip to content

පටුනට යන්න

“පූජාවලට වඩා කීකරුකම වටිනවා”

“පූජාවලට වඩා කීකරුකම වටිනවා”

“පූජාවලට වඩා කීකරුකම වටිනවා”

ඊශ්‍රායෙල්වරුන්ගේ පළමු රජ වූ සාවුල්ව තෝරාගත්තේ සැබෑ දෙවියි. නමුත් කල් යත්ම සාවුල් දෙවිට අකීකරු වුණා.

සාවුල් කළ වැරදි මොනවාද? ඒවා වළක්වාගන්න ඔහුට හැකියාව තිබුණාද? ඔහුගෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

දෙවි තෝරාගත් රජ

සාවුල්ව රජ ලෙස තෝරාගැනීමට පෙර සිටම සාමුවෙල් දෙවිගේ අනාගතවක්තෘවරයා ලෙස සේවය කළා. සාවුල්ව රජ ලෙස පත් කරන විට සාමුවෙල් මහලුව සිටි අතර ඔහුගේ පුත්‍රයන් දෙවිව අත්හැර තිබුණා. ඒ කාලයේදී ඊශ්‍රායෙල් ජාතියට ඔවුන්ගේ සතුරන්ගෙන් තර්ජන එල්ල වෙමින් පැවතුණා. ඒ නිසා ඊශ්‍රායෙල්වරුන් අතර සිටි වැඩිමහල්ලන් සාමුවෙල් වෙතට ගොස් තමන්ව විනිශ්චය කිරීමට හා යුද්ධයේදී පෙරමුණ ගැනීමට රජෙක්ව පත් කරන්න කියා ඉල්ලා සිටියා. ඉන්පසු සාවුල්ව රජ ලෙස අභිෂේක කරන්න කියා අනාගතවක්තෘවරයාට උපදෙස් දුන් යෙහෝවා දෙවි මෙසේද පැවසුවා. “ඔහු මාගේ සෙනඟව පිලිස්තිවරුන්ගේ අතින් ගලවාගන්නේය.”—1 සාමු. 8:4-7, 20; 9:16.

‘ඉතා කඩවසම් තරුණයෙක්’ වූ සාවුල්ට නිහතමානිකම වැනි හොඳ ගතිගුණ තිබුණා. එක් අවස්ථාවකදී සාවුල් සාමුවෙල්ගෙන් ඇසූ මේ දෙයින් ඒ බව පැහැදිලියි. “මම බෙන්ජමින් ගෝත්‍රයේ කෙනෙක්. එය ඊශ්‍රායෙල් දේශයේ තියෙන කුඩාම ගෝත්‍රයයි. අනික බෙන්ජමින් ගෝත්‍රයේ අනික් පවුල් සමඟ සසඳා බලද්දී මගේ පවුල වැදගත් පවුලක් කියා කියන්න බැහැ. ඉතින් ඇයි ඔබ ඒ වගේ දෙයක් මට කිව්වේ?” සාවුල්ගේ පියා වන කිෂ් “ඉතා ධනවත්” කෙනෙක් වුණත් සාවුල්ට තමා සහ තමාගේ පවුලේ අය ගැන තිබුණේ ඉතා නිහතමානී ආකල්පයක්.—1 සාමු. 9:1, 2, 21.

සාවුල්ව යෙහෝවා දෙවි ඊශ්‍රායෙලයේ රජ ලෙස තෝරාගත් බව ජනතාවට දැනුම් දෙන අවස්ථාවේදී සාවුල් ක්‍රියා කළ ආකාරය සලකා බලමු. සාවුල්ව රජ ලෙස අභිෂේක කළ පසු සාමුවෙල් ඔහුට මෙසේ පැවසුවා. “සැබෑ දෙවි ඔබ සමඟ ඉන්න බව ඔබට ස්ථිර වෙයි. එබැවින් ඒ අවස්ථාවේදී ඔබට කළ හැකි දේ කරන්න.” ඉන්පසු යෙහෝවා දෙවි රජ ලෙස තෝරාගත්තේ කාවද කියා දැනුම් දීමට අනාගතවක්තෘවරයා ඊශ්‍රායෙල්වරුන්ව රැස් කළා. නමුත් ලැජ්ජාව නිසා ඒ වන විට සාවුල් සැඟවී සිටියා. සාවුල් සැඟවී සිටින්නේ කොහේද කියා යෙහෝවා දෙවි හෙළි කළා. ඉන්පසු සාවුල්ව රජ ලෙස තෝරාගත් බව සාමුවෙල් සෙනඟට දැනුම් දුන්නා.—1 සාමු. 10:7, 20-24.

යුධ පිටියේදී

රජකමට සාවුල් සුදුසු නැහැ කියා කෙනෙක් සිතුවා නම් ඒ අදහස බොරු බව සාවුල් ඔප්පු කර පෙන්නුවා. එක් අවස්ථාවකදී අම්මොන්වරු ඊශ්‍රායෙල් දේශයේ නගරයක් අත් පත් කරගැනීමට සැරසුණු අවස්ථාවේදී “දෙවිගේ බලය සාවුල් තුළ ක්‍රියාත්මක විය” කියා බයිබලයේ සඳහන් වෙනවා. ඔහු ඊශ්‍රායෙලයේ යුධ සෙබළුන් කැඳවා ඔවුන්ව සංවිධානය කර ජයග්‍රහණය කරා මඟ පෙන්නුවා. නමුත් ජයග්‍රහණයේ සියලුම ගෞරවය සාවුල් යෙහෝවා දෙවිට දෙමින් මෙසේ පැවසුවා. “අද ඊශ්‍රායෙල් දේශයට ගැලවීම දුන්නේ යෙහෝවා දෙවියි.”—1 සාමු. 11:1-13.

සාවුල්ට හොඳ ගුණාංග තිබුණු අතර දෙවිගේ ආශීර්වාදයද ඔහුට ලැබුණා. දෙවිට තිබෙන බලය ගැනද සාවුල් හොඳින් තේරුම්ගත්තා. කොහොමවුණත් ඊශ්‍රායෙල් ජාතියේ සහ ඔවුන්ගේ රජුගේ සාර්ථකත්වය රඳා පැවතුණ වැදගත් කාරණයක් ගැන සාමුවෙල් මෙසේ පැවසුවා. “ඔබ යෙහෝවා දෙවිට ගරුබිය දක්වමින් ඔහුට අවංකව සේවය කරන්න. යෙහෝවා දෙවිට විරුද්ධව කැරලි නොගසා ඔහුගේ ආඥාවලට කීකරු වෙන්න. ඔබ එසේ කළොත් යෙහෝවා දෙවි ඔබවත් ඔබව පාලනය කරන ඔබේ රජුවත් අත්හරින්නේ නැහැ.” ඊශ්‍රායෙල්වරුන් දෙවිට විශ්වාසවන්තව සිටියා නම් ලැබෙන ආශීර්වාද ගැන පසුව සාමුවෙල් මෙසේද සඳහන් කළා. “යෙහෝවා දෙවි ඔහුගේ ශ්‍රේෂ්ඨ නාමය අවමානයට ලක් වෙන්න කිසිදා ඉඩහරින්නේ නැහැ. ඒ නිසා ඔහු ඔහුගේ සෙනඟව අත්හරින්නේ නැති බව ස්ථිරයි. මන්ද ඔහුගේ සෙනඟ හැටියට ඔබව තෝරාගත්තේ යෙහෝවා දෙවිමයි.”—1 සාමු. 12:14, 22.

දෙවිගේ අනුමැතිය ලබන්න නම් කීකරු වීම අත්‍යවශ්‍ය වුණා. අදත් එසේමයි. දෙවිගේ සෙනඟ ඔහුගේ ආඥාවලට කීකරු වන විට දෙවි ඔවුන්ට ආශීර්වාද කරනවා. නමුත් ඔවුන් යෙහෝවා දෙවිට අකීකරු වෙනවා නම් සිදු වෙන්නේ කුමක්ද?

“ඔබ ක්‍රියා කර තියෙන්නේ මෝඩ විදිහටයි!”

තවත් අවස්ථාවක සිදු වූ දෙයක් බලන්න. පිලිස්තිවරුන්ට එරෙහිව සාවුල් ගත් ක්‍රියාමාර්ගය නිසා ඔවුන් සිටියේ දැඩි කෝපයෙන්. “මුහුදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නොහැකි” පිලිස්තිවරුන්ගේ හමුදාව සාවුල්ට විරුද්ධව පැමිණියා. ඒ අවස්ථාවේදී “ඊශ්‍රායෙල්වරු ඉතා දුෂ්කර තත්වයකට මුහුණ දෙමින් සිටියෝය. තමන් අනතුරේ සිටින බව තේරුම්ගත් ඔවුහු ගුහාවලද කඳු අතරේද පර්වතවලද උමංවලද වළවල්වලද සැඟවුණෝය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 සාමු. 13:5, 6) එවිට සාවුල් කළේ කුමක්ද කියා දැන් අපි බලමු.

සාවුල්ට ගිල්ගාල්වලට යන්න කියාත් තමා එහි පැමිණ පූජා ඔප්පු කරන බවත් සාමුවෙල් සාවුල්ට පැවසුවා. සාවුල් එතැනට ගොස් සාමුවෙල් එන තුරු බලා සිටියත් ඔහු ප්‍රමාද වුණා. එමෙන්ම සාවුල්ගේ හමුදාවද විසිර යන්න පටන්ගත්තා. ඒ නිසා සාමුවෙල් පැමිණෙන තුරු නොසිට සාවුල් පූජාව ඔප්පු කළා. එය අවසන් වෙනවාත් සමඟම එතැනට පැමිණි සාමුවෙල්, සාවුල්ට මෙසේ පැවසුවා. “ඔබ ක්‍රියා කර තියෙන්නේ මෝඩ විදිහටයි! යෙහෝවා දෙවි ඔබට දුන් ආඥාව ඔබ කඩ කළා. ඔබ දෙවිගේ ආඥාව පැවැත්වුවා නම් යෙහෝවා දෙවි ඔබේ රජකම ස්ථිර කර බොහෝ කාලයකට ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කරන්න ඔබටත් ඔබෙන් පැවතෙන්නන්ටත් ඉඩ දෙන බව ස්ථිරයි. නමුත් ඔබ යෙහෝවා දෙවිගේ ආඥාව කඩ කළ නිසා ඔබේ රාජ්‍යය වැඩි කල් පවතින්නේ නැහැ. යෙහෝවා දෙවි ඔහුගේ සිත සතුටු කරන කෙනෙකුව තෝරගනියි. යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟ පාලනය කරන්න පත් කරන්නේ ඒ තැනැත්තාවයි.”—1 සාමු. 10:8; 13:8, 13, 14.

තමා පැමිණ පූජාව ඔප්පු කරන තුරු සිටින්න කියා සාමුවෙල් පැවසුවත් සාවුල් උඩඟු වී ක්‍රියා කිරීමෙන් දෙවිට අකීකරු වුණා. සාවුල් ක්‍රියා කළේ ඊශ්‍රායෙලයේ හමුදාපතියෙක් වූ ගිඩියොන්ට වඩා මොන තරම් වෙනස් ආකාරයකටද! යෙහෝවා දෙවි ගිඩියොන්ට පැවසුවේ 32,000ක් වූ ඔහුගේ හමුදාව 300ක් දක්වා අඩු කරන්න කියායි. යෙහෝවා දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් තිබූ ගිඩියොන් ඊට කීකරු වුණා. ඒ නිසා දෙවිගේ උපකාරය ඇතුව ඔහු 1,35,000ක්ව ඒ අවස්ථාවේදී පරාජය කළා. (විනි. 7:1-7, 17-22; 8:10) සාවුල්ටත් ඒ ආකාරයෙන්ම උපකාර කිරීමට යෙහෝවා දෙවිට හැකියාව තිබුණා. නමුත් සාවුල් අකීකරු වූ නිසා ඊශ්‍රායෙල් දේශය කොල්ල කෑමට දෙවි පිලිස්තිවරුන්ට ඉඩහැරියා.—1 සාමු. 13:17, 18.

අපත් විවිධ අසීරුතාවලට මුහුණ දෙනවා. එවැනි අවස්ථාවලදී අප තීරණ ගන්නේ කොහොමද? එවැනි අවස්ථාවලදී කළ යුතු හොඳම දේ වන්නේ බයිබල් ප්‍රතිපත්ති නොසලකාහැරීම බව දෙවි කෙරෙහි විශ්වාසය අඩු අයට හැඟෙන්න පුළුවන්. තමා පූජාව ඔප්පු කළේ සාමුවෙල් ප්‍රමාද වූ නිසා බව සිතමින් තමන් කළ දේ හරියි කියා සාවුල් සමහරවිට සිතන්න ඇති. නමුත් තීරණ ගැනීමට සිදු වන විට කළ යුතු හොඳම දේ බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීම බව දෙවිගේ අනුමැතිය ලබාගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටින අය දන්නවා.

යෙහෝවා දෙවි සාවුල්ව ප්‍රතික්ෂේප කරයි

අමලෙක්වරුන්ට එරෙහිව කළ යුද්ධයකදී සාවුල් තවත් බරපතළ වරදක් කළා. ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තු දේශයෙන් පිට වී පැමිණෙද්දී ඔවුන්ගෙන් කිසිම තර්ජනයක් නොතිබුණත් අමලෙක්වරුන් ඔවුන්ට විරුද්ධව ප්‍රහාර එල්ල කළා. ඒ නිසා අමලෙක්වරුන්ව සහමුලින්ම විනාශ කර දමන බව දෙවි පැවසුවා. (නික්. 17:8; ද්වි. 25:17, 18) ඒ වගේම විනිශ්චයකරුවන් ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කළ කාලයේදීද අමලෙක්වරුන් වෙනත් අය සමඟ එකතු වී දෙවිගේ තෝරාගත් ජාතියට විරුද්ධව යුද්ධ කළා. (විනි. 3:12, 13; 6:1-3, 33) ඒ හේතු නිසා අමලෙක්වරුන්ව සහ ඔවුන්ගේ වස්තුව සහමුලින්ම විනාශ කර දමන්න කියා යෙහෝවා දෙවි සාවුල්ට පැවසුවා.—1 සාමු. 15:1-3.

දෙවිගේ ආඥාවට කීකරු වෙනවා වෙනුවට සාවුල් ඔවුන්ගේ රජුව අත්අඩංගුවට ගත් අතර හොඳම සතුන්ව ඉතුරු කරගත්තා. සාවුල් කළ දේ ගැන සාමුවෙල් ඔහුගෙන් විමසූ විට වරද තව කෙනෙකු පිට පැටවීමට උත්සාහ කරමින් සාවුල් මෙසේ පැවසුවා. ‘සත්ව රැළේ හිටිය හොඳම එළුවන්, බැටළුවන් සහ ගවයන්ව මරන්න සෙනඟ කැමති වුණේ නැහැ. යෙහෝවා දෙවිට පූජා ලෙස ඔප්පු කරන්නයි උන්ව තියාගත්තේ.’ සාවුල් ඇත්තටම සතුන්ව ඉතුරු කරගත්තේ පූජා ඔප්පු කරන්න වුණත් නැතත් ඔහු දෙවිට අකීකරු වුණා. මෙයින් පෙනී යන්නේ සාවුල් කලින් මෙන් ‘තමන් කිසි වැඩකට නැති කෙනෙකු’ ලෙස තවදුරටත් නොසිතූ බවයි. ඒ නිසා සාවුල් දෙවිට අකීකරු වූ බව පැවසූ සාමුවෙල් මෙවැනි දෙයක්ද සඳහන් කළා. ‘යෙහෝවා දෙවි කැමති තමාට යාග හා දවන පූජා ඔප්පු කරනවාටද නැත්නම් තමාට කීකරුකම පෙන්වනවාටද? පූජාවලට වඩා කීකරුකම වටිනවා. ඔබ යෙහෝවා දෙවිගේ වචනය ප්‍රතික්ෂේප කළ නිසා ඔහුද ඔබව ප්‍රතික්ෂේප කර රජකමෙන් පහ කරනවා.’—1 සාමු. 15:15, 17, 22, 23.

පසුව යෙහෝවා දෙවි සාවුල්ට තම බලය ලබා දුන්නේවත් ආශීර්වාද කළේවත් නැහැ. ඒ නිසා ඔහු තුළ “වියවුල්සහගත සිතුවිලි” ඇති වුණා. ඉන්පසු ඊශ්‍රායෙල්වරුන්ගේ ඊළඟ රජු ලෙස යෙහෝවා දෙවි තෝරාගැනීමට නියමිතව තිබූ දාවිත්ට ඊර්ෂ්‍යා කරන්නත් ඔහුව සැක කරන්නත් සාවුල් පටන්ගත්තා. ඒ විතරක් නෙවෙයි කිහිප වතාවක්ම දාවිත්ව මරා දමන්නත් සාවුල් උත්සාහ කළා. “යෙහෝවා දෙවිගේ ආශීර්වාදය දාවිත්ට තිබූ බව” දැනගත් සාවුල් ‘ජීවිතාන්තය දක්වාම දාවිත්ට සතුරුකම් කළා.’ එමෙන්ම දාවිත්ට උපකාර කළ පූජකයන් 85දෙනාව සහ වෙනත් කිහිපදෙනෙකුවත් මරා දමන්න කියා ඔහු අණ කළා. යෙහෝවා දෙවි සාවුල්ව ප්‍රතික්ෂේප කිරීම පුදුමයට කාරණයක් නොවන බව ඉන් පැහැදිලි වෙනවා.—1 සාමු. 16:14; 18:11, 25, 28, 29; 19:10, 11; 20:32, 33; 22:16-19.

නැවත වතාවක් පිලිස්තිවරුන් ඊශ්‍රායෙල්වරුන්ට ප්‍රහාරයක් එල්ල කරන්න පැමිණි බව දැනගත් අවස්ථාවේදී සාවුල් මායාකාරියකගෙන් උපකාර පැතුවා. නමුත් එය අසාර්ථක උත්සාහයක් වුණා. යුද්ධය නිසා දරුණු ලෙස තුවාල ලැබූ ඔහු පසුව දිවි නසාගත්තා. (1 සාමු. 28:4-8; 31:3, 4) ඊශ්‍රායෙල්වරුන්ගේ පළමු රජගේ අකීකරුකම ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘සාවුල් රජු එලෙස මිය ගියේ ඔහු යෙහෝවා දෙවිට ද්‍රෝහි වී ක්‍රියා කළ නිසාය. එමෙන්ම ඔහු යෙහෝවා දෙවි අණ කළ දේට අකීකරු වී මායාකාරියකගෙන් උපකාර පැතීය. ඔහු යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැතුවේ නැත.’—1 ලේක. 10:13, 14.

සාවුල්ගේ සිද්ධියෙන් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවිට කීකරු වීම පූජා ඔප්පු කිරීමට වඩා වැදගත් බවයි. එහි වැදගත්කම ගැන යොහන් මෙසේ පවසනවා. “දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය. ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ.” (1 යොහ. 5:3) යෙහෝවා දෙවි සමඟ කල් පවතින මිත්‍රත්වයක් ඇති කරගැනීමට නම් අපි ඔහුට කීකරු විය යුතුයි යන කාරණය කිසි දිනක අමතක නොකරමු.

[21වන පිටුවේ පින්තූරය]

සාවුල් මුලදී ක්‍රියා කළේ නිහතමානී නායකයෙක් ලෙසයි

[23වන පිටුවේ පින්තූරය]

“පූජාවලට වඩා කීකරුකම වටිනවා” කියා සාමුවෙල් සාවුල්ට පැවසුවේ ඇයි?