Skip to content

පටුනට යන්න

යේසුස් මෙන් සෝදිසියෙන් සිටිමු

යේසුස් මෙන් සෝදිසියෙන් සිටිමු

යේසුස් මෙන් සෝදිසියෙන් සිටිමු

‘අවදිව සිට නොකඩවා යාච්ඤා කරන්න.’—මතෙ. 26:41.

ඔබේ පිළිතුර මොකක්ද?

සෝදිසියෙන් සිටින බව අපේ යාච්ඤාවලින් හෙළි වෙන්නේ කොහොමද?

දේවසේවයේදී අපි සෝදිසියෙන් සිටින බව පෙන්නන්න පුළුවන් කොහොමද?

අසීරු අවස්ථාවලදී සෝදිසියෙන් සිටීම වැදගත් වෙන්නේ ඇයි? එය කරන්නේ කොහොමද?

1, 2. (අ) සෝදිසියෙන් සිටීම ගැන යේසුස් තැබූ ආදර්ශය සම්බන්ධයෙන් මොන වගේ ප්‍රශ්න ඇති විය හැකිද? (ආ) යේසුස්ගේ ආදර්ශය ප්‍රයෝජනවත් වන ආකාරය පැහැදිලි කරන්න.

යේසුස් සැමවිටම සෝදිසියෙන් සිටියා. නමුත් යේසුස්ගේ එම ආදර්ශය ගැන කෙනෙකුට මෙවැනි ප්‍රශ්න ඇති විය හැකියි. ‘යේසුස් පරිපූර්ණ කෙනෙක්. නමුත් අසම්පූර්ණ කෙනෙක් කොහොමද යේසුස් වගේ සෝදිසියෙන් ඉන්නේ? අනාගතයේදී සිදු වීමට නියමිත දේවල් ගැන පවා යේසුස් දැනගෙන සිටියා. එහෙමනම් යේසුස්ටත් සෝදිසියෙන් සිටින්න සිදු වුණේ ඇයි?’ (මතෙ. 24:37-39; හෙබ්‍රෙ. 4:15) අපි ඒ ප්‍රශ්නවලට පිළිතුරු බලමු.

2 සෝදිසියෙන් සිටීම ගැන යේසුස් තැබූ පරිපූර්ණ ආදර්ශය අසම්පූර්ණ අපිට අනුකරණය කරන්න පුළුවන් වෙයිද? මෙසේ සිතන්න. ආධුනික දුනු ශිල්පියෙක්ට දුන්නක් හා ඊතලයක් අතට ගත් විගස ඉලක්කෙට විදින්න බැහැ. ඔහු හොඳින් පුහුණු විය යුතුයි. ඒ සඳහා දක්ෂ දුනුවායෙකුගෙන් ශිල්පය ඉගෙනගත යුතුයි. පුහුණුකරු ඉලක්කෙට විදින්න සැරසෙන විට ආධුනිකයා පුහුණුකරුගේ පාද හා අත් තබාගෙන සිටින විලාසය වගේම ඊතලය තත් කවන ආකාරය වැනි ඔහුගේ සෑම ඉරියව්වක්ම හොඳින් නිරීක්ෂණය කරයි. ඒ වගේම ඉලක්කෙට යැවීමට නොහැකි වන බාහිර බලපෑම් ගැනද ඔහු සැලකිලිමත් වෙයි. එසේ ආධුනිකයා ක්‍රමානුකූලව ඉලක්කෙට විදින්න පුරුදු වෙයි. ඒ හා සමානව යේසුස්ගේ පරිපූර්ණ ආදර්ශය හොඳින් නිරීක්ෂණය කරමින් ඔහුගේ ඉගැන්වීම් පිළිපදිනවා නම් සෝදිසියෙන් සිටීමට අපිටත් හැකියි.

3. (අ) තමාත් සෝදිසියෙන් සිටිය යුතු බව යේසුස් පෙන්නුවේ කොහොමද? (ආ) මෙම ලිපියෙන් සලකා බලන්නේ මොනවාද?

3 අනාගතය ගැන දැන සිටි යේසුස් සෝදිසියෙන් සිටිය යුතු වුණාද? ඔව්. “මා සමඟ අවදියෙන් සිටින්න” කියා අන්තිම රාත්‍රියේදී ඔහු ගෝලයන්ට පැවසූ දෙයින් එය පැහැදිලි වෙනවා. ඔහු තවදුරටත් පැවසුවේ “යම් වරදක් කිරීමට පෙලඹීමක් ඇති නොවීම සඳහා ඔබ අවදිව සිට නොකඩවා යාච්ඤා කළ යුතුයි” කියායි. (මතෙ. 26:38, 41) මේ දුෂ්කර අවස්ථාවේ වෙන කිසිදාකට වඩා තමා සෝදිසියෙන් සිටීමත් දෙවිට ළංව සිටීමත් අත්‍යවශ්‍යයි කියා යේසුස් දැන සිටියා. ඒ වගේම ගෝලයන්ද දිගටම එසේ කිරීම වැදගත් බව ඔහු දැන සිටියා. අපත් දිගටම සෝදිසියෙන් සිටියි කියා යේසුස් බලාපොරොත්තු වෙන්නේ ඇයි කියාත් එදිනෙදා ජීවිතයේදී යේසුස් මෙන් සෝදිසියෙන් සිටිය හැකි පැති තුනක් ගැනත් මේ ලිපියෙන් සලකා බලමු.

සෝදිසියෙන් සිටිය යුත්තේ ඇයි?

4. අපි සෝදිසියෙන් සිටිය යුත්තේ ඇයි?

4 යේසුස් මේ පොළොවේ සිටියදී අනාගතයේ සිදු වන සියලු දේ දැනගෙන සිටියේ නැහැ. විනාශය පැමිණෙන ‘දවස හා වේලාව පියාණන් මිස කිසිවෙක් දන්නේ නැහැ. ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැහැ’ කියා යේසුස් පැවසුවේ ඒ නිසයි. (මතෙ. 24:36) විනාශය පැමිණෙන නිශ්චිත දවස හා වේලාව අපත් දන්නේ නැහැ. අප එය දැනගෙන සිටියා නම් සෝදිසියෙන් සිටීමට අවශ්‍ය නැහැ. නමුත් අවසානය එන්නේ අපි නොසිතන වෙලාවකයි කියා යේසුස් අපිට අනතුරු ඇඟෙව්වා.—මතෙව් 24:43 කියවන්න.

5, 6. (අ) දේවරාජ්‍යය ගැන අප දන්නා දෙය සෝදිසියෙන් සිටීමට උපකාරයක් වෙන්නේ කොහොමද? (ආ) සාතන් ගැන දැන සිටීම සෝදිසියෙන් සිටීමට උපකාරයක් වෙන්නේ කොහොමද?

5 නමුත් යේසුස් අනාගතයේදී සිදු වන සමහර දේවල් ගැන හොඳින් දැන සිටියා. ඔහුට තිබුණා හා සමාන දැනුමක් අපට නැතත් අනාගතයේදී සිදු වීමට නියමිත යම් දේවල් ගැන අපට අවබෝධයක් තිබෙනවා. දෙවි තම රාජ්‍යය මගින් අනාගතයේදී සිදු කරන දේවල් ගැන යේසුස් අපට කියා දුන්නා. නමුත් ඒවා ගැන පාසැලේ හා රැකියා ස්ථානයේ සිටින අයවත් පොදු ජනයාවත් දන්නේ නැහැ. එමනිසා යේසුස් මෙන් අපත් දේවරාජ්‍යය ගැන අන් අයට පැවසීමට සුදුසු අවස්ථා උදා කරගැනීමට සෝදිසියෙන් සිටිය යුතුයි. ජනයා සිටින්නේ විනාශය අද්දර! ඒ නිසා එවැනි අවස්ථා මඟ නොහැරීමට අපි වගබලා ගත යුතුයි.—1 තිමෝ. 4:16.

6 දිගටම සෝදිසියෙන් සිටීමට යේසුස්ට තවත් හොඳ හේතුවක් තිබුණා. තමාව වරදකට හසු කරගැනීමට “සුදුසු අවස්ථාවක් පැමිණෙන තෙක්” සාතන් බලාගෙන සිටි බව යේසුස් දැන සිටියා. (ලූක් 4:13) ඒ නිසා සාතන් ගෙනෙන ඕනෑම පීඩාවකට මුහුණ දීමට යේසුස් සූදානමින් සිටියා. සාතන් තවමත් “ගොරවන සිංහයෙකු මෙන් කවරෙකුව හෝ ගිල දැමීමට සොයමින්” සිටින බව අප දන්නා නිසා ‘සිහිකල්පනාව ඇතුව සෝදිසියෙන් සිටීම’ අවශ්‍යයි. (1 පේතෘ. 5:8) එසේ සිටීමට අපට උපකාරවත් වෙන්නේ මොනවාද?

යාච්ඤා කිරීම

7, 8. යාච්ඤාව ගැන යේසුස් දුන් උපදෙස මොකක්ද? යාච්ඤාව යේසුස්ට කොතරම් වැදගත් දෙයක් වුණාද?

7 දෙවි සමඟ තිබෙන අපේ සබඳතාව රැකගැනීමට අපි නිතරම සෝදිසියෙන් සිටින්න අවශ්‍යයි. එසේ කිරීමට යාච්ඤාව අපිට බොහෝ සේ උපකාරවත් වෙනවා. (කොලො. 4:2; 1 පේතෘ. 4:7) තම ගෝලයන්ට සෝදිසියෙන් සිටින්න කියා දිරිගැන්වීමෙන් පසුව යේසුස් මෙසේ පැවසුවා. “යම් වරදක් කිරීමට පෙලඹීමක් ඇති නොවීම සඳහා ඔබ අවදිව සිට නොකඩවා යාච්ඤා කළ යුතුයි.” (මතෙ. 26:41) යේසුස් පැවසූ ඒ දේ අදාළ වුණේ ඒ අවස්ථාවට පමණක් නොවේ. එය අපටත් එදිනෙදා ජීවිතයේදී අදාළ කරගත හැකි ප්‍රතිපත්තියක්.

8 යාච්ඤාවේ තිබෙන වැදගත්කම යේසුස් යාච්ඤා කළ ආකාරයෙන් අපිට පැහැදිලි වෙනවා. වැදගත් තීරණයක් ගැනීමට පෙර මුළු රාත්‍රියක් පුරා යේසුස් යාච්ඤා කළා ඔබට මතකද? (ලූක් 6:12, 13 කියවන්න.) දැන් අපි ඒ අවස්ථාව ගැන ටිකක් සිතමු. යේසුස් සිටින්නේ කපර්ණවුම අසලයි. සැඳෑ අඳුර දසත පැතිර යන විට ඔහු ගලීල මුහුද අසල තිබෙන කන්දකට නැඟ යාච්ඤා කරන්න පටන්ගන්නවා. වේලාව ගෙවී යනවා ඔහුට තේරෙන්නේ නැහැ. ඈත එපිටින් තිබෙන ගෙවල්වල පහන් එළිය එකිනෙක නිවී යනවා. ඒත් ඔහු එය දකින්නේ නැහැ. රෑ බෝ වෙද්දී සඳ පායා නැඟී එනවා. ඔහු එය දකින්නෙත් නැහැ. රාත්‍රියේ ගැවසෙන සතුන් එහා මෙහා ගියත් ඔහුට එයද දැනෙන්නේ නැහැ. ඔහුගේ අවධානය සම්පූර්ණයෙන්ම යොමු වෙලා තියෙන්නේ යාච්ඤාවටයි. ඔහු තම පියා සමඟ කතා කරමින් සිටින්නේ නියෝජිතයන් 12දෙනාව තෝරාගැනීම ගැනයි. ඒ එක් එක් කෙනා ගැන තමාගේ සිතේ තිබෙන සෑම දෙයක්ම පියා සමඟ කතා කරමින් සිටියදී මුළු රාත්‍රිය ගෙවී ගියේ යේසුස්ටත් නොදැනීමයි.

9. යේසුස් මුළු රාත්‍රියක් පුරා යාච්ඤා කළා. ඉන් අපට ගත හැකි පාඩම මොකක්ද?

9 අපත් පැය ගණනාවක් පුරා යාච්ඤා කළ යුතුයි කියා ඉන් අදහස් කරනවාද? තමන්ට කළ හැකි සෑම දෙයක්ම අනික් අයට කරන්න බැරි බව යේසුස් දැන සිටියා. ඔහු තම අනුගාමිකයන්ට පැවසුවේ “සිත කොතරම් කැමති වුණත් මිනිසුන්ගේ දුර්වලකම එයට ඉඩ දෙන්නේ නැහැ” කියායි. (මතෙ. 26:41) එය ඇත්ත වුණත් අපිට යේසුස්ව අනුකරණය කළ හැකියි. උදාහරණයකට දෙවි සමඟ තිබෙන අපේ බැඳීමට බලපාන යම් තීරණයක් ගැනීමට පෙර අපි ඒ ගැන යාච්ඤා කරනවාද? අපේ සෙසු සහෝදර සහෝදරියන් ගැන අපි යාච්ඤා කරනවාද? අපි යාච්ඤා කරන්නේ හද පත්ලෙන්මද? එහෙම නැත්නම් අපි හැමදාම කියන්නේ එකම වචන පෙළක්ද? අද බොහෝදෙනා ගත කරන්නේ කාර්යබහුල ජීවිතයක් නිසා වඩා වැදගත් දේ අතපසු වීමට ඉඩ තිබෙනවා. නමුත් යේසුස් මෙන් අපත් කාලය සොයාගෙන යාච්ඤා කරනවා නම් සෝදිසියෙන් සිටින්න අපිටත් හැකි වෙනවා. (මතෙ. 6:6, 7) එසේ කාලය සොයාගෙන මුළු හදවතින්ම දෙවිට යාච්ඤා කරනවා නම් දෙවි සමඟ තිබෙන බැඳීම නොකඩවා ශක්තිමත්ව තබාගන්න පුළුවන්.—ගීතා. 25:14.

දේශනා කිරීම

10. දේශනා කිරීමට අවස්ථාව උදා කරගැනීම සඳහා යේසුස් සෝදිසියෙන් සිටි බව අපි දන්නේ කොහොමද?

10 යම් කාර්යයකට පූර්ණ අවධානය නොදුන්නොත් යම් පාඩුවක් හෝ අනතුරක් සිදු විය හැකියි. යෙහෝවා දෙවි යේසුස්ට පවරා තිබූ කාර්යය නම් දේශනා කිරීමයි. එම කාර්යය හොඳින් කිරීම සඳහා එයට පූර්ණ අවධානය දිය යුතු බව යේසුස් දැන සිටියා. ඒ නිසා යේසුස් දේවසේවයට පූර්ණ අවධානය දෙමින් ශුභාරංචිය පැවසීමට අවස්ථා උදා කරගැනීමට නිතරම සෝදිසියෙන් සිටියා. උදාහරණයකට යේසුස් තම ගෝලයන් සමඟ පයින් ගමන් කර සිකාර් නම් නුවරට පැමිණියා. ගෝලයන් කෑම මිල දී ගැනීමට ගිය අතරතුර යේසුස් එහි වූ ළිඳක් අසල නැවතී ටිකක් විවේක ගත්තා. එවිට සමරිතානු ස්ත්‍රියක් වතුර ගැනීමට පැමිණියා. යේසුස් වෙහෙසව සිටියත් ඇයට දේශනා කළ අතර එමගින් එම නුවර සිටි බොහෝදෙනෙකුට සත්‍යය වැලඳගැනීමට හැකි වුණා. ඒ අවස්ථාවේදී ඇය සමඟ කතා නොකිරීමට හෝ ටිකක් නිදාගැනීමට ඔහුට ඕනෑ තරම් හේතු තිබුණත් ඔහු එය දේශනා කිරීමට අවස්ථාවක් කරගත්තා. (යොහ. 4:4-26, 39-42) යේසුස්ව ආදර්ශයට ගනිමින් දේශනා කිරීමට අවස්ථා උදා කරගැනීමට අපිටත් හැකිද?

11, 12. (අ) තම අවධානය වෙනතකට යොමු කරවන දේවල් අන් අය පැවසූ විට යේසුස් ඔවුන්ට පැවසුවේ මොකක්ද? (ආ) යේසුස් සමබර වුණා කියා පවසන්න පුළුවන් ඇයි?

11 සමහරු යේසුස්ගේ සේවයට විරුද්ධ නොවුණත් ඔවුන් හොඳ චේතනාවෙන් පැවසූ සමහර දේවල් යේසුස් කළා නම් ඔහුගේ අවධානය වෙනතකට යොමු වීමට ඉඩ තිබුණා. උදාහරණයකට, කපර්ණවුමේදී යේසුස් රෝගීන් සුව කළ විට එහි සිටි ජනයා ඔහුව එහිම නවත්වාගන්න උත්සාහ කළා. නමුත් යේසුස් මේ පොළොවට ආවේ එක නුවරක සිටි අයට පමණක් නොව ‘ඊශ්‍රායෙල් වංශයේ නැති වුණු සියලු බැටළුවන්ට’ දේශනා කිරීමටයි. (මතෙ. 15:24) එම ජනයාට යේසුස් පැවසුවේ “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය වෙනත් නුවරවලත් දේශනා කළ යුතුයි. මාව එවා තිබෙන්නේ ඒ සඳහා” කියායි. (ලූක් 4:40-44) යේසුස්ට වඩාත්ම වැදගත් වුණේ දේවසේවයයි. ඊට බාධා කිරීමට ඔහු කිසිවකට ඉඩ තැබුවේ නැහැ.

12 දේශනා සේවය යේසුස්ගේ ජීවිතයේ ප්‍රධාන කාර්යය වුණත් ඔහු අන්තවාදී වුණේ නැහැ. අන් අයව ඇසුරු කරන්නත් විනෝද වෙන්නත් අන් අය වෙනුවෙන් යම් දේවල් කරන්නත් ඔහු කාලය වැය කළා. මිනිසුන්ගේ හැඟීම් තේරුම්ගත්තා. දරුවන්ටත් හුඟක් ආදරේ කළා.—මාක් 10:13-16 කියවන්න.

13. යේසුස් මෙන් දේවසේවය සම්බන්ධයෙන් සෝදිසියෙන් හා සමබරව සිටින්න අපට පුළුවන් කොහොමද?

13 යේසුස් මෙන් අපත් දේවසේවය සඳහා සෝදිසියෙන් සිටිය යුතු අතර සමබරව කටයුතු කරන්නත් අවශ්‍යයි. දේශනා සේවය සඳහා වැඩි කාලයක් දෙන්න අවශ්‍ය නැහැ කියා සමහර අවස්ථාවලදී අපේ මිතුරන් හා නෑදෑයන් හොඳ චේතනාවෙන් අපට පැවසිය හැකියි. නමුත් අපි අපේ අවධානය වෙනතකට යොමු වෙන්න ඉඩ නොදිය යුතුයි. යේසුස් මෙන් අපි දේවසේවයට මුල් තැන දිය යුතුයි. (යොහ. 4:34) දෙවි සමඟ ඇති අපේ බැඳීම ශක්තිමත්ව තබාගැනීමටත් ප්‍රීතිය පවත්වාගැනීමටත් දේවසේවය උපකාරයක්. නමුත් අප අන්තවාදී නොවී සමබර විය යුතුයි. එවිට අපිටත් යේසුස් මෙන් ‘ප්‍රීතිමත් දෙවිට’ ප්‍රීතියෙන් සේවය කළ හැකියි.—1 තිමෝ. 1:11.

අසීරු අවස්ථාවලදී දෙවි මත රඳා සිටීම

14. අසීරු අවස්ථාවලදී බොහෝදෙනෙක් කරන්නේ මොකක්ද? එය සුදුසු නොවන්නේ ඇයි?

14 ඉතාම අසීරු අවස්ථාවලදී පවා යේසුස් තම ගෝලයන්ට මතක් කළේ සෝදිසියෙන් සිටින්න කියායි. (මාක් 14:37 කියවන්න.) සෝදිසියෙන් සිටීමට හුඟක් අමාරු වෙන්නේ අසීරු තත්වයන්ට මුහුණ දෙන විටයි. අසීරු අවස්ථාවලට මුහුණ දෙන විට බොහෝදෙනා පෙලඹෙන්නේ තමන්ට හිතෙන දේ කරන්නයි. නමුත් එසේ කිරීම අනතුරුදායක බව හිතෝපදේශ පොතේ දෙවරක්ම පවසනවා. “මිනිසාට නිවැරදියයි පෙනෙන මඟක් ඇත. එහෙත් එය අවසන් වන්නේ මරණයෙනි.” (හිතෝ. 14:12; 16:25) අසීරු අවස්ථාවලට මුහුණ දෙන විට යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීම කොතරම් වැදගත්ද!

15. අසීරු අවස්ථාවකට මුහුණ දෙන පවුල් මූලිකයෙක් මොන වගේ දෙයක් කිරීමට පෙලඹිය හැකිද?

15 අපි මෙසේ සිතමු. ‘තම පවුලේ අයට අත්‍යවශ්‍ය දේවල් ලබා දීමට’ පවුල් මූලිකයෙක් ලොකු වෙහෙසක් දරනවා විය හැකියි. (1 තිමෝ. 5:8) ඒ නිසා වැඩි මුදලක් ලබාගත හැකි රැකියාවක් කිරීමට ඔහු තුළ පෙලඹීමක් ඇති වෙන්න පුළුවන්. එවිට රැස්වීම්, පවුලේ නමස්කාරය හා දේවසේවය ඔහුට අතපසු විය හැකියි. මෙවැනි අවස්ථාවකදී කල්පනාකාරී නොවුණොත් තමන් ගත් තීරණය නිවැරදියි කියා ඔහු සිතන්න ඉඩ තිබෙනවා. පසු කාලයකදී දෙවි සමඟ ඔහුට තිබූ මිත්‍රත්වය බිඳී යන්නත් ඉඩ තිබෙනවා. හිතෝපදේශ 3:5, 6හි ඇති අවවාදය අනුගමනය කිරීම කොතරම් නැණවත්ද! එහි මෙසේ පවසනවා. “ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. ඔබේ ජීවන ගමනේදී ඔබ තබන සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න. එවිට ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත.”

16. (අ) අසීරු අවස්ථාවලදී දෙවිගේ ප්‍රඥාව මත රඳා සිටි යේසුස්ගෙන් අපට ඉගෙනගත හැකි පාඩම මොකක්ද? (ආ) බොහෝ පවුල් මූලිකයන් යේසුස්ගේ ආදර්ශය අනුකරණය කරන්නේ කොහොමද?

16 යේසුස් මිහි පිට ජීවත් වූ නැණවත්ම මිනිසා වුවත් අසීරු තත්වයන්ට මුහුණ දුන් විට තම කැමැත්ත අනුව තීරණ ගත්තේ නැහැ. උදාහරණයකට සාතන් තමාව වරදකට පොලඹවාගන්න උත්සාහ කළ විට යේසුස් පිළිතුරු දුන්නේ ශුද්ධ ලියවිල්ලේ “ලියා තිබෙනවා” කියායි. (මතෙ. 4:4, 7, 10) සාතන් තමාව වරදට පොලඹවන්න වෑයම් කළ සෑම අවස්ථාවකදීම යේසුස් නිහතමානීව දෙවිගේ උපකාරය පැතුවා. ඔහු උඩඟු සාතන්ට වඩා කොතරම් වෙනස්ද! අපත් යේසුස් මෙන් දෙවිගේ ප්‍රඥාව මත රඳා සිටිමු. පියෙක් යේසුස් මෙන් සෝදිසියෙන් සිටිනවා නම් අසීරු තත්වයකට මුහුණ දුන්නත් තීරණයක් ගන්නේ දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුවයි. ලොව පුරා සිටින බොහෝ පවුල් මූලිකයන් රැකියා කළත් මුල් තැන දෙන්නේ දෙවිගේ රාජ්‍යයට හා නමස්කාර කටයුතුවලටයි. ඔවුන් එසේ කිරීමෙන් සෝදිසියෙන් සිටීම සම්බන්ධයෙන් තම පවුලේ අයටත් ආදර්ශයක් තබනවා. එවිට යෙහෝවා දෙවි ඔවුන්ට පවුලේ මූලික අවශ්‍යතා සපුරාගන්න උපකාර කරන බවට පොරොන්දු වී තිබෙනවා.—මතෙ. 6:33.

17. යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීමට ඔබ අධිෂ්ඨාන කරගෙන සිටින්නේ ඇයි?

17 සෝදිසියෙන් සිටීම සම්බන්ධයෙන් හොඳම ආදර්ශය තැබුවේ යේසුස්. අපි ඔහුව ආදර්ශයට ගන්නවා නම් අපේ ජීවිත රැකෙනවා. නමුත් සාතන්ට අවශ්‍ය වෙන්නේ අපේ විශ්වාසය නැති කර සේවය අඩපණ කර අපිව දෙවිගෙන් ඈත් කිරීමටයි. (1 තෙස. 5:6) ඔහුට ජය ගන්න ඉඩ දෙන්න එපා! යේසුස් මෙන් සෝදිසියෙන් සිටින්න. හද පත්ලෙන්ම යාච්ඤා කිරීමට කාලය වෙන් කරන්න. දේශනා කිරීමට අවස්ථාව උදා කරගන්න. අසීරු අවස්ථාවලදී දෙවි මත රඳා සිටින්න. එසේ කිරීමෙන් මේ අවසාන කාලපරිච්ඡේදයේදී වුවත් ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ හැකියි. ඔබ දිගටම සෝදිසියෙන් සිටිනවා නම් අනාගතයේදී ඔබේ වෑයමට දෙවි ආශීර්වාද කරන බව නිසැකයි.—එළි. 16:15.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[6වන පිටුවේ පින්තූරය]

යේසුස් සමරිතානු ස්ත්‍රියට දේශනා කළා. ඔබ දේශනා කිරීමට අවස්ථා උදා කරගන්නේ කොහොමද?

[7වන පිටුවේ පින්තූරය]

ඔබේ පවුලේ අයට දෙවි සමඟ ශක්තිමත් බැඳීමක් පවත්වාගන්න උදව් කිරීමෙන් සෝදිසියෙන් සිටින බව පෙන්වන්න