Skip to content

පටුනට යන්න

සැනසී සනසන්න!

සැනසී සනසන්න!

අපි හැමෝම අසනීප වෙනවා. සමහර වෙලාවට බරපතළ විදිහටත් අසනීප වෙනවා. ඒ වගේ වෙලාවලදී ඒක දරාගන්නේ කොහොමද?

පවුලේ අයගෙන්, යාළුවන්ගෙන් සහ සභාවේ අයගෙන් ලැබෙන සහනය ඒ වගේ අවස්ථා දරාගන්න අපිට හුඟක් උදව් වෙනවා.

යාළුවෙක් අපිට ආදරෙන් කරුණාවෙන් කතා කරද්දී ඒක අපේ ගතටත් සිතටත් සුවයක්. (හිතෝ. 16:24; 18:24; 25:11) හැබැයි සැබෑ ක්‍රිස්තියානීන් විදිහට අපි හිතන්නේ අපි ගැන විතරක් නෙවෙයි. ඒ නිසා ‘දෙවිගෙන් අපි ලබන සැනසීම තුළින් ඕනෑම ආකාරයක පීඩාවක් විඳින අයව සැනසීමට අපිත්’ උත්සාහ කරන්න ඕනෙ. (2 කොරි. 1:4; ලූක් 6:31) මෙක්සිකෝවේ දිස්ත්‍රික් සේවකයෙක් විදිහට සේවය කරන ඇන්ටෝනියෝ එහෙම කළා.

ඇන්ටෝනියෝට ලිම්ෆෝමා කියන පිළිකාව තියෙනවා කියලා දැනගත්තම ඒ කම්පනය දරාගන්න ඔහුට බැරි වුණා. ඔහු ගොඩක් උත්සාහ කළා තමන්ගේ බිය සැක පාලනය කරගන්න. ඒ සඳහා ඔහු ගීතිකා කටපාඩම් කරලා ශබ්ද නඟා ගායනා කළා. ගීතිකාවල තියෙන වචන ගැන හුඟක් කල්පනා කළා. ශබ්ද නඟා යාච්ඤා කිරීමෙනුත් බයිබලය කියවීමෙනුත් ඔහුට ලොකු සහනයක් ලැබුණා.

සහෝදරයන්ගෙන් ලැබුණ සහනයත් ඔහුට ගොඩක් උදව් වුණා කියලා ඇන්ටෝනියෝ කියනවා. “මගේ බිරිඳයි මායි හුඟක් දුකෙන් ඉද්දී අපේ නෑදෑයෙක් වන, සභාවේ වැඩිමහල්ලෙකුට අපේ ගෙදරට ඇවිල්ලා අපිත් එක්ක යාච්ඤා කරන්න කියලා අපි කිව්වා. ඒකෙන් අපිට ලොකු සැහැල්ලුවක් දැනුණා. අපේ පවුලේ අයගෙනුත් සභාවේ අයගෙනුත් ලැබුණ සහයෝගය නිසා අපිට තිබුණ භය සැක නැති කරගන්න පුළුවන් වුණා.” ඔහුට ආදරය කරන, ඔහු ගැන සැලකිලිමත් වුණ යාළුවන් හිටපු එක ගැන ඔහු ගොඩක් සතුටු වෙනවා.

පීඩාකාරී කාලවලදී අපිට උපකාරය ලැබෙන තවත් ක්‍රමයක් තමයි දෙවිගේ බලය. ඒක අපිට නොමිලේ ලැබෙන ‘දීමනාවක්.’ (ක්‍රියා 2:38) ඒ දීමනාව ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී බොහෝදෙනෙකුට ලැබුණා. අපිත් දෙවිගෙන් ඉල්ලනවා නම් ඒ බලය අපිටත් නොඅඩුව ලැබෙනවා.—යෙසා. 40:28-31.

දුක් විඳින අය ගැන හිතන්න

හුඟක් දුෂ්කරතාවලට මුහුණ දුන්න කෙනෙක් තමයි පාවුල්. එක අවස්ථාවකදී තමන්ට මිය යන්න වෙයි කියලත් ඔහුට හිතුණා. (2 කොරි. 1:8-10) නමුත් පාවුල් ඕනෑවට වඩා භය වුණේ නැහැ. දෙවි ඔහු එක්ක ඉන්නවා කියන සිතුවිල්ල ඔහුට සහනයක් වුණා. “අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවි සහ පියාණන් වන තැනැත්තාණන්ට ප්‍රශංසා වේවා! මහත් දයාවක් පෙන්වන පියාණන් ඔහුය. සියලු සැනසිල්ලේ දෙවි ඔහුය. අපගේ සියලු පීඩාවලදී අපව සනසන්නේ ඔහුය” කියලා ලියන්න පාවුල්ට පුළුවන් වුණේ ඒ නිසයි. (2 කොරි. 1:3, 4) තමා විඳින දුක ගැන හිතහිතා පාවුල් කලකිරුණේ නැහැ. ඒ වෙනුවට ඔහු වින්ද දේවල් නිසා පීඩා විඳින වෙනත් අයගේ වේදනාව තේරුම්ගන්නත් ඔවුන්ට අවශ්‍ය සහනය ලබා දෙන්නත් ඔහුට පුළුවන් වුණා.

අපි කලින් සඳහන් කළ ඇන්ටෝනියෝ සනීප වුණාට පස්සේ නැවතත් සංචාරක සේවය පටන්ගත්තා. ඔහු මීට කලිනුත් සහෝදර සහෝදරියන් ගැන සැලකිලිමත් වුණ කෙනෙක්. ඒත් දැන් ඔහුගේ බිරිඳයි ඔහුයි අසනීපෙන් ඉන්න සහෝදර සහෝදරියන්ව බලන්න යන්න විශේෂ වෑයමක් දරනවා. එක අවස්ථාවකදී බරපතළ ලෙස අසනීප වෙලා හිටපු සහෝදරයෙක්ව බලන්න ගියාම ඇන්ටෝනියෝට දැනගන්න ලැබුණා දැන් ඒ සහෝදරයා රැස්වීම්වලට යන්න කැමති නැහැ කියලා. “එයාට ඒ විදිහට හැඟුණේ යෙහෝවා දෙවිටවත් සහෝදරයන්ටවත් ආදරේ නැති නිසා නෙවෙයි. ලෙඩේ නිසා එයා ගොඩක් මානසිකව වැටිලා හිටපු නිසයි. තමන් වටින්නේ නැහැ කියන හැඟීමත් ඔහුට තිබුණා” කියලා ඇන්ටෝනියෝ කිව්වා.

ඒ සහෝදරයාව ඇන්ටෝනියෝ දිරිගැන්නුවේ කොහොමද? එක සුහද හමුවකදී සියලුදෙනා වෙනුවෙන් යාච්ඤා කරන්න පුළුවන්ද කියලා ඇන්ටෝනියෝ ඒ සහෝදරයාගෙන් ඇහුවා. ඔහු මුලින් අදිමදි කළත් පස්සේ ඒකට කැමති වුණා. “එයා හරිම ලස්සනට යාච්ඤා කළා. ඒ යාච්ඤාවෙන් පස්සේ අපි එයාගේ පුදුම වෙනසක් දැක්කා. එයා හිටියේ හරිම සතුටෙන්” කියලා ඇන්ටෝනියෝ කිව්වා.

අපි හැම කෙනෙක්ම වගේ මොනවා හරි අසනීපයකින් හරි පීඩාවකින් හරි දුක් විඳලා තියෙනවා. ඒත් පාවුල් කිව්වා වගේ ඒ අද්දැකීම අපිට උපකාරවත් වෙයි අනිත් අයත් ඒ වගේ තත්වයකට මුහුණ දෙද්දී ඒ අයට සහනයක් ලබා දෙන්න. ඒ නිසා අනිත් අය අද්දකින වේදනාව තේරුම්ගන්න උත්සාහ කරමු. ඔවුන්ට සහනයක් වීමෙන් අපේ දෙවි වන යෙහෝවාව අනුකරණය කරමු.