Skip to content

පටුනට යන්න

ඒක ඇත්තටම ලිව්වේ ජොසීෆස්ද?

ඒක ඇත්තටම ලිව්වේ ජොසීෆස්ද?

ෆ්ලේවියස් ජොසීෆස් කියන්නේ පළමු සියවසේ හිටපු ඉතිහාසඥයෙක්. ඔහු යුදෙව්වන්ගේ සිරිත් විරිත් ගැන පොත් 20ක් විතර ලිව්වා. ඔහු ලියපු 20වන පොතේ “ක්‍රිස්තුස් කියා හැඳින්වූ යේසුස්ගේ සහෝදරයෙක් වූ යාකොබ්ගේ” මරණය ගැන සඳහන් වෙනවා. (Jewish Antiquities) ඒක විශ්වාස කරන්න පුළුවන් තොරතුරක් කියලා හුඟක් විද්වතුන් පිළිගන්නවා. ඒත් ඒ පොතේම යේසුස් ගැන තියෙන තවත් තොරතුරක් සමහර විද්වතුන් විශ්වාස කරන්නේ නැහැ. (ඒ තොරතුර සඳහන් කොටස හඳුන්වන්නේ “ටෙස්ටිමෝනියම් ෆ්ලාව්යානුම්” කියලයි.)

මතභේදයට හේතු වෙලා තියෙන ඒ කොටසේ සඳහන් වෙන්නේ මෙයයි. “ඒ කාලයේදී පුදුමාකාර දේවල් කරපු ඥානවන්ත මිනිසෙක් සිටියා. ඔහුගේ නම යේසුස්. ඔහුගේ ඉගැන්වීම් මිනිසුන් අහගෙන හිටියේ හරිම ආශාවෙන්. යුදෙව්වන් සහ යුදෙව් නොවන හුඟක් අය ඔහුගේ අනුගාමිකයන් වුණා. ක්‍රිස්තුස් කියන්නෙත් ඔහුටයි. අප අතර ඉන්න ප්‍රධානීන් කළ යෝජනාවක් නිසා පිලාත් ඔහුව කුරුසයේ ඇණ ගහලා මරන්න අණ කළා. ඔහුගේ ගෝලයන් ඔහුට හුඟක් ප්‍රේම කළ නිසා ඔවුන් ඔහුව අත්හැරියේ නැහැ. ඔහු මිය ගොස් තුන්වෙනි දවසේදී නැවත ඔවුන් ඉදිරියේ පෙනී සිටියා. දෙවිගේ අනාගතවක්තෘවරුන් ඒ සිදුවීම් සියල්ල ගැනත් ඔහු ගැන තවත් දහසකුත් දේවල් ගැනත් කියලා තිබුණා. ක්‍රිස්තියානීන් කියලා ඔහුගේ නමින් හඳුන්වන ඔහුගේ අනුගාමිකයන් තවමත් ඉන්නවා.”—විලියම් විස්ටන් විසින් පරිවර්තනය කළ Josephus—The Complete Works.

ඉහත කොටස ලිව්වේ ජොසීෆස් කියලා විශ්වාස කරන අය අතරත් එහෙම විශ්වාස නොකරන අය අතරත් උණුසුම් විවාදයක් 16වන ශතවර්ෂයේ අගභාගයේ ඇති වුණා. ඉතිහාසඥයෙක් සහ සාහිත්‍ය කෘති පිළිබඳ ප්‍රවීණයෙක් වන ප්‍රංශ ජාතික සර්ජ් බාඩේ ඒකේ ඇත්ත නැත්ත ගැන හොයලා බැලුවා. තමා සොයාගත් තොරතුරු ගැන පොතක් ලියලා ඔහු ප්‍රකාශයට පත් කළා.—එම පොත Le Testimonium Flavianum—Examen historique considérations historiographiques.

ජොසීෆස් ක්‍රිස්තියානි කෙනෙක් නෙවෙයි. ඔහු යුදෙව් ආගම ඇදහූ කෙනෙක්. ඔහු ලිව්වේ යුදෙව්වන් ගැනයි. ඒ වගේ කෙනෙක් යේසුස්ව ක්‍රිස්තුස් කියලා හැඳින්වීම නිසා තමයි මේ තරම් මත ගැටුම් ඇති වෙලා තිබුණේ. බාඩේ කරපු අධ්‍යයනයෙන් පස්සේ ඔහු මෙහෙම කිව්වා. “‘ක්‍රිස්තුස් කියන්නෙත් ඔහුටයි’ කියලා ජොසීෆස් ලියපු එකේ පුදුම වෙන්න දෙයක් නැහැ. යේසුස් ඇත්තටම හිටියා කියලා ඒකෙන් ඔප්පු වෙනවා. අන්න ඒ වැදගත් කරුණ තමයි විවේචකයන් සැලකිල්ලට ගන්න තිබුණේ!”

ජොසීෆස්, යේසුස් ගැන සඳහන් කරපු කොටසේ ඇති තොරතුරු ජොසීෆස්ගේ ලේඛන ශෛලිය අනුකරණය කරපු කෙනෙක් වෙනස් කළා හරි ඒකට තොරතුරු එකතු කළා හරි වෙන්න පුළුවන්ද? ඉතිහාස තොරතුරු සහ ජොසීෆස්ගේ ලේඛන ශෛලිය සැලකිල්ලට ගත් බාඩේ කියන්නේ “ඒක කොහොමටවත් වෙන්න බැරි දෙයක්. මොකද ජොසීෆස්ට තිබුණේ දක්ෂම කෙනෙක්ට වුණත් අනුකරණය කරන්න බැරි අපූරු ලේඛන ශෛලියක්” කියලයි.

එහෙමනම් ඇයි මේ තරම් මතගැටුම්? ඒකට හේතුව බාඩේ විස්තර කරන්නේ මේ විදිහටයි. “හුඟක් අය ඒක සැක කළේ ඒ අය යේසුස්ව, ක්‍රිස්තුස් විදිහට පිළිගන්න අකමැති වුණ හින්දයි. හොඳට හොයලා බලලා තර්කානුකූලව හිතද්දී ඒක ලිව්වේ ජොසීෆස් කියලා කිසිම සැකයක් ඇති වෙන්නේ නැහැ.”

යේසුස් ගැන ජොසීෆස් ලියපු කොටසේ තොරතුරු ගැන සැක කරන අය බාඩේ සොයාගත් තොරතුරු පිළිගනියිද, නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඒත් යුදෙව් ආගම ඇදහූ ග්‍රීකවරුන් සහ මුල් ක්‍රිස්තියානීන් ගැන අධ්‍යයනය කරන ප්‍රවීණයෙක් වන පියේ ජොල්ට්‍රාන්, යේසුස් ගැන සඳහන් කොටස ඇත්තටම ලිව්වේ ජොසීෆස්ද කියලා කලින් සැක කළත් දැන් නම් සැක කරන්නේ නැහැ. ඔහු කලින් හිතුවේ ඒක කවුරු හරි ජොසීෆස්ගේ පොතට එකතු කරපු කොටසක් කියලයි. ඒ නිසා ඒක ජොසීෆස් ලිව්වා කියලා විශ්වාස කරපු අයට ඔහු විහිළු කළා. නමුත් ඔහු දැන් කියන්නේ, “ඉදිරියේදී නම් යේසුස් ගැන සඳහන් ඒ කොටස ඇත්තටම ලිව්වේ ජොසීෆස්මද කියලා කවුරුත් සැක කරන්න අවශ්‍ය නැහැ” කියලයි.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට නම් යේසුස්ව, ක්‍රිස්තුස් කියලා පිළිගන්න ඊටත් වඩා හොඳ හේතු තියෙනවා. ඒ හේතු පැහැදිලිවම බයිබලයේ සඳහන් වෙනවා.—2 තිමෝ. 3:16.