Skip to content

පටුනට යන්න

වැටුණත් පුළුවන් ඔබට ආයෙත් නැඟිටින්න

වැටුණත් පුළුවන් ඔබට ආයෙත් නැඟිටින්න

“ඔබේ නීතියට ප්‍රිය කරන අය මහත් සමාදානයක් අද්දකිනු ඇත. පය පැටලී ඔවුහු කිසිවිටක වැටෙන්නේ නැත.”—ගීතා. 119:165.

1. මේරි ඩෙකර්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

වර්ෂ 1984 පැවැත්වුණු ඔලිම්පික් උලෙළේ මීටර් 3,000 ධාවන තරඟය ආරම්භ කරන්න හැම දේම සූදානම්. හැමෝගෙම ඇස් යොමු වෙලා තිබුණේ මේරි ඩෙකර් කියන ක්‍රීඩිකාව වෙතටයි. ඇය රන් පදක්කම දිනාගනියි කියලයි හැමෝම හිතුවේ. ඒත් සිද්ධ වුණේ කවුරුත් නොසිතුව දෙයක්. තවත් ක්‍රීඩිකාවකගේ පයේ පැටලුණු මේරී, ධාවන පථය මත ඇද වැටුණා. ඇය හැම දේම අත්හැර දැම්මද? නැහැ. අවුරුද්දක් ගත වෙන්නත් කලින් ඇය එම ඉසව්ව ජයග්‍රහණය කළේ නව ලෝක වාර්තාවකුත් පිහිටුවමිනුයි.

2. දෙවිගේ සේවකයන් හැටියට අපි යෙදිලා ඉන්නේ මොන වගේ තරඟයකද? ජය ගන්න නම් අපි මොනවද කරන්න ඕනෙ?

2 දෙවිගේ සේවකයන් විදිහට අපි යෙදිලා ඉන්නෙත් ධාවන තරඟයක. ඒක වේගයෙන් දුවලා දිනන්න පුළුවන් එකක්වත් ඕනෑවට එපාවට දුවන එකක්වත් නෙවෙයි. අපිට ඒක මැරතන් තරඟයකට සමාන කරන්න පුළුවන්. මැරතන් තරඟයක් ජය ගන්න නම් කෙනෙක් හුඟක් විඳදරාගෙන දුවන්න ඕනෙ. ඒ ගැන පාවුල් මෙහෙම කිව්වා. “ධාවන තරඟයකට බොහෝදෙනෙකු සහභාගි වුණත් ත්‍යාගය ලැබෙන්නේ එක් කෙනෙකුට පමණක් බව ඔබ හොඳින් දන්නා දෙයකි. ඔබට එම ත්‍යාගය අවශ්‍ය නම් එය ලබාගත හැකි ආකාරයකින් දුවන්න.”—1 කොරි. 9:24.

3. අපි යෙදිලා ඉන්න තරඟයේ තෑග්ග ලැබෙන්නේ කාටද?

3 අපි හැමෝම මේ ධාවන තරඟයේ යෙදෙන්න අවශ්‍යයි. (1 කොරින්ති 9:25-27 කියවන්න.) සාමාන්‍ය තරඟයකට වඩා මේ තරඟය වෙනස්. මේ තරඟයේ අවසානය දක්වාම විඳදරාගෙන තරඟය නිම කරන හැමෝටම තෑග්ග ලැබෙනවා. (මතෙ. 24:13) ඒ තෑග්ග තමයි සදාකාල ජීවිතය. ඒත් කෙනෙක් මේ තරඟයේ නීතිරීති පිළිපදින්නේ නැත්නම් හරි, අතරමඟදී තරඟය නතර කළොත් හරි ඒ පුද්ගලයාට තෑග්ග ලැබෙන්නේ නැහැ.

4. අපි යෙදිලා ඉන්න ධාවන තරඟය ලේසි එකක් නෙවෙයි කියලා කියන්නේ ඇයි?

4 මේ තරඟයේදී පය පැටලිලා වැටෙන අවස්ථා නම් ඕනෙ තරම් තියෙනවා. වැටෙන්නේ නැතුව මේ තරඟය නිම කළේ යේසුස් විතරයි. අනිත් හැමෝම අතින් ‘නොයෙක් අවස්ථාවලදී වැරදි සිදු වෙනවා.’ (යාකො. 3:2) අපේම අඩුපාඩුත් අනිත් අයගේ වැරදිත් නිසා කී පාරක් නම් අපේ පය පැටලිලා ඇද්ද? අපේ වේගය අඩු වෙන්න ඇද්ද? සමහරවිට වැටිලත් ඇති. ඉස්සරහටත් එහෙම වෙන්න පුළුවන්. (1 රාජා. 8:46) ඒ වගේ වෙද්දී ආයෙත් නැඟිටලා ධාවනයේ යෙදෙන්න අපිට අනිත් අයගේ උදව් අවශ්‍යයි.

වැටුණත් ලැබෙන උදව් පිළිගෙන නැඟිටින්න

වැටුණත් නැඟිටින්න

5, 6. (අ) දෙවිගේ සේවකයෙක් ‘පය පැටලී වැටෙන්නේ නැහැ’ කියලා බයිබලයේ කියන්නේ ඇයි? ඒ වගේ කෙනෙකුට ආයෙත් නැඟිටින්න උදව් වෙන්නේ මොන වගේ දේවල්ද? (ආ) සමහර අය වැටුණත් නැඟිටින්නේ නැත්තේ ඇයි?

5 අපි ‘වැටෙන්න’ පුළුවන් කොහොමද? සමහර කාලවලදී අපි අධෛර්යය වෙන්න පුළුවන්. අපි අතින් යම් අඩුපාඩුත් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවලදී අපි පසුතැවිලි වෙලා ආයෙත් දෙවිට සේවය කරනවද, නැත්නම් දෙවිව අත්හරිනවද කියන එකෙන් අපි මොන වගේ අයද කියලා පැහැදිලි වෙනවා. බයිබලයේ කියන්නේ “ධර්මිෂ්ඨයා සත් වතාවක් වැටුණත් ඔහු නැඟිටින්නේය. එහෙත් දුෂ්ටයෝ විපතට හසු වී විනාශ වී යන්නෝය” කියලයි.—හිතෝ. 24:16.

6 යෙහෝවා දෙවි තමන්ව විශ්වාස කරන අයට හැමදාම වැටිලා ඉන්න දෙන්නේ නැහැ. ආයෙත් ‘නැඟිටින්න’ දෙවි ඔවුන්ට උදව් කරනවා. එතකොට ආයෙත් මේ ධාවන තරඟයේ යෙදෙන්න ඔවුන්ට පුළුවන්. ඒ නිසයි යෙහෝවා දෙවිගේ ‘නීතියට ප්‍රිය කරන අය කිසිවිටකත් පය පැටලී වැටෙන්නේ නැහැ’ කියලා බයිබලයේ කියන්නේ. (ගීතාවලිය 119:165 කියවන්න.) ඒත් සමහරුන්ට වැටුණම නැඟිටින්න කිසිම උවමනාවක් නැහැ. ඒ වගේ අයව බයිබලයේ හඳුන්වන්නේ දුෂ්ටයන් කියලයි. ඒ වගේ අය දෙවිගේ උපකාර ලබාගන්න කිසිම වෑයමක් දරන්නේ නැහැ. අනිත් අය උදව් කරන්න හදද්දී ඒවා පිළිගන්නෙත් නැහැ.

7, 8. කෙනෙක් වැටුණත් ඔහුට දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ පුද්ගලයෙක් වෙන්න පුළුවන් කොහොමද?

7 අපි ළඟ තියෙන දුර්වලකම් නිසා අපි අතින් වැරදි සිදු වෙලා නිතර නිතර වැටෙන්න ඉඩ තියෙනවා. ඔබත් ඒ වගේ කෙනෙක් නම් අධෛර්යය වෙන්න එපා. වැටෙන හැමපාරකම ආයෙත් නැඟිටලා, ඒ කියන්නේ පසුතැවිලි වෙලා හරි දේ කරන්න උත්සාහ කරනවා නම් දෙවි ඔබව සලකන්නේ ධර්මිෂ්ඨයෙක් විදිහටයි. ඊශ්‍රායෙල්වරුන්ට දෙවි සලකපු විදිහෙන් අපිට ඒක තේරුම්ගන්න පුළුවන්. (යෙසා. 41:9, 10) හිතෝපදේශ 24:16හි වැඩියෙන්ම කාවද්දන්න හදන්නේ කෙනෙක් වැටෙන එක ගැන නෙවෙයි, සමාව දෙන්න බලාගෙන ඉන්න දෙවිගේ උදව්වෙන් ආපහු ‘නැඟිටින’ එක ගැනයි. (යෙසායා 55:7 කියවන්න.) යෙහෝවා දෙවි සහ යේසුස් අපිට නැඟිටින්න උදව් කරනවා විතරක් නෙවෙයි අපි එහෙම කරයි කියලා විශ්වාසත් කරනවා.—ගීතා. 86:5; යොහ. 5:19.

8 මැරතන් තරඟයක යෙදෙන තරඟකරුවෙක් පය පැටලිලා වැටුණා කියලා හිතන්න. ඔහු ඉක්මනටම නැඟිට්ටොත් ආයෙත් තරඟයට එකතු වෙලා තරඟය නිම කරන්න සමහරවිට ඔහුට කාලය තියෙයි. ඒත් අපි යෙදිලා ඉන්න මේ තරඟය නිමා වෙන “දවස හා වේලාව” අපි දන්නේ නැහැ. (මතෙ. 24:36) ඒ නිසා නාස්ති කරන්න තරම් කාලයක් අපිට නැහැ. හැබැයි පරෙස්සම් වුණොත් අපිට පුළුවන්, වැටෙන්න ඉඩ තියෙන අවස්ථා ගණන අඩු කරගෙන දිගටම දුවලා තරඟය නිම කරන්න.

පය පැටලෙන තැන්

9. අපි වැටෙන්න හේතු වෙන කාරණා මොනවද?

9 මේ තරඟයේදී අපි වැටෙන්න හේතු වෙන කාරණා පහක් ගැන දැන් අපි බලමු. (1) අපේම අඩුපාඩු, (2) වැරදි ආශාවන්, (3) සහෝදර සහෝදරියන් අතින් වෙන අසාධාරණකම්, (4) හිංසා පීඩා සහ (5) අනිත් අයගේ අඩුපාඩුකම්. ඔබත් මේ එක කාරණයක් නිසා හරි වැටිලා ඉන්න කෙනෙක් නම්, ඔබ දුෂ්ටයෙක් කියලා හංවඩු ගහන්න තරම් යෙහෝවා දෙවි හදිසි වෙන්නේ නැහැ. ඔහු ඔබ ගැන ඉවසනවා.

10, 11. දාවිත්ට තිබුණ අඩුපාඩුව මොකක්ද?

10 අපේම අඩුපාඩු. තරඟ පවත්වන පාරක ගලක් තිබුණොත් ක්‍රීඩකයෙක්ගේ කකුල ඒකේ වැදිලා වැටෙන්න ඉඩ තියෙනවා. අපේම අඩුපාඩුත් හරියට ඒ ගල් වගේ. අපිව වැටෙන්න ඒවා හේතු වෙනවා. එහෙම වැටුණ දෙන්නෙක් තමයි දාවිත් හා පේතෘස්.

11 දාවිත්ට තිබුණ අඩුපාඩුව තමයි, තමන්ව පාලනය කරගන්න බැරි වුණ එක. නාබල්ගේ සිද්ධියේදීත් බැත්-ෂෙබා හා සම්බන්ධ සිද්ධියේදීත් තමන්ව පාලනය කරගන්න බැරුව ඔහු වැටුණා. ඒත් දෙවිව සතුටු කරන්න ගත්ත උත්සාහය ඔහු අත්හැරියේ නැහැ. අනිත් අයගේ උදව්වෙන් ඔහු ආපහු නැඟිට්ටා.—1 සාමු. 25:5-13, 32, 33; 2 සාමු. 12:1-13.

12. පේතෘස් අතින් වැරදි වුණත් දිගටම ධාවන තරඟයේ නියැලෙන්න ඔහුට පුළුවන් වුණේ කොහොමද?

12 පේතෘස්ට තිබුණ අඩුපාඩුව තමයි මිනිසුන්ට තිබුණ බිය. එක අවස්ථාවකදී ඔහු යේසුස්ව අඳුනන්නේ නැහැ කියලා තුන් සැරයක්ම කිව්වා. (ලූක් 22:54-62) තවත් අවස්ථාවක ඔහු යුදෙව් ක්‍රිස්තියානීන්ට වඩා වෙනත් ජාතීන්ට අයත් ක්‍රිස්තියානීන්ට අඩු සැලකිල්ලක් දැක්වුවා. සභාවේ හිටපු අනිත් අයත් ඔහුව අනුගමනය කරන්න ඉඩ තිබුණ නිසා පාවුල් ඒ ගැන පේතෘස්ට තදින් උපදෙස් දුන්නා. (ගලා. 2:11-14) ඒ ගැන අමනාප වෙලා ආපහු දෙවිට සේවය කරන්න බැරි තරමටම පේතෘස් වැටුණද? නැහැ. පාවුල්ගේ උපදෙස පිළි අරන් තමන්ගේ වැරදි හදාගත්ත නිසා ආයෙත් නැඟිටලා ධාවන තරඟයේ දිගටම නියැලෙන්න ඔහුට පුළුවන් වුණා.

13. අසනීප නිසා අපි වැටෙන්න පුළුවන් කොහොමද?

13 අපි තුළ තියෙන තවත් අඩුපාඩුවක් තමයි අසනීප. අසනීප නිසා අපි දුවන වේගය ටිකෙන් ටික අඩු වෙන්න පුළුවන්. අන්තිමේදී තරඟය අත්හරින්නත් ඉඩ තියෙනවා. ජපානයේ සහෝදරියකට එහෙම වුණා. බව්තීස්ම වෙලා අවුරුදු 17කට පස්සේ ඇය හුඟක් අසනීප වුණා. ඒ අසනීපය ගැන ඇය ඕනෑවට වඩා හිතපු නිසා දෙවිට කරපු නමස්කාරයත් එන්න එන්නම අඩු වුණා. අන්තිමේදී ඇය අක්‍රියාශීලී ප්‍රචාරකයෙක් වුණා. ඒත් වැඩිමහල්ලන් දෙන්නෙක් ඇයව හමු වෙලා දිරිගැන්නුව නිසා ඇය ආපහු රැස්වීම් එන්න පටන්ගත්තා. “සභාවේ අය මාව ආදරෙන් පිළිගත්ත විදිහ නිසා මගේ ඇස් දෙකට කඳුළු ආවා” කියලා ඇය කියනවා. ඒ සහෝදරිය වැටුණත් ආයෙත් නැඟිටලා තරඟයේ යෙදෙනවා.

14, 15. වැරදි ආශාවන් ඇති වෙනකොට ඉක්මනින්ම කරන්න ඕනෙ මොනවද? උදාහරණයක් කියන්න.

14 වැරදි ආශාවන්. මේ නිසත් ගොඩක් අය වැටෙනවා. ඒ නිසා අපේ මනසත්, හැසිරීමත්, නමස්කාරයත් දෙවිට පිළිගන්න පුළුවන් විදිහට පවිත්‍රව තියාගන්න අපි දැඩි වෑයමක් දරන්න ඕනෙ. අපිව වරදක් කරන්න පොලඹවන්න පුළුවන් ඕනෙම දෙයක් ගලවලා “අහකට විසි කරන්න” කියලා යේසුස් කිව්ව උපදෙස මතකද? එහෙමනම් නරක සිතුවිලි, නරක හැසිරීම වගේ දේවල් අපේ ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න අපි ඉක්මනින්ම පියවර ගන්න ඕනෙ.—මතෙව් 5:29, 30 කියවන්න.

15 වැරදි ආශාවන් එක්ක පොරබදපු සහෝදරයෙක්ගේ අද්දැකීමක් බලමු. ඒ සහෝදරයා හැදී වැඩුණේ දෙවිට සේවය කරන පවුලක. වයස අවුරුදු 20ක් වෙනකොට ඔහු සභාවේ ස්ථාවර පුරෝගාමියෙක් විදිහටත් සහායක සේවකයෙක් විදිහටත් සේවය කළා. ඒත් කුඩා කාලයේ ඉඳන්ම ඔහුට සමලිංගික හැඟීම් තිබුණා. ඒ වැරදි ආශාව නිසාම ඔහු අතින් බරපතළ වරදක් වෙලා ඔහු වැටුණා. ඒ නිසා ඔහු හැම දේම අත්හැරියද? නැහැ. ඔහුට ලැබුණ හික්මවීම් සහ වැඩිමහල්ලන් දුන්න මඟ පෙන්වීම් ඔහු පිළිගත්තා. නිතරම යාච්ඤා කළා. බයිබලය අධ්‍යයනය කළා. අනිත් අයට උදව් කළා. මේ විදිහට ඔහු ආපහු නැඟිට්ටා. අවුරුදු ගාණකට පස්සේ ඔහු මෙහෙම කියනවා. “සමහර වෙලාවලදී අර වගේ වැරදි ආශාවන් ඇති වුණත් ඒවා පාලනය කරගන්න දැන් මට පුළුවන්. අපිට දරාගන්න බැරි තරමටම පීඩා පරීක්ෂාවන් එන්න දෙවි ඉඩ දෙන්නේ නැහැ කියලත් දෙවි මාව විශ්වාස කරනවා කියලත් මං දැන් දන්නවා. මේ වැරදි ආශාවන් පාලනය කරගන්න මං දරන මහන්සිය අපතේ යන්නේ නැහැ. ඒකට ප්‍රතිඵල පාරාදීස පොළොවේදී ලැබෙනවා. ඒ දවස එනකල් මං සටන අත්හරින්නේ නැහැ.”

16, 17. (අ) තමන්ට අසාධාරණයක් වුණා කියලා හිතපු සහෝදරයෙක්ට ඉන් ගොඩ එන්න පුළුවන් වුණේ කොහොමද? (ආ) නොවැටී ඉන්න නම් අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

16 සහෝදර සහෝදරියන් අතින් වෙන අසාධාරණකම්. ප්‍රංශයේ වැඩිමහල්ලෙක් විදිහට සේවය කරපු සහෝදරයෙක් මේ හේතුව නිසා වැටුණා. ඔහු හිතුවේ අනිත් අයගෙන් ඔහුට අසාධාරණයක් වුණා කියලයි. ඒ ගැන අමනාපයෙන් හිටපු ඔහු රැස්වීම් යන එකත් සේවයේ යන එකත් නතර කළා. ඒත් වැඩිමහල්ලන් දෙන්නෙක් ඔහුව හමු වෙන්න ගියා. ඔහුගේ හිතේ තියෙන හැම දෙයක්ම නිදහසේ කියන්න ඉඩ දීලා ඔවුන් හොඳින් ඇහුම්කන් දුන්නා. හැම දේම දෙවිට භාර දෙන්න කියලත් වැඩියෙන්ම වටින්නේ දෙවිව සතුටු කරන එක කියලත් ඔවුන් ඔහුට තේරුම් කරලා දුන්නා. ඒ මඟ පෙන්වීම් පිළිගත්ත ඔහු දැන් ආයෙත් තරඟයට එක් වෙලා.

17 දෙවිගේ සේවකයන් හැටියට අපි හැමතිස්සෙම වැඩ කරන්න ඕනෙ සභාවේ නායකයා යේසුස් කියලා මතක තියාගෙන. එහෙම නැතුව අඩුපාඩු තියෙන මිනිසුන් දිහා බලාගෙන නෙවෙයි. ‘ගිනිසිළු වගේ’ ඇස් තියෙන යේසුස්, සභාවේ වෙන හැම දෙයක් දිහාම හොඳින් බලාගෙන ඉන්නවා. අපිට පේන්නේ නැති දේවලුත් ඔහු දකිනවා. (එළි. 1:13-16) අපිට වුණේ අසාධාරණයක්ද නැද්ද කියලත් එහෙම නැත්නම් අපි ඉන්නේ වැරදි වැටහීමකද කියලත් හොඳින්ම දන්නේ යේසුස්. සභාවේ යම් වෙනසක් කරන්න ඕනෙ නම් ඒක කරන්නේ කොහොමද කියලත් ඒක කරන්න හොඳම වෙලාව මොකක්ද කියලත් ඔහු තීරණය කරයි. ඒ නිසා වෙන කෙනෙක් කරපු කියපු දෙයක් හේතුවක් කරගෙන මේ තරඟයෙන් ඉවත් නොවී ඉන්න අපි අධිෂ්ඨාන කරගමු.

18. හිංසා පීඩාවලට මුහුණ දෙන්න අපිට උදව් වෙන්නේ මොනවද?

18 හිංසා පීඩා. පවුලේ අය, අසල්වාසීන්, බලධාරීන් වගේ ඕනෑම කෙනෙක්ගෙන් ‘හිංසා පීඩා’ එන්න පුළුවන්. කෙනෙක්ගේ හිතේ සත්‍යය ‘ගැඹුරට මුල් බැහැලා’ තිබුණේ නැත්නම් පීඩා නිසා ඔහු වැටෙන්න පුළුවන් කියලා යේසුස් කිව්වා. (මතෙ. 13:21) ඒත් අපේ හිතේ දෙවිට ලොකු ආදරයක් තියෙනවා නම් අපේ හිතේ පැළ වෙලා තියෙන සත්‍ය බීජයට පුළුවන් හොඳට මුල් ඇදලා ශක්තිමත් විශ්වාසයක් අපි තුළ ඇති කරන්න. ඒ නිසා හිංසා පීඩාවලට මුහුණ දෙද්දී යාච්ඤා කරන්නත් හොඳ දේවල් ගැන හිතන්නත් උත්සාහ කරමු. (ෆිලිප්පි 4:6-9 කියවන්න.) යෙහෝවා දෙවිගේ උදව් අපිට තියෙන නිසා හිංසා පීඩා එද්දී වැටෙන්නේ නැතුව ඉන්න අපිට පුළුවන්.

තරඟය සාර්ථකව නිමා කරන එකෙන් වළක්වන්න කිසිම කෙනෙකුට හෝ දේකට ඉඩ දෙන්න එපා!

19. අනිත් අයගේ අඩුපාඩු නිසා අපි නොවැටී ඉන්න නම් කරන්න ඕනෙ මොනවද?

19 අනිත් අයගේ අඩුපාඩුකම්. සභාවේ ඉන්න අයගේ අඩුපාඩුකම් නිසත් සමහරු මේ තරඟය අත්හැරලා තියෙනවා. ඒ කොහොමද? සමහර කාරණා ගැන තීරණයක් ගන්න ඕනෙ, අපි එක් එක් කෙනා දෙවිගේ වචනයට එකඟව පුහුණු කරපු හෘදය සාක්ෂියට අනුවයි. කෙනෙක් තමන්ගේ හෘදය සාක්ෂියට අනුව ගන්න තීරණයක් තවත් කෙනෙක් ලොකු වරදක් හැටියට දැකලා වැටෙන්න ඉඩ තියෙනවා. (1 කොරි. 8:12, 13) අනිත් අයව විනිශ්චය කරන්න එපා කියලත් ‘අනිත් අය මොනවා හිතුවත් මං කරන්නේ මට ඕනෙ දේ. ඒක මගේ අයිතිය’ කියන ආකල්පය වැරදියි කියලත් බයිබලයේ කියනවා. එහි අපිව දිරිගන්වන්නේ අනිත් අයට සමාව දෙන්න කියලයි. (ලූක් 6:37) ඔබෙන්ම මෙහෙම අහගන්න. ‘මම කැමති අකමැති දේවල් අනිත් අයත් ඒ විදිහටම පිළිගන්න ඕනෙ කියලා මම හිතනවද? අනිත් අය අතින් අඩුපාඩු වෙනවා කියලා දැනදැනම ඒ අය කරන දේවල් නිසා මම මේ තරඟය අත්හරිනවද?’ අපි යෙහෝවා දෙවිට ඇත්තටම ආදරෙයි නම් මේ තරඟය සාර්ථකව නිමා කරන එකෙන් වළක්වන්න අපි කිසිම කෙනෙකුට හෝ දේකට ඉඩ දෙන්නේ නැහැ.

සාර්ථකව තරඟය නිම කරමු

20, 21. ඔබේ අධිෂ්ඨානය මොකක්ද?

20 ඔබේ අධිෂ්ඨානයත් මේ ‘ධාවන තරඟය සාර්ථකව නිමා’ කරන එකද? (2 තිමෝ. 4:7, 8) එහෙමනම් පෞද්ගලික අධ්‍යයනය අනිවාර්යය දෙයක්. බයිබලය හා අපේ පොත් පත් පාවිච්චි කරලා කාරණා ගැන හොඳට හොයලා බලන්න. ඒ ගැන හොඳට හිතන්න. ඔබව වැටෙන්න හේතු වෙන්න පුළුවන් කාරණා හඳුනගන්න. නිතරම දෙවිගේ බලය ඉල්ලන්න. ඉඳලා හිටලා පය පැටලිලා වැටුණත් මේ තරඟය නිමා කරන්න බැරි වෙයි කියලා නම් කොහොමටවත් හිතන්න එපා. වැටුණත් අපිට පුළුවන් නැඟිටලා ආපහු මේ තරඟයේ යෙදෙන්න. වැටෙන්න පුළුවන් හේතු හොඳින් හඳුනගෙන ඒවා හදාගත්තොත් මේ තරඟය තවත් හොඳින් දුවන්න අපිට ඒක ශක්තියක් වෙයි.

21 ජයග්‍රහණය කරා යන්න පහසු ක්‍රම නැහැ කියලා මතක තියාගමු. ඒ නිසා අපි එක් එක් කෙනා මහන්සි වෙලා මේ තරඟයේ දුවන්නම ඕනෙ. එහෙම කරනවා නම් යෙහෝවා දෙවිගේ “මහත් සමාදානය” අද්දකින්න අපිට පුළුවන් වෙයි. (ගීතා. 119:165) ඒ සමාදානය අපේ මේ තරඟයට ලොකු ශක්තියක්. දැනුත්, මේ තරඟය නිමා කරන දවස දක්වාත්, සදාකාලයටත් යෙහෝවා දෙවි ආශීර්වාද කරනවා කියලා අපිට නිසැක වෙන්න පුළුවන්.—යාකො. 1:12.