Skip to content

පටුනට යන්න

එඬේරුන්ට කීකරු වන්න

එඬේරුන්ට කීකරු වන්න

“ඔබ අතරෙහි පෙරමුණ ගෙන ක්‍රියා කරන අයට කීකරු වන්න. එලෙසම ඔවුන්ට යටත් වී සිටින්න. . . . ඔවුහු ඔබ ගැන සෝදිසියෙන් සිටිති.”—හෙබ්‍රෙ. 13:17.

1, 2. යෙහෝවා දෙවි තමන්ව එඬේරෙකුට සමාන කරන්නේ ඇයි?

යෙහෝවා දෙවි තමන්ව සමාන කරන්නේ එඬේරෙකුටයි. (එස. 34:11-14) එඬේරෙක් ගැන හිතලා බැලුවොත් අපිට යෙහෝවා දෙවි මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න පුළුවන්. බැටළුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වගේ රැඳිලා තියෙන්නේ තමන්ගේ අතේ කියලා එඬේරෙක් තේරුම්ගන්නවා. උන්ව ආහාර, වතුර තියෙන තැන්වලට ගෙන යන එකවත් අලුත උපන් පැටවුන්ව පරෙස්සමෙන් රැකබලා ගන්න එකවත් කරදරයක් කියා ඔහු සිතන්නේ නැහැ. (ගීතා. 23:1, 2; යෙසා. 40:11) ඒ වගේම වනසතුන්ගෙන් උන්ව ආරක්ෂා කරන්න ඔහු දිවා රෑ නොබලා වෙහෙසෙනවා. (1 සාමු. 17:34, 35; ලූක් 2:8) එඬේරෙක් රැළෙන් මඟහැරුණ බැටළුවෙක්ව සොයාගෙන යන්නෙත් තුවාල වුණ එකෙකුට ප්‍රතිකාර කරලා රැකබලා ගන්නෙත් අපරිමිත සෙනෙහසකින්.—එස. 34:16.

2 අතීතයේ සිටි දෙවිගේ සෙනඟ අතරින් වැඩිදෙනෙක් එඬේරුන්. ඒ නිසා යෙහෝවා දෙවි තමන්ව එඬේරෙකුට සමාන කළේ ඇයි කියලා ඔවුන් තේරුම්ගත්තා. බැටළුවෙකුට ජීවිතය පවත්වගෙන යන්න එඬේරෙකුගේ රැකවරණය සහ අවධානය අවශ්‍යමයි කියලා ඔවුන් දැන සිටියා. ඒ හා සමානව මිනිසුන්ටත් යෙහෝවා දෙවිගේ රැකවරණය හා මඟ පෙන්වීම අත්‍යවශ්‍යයි. (මාක් 6:34) දෙවි එහෙම කළේ නැත්නම් මිනිසුන්ට සිද්ධ වෙන්නේ දුක් විඳින්න. හරි වැරැද්ද මොකක්ද කියලා ඔවුන්ට දැනගන්න ලැබෙන්නේ නැහැ. ඔවුන්ව ආරක්ෂා කරන්න කෙනෙක් නැහැ. මිනිසුන්ට ඉන්න වෙන්නේ හරියට “එඬේරෙක් නැති බැටළුවන්” වගේ. (1 රාජා. 22:17) ඒ වුණත් අපගේ ප්‍රේමණීය දෙවි යෙහෝවාව එඬේරෙක් කරගන්න අයට කිසි දෙයකින් අඩුවක් වෙන්නේ නැහැ.

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 යෙහෝවා දෙවි ප්‍රේමණීය එඬේරෙක් වගේ තමන්ගේ සෙනඟව රැකබලා ගන්න විදිහ අද අපිත් අද්දකිනවා. දෙවි අපිව රැකබලා ගෙන අපිට මඟ පෙන්වන්නේ කොහොමද? එයින් ප්‍රයෝජන ගන්න අපි කරන්න ඕනෙ මොනවද? ඒ ගැන දැන් අපි බලමු.

තවත් එඬේරුන්ව පත් කරයි

4. යෙහෝවා දෙවිගේ බැටළුවන්ව යේසුස් රැකබලා ගන්නේ කොහොමද?

4 දෙවි සභාවේ නායකයා විදිහට යේසුස්ව පත් කළා. (එෆී. 1:22, 23) “උතුම් එඬේරා” වන යේසුත් ඔහුගේ පියා වගේමයි. බැටළුවන් ගැන ඔහුට තියෙන්නේ පුදුමාකාර සෙනෙහසක්. ඔවුන් වෙනුවෙන් ඔහු තම ජීවිතය පූජා කළේ ඒ සෙනෙහස නිසයි. (යොහ. 10:11, 15) යේසුස්ගේ ජීවිත පූජාව මිනිසුන්ට ලැබුණ වටිනාම තෑග්ග කියලා ඔබට හිතෙන්නේ නැද්ද? (මතෙ. 20:28) යේසුස් කෙරෙහි විශ්වාසය තබන අය ‘විනාශ නොවී සදහටම ජීවත් වීම’ දෙවිගේ ආශාවයි.—යොහ. 3:16.

5, 6. (අ) තමන්ගේ බැටළුවන්ව රැකබලා ගන්න යේසුස් පත් කරලා තියෙන්නේ කාවද? යේසුස්ගේ රැකවරණයෙන් ප්‍රයෝජන ලබන්න නම් බැටළුවන් කරන්න ඕනෙ මොනවද? (ආ) වැඩිමහල්ලන් දෙන මඟ පෙන්වීම්වලට අපි කීකරු වෙන්න ඕනෙ ප්‍රධානම හේතුව මොකක්ද?

5 යේසුස් තමන්ගේ එඬේරා කියලා බැටළුවන්ට පෙන්වන්න පුළුවන් කොහොමද? “මගේ බැටළුවන් මගේ හඬට කීකරු වෙනවා. මම ඔවුන්ව හොඳින් හඳුනනවා. ඔවුන්ද මා අනුව එනවා” කියලා යේසුස් කිව්වා. (යොහ. 10:27) බැටළුවන් උතුම් එඬේරාගේ හඬට කීකරු වෙන එක ක්‍රමයක් තමයි ඔහු තම රැළ රැකබලා ගන්න පත් කරලා තියෙන එඬේරුන්ට කීකරු වෙන එක. පළවෙනි ශතවර්ෂයේ හිටපු තමන්ගේ අනුගාමිකයන්ව රැකබලා ගන්න ඔහු නියෝජිතයන් ඇතුළු ගෝලයන්ව පත් කළා. තමන්ගේ ‘කුඩා බැටළුවන්ට’ උගන්වලා ඔවුන්ව පෝෂණය කරන්න කියලා යේසුස් ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. (යොහන් 21:15-17 කියවන්න; මතෙ. 28:20) එදා ඉඳන් ශුභාරංචිය ලොව පුරා ව්‍යාප්ත වෙනවත් එක්කම තව තවත් සෙනඟ යේසුස්ගේ අනුගාමිකයන් වුණා. ඔවුන්ව රැකබලා ගන්න අවබෝධයෙන් ක්‍රියා කරන එඬේරුන් පිරිසක් පත් කරන්න යේසුස් පියවර ගත්තා.—එෆී. 4:11, 12.

6 යේසුස් ඒක කරන්නේ කොහොමද? එෆීසයේ වැඩිමහල්ලන්ට පාවුල් කියපු දේකින් ඒක පැහැදිලි වෙනවා. ඔහු කිව්වේ “දෙවි තම බලයෙන් ඔබව පත් කර තිබෙන්නේ ඔහුගේ සභාව රැකබලා ගැනීමට” කියලයි. (ක්‍රියා 20:28) අද ඉන්න වැඩිමහල්ලන්ව පත් කරලා තියෙන්නෙත් දෙවිගේ බලයෙන්. ඒකට හේතුව දෙවිගේ බලයෙන් ලියවුණ බයිබලයේ සඳහන් සුදුසුකම්වලට අනුව ඔවුන්ව පත් කරලා තියෙන නිසයි. අපි වැඩිමහල්ලන්ට කීකරු වීමෙන් පෙන්වන්නේ යෙහෝවා දෙවිට සහ යේසුස්ට කීකරු වෙනවා කියන එකයි. (ලූක් 10:16) අපි වැඩිමහල්ලන්ට කැමැත්තෙන්ම කීකරු වෙන්න ඕනෙ ප්‍රධානම හේතුවත් ඒකයි. ඒකට අමතරව තවත් හේතු තියෙනවා.

7. දෙවි සමඟ තියෙන බැඳීම ශක්තිමත්ව තියාගන්න වැඩිමහල්ලන් ඔබට උපකාර කරන්නේ කොහොමද?

7 වැඩිමහල්ලන් සභාවේ අයට දිරිගැන්වීම් හා මඟ පෙන්වීම් දෙන්න පාවිච්චි කරන්නේ බයිබලයයි. එහෙම නැතුව වැඩිමහල්ලන්ට කැමති විදිහට වැඩ කරන්න කියලා ඔවුන් සභාවේ අයට කියන්නේ නැහැ. (2 කොරි. 1:24) ඔවුන් නිතරම උත්සාහ කරන්නේ බයිබල් ප්‍රතිපත්ති තේරුම් අරගෙන ඒ අනුව තීරණ ගන්න සභාවේ අයට උදව් කරන්නයි. එකමුතු වෙලා සාමකාමීව දේවල් කරන්න හැමෝටම ඒක උපකාරයක්. (1 කොරි. 14:33, 40) බයිබලයේ කියන්නේ වැඩිමහල්ලන් “ඔබ ගැන සෝදිසියෙන් සිටිති” කියලයි. ඒකෙන් අදහස් කරන්නේ දෙවි එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න ඔවුන් සභාවේ ඉන්න එක් එක් කෙනාට උදව් කරනවා කියන එකයි. ඒ නිසා කවුරු හරි වැරදි තීරණයක් ගන්න යනවා නම් එහෙම නැත්නම් දැනටමත් වැරදි තීරණයක් අරගෙන තියෙනවා නම් ඒ අයට ඉක්මනින්ම උදව් කරන්න වැඩිමහල්ලන් පියවර ගන්නවා. (ගලා. 6:1, 2; යූද් 22) ‘අප අතරෙහි පෙරමුණ ගෙන ක්‍රියා කරන අයට කීකරු වන්න’ අපිට මොන තරම් හේතු තියෙනවද!—හෙබ්‍රෙව් 13:17 කියවන්න.

8. වැඩිමහල්ලන් සභාව ආරක්ෂා කරන්නේ කොහොමද?

8 පාවුල් කොලොස්සි සභාවේ අයට මෙහෙම කිව්වා. “ඔබ පරෙස්සම් විය යුතුයි. නැත්නම් සතෙක් ගොදුරක් ඩැහැගෙන යන ආකාරයට යම් කෙනෙක් දර්ශන සහ මුළා කරවනසුලු මෙන්ම හිස් මතිමතාන්තර යොදාගෙන ඔබව ගොදුරු කරගත හැකියි. ඒවාට පදනම සපයන්නේ මිනිසුන්ගේ සම්ප්‍රදායන් හා මිනිස් සමාජයේ මූලධර්මයන්ය. නමුත් ඒවා ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට පටහැනිය.” (කොලො. 2:8) යෙහෝවා දෙවිගෙන් ඔබව ඈත් කරන්න උත්සාහ කරන අයගෙන් ඔබව ආරක්ෂා කරන්න වැඩිමහල්ලන් හුඟක් වෙහෙසෙනවා. අපි ඔවුන්ට කීකරු වෙන්න ඒකත් ප්‍රධාන හේතුවක්. තමන්ගේ විශ්වාසය දුර්වල කරගෙන ඉන්න අයව ගොදුරු කරගන්න බලාගෙන ඉන්න “බොරු අනාගතවක්තෘවරු” සහ “බොරු ගුරුවරු” ගැන පේතෘස් අනතුරු ඇඟෙව්වා. (2 පේතෘ. 2:1, 14) අදත් වැඩිමහල්ලන් ඒ වගේ අය ගැන අනතුරු අඟවනවා. වැඩිමහල්ලන් කියන්නේ ජීවිතේ හුඟක් අද්දැකීම් තියෙන ඥානවන්තව වැඩ කරන පිරිසක්. ඔවුන්ව පත් කරලා තියෙන්නේ ඔවුන් බයිබලයේ ඇති තොරතුරු හොඳින් තේරුම් අරගෙන එහි ඇති සත්‍යයන් උගන්වන්න සුදුසුකම් ලබාගෙන තියෙන නිසයි. (1 තිමෝ. 3:2; තීත. 1:9) ඔවුන් අවබෝධයෙන් වැඩ කරන, සමබරව හිතන, බයිබලය මත පදනම්ව තීරණ ගන්න නිසා සභාවේ අයට අවශ්‍ය මඟ පෙන්වීම් දෙන්න ඔවුන්ට පුළුවන්.

එඬේරෙක් තමන්ගේ රැළ රැකබලා ගන්නවා වගේ වැඩිමහල්ලන් සභාවේ අයව ආරක්ෂා කරනවා (8 ඡේදය බලන්න)

උතුම් එඬේරා රැළ පෝෂණය කර ආරක්ෂා කරයි

9. යේසුස් අද දින සභාව පෝෂණය කරන්නෙත් ආරක්ෂා කරන්නෙත් කොහොමද?

9 ලොව පුරාම ඉන්න දෙවිගේ සෙනඟට උගන්වලා ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම් හා උපදෙස් දෙන්න යෙහෝවා දෙවි යොදාගන්නේ ඔහුගේ සංවිධානයයි. සංවිධානයේ ප්‍රකාශනවලින් අපි හැමෝටම මඟ පෙන්වීම් රාශියක් ලැබෙනවා. ඊට අමතරව කාලෙන් කාලෙට සභාවේ වැඩිමහල්ලන්ටත් විශේෂ මඟ පෙන්වීම් ලැබෙනවා. සංවිධානය ඒවා ඔවුන්ට ලබා දෙන්නේ ලිපි මාර්ගයෙන් සහ චාරිකා සේවක මාර්ගයෙන්. ඒ මඟ පෙන්වීම් නිසා අවසානයේදී සභාව ප්‍රයෝජන ලබනවා.

10. සභාවෙන් ඈත් වුණ අය ගැන වැඩිමහල්ලන්ට තියෙන වගකීම මොකක්ද?

10 බැටළුවන්ව ආරක්ෂා කරගන්නත් රැකබලා ගන්නත් වැඩිමහල්ලන්ට තියෙන්නේ බාරදූර වගකීමක්. ඒ නිසා කෙනෙක්ගේ විශ්වාසය දුර්වල වෙලා නම්, කෙනෙක් අතින් බරපතළ වරදක් වෙලා නම් ඒ වගේ අය ගැන ඔවුන් විශේෂ සැලකිල්ලක් දක්වනවා. (යාකොබ් 5:14, 15 කියවන්න.) සමහරුන් දෙවිට සේවය කරන එක නතර කරලා සභාවෙන් ඈත් වෙලා ඉන්නවා. ප්‍රේමණීය එඬේරෙක් ඒ වගේ අයව හොයාගෙන ගිහින් ඔවුන්ව ආයෙත් සභාවට ළං කරන්න ඔහුට කරන්න පුළුවන් හැම දේම කරනවා. “කුඩා දරුවන් හා සමාන මේ අයගෙන් එක් කෙනෙකුවත් විනාශ වෙනවාට ස්වර්ගයේ සිටින මගේ පියාණන් කැමති නැහැ” කියලා යේසුස් කිව්ව දේ වැඩිමහල්ලන් අමතක කරන්නේ නැහැ.—මතෙ. 18:12-14.

අඩුපාඩු දිහා බලන්න එපා

11. වැඩිමහල්ලන්ට කීකරු වෙන එක අමාරුයි කියලා සමහරුන්ට හිතෙන්නේ ඇයි?

11 යෙහෝවා දෙවි හා යේසුස් පරිපූර්ණ එඬේරුන් වුණත් සභාව රැකබලා ගන්න ඔවුන් යොදාගන්න එඬේරුන් නම් පරිපූර්ණ අය නෙවෙයි. වැඩිමහල්ලන්ගේ අඩුපාඩු නිසා ඔවුන්ට කීකරු වෙන එක අමාරු දෙයක් කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්. ‘වැඩිමහල්ලන් කියන්නේ අපි වගේම දුර්වලකම් තියෙන අය. අපි මොකටද ඒගොල්ලන්ට කීකරු වෙන්නේ’ කියලා ඔවුන් හිතනවා. ඇත්ත, වැඩිමහල්ලන් අසම්පූර්ණයි තමයි. ඒත් අපි ඔවුන්ගේ දුර්වලකම් ගැන ඕනෑවට වඩා හිතන්න හොඳ නැහැ.

12, 13. (අ) අතීතයේදී දෙවිගේ සෙනඟ අතර පෙරමුණ අරන් වැඩ කරපු අය අතින් සිදු වුණේ මොන වගේ වැරදිද? (ආ) ඒ වැරදි යෙහෝවා දෙවි බයිබලයේ වාර්තා කරලා තියෙන්නේ ඇයි?

12 අතීතයේදී තම සෙනඟට මඟ පෙන්වන්න දෙවි තෝරගත්ත අය අතින් වුණ වැරදි හංගන්නේ නැතුව බයිබලයේ සඳහන් කරලා තියෙනවා. දාවිත් ඒ වගේ කෙනෙක්. ඔහු වෙනත් කෙනෙක්ගේ බිරිඳක් එක්ක අනාචාරයේ යෙදුණා විතරක් නෙවෙයි ඇගේ සැමියවත් මරලා දැම්මා. (2 සාමු. 12:7-9) පේතෘස් ගැන හිතන්න. ඔහුට සභාවේ මොන තරම් වගකීම් භාර දීලා තිබුණද! ඒත් ඔහු අතිනුත් බරපතළ වැරදි සිද්ධ වුණා. (මතෙ. 16:18, 19; යොහ. 13:38; 18:27; ගලා. 2:11-14) ආදම් සහ ඒවගෙන් පසුව යේසුස් හැර වෙන කිසිම පරිපූර්ණ මිනිසෙක් සිටියේ නැහැ කියලා අපි මතක තියාගමු.

13 ඒ වගේ අයගේ වැරදි හංගන්නේ නැතුව යෙහෝවා දෙවි බයිබලයේ සඳහන් කරලා තියෙන්නේ ඇයි? ඒකට එක හේතුවක් තමයි අසම්පූර්ණ මිනිසුන්ව යොදාගෙන වුණත් තමන්ගේ සෙනඟව රැකබලා ගන්න දෙවිට පුළුවන් කියන දේ අපිට තේරුම් කරලා දෙන්න. ඒ නිසා වැඩිමහල්ලන්ට විරුද්ධව දේවල් කියන්න, එහෙම නැත්නම් ඔවුන්ට තියෙන අධිකාරිය සුළු කරන්න, ඔවුන්ගේ අඩුපාඩු හේතුවක් කරගන්න එපා. ඔවුන්ට ගෞරව කරන එකත් කීකරු වෙන එකත් යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා.—නික්මයාම 16:2, 8 කියවන්න.

14, 15. අතීතයේදී දෙවි තමන්ගේ සෙනඟට මඟ පෙන්වීම් දුන්න විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

14 වැඩිමහල්ලන්ට කීකරු වෙන එක අත්‍යවශ්‍යම දෙයක් කියන්නේ ඇයි? අතීතයේදී දෙවිගේ සෙනඟ අමාරු තත්වයන්ට මුහුණ දුන්න අවස්ථාවලදී ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න අවශ්‍ය මඟ පෙන්වීම් යෙහෝවා දෙවි දුන්නේ කොහොමද? හිතන්න, ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිට වුණ අවස්ථාව ගැන. ඔවුන්ට උපදෙස් දෙන්න දෙවි ඒ අවස්ථාවේදී යොදාගත්තේ මෝසෙස්ව සහ ආරොන්ව. දහවෙනි පීඩාවෙන් බේරෙන්න කළ යුතු දේවල් සම්බන්ධයෙන් මඟ පෙන්වීම් සෙනඟට ලැබුණෙත් ඔවුන් මාර්ගයෙන්. බැටළුවෙක්ව මරලා විශේෂ කෑමක් පිළියෙල කරන්න කියලත් උගේ ලේ උළුවහුවල ගාන්න කියලත් දෙවි කෙළින්ම ඇවිත් ඔවුන්ට කිව්වේ නැහැ. දෙවි ඒ උපදෙස් මෝසෙස්ට දුන්නට පස්සේ ඔහු ඒවා වැඩිමහල්ලන්ටත් වැඩිමහල්ලන් ඒවා සෙනඟටත් ලබා දුන්නා. (නික්. 12:1-7, 21-23, 29) එදා වගේ අදත් තම සෙනඟට මඟ පෙන්වීම් දෙන්න දෙවි යොදාගන්නේ වැඩිමහල්ලන්වයි.

15 මිනිසුන්ව නැත්නම් දේවදූතයන්ව යොදාගෙන දෙවි තම සෙනඟට මඟ පෙන්වීම් දුන්න තවත් අවස්ථා මතකද? ඒ හුඟක් අවස්ථාවලදී ඔවුන් ලබා දුන්න මඟ පෙන්වීම් පිළිපැද්ද නිසා ජීවිත බේරුණා. ඒ අවස්ථාවලදී දෙවිගේ නාමය නියෝජනය කරලා කතා කරන්නත් භයානක අවස්ථාවලදී කළ යුතු දේ ගැන මඟ පෙන්වීම් දෙන්නත් අවශ්‍ය බලතල, අධිකාරිය දෙවි ඒ අයට ලබා දුන්නා. හර්–මගෙදොන් යුද්ධය අතරතුරේදීත් දෙවි ඒ විදිහටම කරයි කියලා අපිට හිතන්න පුළුවන්. අද දිනත් යෙහෝවා දෙවි හා ඔහුගේ සංවිධානය නියෝජනය කරන්නේ වැඩිමහල්ලන්. ඒත් තමන්ට දීලා තියෙන අධිකාරිය ඉක්මවලා වැඩ කරන්නේ නැතුව ඉන්න වැඩිමහල්ලන් හුඟක් පරෙස්සම් වෙනවා.

“එක එඬේරෙක් යටතේ”

16. අපි ඇහුම්කන් දෙන්න ඕනෙ “හඬ” මොකක්ද?

16 යෙහෝවා දෙවිගේ සෙනඟ “එක එඬේරෙක් යටතේ සිටින එක රැළක්.” (යොහ. 10:16) “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම” තම සෙනඟ එක්ක ඉන්නවා කියලා ඒ එඬේරා වන යේසුස් පොරොන්දු වුණා. (මතෙ. 28:20) සාතන්ගේ මේ දුෂ්ට සමාජය විනාශ කරන්න ඔහු පැමිණෙන දවස එනකල් සිදු වන හැම දෙයක්ම තියෙන්නේ යේසුස්ගේ අතේ. ඔහු යටතේ එකමුතුව, ආරක්ෂා සහිතව ඉන්න අපිට පුළුවන් කොහොමද? බයිබලයේ ඒකට උත්තර දෙන්නේ මෙහෙමයි. “ඔබට පිටුපසින් මෙසේ කියන හඬක් ඇසෙයි. ‘ජනයෙනි, යා යුතු හරි මඟ මම ඔබට පෙන්වන්නෙමි. ඒ මාර්ගයේ ගමන් කරන්න.’” අපට මඟ පෙන්වීම් දෙන ඒ “හඬ” මොකක්ද? ඒකට දෙවි අපිට බයිබලයෙන් උගන්වන දේවල් වගේම වැඩිමහල්ලන් මගින් කියා දෙන දේවලුත් ඇතුළත්.—යෙසායා 30:21; එළිදරව් 3:22 කියවන්න.

පියෙක් නැති පවුල්වල දරුවන්ව නරක ආශ්‍රයෙන් ආරක්ෂා කරගන්න වැඩිමහල්ලන් වෙහෙසෙනවා (17 සහ 18 ඡේද බලන්න)

17, 18. (අ) අද අපි ඉන්නේ මොන වගේ අනතුරුදායක තත්වයකද? ඒත් අපිට නිසැක වෙන්න පුළුවන් මොනවා ගැනද?

17 සාතන් “ගොරවන සිංහයෙකු මෙන් කවරෙකුව හෝ ගිල දැමීමට සොයමින්” සිටිනවා. (1 පේතෘ. 5:8) කුසගින්නේ ඉන්න දරුණු වනමෘගයෙක් වගේ ඉන්න සාතන්ට ඕනෙ යේසුස්ගේ බැටළුවන්ව ගොදුරු කරගන්න. ඒකට ඔහු බැටළුවෙක් දුර්වල වෙනකල් එහෙම නැත්නම් රැළෙන් ටිකක් ඈත් වෙනකල් බලාගෙන ඉන්නවා. ඒ නිසා සභාවටත් අපේ ජීවිත ‘රැකබලා ගන්නා එඬේරාටත්’ කිට්ටුවෙන් ඉන්න එක කොච්චර වැදගත්ද! (1 පේතෘ. 2:25) මහත් පීඩාවෙන් ගැලවෙන අය ගැන එළිදරව් 7:17හි කියන්නේ මෙහෙමයි. යේසුස් “එඬේරෙකු මෙන් ඔවුන්ව රැකබලා ගෙන ඔවුන්ව ජීවන වතුර ඇති උල්පත්වලට ගෙන යන්නේය. දෙවිද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය.” ඒක මොන තරම් වටිනා බලාපොරොත්තුවක්ද!

18 දෙවිගේ රැළ රැකබලා ගන්න වැඩිමහල්ලන්ට පැවරිලා තියෙන්නේ බාරදූර වගකීමක්. තමන් යටතේ ඉන්න බැටළුවන්ව ආදරයෙන් බලාගන්න ඔවුන්ට පුළුවන් කොහොමද? අපි ඒ ගැන ඊළඟ ලිපියෙන් බලමු.