Skip to content

පටුනට යන්න

එඬේරුන් සත්දෙනා සහ අධිපතීන් අටදෙනා

එඬේරුන් සත්දෙනා සහ අධිපතීන් අටදෙනා

“අපේ සෙනඟ අතරින් ඔවුන්ට විරුද්ධව නැඟී සිටීමට අපි එඬේරුන් සත්දෙනෙකුව පත් කරන්නෙමු. අධිපතීන් අටදෙනෙකුව පත් කරන්නෙමු.”—මීකා 5:5.

1. සිරියාවේ සහ ඊශ්‍රායෙලයේ රජුන්ගේ කුමන්ත්‍රණය අසාර්ථක වුණේ කුමන හේතුව නිසාද?

ක්‍රිස්තු පූර්ව 762ත් 759ත් අතර කාලයේ එක්තරා අවස්ථාවක ඊශ්‍රායෙලයේ රජ සහ සිරියාවේ රජ යූදා රාජ්‍යයට විරුද්ධව යුද්ධයට පැමිණියා. ඔවුන්ගේ අරමුණ වුණේ යෙරුසලම යටත් කරගෙන ආහස් රජ වෙනුවට වෙනත් රජ කෙනෙකුව පත් කිරීමයි. සමහරවිට දාවිත්ගෙන් පැවතෙන්නන්ට උරුමව තිබූ රජකම ඒ පරම්පරාවෙන් පැහැරගැනීමේ යටි අරමුණත් ඔවුන්ට තිබෙන්න ඇති. (යෙසා. 7:5, 6) නමුත් ඔවුන්ගේ කුමන්ත්‍රණය අසාර්ථක වුණේ දාවිත්ගෙන් පැවතෙන්නන්ට සදහටම රජකම දීමට යෙහෝවා දෙවි දී තිබූ පොරොන්දුව නිසයි. දෙවි පැවසූ දෙයක් කිසි දිනක ඉටු නොවී තිබෙන්නේ නැහැ.—යොෂු. 23:14; 2 සාමු. 7:16.

2-4. යෙසායා 7:14-16හි සඳහන් අනාවැකිය (අ) යෙසායාගේ කාලයේදීත් (ආ) යේසුස්ගේ කාලයේදීත් ඉටු වුණේ කෙසේද?

2 බැලූ බැල්මට දක්නට තිබුණේ සිරියාව සහ ඊශ්‍රායෙලය ජය ගනියි කියායි. එක් අවස්ථාවක යූදා සෙබළු 1,20,000ක් මරා දමන්න ඔවුන්ට හැකි වුණා. ආහස් රජුගේ පුත්‍රයෙක් වූ මයසේයාවත් ඔවුන් ඝාතනය කළා. (2 ලේක. 28:6, 7) නමුත් යෙහෝවා දෙවි දාවිත්ට වූ පොරොන්දුව සිහි කරමින් යෙසායා මාර්ගයෙන් මේ අනාවැකිය පැවසුවා.

3 ‘තරුණිය ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නීය. ඇය ඔහුට එම්මානුවෙල් යන නම තබනු ඇත. හරි වැරැද්ද අතර වෙනස තේරුම්ගත හැකි වයසට දරුවා පැමිණෙන්නත් කලින් ඔබව මහත් සේ බියට පත් කළ මේ රජුන් දෙදෙනාගේම දේශයන් පාළුවට යන්නේය.’ (යෙසා. 7:14-16) එම අනාවැකියේ මුල් කොටස අදාළ වෙන්නේ මෙසියස්ගේ උපතටයි. (මතෙ. 1:23) නමුත් සිරියාව සහ ඊශ්‍රායෙලය යූදා රාජ්‍යයට විරුද්ධව යුද්ධයට පැමිණියේ යේසුස්ගේ කාලයේ නොවෙයි. එමනිසා එම්මානුවෙල් ගැන කිවූ අනාවැකියේ ඉටු වීමක් යෙසායාගේ කාලයේදීත් සිදු විය යුතුව තිබුණා.

4 එම අනාවැකිය පවසා ටික කාලයකින් යෙසායාගේ බිරිඳට දරුවෙක් ලැබුණා. ඒ දරුවාට නම තැබුවේ මහෙර්-ෂාලල්-හෂ්-බස් කියායි. යෙසායා පැවසූ අනාවැකියේ සඳහන් “එම්මානුවෙල්” ඒ දරුවා විය හැකියි. * අතීතයේදී දරුවෙක් ඉපදෙන අවස්ථාවේදී ඔහුට තබන නමට අමතරව වෙනත් නමකින්ද ඒ දරුවාව අමතන්න දෙමාපියන් සහ නෑදෑයන් පුරුදු වී සිටියා. (2 සාමු. 12:24, 25) නමුත් යේසුස්ව එම්මානුවෙල් යන නමින් හැඳින්වූ බවට සාක්ෂි නැහැ.—යෙසායා 7:14; 8:3, 4 කියවන්න.

5. ආහස් රජ ගත් අනුවණ තීරණය කුමක්ද?

5 ඊශ්‍රායෙලය සහ සිරියාව, යූදා දේශය ආක්‍රමණය කිරීමට සැරසී සිටි කාලයේදීම ඇසිරියාවත් ලෝක බලයක් ලෙස වර්ධනය වෙමින් තිබුණා. යෙසායා 8:3, 4හි සඳහන් අනාවැකියට අනුව යෙහෝවා දෙවි ඇසිරියාව යොදාගෙන ඊශ්‍රායෙලය සහ සිරියාව පරාජය කිරීමට සැලසුම් කර තිබුණා. නමුත් යෙහෝවා දෙවිව විශ්වාස කරනවා වෙනුවට ආහස් රජ ඇසිරියාව සමඟ ගිවිසුමක් ඇති කරගත්තේ අනුවණ ලෙස ක්‍රියා කරමිනුයි. එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේදී ඇසිරියාව විසින් යූදා දේශයත් යටත් කරගත්තා. (2 රාජා. 16:7-10) එඬේරෙක් ලෙස ආහස් රජ තම සෙනඟව ආරක්ෂා කිරීමට අසමත් වුණා. ‘වැදගත් තීරණයක් ගැනීමට පෙර මමත් විශ්වාසය තබන්නේ දෙවි මතද නැත්නම් මිනිසුන් මතද’ කියා අපෙන්ම අසාගැනීම සුදුසු දෙයක් නොවෙයිද?—හිතෝ. 3:5, 6.

දෙවිව විශ්වාස කළ එඬේරෙක්

6. ආහස් රජට වෙනස්ව හොඳ එඬේරෙක් වීමට හෙසකියාට හැකි වුණේ කෙසේද?

6 ආහස්ගේ මරණයත් සමඟම ආරම්භ වුණේ ඔහුගේ පුත් හෙසකියාගේ පාලන සමයයි. ඒ වන විට යූදා දේශයේ ආර්ථිකය බිඳ වැටී ඔවුන් දිලිඳු ජාතියක්ව සිටියා. එසේම යෙහෝවා දෙවිට නමස්කාර කිරීමත් ඔවුන් නවතා තිබුණා. රජ වූ විගසම හෙසකියා මුල් තැන දුන්නේ දේශයේ ආර්ථිකය ශක්තිමත් කිරීමටද? නැහැ. ඔහු මුලින්ම කළේ දෙවි වෙතට ළං වෙන්න සෙනඟට උපකාර කිරීමයි. යෙහෝවා දෙවිට බොහෝ සෙයින් ප්‍රේම කළ හෙසකියා රජ සෙනඟට හොඳ එඬේරෙක් වුණා. දෙවි තමාගෙන් බලාපොරොත්තු වන දේ තේරුම්ගත් විගසම ඒ අනුව ක්‍රියා කරන්න ඔහු පියවර ගත්තා.—2 ලේක. 29:1-19.

7. රජුගේ සහය ලෙවීවරුන්ට අවශ්‍ය වුණේ ඇයි?

7 යෙහෝවා දෙවි වෙතට සෙනඟව නැවත ළං කිරීමේ වගකීම පැවරී තිබුණේ ලෙවීවරුන්ටයි. එමනිසා ඔවුන්ට සම්පූර්ණ සහය ලබා දීමට හෙසකියා පොරොන්දු වුණා. ‘තමන් ඉදිරියේ දිගටම සේවය කරන්න යෙහෝවා දෙවි තෝරාගෙන තිබෙන්නේ ඔබවයි’ කියා රජු පවසද්දී විශ්වාසවන්ත ලෙවීවරුන්ගේ දෑස් සතුටු කඳුළින් බර වෙන්න ඇති. (2 ලේක. 29:11) සැබෑ දෙවිට ළං වීමට සෙනඟට උපකාර කිරීම සඳහා ලෙවීවරුන්ට රජුගෙන් පැහැදිලි ආඥාවක් ලැබුණා.

8. සෙනඟව දෙවිට ළං කිරීම සඳහා හෙසකියා රජ කළ තවත් දේවල් මොනවාද? එහි ප්‍රතිඵලය කුමක්ද?

8 පාස්කු උත්සවය දේශයේ මහත් උත්සවශ්‍රීයෙන් පවත්වන්න හෙසකියා කටයුතු කළා. ඉන්පසුව දින හතක් පුරා පැවති මුහුන් නොදැමූ රොටි උත්සවය නිසා ඔවුන් කොතරම් ප්‍රීති වුණාද කියනවා නම් තවත් දින හතක් පුරා එම උත්සවය පැවැත්වූවා. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙලෙසයි. “යෙරුසලමෙහි රැස්ව සිටි සියලුදෙනා ප්‍රීතියෙන් ඉපිල ගියෝය. ඊශ්‍රායෙල්හි රජු වූ දාවිත්ගේ පුත් සලමොන්ගේ කාලයෙන් පසු යෙරුසලමෙහි මෙතරම් උත්කර්ෂවත් අවස්ථාවක් දක්නට ලැබුණු ප්‍රථම වතාව මෙය විය.” (2 ලේක. 30:25, 26) එම උත්සවය නිසා සෙනඟට මහත් දිරිගැන්වීමක් ලැබෙන්න ඇති. 2 ලේකම් 31:1හි සඳහන් වන ආකාරයට එම උත්සවය අවසන් වූ සැණින්ම ඔවුන් “බොරු නමස්කාරය සඳහා එහි ඉදි කර තිබූ කණු සහ කුලුනු කඩා දමා, පූජනීය ස්ථානද පූජාසනද මුළුමනින්ම විනාශ කළෝය.” යූදා සෙනඟ ජාතියක් ලෙස නැවතත් යෙහෝවා දෙවි වෙතට හැරී ආවා. ඉදිරියේදී පැමිණීමට නියමිතව තිබූ කරදරකාරී කාලයට මුහුණ දෙන්නත් එය ඔවුන්ට මහත් උපකාරයක් වූ බවට සැකයක් නැහැ.

රජුගේ පෙර සූදානම

9. (අ) ඊශ්‍රායෙලයේ සැලසුම් ව්‍යර්ථ වුණේ කෙසේද? (ආ) සෙනකෙරිබ් මුළු යූදා දේශය අල්ලාගනියි කියා පෙනෙන්න තිබුණේ කෙසේද?

9 යෙසායා පැවසූ ලෙස ඇසිරියානුවන් ඊශ්‍රායෙලය යටත් කරගෙන සෙනඟව වහලුන් ලෙස ගෙන ගියා. ඒත් සමඟම යූදා දේශය අල්ලාගෙන දාවිත්ගේ පරපුරේ අයට උරුමව තිබූ රජකම පැහැරගැනීමට ඊශ්‍රායෙලය විසින් ඇඳ තිබූ සියලු සැලසුම් ව්‍යර්ථ වුණා. නමුත් නොසිතූ ලෙස ඇසිරියානුවන් යූදා දේශය වෙතටත් හැරී එය යටත් කරගැනීමට පැමිණෙමින් සිටියා. ඒ ගැන බයිබලයේ පවසන්නේ මෙසේයි. “ඇසිරියාවේ රජු වූ සෙනකෙරිබ්, යූදා දේශයේ පවුරුවලින් වට වී තිබූ සුරක්ෂිත නුවරවලට විරුද්ධව යුද්ධ කර ඒවා යටත් කරගත්තේය.” ඔවුන් යූදා දේශයේ නගර 46ක් එකිනෙක අල්ලාගනිමින් ඉදිරියට පැමිණෙමින් සිටියා.—2 රාජා. 18:13.

10. මීකාගේ අනාවැකිය හෙසකියාට දිරිගැන්වීමක් වෙන්න ඇත්තේ ඇයි?

10 හෙසකියාට බියක් දැනුණත් ඔහු කලබල වුණේවත් තම පියා කළාක් මෙන් වෙනත් ජාතීන්ගේ උපකාර පැතුවේවත් නැහැ. ඒ වෙනුවට සම්පූර්ණ විශ්වාසය යෙහෝවා දෙවි මත තැබුවා. (2 ලේක. 28:20, 21) ඔවුන්ගේ සතුරා වූ ‘ඇසිරියානුවන්ව’ පරාජය කරන ආකාරය ගැන මීකා පැවසූ මෙම වචන ඔහුට මහත් දිරිගැන්වීමක් වුණා. “අපේ සෙනඟ අතරින් ඔවුන්ට විරුද්ධව නැඟී සිටීමට අපි එඬේරුන් සත්දෙනෙකුව පත් කරන්නෙමු. අධිපතීන් අටදෙනෙකුව පත් කරන්නෙමු. ඔවුහු ඇසිරියාවට කඩුවෙන් පහර දෙන්නෝය.” (මීකා 5:5, 6) එයින් අදහස් කළේ යෙහෝවා දෙවි වෙනස්ම ආකාරයේ හමුදාවක් යොදාගෙන ඇසිරියානුවන්ව පරාජය කරන බවයි.

11. එඬේරුන් සත්දෙනා සහ අධිපතීන් අටදෙනා ගැන සඳහන් අනාවැකියේ වඩාත් වැදගත්ම ඉටු වීම සිදු වන්නේ කවදාද?

11 කොහොමවුණත් එඬේරුන් සත්දෙනා සහ අධිපතීන් අටදෙනා ගැන සඳහන් ඒ අනාවැකියේ වඩා වැදගත්ම ඉටු වීම සිදු වීමට නියමිතව තිබුණේ “ඊශ්‍රායෙල් පාලනය කිරීමට නියමිත තැනැත්තා” වන යේසුස්ගේ උපතට බොහෝ කාලයකට පසුවයි. (මීකා 5:1, 2 කියවන්න.) ඇත්තටම එය සිදු වන්නේ අනාගතයේදීයි. එනම් ‘ඇසිරියානුවන්ගෙන්’ නියෝජනය වන දෙවිගේ සතුරා, දෙවිගේ සෙනඟට ප්‍රහාරයක් එල්ල කරන අවස්ථාවේදීයි. එම සතුරාව පරාජය කිරීමට යෙහෝවා දෙවි යොදාගන්නේ තම පුත්‍රයාගේ නායකත්වය යටතේ යුධ වදින කුමන හමුදාවද? මේ ලිපියේ අවසාන කොටසේ එයට පිළිතුරු ලැබෙයි.

රජ ගත් ඥානවන්ත පියවර

12. හෙසකියා රජ සහ ඔහු සමඟ සිටි අනික් අය සෙනඟගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාද?

12 අප අද්දකින ප්‍රශ්න ගැටලුවලදී අපට උපකාර කරන්න යෙහෝවා දෙවි කැමැත්තෙන් ඉන්නවා. නමුත් ප්‍රශ්න විසඳාගැනීම සඳහා අපට කළ හැකි සියල්ල අප කරයි කියාත් දෙවි බලාපොරොත්තු වෙනවා. හෙසකියා එසේ කළා. ඔහු තම “අධිපතීන්ගේ හා එඩිතර පුරුෂයන්ගේ” උපදෙස් ගත් බවත් ඒ අනුව “නුවරෙන් පිටත තිබූ දිය උල්පත් වසා දැමීමට” ක්‍රියා කළ බවත් බයිබලයේ සඳහන් වෙනවා. “මුහුණ දෙමින් සිටි තත්වය හමුවේ හෙසකියා රජ එඩිතරව ක්‍රියා කළේය. ඔහු ගරාවැටුණු පවුර නැවතත් ගොඩනඟා ඒ මත මුරටැඹවල්ද පිටතින් තවත් පවුරක්ද ගොඩනැඟුවේය.” එතැනින් නතර නොවූ හෙසකියා “බොහෝ ඊතලද පලිස්ද සෑදුවේය.” (2 ලේක. 32:3-5) එම අසීරු කාලය අතරතුර තම සෙනඟව ආරක්ෂා කර, රැකබලා ගන්න යෙහෝවා දෙවි හෙසකියා රජුව, අධිපතීන්ව සහ විශ්වාසවන්ත අනාගතවක්තෘවරුන්ව යොදාගත්තා.

13. ඇසිරියානුවන්ගේ ප්‍රහාරයට මුහුණ දීමට සෙනඟව සූදානම් කිරීමේදී හෙසකියා කළ වැදගත්ම දේ කුමක්ද? පැහැදිලි කරන්න.

13 නගරයේ ජලය පිටතට යෑම නවතා දමා පවුරු ශක්තිමත් කරනවාට වඩා වැදගත් දෙයක් හෙසකියා කළා. එනම් තම සෙනඟව දිරිගැන්වීමයි. යහපත් එඬේරෙක් තම බැටළුවන්ව එක් කරගන්නා සේ ඔහු තම සෙනඟව එක් කර මෙසේ පැවසුවා. “කිසි දෙයකට භය වෙන්න එපා. ඇසිරියාවේ රජුටවත් ඔහු සමඟ ඉන්න සමූහයටවත් භය වෙන්න ඔබට කිසිම හේතුවක් නැහැ. ඔහු සමඟ ඉන්න සමූහයට වඩා බලවත් පිරිසක් අප සමඟ ඉන්නවා. ඇසිරියාවේ රජු බලවත්ව ඉන්නේ ඔහුගේ හමුදාව නිසයි. නමුත් අපි වෙනුවෙන් සටන් කරන්නේ අපේ දෙවි වන යෙහෝවායි. ඔහු අපේ උපකාරයට ඉන්නවා.” හෙසකියා එසේ පැවසුවේ දෙවි ඔවුන් වෙනුවෙන් සටන් කරන බව ඔවුන්ට මතක් කර දීමටයි. දෙවි කෙරෙහි විශ්වාසය තබා නිර්භීතව ක්‍රියා කරන්න සෙනඟට එය මහත් සේ උපකාරවත් වුණා. දෙවි තම අනාගතවක්තෘ මාර්ගයෙන් පැවසූ දේ සැබෑවක් කරමින් හෙසකියා, ඔහුගේ අධිපතීන්, එඩිතර පුරුෂයන් මෙන්ම මීකා, යෙසායා වැනි අයත් සෙනඟට යහපත් එඬේරුන් වුණා.—2 ලේක. 32:7, 8; මීකා 5:5, 6 කියවන්න.

දෙවි කෙරෙහි විශ්වාසය තබා නිර්භයව සිටීමට හෙසකියා සෙනඟව දිරිගැන්නුවා (12 සහ 13 ඡේද බලන්න)

14. රබ්ෂාකේ සෙනඟට පැවසුවේ මොනවාද? සෙනඟ ඊට දැක්වුවේ මොන වගේ ප්‍රතිචාරයක්ද?

14 සෙනකෙරිබ් ඇතුළු හමුදාව යෙරුසලමට නිරිතදිගින් පිහිටි ලාකිෂ්වල කඳවුරු බැඳගත්තා. ඉන්පසු ඔහු පණිවිඩකරුවන් තිදෙනෙකුව යෙරුසලමට යවා සෙනඟට යටත් වන ලෙස දැන්වූවා. එම තිදෙනාගේ ප්‍රධානියා වූ රබ්ෂාකේ යුදෙව්වන්ගේ භාෂාවෙන්ම ඔවුන්ට කතා කළා. මුලින්ම ඔහු උත්සාහ කළේ හෙසකියාට සවන් නොදී ඇසිරියානුවන්ට යටත් වීම ඔවුන්ට කළ හැකි නුවණැතිම ක්‍රියාව බව සෙනඟට ඒත්තුගැන්වීමටයි. ඉන්පසු සැප පහසු ජීවිතයක් ගත කළ හැකි තැනකට ඔවුන්ව රැගෙන යන බවට බොරු පොරොන්දුවක්ද දුන්නා. (2 රාජාවලිය 18:31, 32 කියවන්න.) වෙනත් ජාතීන්ව ඇසිරියානුවන්ගෙන් බේරාගැනීමට ඔවුන්ගේ දෙවිවරුන්ට නොහැකි වූ ලෙසම යුදෙව්වන්වද බේරාගැනීමට යෙහෝවා දෙවිට නොහැකි වනු ඇතැයි ඔහු පැවසුවේ සරදම් විලාසයකින් විය හැකියි. නමුත් සෙනඟ ඔහුගේ එම අසත්‍ය ප්‍රකාශයන් විශ්වාස කළේවත් ඔහුට කිසිවක් පැවසුවේවත් නැහැ. අද දින දෙවිගේ සෙනඟ ක්‍රියා කරන්නෙත් එදා යුදෙව්වන් ක්‍රියා කළ ආකාරයටම නොවේද?—2 රාජාවලිය 18:35, 36 කියවන්න.

15. යුදෙව්වන් කළ යුතු වුණේ කුමක්ද? යෙහෝවා දෙවි ඔවුන්ව ආරක්ෂා කළේ කෙසේද?

15 හෙසකියා තුළ යම් චකිතයක් තිබුණත් වෙනත් ජාතීන්ගෙන් උදව් අයැදිනවා වෙනුවට ඔහු යෙසායා මාර්ගයෙන් යෙහෝවා දෙවිගෙන් උපකාර පැතුවා. ඔහුට දෙවිගෙන් ලැබුණ පිළිතුර මෙයයි. “යෙහෝවා දෙවි වන මම ඇසිරියාවේ රජු ගැන මෙසේ පැවසුවෙමි. ‘ඔහුට මේ නුවරට ඇතුල් වෙන්නවත් මේ දෙසට ඊතලයක් විදින්නවත් . . . ලැබෙන්නේ නැත.’” (2 රාජා. 19:32) යෙරුසලමේ සිටි සියලුදෙනාම කළ යුතු වුණේ එක් දෙයක් පමණයි. එනම් නිර්භීතව නොසැලී සිටීමයි. මන්ද ඔවුන් වෙනුවෙන් සටන් කරන්න යෙහෝවා දෙවි ඉදිරිපත් වී සිටියා. සිදු වූ දේ වාර්තාවේ සඳහන් වන්නේ මෙසේයි. “ඒ රාත්‍රියේදීම යෙහෝවා දෙවිගේ දූතයා ඇසිරියානු කඳවුරේ භටයන් එක්ලක්ෂ අසූපන්දහසක් මරා දැමුවේය.” (2 රාජා. 19:35) යෙරුසලමේ සෙනඟට එවැනි මහත් ගැලවීමක් ලැබුණේ නගරය රැකගැනීම සඳහා හෙසකියා කළ දේවලින් නොව යෙහෝවා දෙවි ඔවුන් වෙනුවෙන් සටන් කළ නිසයි.

අද දිනට පාඩම්

16. (අ) යෙරුසලමේ වැසියන්ගෙන් (ආ) ඇසිරියානුවන්ගෙන් (ඇ) එඬේරුන් සත්දෙනාගෙන් සහ අධිපතීන්ගෙන් අද දින නියෝජනය වන්නේ කවුරුන්ද?

16 එඬේරුන් සත්දෙනා සහ අධිපතීන් අටදෙනා ගැන සඳහන් අනාවැකියේ වැදගත්ම ඉටු වීම අපගේ දවස්වලදී සිදු වීමට නියමිතයි. නුදුරු අනාගතයේදී යෙහෝවා දෙවිගේ සෙනඟට ‘ඇසිරියානුවන්ගේ’ ප්‍රහාරයට ලක් වෙන්න සිදු වෙනවා. එම ප්‍රහාරය ගැන පමණක් නොව ‘මාගොග් දේශයේ ගොග්ගේ’ ප්‍රහාරය ගැනත් ‘උතුරේ රජගේ’ ප්‍රහාරය ගැනත් ‘පොළොවේ රජවරුන්ගේ’ ප්‍රහාරය ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. (එස. 38:2, 10-13; දානි. 11:40, 44, 45; එළි. 17:14; 19:19) එම ප්‍රහාරයන් එකිනෙකට වෙනස්ද? ඒ ගැන අපි තවමත් දන්නේ නැහැ. සමහරවිට එකම ප්‍රහාරය විස්තර කිරීමට බයිබලයේ විවිධ නම් භාවිත කරනවා විය හැකියි. එම කෲර ‘ඇසිරියානුවන්’ සමඟ සටන් කිරීමට යෙහෝවා දෙවි යොදාගන්නා වෙනස්ම ආකාරයේ හමුදාව කවුරුන්ද? එම හමුදාව සෑදී තියෙන්නේ ‘එඬේරුන් සත්දෙනෙකුගෙන්’ සහ ‘අධිපතීන් අටදෙනෙකුගෙන්’ බව ඔබට මතක ඇති. (මීකා 5:5) අද දින ඔවුන්ගෙන් නියෝජනය වන්නේ වැඩිමහල්ලන්වයි. (1 පේතෘ. 5:2) යෙහෝවා දෙවි තම විශ්වාසවන්ත එඬේරුන්ව යොදාගෙන ‘ඇසිරියානුවන්ගේ’ ප්‍රහාරයට මුහුණ දීම සඳහා සෙනඟව ශක්තිමත් කරනවා. * මීකා පවසන්නේ “ඔවුහු ඇසිරියාවට කඩුවෙන් පහර දෙන්නෝය” කියායි. (මීකා 5:6) ඔවුන් සටන් කිරීමට යොදාගන්නා ආයුධ අතරින් එක් බලවත් ආයුධයක් වන්නේ “දෙවිගේ බලය තුළින් ලබා දී ඇති කඩුව” වන දේවවචනයයි.—එෆී. 6:17; 2 කොරි. 10:4.

17. වැඩිමහල්ලන්ට ඉගෙනගත හැකි වැදගත් පාඩම් හතර මොනවාද?

17 වැඩිමහල්ලෙනි, අප මෙතෙක් සාකච්ඡා කළ දේවලින් ඔබට වැදගත් පාඩම් හතරක් ඉගෙනගත හැකියි. (1) අනාගතයේදී ‘ඇසිරියානුවන්ගෙන්’ එල්ල වන ප්‍රහාරයට සාර්ථකව මුහුණ දීමට නම් යෙහෝවා දෙවි කෙරෙහි ඔබට ඇති විශ්වාසය තව තවත් ශක්තිමත් කරගන්න. ඔබගේ සහෝදරයන්ටත් එසේ කිරීමට උපකාර කරන්න. (2) එම ප්‍රහාරය සිදු වන අවස්ථාවේදී යෙහෝවා දෙවි තම සෙනඟව ගලවාගන්නා බවට ඔබ තුළ කිසිදු සැකයක් නොතිබිය යුතුයි. (3) ඒ කාලයේදී දෙවිගේ සංවිධානයෙන් ලැබෙන මඟ පෙන්වීම් සමහරවිට අමුතු ආකාරයේ ඒවා ලෙස පෙනේවි. ඒවා ප්‍රායෝගික මඟ පෙන්වීම් නොවෙයි කියා අපට සිතෙයි. එහෙත් අපගේ ජීවිත ගැලවෙන්නේ ඒ මඟ පෙන්වීම්වලට අනුව කටයුතු කිරීමෙන් වන නිසා ඒවාට කීකරු වන්න සූදානමින් සිටිය යුතුයි. (4) යම් කෙනෙක් මේ ලෝකයේ අධ්‍යාපනය, ධන සම්පත්, මිනිස් සංවිධාන කෙරෙහි විශ්වාසය තබනවා නම් ඉක්මනින්ම ඔවුන් හිතන විදිහ වෙනස් කරගත යුතුයි. යෙහෝවා දෙවි කෙරෙහි සම්පූර්ණ විශ්වාස නොතබන එවැනි අයට උපකාර කිරීමට සූදානමින් සිටින්න.

18. හෙසකියාගේ කාලයේ සිදු වූ දෙය මතකයේ තබාගැනීම අපට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

18 හෙසකියාගේ කාලයේ යෙරුසලමේ සෙනඟ සිටියා හා සමාන කිසිදු ආරක්ෂාවක් නොමැතිව අසරණව සිටිනවා කියා පෙනෙන්න තිබෙන කාලයකට මුහුණ දෙන්න අපටත් අනිවාර්යයෙන්ම සිදු වෙයි. එම අසීරු කාලයේදී දෙවි කෙරෙහි ඇති අපගේ විශ්වාසය අල්ප මාත්‍රයකින්වත් අඩු නොවී තබාගැනීම අපේ අධිෂ්ඨානය කරගමු. “ඇසිරියාවේ රජු බලවත්ව ඉන්නේ ඔහුගේ හමුදාව නිසයි. නමුත් අපි වෙනුවෙන් සටන් කරන්නේ අපේ දෙවි වන යෙහෝවායි. ඔහු අපේ උපකාරයට ඉන්නවා” කියා හෙසකියා පැවසූ වදන් යළි යළිත් මතකයට නඟමු.—2 ලේක. 32:8.

^ 4 ඡේ. යෙසායා 7:14හි සඳහන් “තරුණිය” ලෙස පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනයෙන් විවාහක කාන්තාවක්ව මෙන්ම කන්‍යාවක්වද අදහස් කළා. එමනිසා එයින් යෙසායාගේ බිරිඳ මෙන්ම මරියාවද නියෝජනය වුණා.

^ 16 ඡේ. බයිබලයේ බොහෝවිට අංක හත යොදාගෙන තිබෙන්නේ කිසිම අඩුවක් නැති සම්පූර්ණ යමක් සංකේතවත් කිරීමටයි. එය ඊටත් වඩා විශාල වශයෙන් දැක්වීමට අංක අට යොදාගන්නවා.