Skip to content

පටුනට යන්න

අන් අය වෙනුවෙන් අපිට කළ හැකි දේ

අන් අය වෙනුවෙන් අපිට කළ හැකි දේ

වැඩිමහල්ලෙක් වන ෆ්‍රාන්ස්වා මෙහෙම කියනවා. “මැතිවරණයකට පස්සේ ඇති වුණ ප්‍රචණ්ඩකාරී වාතාවරණය නිසා සාක්ෂිකරුවන් දහස් ගණනකට ගම්බිම් අතහැරලා යන්න සිද්ධ වුණා. කෑම බීම බේත්හේත්වල හිඟයක් ඇති වුණා. තිබුණ ටිකත් මිල අධිකයි.”

අවතැන් වුණ සහෝදර සහෝදරියන් ඒ කාලය පුරාම හිටියේ නමස්කාර මධ්‍යස්ථානවල. ඒ අයට අවශ්‍ය දේවල් සහ මුදල් ලබා දෙන්න ශාඛා කාර්යාලය ඉක්මනින්ම පියවර ගත්තා. ගැටුම් ඇති කරගත්ත කණ්ඩායම් පාරවල් වහලා තිබුණ නිසා ඒ අයව බලන්න යන එක ලේසි වුණේ නැහැ. ඒත් සාක්ෂිකරුවන් කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැහැ කියලා ඔවුන් දැනගෙන හිටපු නිසා හුඟක් වෙලාවට අපේ වාහනවලට යන්න අවසර ලැබුණා.

“දවසක් අපි එක නමස්කාර මධ්‍යස්ථානයකට යනකොට අපේ වාහනයට වෙඩි තිබ්බා. ඒත් එකක්වත් අපිට වැදුණේ නැහැ. හැබැයි අපි දැක්කා සෙබළෙක් තුවක්කුවකුත් අරන් දුවගෙන එනවා. එයාව දැක්ක ගමන්ම අපි වාහනය වේගයෙන් ආපස්සට අරන් ඉක්මනින්ම හරවගෙන ආපහු ගියා. එදා අපේ ජීවිත ආරක්ෂා කරලා දුන්න එක ගැන අපි යෙහෝවා දෙවිට කොයි තරම් ස්තුතිවන්ත වුණාද! අපි යන්න හදපු නමස්කාර මධ්‍යස්ථානයේ හිටපු සහෝදර සහෝදරියන් 130දෙනාම පහුවෙනිදා එතැනින් වෙනත් ස්ථානයකට ගිහින් තිබුණා.”

“ඒ දුෂ්කර කාලයේදී තමන්ව ආදරයෙන් බලාගත්ත එක ගැන ස්තුති කරලා සහෝදරයන් ශාඛා කාර්යාලයට ලියුම් එවලා තිබුණා. කවදාවත් දැකලවත් නැති සහෝදරයන් ඔවුන්ට උපකාර කරපු විදිහ නිසා යෙහෝවා දෙවි ගැන ඒ අයට තිබුණ විශ්වාසය තවත් ශක්තිමත් වුණා.”

ස්වාභාවික විපත් නිසත් යුද්ධ කෝලහල නිසත් දුෂ්කරතා අද්දකින සහෝදර සහෝදරියන්ට වචනයෙන් විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත් කරන්න පුළුවන් හැම දේම අපි කරනවා. (යාකො. 2:15, 16) එහෙම කරද්දී අපි ආදර්ශයට ගන්නේ පළවෙනි සියවසේ හිටපු ක්‍රිස්තියානීන්වයි. සාගතයක් ඇති වෙනවා කියලා දැනගත්තම ‘ගෝලයෝ තමන්ට හැකි පමණින් යුදයේ වෙසෙන සහෝදරයන්ට යම් සහනාධාර යැවීමට තීරණය කළා.’—ක්‍රියා 11:28-30.

අවශ්‍යතාව තියෙන අයට උදව් උපකාර කරන්න යෙහෝවා දෙවිගේ සේවකයන් ඉදිරිපත් වෙන්නේ කැමැත්තෙන්මයි. ඒත් බයිබලයෙන් ඔවුන්ට ලබා දෙන්න පුළුවන් සහනය සහ බලාපොරොත්තුව ඊටත් වඩා වටිනවා. (මතෙ. 5:3) මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න කියලා යේසුස් දුන්න ආඥාව ඉටු කිරීමෙන් අපි ඒ දේ කරනවා. (මතෙ. 28:19, 20) ඒ සඳහා අපේ කාලය, ශක්තිය, සම්පත් වැය කරන්නේ සතුටින්. අපේ සංවිධානයට ලැබෙන පරිත්‍යාගවලින් යම් ප්‍රමාණයක් විපත්වලට මුහුණ දෙන අය වෙනුවෙන් වැය කරනවා. ඒ වුණත් වැඩි ප්‍රමාණයක් වැය කරන්නේ දේවරාජ්‍යය ගැන පණිවිඩය ලොව පුරා ප්‍රචාරය කරන වැඩකටයුතුවලටයි. එහෙම කරන්නේ අපි අපේ දෙවිටත් අසල්වාසීන්ටත් ප්‍රේම කරන නිසයි.—මතෙ. 22:37-39.

සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත වැඩකටයුතු සඳහා පරිත්‍යාග කරන අයට තමන්ගේ පරිත්‍යාග කිසිම විටෙක අපතේ යන්නේ නැහැ කියලා නිසැක වෙන්න පුළුවන්. විපත්වලට මුහුණ දෙන අයට යම් විදිහකින් උදව් කරන්න ඔබට පුළුවන්ද? දේශනා කිරීමේ කාර්යයට සහයෝගය දෙන්න ඔබ කැමතිද? එහෙමනම් “අගහිඟකම් තිබෙන අයට යහපතක් කිරීමට ඔබට හැකියාව තිබියදී එසේ කිරීමට පසුබට නොවන්න.”—හිතෝ. 3:27.