Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ආදාහනය කිරීම ක්‍රිස්තියානීන්ට සුදුසුද?

ආදාහනය කිරීම වැරදි දෙයක් කියලා බයිබලේ සඳහන් වෙන්නේ නැහැ.

මිය ගිය අයගේ සිරුරු හෝ ඇටකටු පිළිස්සූ අවස්ථා බයිබලේ සඳහන් වෙනවා. (යොෂු. 7:25; 2 ලේක. 34:4, 5) ගෞරවනීය භූමදානයක් ලබන්න සුදුසු නැති අයවයි ආදාහනය කළේ කියලා ඒ වාර්තා නිසා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් මළ සිරුරු පිළිස්සූ හැම අවස්ථාවක් ගැනම ඒක සත්‍යයක් නෙමෙයි.

උදාහරණයකට සාවුල් රජු සහ ඔහුගේ පුත්‍රයන් තුන්දෙනා පිලිස්තිවරුන්ට විරුද්ධව කරපු සටනකදී මිය ගියා. ඔවුන් අතර දාවිත්ගේ හොඳම මිත්‍රයෙක් වුණ යොනාතානුත් හිටියා. යාබෙෂ්-ගිලියද් නගරේ හිටපු ඊශ්‍රායෙල්වරු පිරිසක් ඒ හතරදෙනාගේ මළ සිරුරු ගෙනත් පුළුස්සා ඇටකටු වැළලුවා. එහෙම කරපු එක ගැන දාවිත් පසු කාලයකදී ඔවුන්ට ප්‍රශංසා කළා.1 සාමු. 31:2, 8-13; 2 සාමු. 2:4-6.

බයිබලේ කියන්නේ මිය ගිය අයව නැවත නැඟිටුවනවා කියලයි. ඒකෙන් අදහස් කරන්නේ මිය ගිය පුද්ගලයාට දෙවි නැවත ජීවිතය දෙනවා කියලයි. කෙනෙක්ගේ මළ සිරුර පිච්චුවත් නැතත් අලුත් ශරීරයක් හදලා, එයාට ආපහු ජීවිතය දෙන්න දෙවිට පුළුවන්. නෙබුකද්නෙෂර් රජ හෙබ්‍රෙව් තරුණයන් තුන්දෙනාව ගිනි උදුනට දාන්න කියපු වෙලාවේ ගින්නෙන් ජීවිත විනාශ වුණොත් තමන්ව නැවත නැඟිටුවන්න දෙවිට බැහැ කියලා ඔවුන් බය වුණේ නැත්තේ ඒ නිසයි. (දානි. 3:16-18) ඒ වගේම නාට්සි ගාල් කඳවුරුවල මරණය අද්දැක්ක යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් හුඟදෙනෙක්ගේ මළ සිරුරු ගින්නෙන් පිළිස්සුවා. දෙවිගේ සමහර සේවකයන් බෝම්බවලට හසු වෙලා නැත්නම් මළ සිරුර හොයාගන්න බැරි වෙන විදිහට මිය ගිහින් තියෙනවා. ඒ හැමෝටම නැවත නැඟිටීමක් ලැබෙනවා.එළි. 20:13.

කෙනෙක්ව නැවත නැඟිටුවන්න ඒ කෙනාගේ කලින් සිරුර ආපහු එකතු කරන්න දෙවිට අවශ්‍ය නැහැ. ඒක අපිට අභිෂේක ලත් අයට දෙන නැවත නැඟිටීමෙන් පැහැදිලියි. අභිෂේක ලත් කෙනෙක්ව නැවත නැඟිටුවද්දී ඒ පුද්ගලයාට කලින් තිබුණ ශරීරය ලැබෙන්නේ නැහැ. මොකද ඒ අයව නැවත නැඟිටුවන්නේ යේසුස් වගේ “ස්වර්ගයෙහි ජීවත් විය හැකි” ශරීරයක් ඇතුවයි. ඒත් ඒ අය පොළොවේ ජීවත් වෙද්දී තිබුණ මතකයන්, සිතුවිලි ඒගොල්ලන්ට ආපහු ලැබෙනවා.1 පේතෘ. 3:18; 1 කොරි. 15:42-53; 1 යොහ. 3:2.

මිය ගිය අයව නැවත නැඟිටුවන්න දෙවිට හැකියාව තියෙනවා වගේම ඒක කරන්න දෙවි ආසාවෙන් බලාගෙන ඉන්නවා. නැවත නැඟිටීම ගැන අපිට ස්ථීර වෙන්න පුළුවන් ඒ හේතු නිසා මිසක් කෙනෙක්ගේ මළ සිරුරට සිද්ධ වෙන දේ අනුව නෙමෙයි. (ක්‍රියා 24:15) මිය ගිය කෙනෙක්ව නැවත නැඟිටුවන එක ඇත්තෙන්ම ආශ්චර්යයක්. දෙවි ඒ දේ කරන්නේ කොහොමද කියලා අපිට සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න බැරි වුණත් ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා කියලා අපිට විශ්වාසයි. මොකද යේසුස්ව නැවත නැඟිටුවලා දෙවි අපිට “සාක්ෂියක්” දුන්නා.ක්‍රියා 17:31; ලූක් 24:2, 3.

මළ සිරුරක් ආදාහනය කරනවද නැත්නම් භූමදානය කරනවද කියලා තීරණය කරද්දී ජීවත් වෙන ප්‍රදේශයේ තියෙන චාරිත්‍ර සහ රටේ නීතිය ගැන ක්‍රිස්තියානි කෙනෙක් සැලකිලිමත් වෙන එක වැදගත්. (2 කොරි. 6:3, 4) ඒත් බයිබලේට අනුව ආදාහනය කරනවද නැද්ද කියන දේ පෞද්ගලිකව හෝ පවුලක් හැටියට ගන්න පුළුවන් තීරණයක්.