දික්කසාදය නිසා වේදනාවෙන් ඉන්න අයට සහනයක් වෙමු
දික්කසාද වුණු කෙනෙක්ව ඔබ දන්නවද? ‘එක් කෙනෙක් නෙමෙයි කීපදෙනෙක්වම මම දන්නවා’ කියලා ඔබට හිතෙයි. ඇත්ත, අද දික්කසාදය ඒ තරමටම සාමාන්‍ය දෙයක් වෙලා. පෝලන්තයේ කරපු සමීක්ෂණයකින් ඔප්පු වුණා වැඩියෙන්ම දික්කසාද වෙන්නේ විවාහ වෙලා අවුරුදු 3ත් 6ත් අතර කාලයක් ගත කරපු අය කියලා.
යුරෝපයේ විවාහ වෙන අයගෙන් හරි අඩක්ම දික්කසාද වෙනවා කියලත් වාර්තා වෙනවා. සංවර්ධනය වුණු අනිත් රටවල තත්වයත් ඒකමයි.
හැඟීම් එක්ක කරන සටනක්
එහෙම වෙන්නේ ඇයි? විවාහ උපදේශකවරියක් මෙහෙම කියනවා. “දික්කසාදය කියන්නේ දෙන්නෙක් අතරේ ඒ වෙනකොටත් අවසන් වුණු බැඳීමකට ලැබෙන නීත්‍යනුකූල සහතිකයටයි. විවාහ වුණු යුවළක් අතරේ තිබුණු බැඳීම බිඳෙද්දී ඒක වේදනාකාරී අද්දැකීමක්. ඒ කාලේදී ඇති වෙන තරහා, පසුතැවිල්ල, කලකිරීම, ලැජ්ජාව හරියට නොසිතුණු වෙලාවක ඒ අයගේ ජීවිතවලට කඩා වදින ප්‍රබල කුණාටුවක් වගේ.” ඒ වගේ හැඟීම් එද්දී සමහරුන්ට සිය දිවි නසාගන්නත් හිතෙනවා. “ඒ තත්වය දික් ගැස්සිලා දෙන්නා දික්කසාද වුණාට පස්සේ තත්වය තවත් නරක අතට හැරෙනවා. ජීවිතේ ලොකු හිස්කමක්, පාළුවක් දැනෙනවා. ‘මගෙන් ඇති වැඩේ මොකක්ද? මං ජීවත් වෙලා වැඩක් තියෙනවද’ කියලා ඒ වගේ කෙනෙක්ට හිතෙන්න පුළුවන්.”
අවුරුදු කීපයකට කලින් දික්කසාද වුණු ඊවා * තමන්ට හැඟුණු විදිහ ගැන මෙහෙම කියනවා. “මට ලොකු ලැජ්ජාවක් දැනුණා. මම හැම වෙලාවෙම හිටියේ තරහෙන්. දරුවෝ දෙන්නට අම්මා වගේම තාත්තා වෙන්න වුණෙත් මට.” අවුරුදු දොළහක් වැඩිමහල්ලෙක් විදිහට සේවය කරපු ඇඩම් මෙහෙම කියනවා. “දික්කසාදයෙන් පස්සේ මට හිතුණේ මං ගැන තිබුණු ගෞරවය නැතුව ගියා කියලයි. සමහර වෙලාවට මට ඒ ගැන හුඟක් තරහා ගියා. මට ඕන වුණේ හැමෝගෙන්ම වෙන් වෙලා ඉන්නයි.”
සාමාන්‍ය ජීවිතේට හැඩගැහෙන්න සටනක්
දික්කසාද වෙලා අවුරුදු ගාණක් ගත වුණත් සාමාන්‍ය ජීවිතේට හැඩගැහෙන එක ලේසි නැහැ. ඒ අය හිතෙන්නේ තමන්ගේ අනාගතය කලු වළාවකින් වැහිලා කියලයි. අනිත් අය තමන් ගැන කිසි සැලකිල්ලක් නැහැ කියලයි.
ස්ටීවන් මෙහෙම කියනවා. “දික්කසාද වුණාට පස්සේ මගේ දුවලා දෙන්නාව බලන්න කලින් බිරිඳ මට ඉඩ දුන්නේ නෑ. ඒ නිසා මට හැඟුණේ කාටවත් මං ගැන ගාණක් නෑ කියලයි. යෙහෝවා දෙවිත් මාව අත්හැරියා නේද කියලා
මට හිතුණා. ජීවත් වෙන්නත් කිසි ආසාවක් තිබ්බේ නෑ. ඒත් කාලයක් යද්දී මං හිතපු විදිහ වැරදියි කියලා මට තේරුණා.” දික්කසාදය නිසා වැන්ඩාත් නිතරම හිටියේ අනාගතය ගැන කනස්සල්ලෙන්. “දික්කසාද වෙලා ටික දවසක් ගියාම සභාවේ අය මං ගැනයි මගේ දරුවෝ ගැනයි හොයලා බලන එකක් නෑ කියලා මට හිතුණා. ඒත් මං හිතුවා වැරදියි. දරුවන්ව යෙහෝවා දෙවිට ළං කරන්න මං ගත්ත උත්සාහයට සභාවේ අය හුඟක් උදව් කළා. ඒගොල්ලෝ අපිව අත්හැරියේ නෑ.”ඒ දේවලින් තේරෙන්නේ දික්කසාද වෙලා කාලයක් යනකම් තමන් ගැන අඩුවෙන් හිතන්න, තමන් වටින්නේ නැහැ කියලා හිතන්න ඒ අය පෙලඹෙනවා කියන එකයි. ඒ වගේම ඉක්මනින් අනිත් අය ගැන වැරදි නිගමනවලට එන්නත් ඒ අය පෙලඹෙන්න පුළුවන්. ඒ නිසා සභාවේ අය තමන්ව තේරුම්ගන්නේ නැහැ, තමන් ගැන කිසි සැලකිල්ලක් නැහැ කියන හැඟීම් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒත් ස්ටීවන්ට සහ වැන්ඩාට තේරුණා වගේ සභාවේ අය තමන් ගැන මොන තරම් සැලකිලිමත්ද කියන දේ කාලයක් යද්දී දික්කසාද වුණු අය තේරුම්ගනියි.
පාළුව තනිකම හිතට රිංගුවොත්
දික්කසාද වුණු කෙනෙක්ට උදව් කරන්න කොයි තරම් උත්සාහ කළත් කාලෙන් කාලෙට ඒ අයගේ හිතට තනිකම, පාළුව රිංගන වෙලාවල් තියෙනවා. අලිට්සියා මෙහෙම කියනවා. “මං දික්කසාද වෙලා දැන් අවුරුදු 8ක් වෙනවා. මං එච්චර වටින කෙනෙක් නෙමෙයි කියලා තාමත් මට හිතෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට මං මුල්ලකට වෙලා හිතේ දුක නැති වෙනකම් අඬනවා.”
ඒ වගේ හැඟීම් දික්කසාද වුණු අයට ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් බයිබලයේ කියන්නේ ඒ වගේ වෙලාවට තනි වෙන්න එපා කියලයි. (හිතෝ. 18:1) ඒ වගේම කෙනෙක් තමන්ට දැනෙන වේදනාව ගැන කතා කරන්න, යම් උපදෙස් ගන්න නිතරම විරුද්ධ ලිංගයේ කෙනෙක් ළඟට යන එක සුදුසු නැහැ. ඒ උපදෙස පිළිපදිනවා නම් අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන එක වළක්වගන්න පුළුවන්.
දික්කසාද වුණු අපේ සහෝදර සහෝදරියෝ හුඟදෙනෙක්ටත් තනිකම, පාළුව, කනස්සල්ල, තමන්ව අත්හැරලා දාලා කියන හැඟීම් ඇති වෙද්දී ඒ අයව තේරුම්ගන්න අපි උත්සාහ කරමු. ඒ අයට ඕන කරන ආදරය, සැලකිල්ල පෙන්නලා යෙහෝවා දෙවිව අනුකරණය කරන්න අපි උත්සාහ කරමු. (ගීතා. 55:22; 1 පේතෘ. 5:6, 7) අපි දරන වෙහෙස ඒ අය ගොඩක් අගය කරයි. එයාලා ගැන ඇත්තටම හිතන යාළුවෝ සභාවේ ඉන්නවා කියලා ඒ අයට තේරෙයි.
^ 6 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.