Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවිගේ ආදරේ ඔයාට දැනෙනවද?

යෙහෝවා දෙවිගේ ආදරේ ඔයාට දැනෙනවද?

“පියාණන්ට අප සඳහා කොතරම් ප්‍රේමයක් තිබෙනවාද කියා බලන්න.”—1 යොහ. 3:1.

ගීතිකා: 91, 13

1. යොහන් අපිට හොඳින් හිතන්න කිව්වේ මොන දේ ගැනද? ඒ ඇයි?

“පියාණන්ට අප සඳහා කොතරම් ප්‍රේමයක් තිබෙනවාද” කියන දේ ගැන හොඳට හිතන්න කියලා යොහන් අපිව දිරිගන්වනවා. (1 යොහ. 3:1) යෙහෝවා දෙවි අපිට කොච්චර ආදරේද කියලත් ඒ ආදරේ ඔහු අපිට පෙන්නලා තියෙන්නේ කොහොමද කියලත් හිතද්දී ඔහුට අපි තවත් ළං වෙනවා. ඔහුට තියෙන ආදරෙත් වැඩි වෙනවා.

2. දෙවි මිනිසුන්ට ආදරෙයි කියලා තේරුම්ගන්න සමහරුන්ට අමාරු ඇයි?

2 දෙවි මිනිසුන්ට ආදරෙයි කියලා තේරුම්ගන්න සමහරුන්ට අමාරුයි. ඔවුන් හිතන්නේ දෙවි මිනිසුන් ගැන කිසි සැලකිල්ලක් නැහැ කියලයි. නීති දාන, වැරදිවලට දඬුවම් කරන කෙනෙක් විදිහට විතරයි ඒ අය දෙවි ගැන හිතන්නේ. දෙවි ගැන උගන්වලා තියෙන බොරු දේවල් නිසා ඔහු කෲර කෙනෙක් කියලත් ඔහුට ආදරේ කරන්න අපිට බැහැ කියලත් සමහරු හිතනවා. ඔය අතරේ මිනිසුන් මොනවා කළත් දෙවි මිනිසුන්ට ආදරෙයි කියලා හිතන පිරිසකුත් ඉන්නවා. ඒත් දෙවි ගැන බයිබලෙන් ඉගෙනගද්දී ඔහු මොන වගේ කෙනෙක්ද කියලා ඔයා දැනගත්තා. ප්‍රේමය කියන්නේ ඔහුගේ ප්‍රධානම ගුණාංගයක් කියලත් ඔහුගේ එකම පුතාව ඔයා වෙනුවෙන් දුන්නේ ඔහුගේ හිතේ තියෙන ආදරේ නිසා කියලත් ඔයා දැනගත්තා. (යොහ. 3:16; 1 යොහ. 4:8) ඒත් කටුක අද්දැකීම් නිසා යෙහෝවා දෙවි ඔයාට කොච්චර ආදරේද කියලා තේරුම්ගන්න සමහරවිට ඔයාට අමාරු ඇති.

3. යෙහෝවා දෙවිට අපි ගැන තියෙන ආදරේ තේරුම්ගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

3 දෙවිට අපි ගැන තියෙන ආදරේ තේරුම්ගන්න නම් අපි මතක තියාගන්න ඕන ප්‍රධානම දේ තමයි අපේ නිර්මාතෘ සහ අපිට ජීවිතේ දුන්නේ ඔහුයි කියන කාරණේ. (ගීතාවලිය 100:3-5 කියවන්න.) පළවෙනි මිනිසා වුණු “ආදම්ගේ පියා දෙවිය” කියලා බයිබලේ කියනවා. (ලූක් 3:38) “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි” කියලා දෙවිට කතා කරන්න යේසුත් අපිට ඉගැන්නුවා. (මතෙ. 6:9) හොඳ තාත්තා කෙනෙක් එයාගේ දරුවන්ට ආදරේ කරනවා වගේ දෙවිත් අපිට ආදරේ කරනවා.

4. (අ) යෙහෝවා දෙවි මොන වගේ තාත්තා කෙනෙක්ද? (ආ) මේ ලිපියෙත් ඊළඟ ලිපියෙත් අපි බලන්නේ මොනවා ගැනද?

4 තාත්තා කෙනෙක් ආදරණීය කෙනෙක් කියලා හිතන්න සමහරුන්ට අමාරුයි. ඒ, කුඩා කාලෙදී තාත්තා තමන්ට සලකපු විදිහ ගැන අමිහිරි මතකයන් ඒ අයට තියෙන නිසා වෙන්න පුළුවන්. ඒත් දෙවි නම් ඔහුගේ දරුවන්ට කවදාවත් කුරිරු විදිහට සලකන්නේ නැහැ. අපිට ඉන්න හොඳම තාත්තා යෙහෝවා දෙවියි. (ගීතා. 27:10) ඔහු අපිට හුඟක් ආදරේ කරනවා. හුඟක් විදිවලින් අපිව රැකබලා ගන්නවා. දෙවිගේ ආදරේ දැනෙන්න දැනෙන්න දෙවි ගැන අපේ හිතේ තියෙන ආදරෙත් වැඩි වෙනවා. (යාකො. 4:8) දෙවි ඔහුගේ ආදරේ පෙන්නලා තියෙන විදි 4ක් ගැන අපි මේ ලිපියෙන් බලමු. ඊළඟ ලිපියේ දෙවි ගැන අපේ හිතේ තියෙන ආදරේ පෙන්නන්න පුළුවන් විදි 4ක් ගැන කතා කරනවා.

ප්‍රේමණීයයි, ත්‍යාගශීලියි

5. පාවුල් ඇතන්ස්වල හිටපු අයට දෙවි ගැන කිව්වේ මොනවද?

5 ඇතන්ස් නුවරේදී පාවුල් දැක්කා මිනිසුන් හුඟක් දෙවිවරුන්ගේ රූප හදලා තියෙනවා. ජීවිතේ දුන්නේ ඒ දෙවිවරුන් කියලයි ඔවුන් විශ්වාස කළේ. ඒ නිසා පාවුල් ඔවුන්ට මෙහෙම කියනවා. ‘සියලුදෙනාටම ජීවිතයත් හුස්මත් අන් සියලු දේත් දෙන්නේ ලෝකයත් එහි තිබෙන සියල්ලත් සෑදූ දෙවියි. අපේ ජීවිතයත් පැවැත්මත් අප කරන සෑම දෙයක්මත් රඳා පවතින්නේ ඔහු මතයි.’ (ක්‍රියා 17:24, 25, 28) අපිට තියෙන ආදරේ නිසා ජීවත් වෙන්නත් සතුටින් ඉන්නත් ඕන කරන හැම දේම යෙහෝවා දෙවි දීලා තියෙනවා. ඒවායින් කීපයක් ගැන මතක් කරගන්න ඔයාට පුළුවන්ද?

6. දෙවි අපි වෙනුවෙන් දුන්නේ මොන වගේ නිවසක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

6 යෙහෝවා දෙවි අපිට දීලා තියෙන්නේ මොන තරම් ලස්සන නිවසක්ද! (ගීතා. 115:15, 16) ඔහු නිර්මාණය කරපු හැම ග්‍රහලෝකයකටම වඩා පෘථිවිය විශේෂයි. විද්‍යාඥයන් විශ්වයේ තියෙන හුඟක් ග්‍රහලෝක ගැන හොයාගත්තත් මිනිසුන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන හැම දෙයක්ම තියෙන පෘථිවිය වගේ තැනක් හොයාගන්න තාමත් ඔවුන්ට බැරි වෙලා. ජීවත් වෙන්න ඕන කරන හැම දේම දෙවි අපිට දුන්නා විතරක් නෙමෙයි පොළොව ලස්සන, සුව පහසු, සුරක්ෂිත තැනක් විදිහට නිර්මාණය කළේ අපි ජීවිතෙන් සතුටක් ලබනවා දකින්න ඔහු කැමති නිසයි. (යෙසා. 45:18) අපේ ආදරණීය තාත්තා අපි වෙනුවෙන්ම හදපු මේ ලස්සන නිවස ගැන හිතද්දී ඔහුට අපි ගැන තියෙන ආදරේ මොන තරම්ද කියලා තේරෙනවා.—යෝබ් 38:4, 7; ගීතාවලිය 8:3-5 කියවන්න.

7. දෙවි අපිව නිර්මාණය කරලා තියෙන විදිහෙන් ඔහුගේ ආදරේ පැහැදිලි වෙන්නේ කොහොමද?

7 දරුවෙක්ට ඕන කරන හැම දේම දුන්නත් දෙමාපියන්ගේ ආදරේ එයාට දැනෙන්නේ නැත්නම් නියම සතුටක්, සුරක්ෂිතබවක් දරුවාට දැනෙන්නේ නැහැ කියලා හොඳ තාත්තා කෙනෙක් දන්නවා. ඒ ගැන යෙහෝවා දෙවි තරම් දන්න වෙන කෙනෙක් නැහැ. ඔහුගේ ගතිලක්ෂණ ඇතුව දෙවි අපිව නිර්මාණය කළා. දෙවි එහෙම කරපු නිසා ඔහුගේ ආදරේ අපිට දැනෙනවා. අපේ හිතේ ඔහු වෙනුවෙන් තියෙන ආදරේ අපිට පෙන්නන්න පුළුවන් වෙලා තියෙනවා. (උත්. 1:27) අපිට නියම සතුට ලැබෙන්නේ ඒ දෙයින් කියලා දෙවි දන්නවා. යෙහෝවා දෙවිට ළං වෙද්දී, ඔහුගේ මඟ පෙන්වීම් පතද්දී ලොකු සතුටක් ලබන්න පුළුවන් කියලා යේසුත් කිව්වා. (මතෙ. 5:3) දෙවි “අපේ ප්‍රයෝජනය සඳහා කිසි අඩුවක් නැතුව සෑම දෙයක්ම ත්‍යාගශීලීව” සපයලා අපිව ආදරෙන් බලාගන්නවා කියලා හොඳටම පැහැදිලියි.—1 තිමෝ. 6:17; ගීතා. 145:16.

සත්‍යය උගන්වනවා

8. යෙහෝවා දෙවිගේ ඉගැන්වීම් අපිට අවශ්‍ය ඇයි?

8 දරුවන්ට ආදරේ කරන තාත්තා කෙනෙක් දරුවන් නොමඟ යනවට, රැවටෙනවට කැමති නැහැ. ඒත් අද ඉන්න හුඟක් දෙමාපියන් බයිබල් ප්‍රතිපත්ති පිළිගන්න අකමැති නිසා දරුවන්ව හරි මාර්ගයේ ගෙනියන්න, ඒ අයට හරි මඟ පෙන්වීම් දෙන්න ඔවුන්ට බැරි වෙලා තියෙනවා. (හිතෝ. 14:12) ඒත් “සත්‍යතාවේ දෙවි වන යෙහෝවා” ඔහුගේ දරුවන්ට නිතරම දෙන්නේ හොඳම මඟ පෙන්වීම්. (ගීතා. 31:5) ඔහු ගැන, ඔහුට නමස්කාර කරන විදිහ ගැන අපිට කියලා දෙන්න ඔහු ඉන්නේ ආසාවෙන්. ජීවිතේ ගත කරන්න ඕන හොඳම විදිහ ගැන අපිට උගන්වන්න පුළුවන් හොඳම කෙනාත් ඔහුයි. (ගීතාවලිය 43:3 කියවන්න.) දෙවිට අපි ගැන තියෙන ආදරේ දැනෙන්නේ ඔහු උගන්වලා තියෙන මොන දේවල් නිසාද?

දරුවන්ට දෙවි ගැන උගන්වන, දෙවි එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න උදව් කරන තාත්තා කෙනෙක් ආදර්ශයට ගන්නේ යෙහෝවා දෙවිව (8-10 ඡේද බලන්න)

9, 10. (අ) දෙවි අපිට ඔහු ගැන කියලා දෙන්නේ ඇයි? (ආ) දෙවිගේ අරමුණ ගැන දෙවි අපිට හෙළි කරලා තියෙන්නේ මොනවද?

9 යෙහෝවා දෙවි ඔහු ගැන අපිට කියලා දෙනවා. මොකද ඔහු කැමතියි අපි ඔහුව හොඳින් දැන හඳුන ගන්නවට. (යාකො. 4:8) ඔහුගේ නම මොකක්ද කියලා ඔහු අපිට කියලා තියෙනවා. වෙන කිසිම නමකට වඩා බයිබලේ සඳහන් වෙන්නේ දෙවිගේ නමයි. ඒ වගේම ඔහු මොන වගේ කෙනෙක්ද කියලත් ඔහු අපිට උගන්වනවා. දෙවිගේ නිර්මාණ ගැන හොඳට හිතද්දී ඔහුගේ බලය, ප්‍රඥාව ගැන අපිට ඉගෙනගන්න පුළුවන්. (රෝම 1:20) බයිබලේ අධ්‍යයනය කරද්දී ඔහු මොන තරම් සාධාරණද අපිට කොච්චර ආදරේද කියලා තේරුම්ගන්න පුළුවන්. දෙවිගේ ගතිලක්ෂණ ගැන දැනගන්න තරමට ඔහුට කිට්ටු වෙනවා කියලා අපිට දැනෙයි.

10 දෙවි ඔහුගේ අරමුණ ගැනත් අපිට උගන්වනවා. ඔහු අපිව සලකන්නේ ඔහුගේ පවුලේ සාමාජිකයන් විදිහට. ඔහු අපෙන් බලාපොරොත්තු වෙන දේ පැහැදිලිවම කියලා දීලා තියෙන නිසා ඔහුගේ පවුලේ හැමෝම එක්ක එකමුතුව ඉන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. දෙවි අපිව නිර්මාණය කළේ හරි දේ වැරදි දේ මොකක්ද කියලා අපිටම තීරණය කරන්න පුළුවන් හැකියාව ඇතුව නෙමෙයි කියලා බයිබලේ කියනවා. (යෙරෙ. 10:23) අපිට හොඳම දේ මොකක්ද කියලා දන්නේ යෙහෝවා දෙවියි. අපේ පාලකයා හැටියට ඔහුව පිළි අරන් ඔහුට කීකරු වෙනවා නම් විතරයි සාමකාමී, තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ. ඒ වටිනා සත්‍යයන් දෙවි අපිට උගන්වලා තියෙන්නේ ඔහු අපිට හුඟක් ආදරේ නිසයි.

11. අපේ ආදරණීය තාත්තා අනාගතය ගැන අපිට කියලා දීලා තියෙන්නේ මොනවද?

11 ආදරණීය තාත්තා කෙනෙක් දරුවන්ගේ අනාගතය ගැනත් නිතරම හිතනවා. එයාට ඕනෙ දරුවන්ගේ අනාගතය ලස්සන වෙනවට. ඒත් අද ඉන්න වැඩිදෙනෙක්ට හොඳ අනාගතයක් ගැන හිතන්න බැහැ. අනාගතය ගැන එයාලා ඉන්නේ හිතේ කරදරෙන්. සමහරු අනාගතය ලස්සන කරන්න ජීවිත කාලෙම වෙහෙසුණත් එයාලා වෙහෙසෙන්නේ හැමදාට තියෙන්නේ නැති දේවල් වෙනුවෙන්. (ගීතා. 90:10) ඒත් අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා දෙවි අපිට මේ කාලේ තෘප්තිමත් ජීවිතයක් ගත කරන විදිහ කියලා දෙනවා විතරක් නෙමෙයි හිතාගන්න බැරි තරම් ලස්සන අනාගතයක් ඔහු පොරොන්දු වෙලත් තියෙනවා. ඒ දේවල් උගන්වන එක ගැන අපි දෙවිට කොච්චර ස්තුති කරන්න ඕනෙද!

මඟ පෙන්වනවා, හික්මවනවා

12. යෙහෝවා දෙවි කායින්ට සහ බාරුක්ට උදව් කළේ කොහොමද?

12 කායින් ඉන්නේ අනතුරක කියලත් ඔහු අතින් නරක දෙයක් වෙන්න පුළුවන් කියලත් දෙවි දැක්කා. ඔහුට උදව් කරන්න යෙහෝවා දෙවිට කොච්චර වුවමනාවක් තිබුණද කියලා ඔහු දීපු මේ උපදෙසින් පැහැදිලියි. “ඔබ මෙතරම් කෝපයෙන් සිටින්නේ මන්ද? ඔබේ මුහුණ පවා වෙනස් වී තිබේ. ඔබ යහමඟට හැරුණොත් මම ඔබව පිළිගන්නේ නැද්ද?” (උත්. 4:6, 7) ඒත් කායින්, දෙවිගේ උදව් පිළිගත්තේ නැහැ. ඒ නිසා හුඟක් දුක් විඳින්න ඔහුට සිද්ධ වුණා. (උත්. 4:11-13) තවත් අවස්ථාවක බාරුක්ගේ හිතේ තිබුණු වැරදි ආකල්ප නිසා ඔහු අධෛර්යය වෙලා ඉන්නවා දෙවි දැක්කා. ඔහු හිතපු විදිහ වැරදියි කියලත් ඒක වෙනස් කරගන්න කියලත් දෙවි ඔහුට කිව්වා. ඒ උපදෙස පිළිගත්ත නිසා බාරුක්ගේ ජීවිතේ බේරුණා.—යෙරෙ. 45:2-5.

13. යෙහෝවා දෙවි තමන්ගේ විශ්වාසවන්ත සේවකයන්ට පීඩාවන්ට මුහුණ දෙන්න ඉඩහරින්නේ ඇයි?

13 යෙහෝවා දෙවි මඟ පෙන්වීම්, හික්මවීම් දෙන්නේ අපිට තියෙන ආදරේ නිසයි. (හෙබ්‍රෙ. 12:6) හික්මවීමකට දඬුවමක් විතරක් නෙමෙයි පුහුණුව ලබා දෙන එකත් ඇතුළත්. අඩුපාඩු හදාගෙන අවබෝධයෙන් වැඩ කරන්න යෙහෝවා දෙවි පුහුණු කරපු ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් හුඟදෙනෙක් ගැන බයිබලේ තියෙනවා. යෝසෙප්, මෝසෙස් සහ දාවිත් වගේ අයට කාලයක් පුරා අමාරු තත්වයන්ට මුහුණ දෙන්න වුණා. ඒත් ඒ අමාරු කාලය පුරාම දෙවි ඔවුන් එක්ක හිටියා. ඒ කාලෙදී ලබපු පුහුණුව එයාලට උදව් වුණා පස්සේ කාලෙකදී යෙහෝවා දෙවි දුන්න බැරෑරුම් වගකීම් හොඳින් කරන්න. දෙවි ඔහුගේ සෙනඟට දුන්න උදව් සහ ඔවුන්ව පුහුණු කරපු විදි ගැන බයිබලෙන් කියවද්දී දෙවිට අපි ගැන තියෙන ආදරේ අපිට දැනෙනවා.—හිතෝපදේශ 3:11, 12 කියවන්න.

14. යෙහෝවා දෙවිගෙන් හික්මවීමක් ලබද්දී ඔහුගේ ආදරේ අපිට දැනෙන්නේ කොහොමද?

14 අපි අතින් වරදක් වුණත් දෙවි දිගටම අපිට ආදරෙන් සලකනවා. ඔහු දෙන හික්මවීම් පිළි අරන් පසුතැවිලි වුණොත් යෙහෝවා දෙවි අපිට “මුළු හදින්ම සමාව දෙනවා.” (යෙසා. 55:7) දෙවි සමාව දෙන විදිහ ගැන දාවිත් ලියපු මේ අලංකාරවත් වචනවලින් අපිට ඉන්නේ මොන තරම් දයාන්විත තාත්තා කෙනෙක්ද කියලා තේරුම්ගන්න පුළුවන්. ඔහු කිව්වේ මෙහෙමයි. “ඔහු ඔබේ සියලු වැරදිවලට සමාව දෙන්නේය. ඔබේ සියලු දුක් වේදනාවලට සහනයක් දෙන්නේය. ඔහු ඔබේ ජීවිතය මිනී වළෙන් ගලවාගන්නේය. ප්‍රේමය හා දයාව නමැති ඔටුන්න ඔබට පළඳවන්නේය. බස්නාහිර නැඟෙනහිරෙන් බොහෝ ඈත්ව තිබෙන්නා සේ ඔහු අපේ වැරදිද අපෙන් දුරස් කරන්නේය.” (ගීතා. 103:3, 4, 12) යෙහෝවා දෙවි විවිධ විදිවලින් මඟ පෙන්වීම්, හික්මවීම් දෙද්දී ඔයා ඒවා පිළිගන්නවද? ඉක්මනින් වෙනස්කම් කරගන්නවද? දෙවි හික්මවීම් දෙන්නේ දෙවි ඔයාට ආදරේ නිසා කියන දේ අමතක කරන්න එපා.—ගීතා. 30:5.

ආරක්ෂාව සපයනවා

15. යෙහෝවා දෙවිට තමන්ගේ සෙනඟව හුඟක් වටිනවා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

15 තාත්තා කෙනෙක් නිතරම බලන්නේ පවුලේ අයව අනතුරුවලින් ආරක්ෂා කරගන්න. යෙහෝවා දෙවිත් ඒ වගේ. දාවිත් ඒ ගැන මෙහෙම කියනවා. “ඔහුට විශ්වාසවන්තව සිටින අයව ඔහු ආරක්ෂා කරන්නේය. දුෂ්ටයන්ගේ අතින් ඔහු ඔවුන්ව ගලවාගන්නේය.” (ගීතා. 97:10) ඔයාගේ ඇස් දෙක ඔයාට කොච්චර වටිනවද! යෙහෝවා දෙවිට ඔහුගේ සෙනඟව ඊටත් වඩා වටිනවා.—සෙකරියා 2:8 කියවන්න.

16, 17. යෙහෝවා දෙවි තම සෙනඟව ආරක්ෂා කරලා තියෙන්නේ කොහොමද?

16 යෙහෝවා දෙවි දේවදූතයන් මාර්ගයෙන් ඔහුගේ සෙනඟව එදා වගේම අදත් ආරක්ෂා කරනවා. (ගීතා. 91:11) එක රැයකින් ඇසිරියානු හමුදාවේ 1,85,000දෙනෙක්ව මරලා දාන්න දේවදූතයෙක්ට පුළුවන් වුණා. (2 රාජා. 19:35) පළවෙනි සියවසේදීත් දේවදූතයන් පේතෘස්, පාවුල් සහ වෙනත් අයව සිරගෙයින් බේරගත්තා. (ක්‍රියා 5:18-20; 12:6-11) මෑතකදී අප්‍රිකානු රටක හුඟක් භයානක යුද්ධයක් තිබුණා. හැම තැනම තිබුණේ ගහ මරාගැනීම්, සොරකම්, ස්ත්‍රී දූෂණ සහ මිනී මැරුම්. අපේ සහෝදර සහෝදරියන්ගෙන් වැඩිදෙනෙක්ටත් තිබුණු හැම දේම නැති වුණා. ඒත් කාගෙවත් ජීවිත අහිමි වුණේ නැහැ. මොන තරම් අමාරුකම්වලට මුහුණ දෙන්න වුණත් ඒ හැමෝටම යෙහෝවා දෙවිගේ ආදරේ දැනුණා. ඔහු තමන්ව රැකබලා ගන්නවා කියලත් ඔවුන්ට දැනුණා. ඒ නිසා ඔවුන්ගේ සතුට නැති වුණේ නැහැ. මූලස්ථාන නියෝජිත ඒ රටට ගිහින් ඒ අය ගැන හොයලා බලද්දී ඒ අය කිව්වේ “යෙහෝවා දෙවි උදව් කරපු නිසා අපි හැමෝම හොඳින් ඉන්නවා” කියලයි.

17 ඇත්ත, දෙවිට විශ්වාසවන්තව හිටපු නිසා ස්තේපන් සහ තවත් සමහර අයගේ ජීවිත නැති වුණා. ඒකෙන් තේරෙන්නේ යෙහෝවා දෙවි හැම වෙලාවෙම අනතුරුවලින් අපිව ආරක්ෂා කරන්නේ නැහැ කියලයි. ඒත් සාතන් අපිව හසු කරගන්න හදන විවිධ පැති ගැන අනතුරු අඟවලා සමූහයක් විදිහට දෙවි ඔහුගේ සෙනඟව ආරක්ෂා කරනවා. (එෆී. 6:10-12) බයිබලෙන්, සංවිධානයේ ප්‍රකාශනවලින් අපිට ඒ අනතුරු ඇඟවීම් හොයාගන්න පුළුවන්. උදාහරණෙකට සල්ලි පස්සේ දුවන එකේ තියෙන අනතුර ගැන, අනාචාරය සහ සැහැසියාව ඇතුළත් චිත්‍රපටි, පොත් පත්, ගේම්ස්වල තියෙන අනතුරු ගැන වගේම ඉන්ටර්නෙට් එකේ භයානක පැති ගැනත් අපිව දැනුවත් කරලා තියෙනවා. යෙහෝවා දෙවි මෙච්චර අපිව ආරක්ෂා කරන්නේ අපි ගැන ඔහුට තියෙන ආදරේ නිසයි.

මීට වඩා ගෞරවයක් තවත් තියෙනවද!

18. යෙහෝවා දෙවි ඔයාට පෙන්නන ආදරේ ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

18 යෙහෝවා දෙවි අපිට ආදරේ පෙන්නලා තියෙන විදි ගැන ඉගෙනගද්දී අපිට දැනෙන්නේ මෝසෙස්ට දැනුණා වගේමයි. දෙවිට සේවය කරපු අවුරුදු ගාණ දිහා හැරිලා බලද්දී ඒ කාලේ පුරාම දෙවි ඔහුට ආදරේ කළා කියන දේ ගැන මෝසෙස්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. “ප්‍රීති ඝෝෂා නඟමින් අපේ මුළු ජීවිත කාලයම සතුටින් ගත කිරීමට හැකි වන පිණිස උදෑසනින්ම ඔබේ ප්‍රේමය අපට පෙන්වන්න” කියලා ඔහු කිව්වේ ඒ නිසයි. (ගීතා. 90:14) දෙවිගේ ආදරේ තේරුම්ගන්න, ඔහුගේ ආදරේ අද්දකින්න ලැබෙන එක තරම් ගෞරවයක් අපිට තවත් තියෙනවද! දෙවිගේ ආදරේ දැනෙද්දී යොහන් කිව්වා වගේ “පියාණන්ට අප සඳහා කොතරම් ප්‍රේමයක් තිබෙනවාද කියා බලන්න” කියලා මුළු හිතින්ම කියන්න අපිටත් පුළුවන්.—1 යොහ. 3:1.