පිරිහුණු ලෝකයක දරුවන් හදා වඩා ගැනීම
පිරිහුණු ලෝකයක දරුවන් හදා වඩා ගැනීම
දෙමව්පියන් ලබා නොදෙන සෙල්ලම් බඩුවක් ඉල්ලා දරුවෙක් අඬන ආකාරය ඔබ දැක තිබෙනවාද? නැත්නම් “සෙල්ලම් කළා ඇති” කියා පවසද්දීත් තවත් සෙල්ලම් කිරීමට උත්සාහ කරන දරුවෙක්ව ඔබ දැක තිබෙනවාද? ඒ අවස්ථා දෙකේදීම දෙමව්පියන්ට අවශ්‍ය වුණේ දරුවන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්නයි. නමුත් බොහෝවිට සිදු වන්නේ දරුවන් නොකඩවා අඬද්දී එපා කියූ දේට දෙමව්පියන් පසුව ඉඩ දීමයි.
බොහෝ දෙමව්පියන් සිතන්නේ දරුවන් ඉල්ලන හැම දෙයක්ම ලබා දීම හොඳ දෙමව්පියන් සතු ලක්ෂණයක් කියායි. උදාහරණයකට එක්සත් ජනපදයේ වයස අවුරුදු 12ත් 17ත් අතර ළමුන් 750 දෙනෙකුව යොදාගෙන සමීක්ෂණයක් පැවැත්වුවා. යම් දේකට දෙමව්පියන් අවසර දුන්නේ නැත්නම් කරන්නේ මොකක්ද කියා ඔවුන්ගෙන් ඇසුවා. සියයට 60ක්ම කියා සිටියේ තමන් ඒ දේ දිගින් දිගටම ඉල්ලා සිටිනවා කියායි. ඔවුන්ගෙන් සියයට 55ක් පමණ පැවසුවේ එම උපාය සාර්ථක බවයි. මෙසේ දරුවන්ගේ කැමැත්තට ඉඩහැරීම ඔවුන්ට ආදරය පෙන්වීමක් කියා ඒ දෙමව්පියන්ට හිතෙන්න ඇති. නමුත් එය ආදරය පෙන්වීමක්ද?
පැරණි හිතෝපදේශයක සඳහන් වන මෙම වදන් සලකා බලන්න. “සේවකයෙකුට බාල කාලයේ සිටම සියලු දේ දෙන්නේ නම්, පසු කාලයේදී ඔහු ඔබට කිසි ස්තුතිවන්තකමක් නොපෙන්වයි.” (හිතෝපදේශ 29:21, නව ලොව පරිවර්තනය, NW) ඉහත වදන් දරුවන්ව ඇති දැඩි කිරීමේදී අදාළ වෙන්නේ කෙසේද කියා සලකා බලන්න. දරුවන් ඉල්ලන හැම දෙයක්ම ලබා දෙමින් ඕනෑවට වඩා හුරතල් කිරීමෙන් ඔවුන් කවදා හරි ‘ස්තුතිවන්ත නොවන,’ හිතුවක්කාර, කිසිම දෙයක් අගය නොකරන වැඩිහිටියන් බවට පත් විය හැකියි.
ඊට වෙනස්ව බයිබලයේ දෙමව්පියන්ට උපදෙස් දී තිබෙන්නේ “දරුවෙකුට අවශ්‍ය නිසි මඟ පෙන්වීම දෙන්න” කියායි. (හිතෝපදේශ 22:6, NW) එම උපදෙස පිළිපදින ඥානවන්ත දෙමව්පියන් දරුවන්ට පැහැදිලි, ස්ථිර මෙන්ම සාධාරණ නීති පනවනවා. දරුවන්ට ඕන ඕන දේ කරන්න ඉඩ දීම ඔවුන්ට ආදරේ පෙන්වීමක් කියා එවැනි දෙමව්පියන් සිතන්නේ නැහැ. කලින් එපා කියූ දෙයක් කරන්න අවසර ඉල්ලා දරුවන් කොතරම් ඇඬුවත්, කේන්තියෙන් කෑ ගැසුවත් එම දෙමව්පියන් වචනේ වෙනස් කරන්නේ නැහැ. මෙලෙස ක්‍රියා කරන දෙමව්පියන් යේසුස් පැවසූ ‘එසේය නම් එසේය, නැත නම් නැත’ යන ප්‍රතිපත්තියට එකඟවයි ක්‍රියා කරන්නේ. (මතෙව් 5:37) දරුවන්ව හොඳින් හදා වඩා ගැනීමට උපකාරවත් වන වැදගත් නිදර්ශනයක් අපි දැන් සලකා බලමු.
“බලවන්තයෙකුගේ අතේ ඇති ඊතල වැනිය”
දරුවන්ට දෙමව්පියන්ගේ මඟපෙන්වීම කොතරම් අවශ්‍යද කියා ගීතාවලිය 127:4, 5හි [NW] මෙසේ සඳහන් වෙනවා. “තරුණ වියේ උපන් දරුවන් බලවන්තයෙකුගේ අතේ ඇති ඊතල වැනිය. එවැනි ඊතලවලින් තම ඊ කොපුව පුරවාගත් මිනිසා සන්තෝෂවත්ය.” මෙම නිදර්ශනයේ දරුවන්ව ඊතලවලටත් මව හෝ පියාව ශක්තිමත් දුනුවායෙකුටත් සමාන කර තිබෙනවා. ඊතලයක් කිසිවිටකත් ඉබේම ඉලක්කයට යන්නේ නැහැ කියා දුනුවායෙක් දන්නවා හා සමානව දරුවන්ද ඉබේම හොඳ මාර්ගයේ යන්නේ නැති බව දෙමව්පියන් දන්නවා. ඔවුන්ගේ අරමුණ වෙන්නේ දරුවන්ව සතුටින් හා වගකීමෙන් වැඩ කරන වැඩිහිටියන් බවට පත් කිරීමයි. දරුවන් හොඳ තීරණ ගෙන අනවශ්‍ය කරදරවලට නොවැටී නැණවත්ව ක්‍රියා කරනවා දකින්නත් ඔවුන් කැමතියි. ඒ සඳහා දෙමව්පියන් යම් වෑයමක් දැරිය යුතුයි.
ඊතලයක් නිසි ඉලක්කයට විදීමට නම් මුලින්ම එය හොඳින් සාදාගත යුතුයි. දෙවනුව එය ආරක්ෂා කිරීම වැදගත්. තුන්වෙනුව එය නිසි ඉලක්කයටම විදිය යුතුයි. දරුවෙකුව සාර්ථක වැඩිහිටියෙක් කිරීමටත් එම කරුණු තුනම අදාළ වෙනවා. ඒ කෙසේද කියා දැන් අපි සලකා බලමු.
හොඳ ඊතලයක් සාදාගැනීම
අතීතයේ සිටි දුනුවායන් ඊතල සෑදුවේ ඉතා පරෙස්සමෙනුයි. ඔවුන් ඒ සඳහා යොදාගත්තේ සැහැල්ලු ලී වර්ගයක්. පසුව එම ලී නිසි ප්‍රමාණයට කපාගෙන කෙළින් කිරීම අවශ්‍ය වුණා. ඊතලයේ ඉදිරි කොණේ තියුණු උලක් තිබූ අතර අනිත් කොණේ පිහාටු සවි කර තිබූ නිසා ඊතලයට නිවැරදි ඉලක්කයටම යෑමට හැකි වුණා.
දෙමව්පියන්ට අවශ්‍ය වෙන්නේ දරුවන් ඇද නැති ඊතල මෙන් අවංක ලෙස හරි මාර්ගයේ යනවා දකින්නයි. එමනිසා ඥානවන්ත මාපියන් දරුවන් බරපතළ වැරදි කරද්දී ඇස් කන් පියාගෙන සිටින්නේ නැහැ. ඒ වෙනුවට එම වැරදි හදාගැනීමට ප්‍රේමණීය ලෙස ඔවුන්ට උපකාර කරනවා. ‘මෝඩකම දරුවෙකුගේ සිතට බැඳී තිබෙන නිසා’ ඕනෑම දරුවෙකුට නිසි පුහුණුව ලබා දෙන්න පරිශ්‍රමයක් දැරිය යුතුයි. (හිතෝපදේශ 22:15, NW) බයිබලයේ පවසන ආකාරයට දරුවන්ව නිවැරදි කිරීමේ වගකීම තිබෙන්නේ දෙමව්පියන්ටයි. (එෆීස 6:4) ඔවුන් එය නිසි ලෙස කරනවා නම් දරුවාගේ සිත සහ පෞද්ගලිකත්වය මනා ලෙස ගොඩනඟන්න හැකි වෙනවා.
හිතෝපදේශ 13:24හි [NW] මෙසේ සඳහන් වෙනවා. “වේවැළ පාවිච්චි නොකරන්නා තම දරුවාට වෛර කරයි. නමුත් දරුවාට ප්‍රේම කරන්නා අවශ්‍ය හික්මවීම දීමට මැළි නොවෙයි.” මෙම පදයේ වේවැළ යොදාගෙන දරුවන්ව හික්මවීම ගැන පෙන්නුම් කරනවා. ඉන් අදහස් වෙන්නේ ප්‍රේමණීය ලෙස තරවටු කර දරුවන්ව නිවැරදි කළ යුතු බවයි. එසේ නොකළොත් ඔවුන් වැඩිහිටියන් වූ පසු නොමඟ ගොස් ජීවිතයේ සතුට නැති කරගනියි. මේ අනුව දරුවන්ව නිවැරදි කිරීම ඔවුන්ට ආදරය පෙන්වීමක් වෙනවා. අනිත් අතට එසේ නොකිරීම දරුවන්ට වෛර කිරීමක්.
ප්‍රේමණීය දෙමව්පියන් නීති පැනවීමට හේතුව දරුවන්ට පහදා දෙනවා. දරුවන්ව නිවැරදි කිරීම කියන්නේ නීති පැනවීම හා දඬුවම් කිරීම පමණක් නෙවෙයි. වඩා වැදගත් වන්නේ නීතියක් දැමීමට හේතුව තේරුම් කර දීමයි. බයිබලයේ ඒ ගැන මෙසේ පවසා තිබෙනවා. “තේරුම්ගැනීමේ හැකියාව ඇති පුත්‍රයා නීතිය පිළිපදියි.”—හිතෝපදේශ 28: 7, NW.
දුනුවායෙක් ඊතලයකට පිහාටු සවි කළොත් පමණයි එය නිසි ඉලක්කයට යන්නේ. ඒ හා සමානව දරුවන්ව බයිබල් ප්‍රතිපත්ති අනුව පුහුණු කළොත් පමණයි ඔවුන් දෙමව්පියන්ගෙන් වෙන් වූ පසුත් හරි මාර්ගයේම ගමන් කරන්නේ. (එෆීස 3:14, 15) එසේනම් දරුවන්ගේ සිත්වලට බයිබල් ප්‍රතිපත්ති කාවද්දන්න දෙමව්පියන්ට හැක්කේ කෙසේද?
මෝසෙස්ගේ කාලයේ සිටි ඊශ්‍රායෙල් දෙමව්පියන්ට දෙවි දුන් මෙම උපදෙස සලකා බලන්න. “මේ වචන හොඳින් සිතේ තබාගන්න. ඒවා ඔබේ දූ පුතුන්ගේ සිත්වලට කාවද්දන්න.” (ද්විතීය කතාව 6:6, 7, NW) මේ පදයට අනුව ප්‍රථමයෙන්ම දෙමව්පියන් දේවවචනයේ තිබෙන දේවල් ඉගෙනගෙන ඒවා තමන්ගේ ජීවිතයට අදාළ කරගත යුතුයි. ඇත්තෙන්ම ඔවුන් දේවවචනයට ඇලුම් කළ යුතුයි. (ගීතාවලිය 119:97) එසේ කිරීමෙන් පසු දෙමව්පියන්ට හැකියි දෙවිගේ නීති දරුවන්ගේ සිත් තුළට “කාවද්දන්න.” ඉන් අදහස් වෙන්නේ නිතර නිතර දරුවන්ගේ සිතට කාවදින ආකාරයකින් දෙවිගේ නීතිවල තිබෙන වටිනාකම ඔවුන්ට කියා දීමයි.
එදා මෙන්ම අදත් බයිබල් ප්‍රතිපත්ති දරුවන්ට කියා දී ඔවුන්ගේ වැරදි හදාගැනීමට උපකාර කිරීම ඉතා ඥානවන්ත දෙයක්. “ඊතල” වැනි දරුවන්ව සාර්ථක වැඩිහිටියන් කිරීම සඳහා මෙය ඉතා වැදගත්.
ඊතලය ආරක්ෂා කිරීම
ගීතාවලිය 127: 4, 5හි සඳහන් නිදර්ශනයට අනුව දුනුවායා ඊතලවලින් ඔහුගේ ‘ඊ කොපුව පුරවාගෙන’ තිබුණා. ඊතලයක් සාදාගත් පසු එයට කිසි හානියක් නොවන සේ එය ආරක්ෂා කළ යුතු නිසයි දුනුවායෙක් ඊතල ඊ කොපුවේ ගෙන ගියේ. යේසුස් ගැන සඳහන් වූ එක් අනාවැකියක ඔහුව සමාන කර තිබෙන්නේ යෙහෝවා දෙවි විසින් ‘ඊ කොපුවේ සඟවන’ ලද උල් කළ ඊතලයකටයි. (යෙසායා 49:2, NW) ගැලවුම්කරු ලෙස යේසුස් මිය යෑමට නියමිත මොහොත පැමිණෙන තෙක් ප්‍රේමණීය පියෙක් මෙන් දෙවි තම පුත්‍රයාගේ ජීවිතයට කිසිම අනතුරක් වෙන්න ඉඩ නොදී ඔහුව ආරක්ෂා කළා. මිය ගිය පසුවත් ඔහුට සදහටම මළ තත්වයේ පසු වෙන්න දෙවි ඉඩ තැබුවේ නැහැ. ඒ වෙනුවට ස්වර්ගයේ සදාකාලික ජීවිතයක් ලබා දුන්නා.
ඒ හා සමානව සැලකිලිමත් දෙමව්පියන් මේ පිරිහුණු ලෝකයේ හානිකර දේවලින් දරුවන්ව ආරක්ෂා කිරීමට වගබලා ගන්නවා. එමනිසයි ඔවුන් දරුවන්ට යම් සීමා තහංචි පනවන්නේ. උදාහරණයකට “නරක ආශ්රයෙන් හොඳ පුරුදු නැති වන්නේය” කියා බයිබලයේ දී තිබෙන උපදෙස ඥානවන්ත දෙමව්පියන් බැරෑරුම්ව හිතට ගන්නවා. (1 කොරින්ති 15:33) ඒ නිසා බයිබල් ප්‍රමිති අනුව ජීවත් නොවන අයව ඇසුරු කරන්න ඔවුන් දරුවන්ට ඉඩ දෙන්නේ නැහැ. එවැනි අයව ආශ්‍රය කරන්න ඉඩ දුන්නොත් දරුවන්ට භයානක ප්‍රතිඵල අත්විඳින්න සිදු වෙනවා.
දෙමව්පියන් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කරන හැම දෙයක්ම දරුවන් අගය නොකරන්න පුළුවන්. බොහෝ අවස්ථාවලදී දෙමව්පියන් දරුවන් කැමති දේවල් කරන්න ඉඩ නොදෙන විට දරුවන්ට කේන්ති යනවා. දරුවන්ව ඇති දැඩි කිරීම සම්බන්ධයෙන් එක් ලේඛිකාවක් ලියූ පොතක මෙවැනි අදහසක් සඳහන් වුණා. “දෙමව්පියන් කරන දේවලට දරුවන් ඒ මොහොතේම ස්තුතිවන්ත නොවුණත් දෙමව්පියන් තමන්ට රැකවරණයක් ලබා දෙමින් අනාගතය සඳහා නිසි අඩිතාලමක් දමනවාට ඔවුන් කැමතියි. ඒක හොඳින් කරන්න නම් දෙමව්පියන් තම වගකීම බැරෑරුම්ව සිතට ගෙන ඔවුන්ට යම් සීමා පනවන්න අවශ්‍යයි.”
දරුවන්ට ආදරය පෙන්විය හැකි හොඳම ක්‍රමය නම් දරුවන්ගේ හොඳ ගතිගුණ නැති කර දැමිය හැකි දේවලින් ඔවුන්ව ආරක්ෂා කිරීම හෝ දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව ජීවත් වීමට උපකාර කිරීමයි. ඔවුන් උස් මහත් වෙද්දී ඔබ දැමූ නීතිවලට හේතුව තේරුම්ගන්නා විට ඔබ දුන් ප්‍රේමණීය රැකවරණය ඔවුන් අගය කරාවි.
ඉලක්කයටම විදීම
ගීතාවලිය 127:4, 5හි දෙමාපියෙකුව සමාන කර තිබෙන්නේ ‘බලවන්තයෙකුටයි.’ ඉන් අදහස් කරන්නේ දක්ෂ දෙමාපියෙක් විය හැක්කේ පියෙකුට විතරක් බවද? නැහැ. මෙම නිදර්ශනයේ ප්‍රතිපත්තිය පියවරුන්ට වගේම මව්වරුන්ට හා තනි මාපියන්ටත් අදාළයි. (හිතෝපදේශ 1:8) ‘බලවන්තයෙක්’ කියා පැවසීමෙන් පැහැදිලි වෙන්නේ ඊතලයක් විදීමට යම් ශක්තියක් අවශ්‍ය වූ බවයි. අතීතයේ භාවිත කළ සමහර දුනුවලට තඹ ආලේප කර තිබුණු නිසා දුනු ලණුව ගැට ගසන්න සිද්ධ වුණේ දුන්න කකුලෙන් පාගාගෙනයි. (යෙරෙමියා 50:14, 29) එවැනි දුන්නකින් ඊතලයක් ඉලක්කයටම විදීමට ලොකු ශක්තියක් යොදවන්න සිදු වුණා.
ඒ හා සමානව දරුවන්ව ඇති දැඩි කිරීමටත් වෑයමක් අවශ්‍යයි. ඊතලයක් විදීමට දුනුවායෙක් අවශ්‍ය වන්නාක් මෙන් දරුවෙකුව ඇති දැඩි කිරීමට දෙමව්පියන් අවශ්‍යයි. නමුත් කනගාටුවට කරුණක් වන්නේ අද බොහෝ දෙමව්පියන් ඒ සඳහා පහසු ක්‍රම අත්හදාබැලීමයි. දරුවන්ට ලිංගික කාරණා ගැන දැනගැනීමටත් හරි වැරැද්ද තීරණය කිරීමටත් රූපවාහිනිය, පාසැල සහ මිතුරන් වෙත එළඹෙන්න ඔවුන් ඉඩහරිනවා. දරුවන්ගේ හිතුමතේට වැඩ කිරීමට ඉඩ දෙන්නේ දෙමව්පියන් ඔවුන්ගේ සිත රිද්දන්න අකමැති නිසයි. මෙසේ දෙමව්පියන් දරුවන්ට ඕනෑවට වඩා බුරුලක් දීම නිසා දරුවෝ කරදරේ වැටෙනවා.
දරුවන්ව ඇති දැඩි කිරීම ලේසි පහසු කාර්යයක් නෙවෙයි. දෙවිගේ වචනයේ මඟ පෙන්වීම්වලට අනුව එසේ කිරීමට යම් වෑයමක් දරන්න සිදු වෙනවා. නමුත් එයින් ලැබෙන ප්‍රයෝජන මිල කරන්න බැහැ. දෙමව්පියන්ට ලියැවුණු සඟරාවක මෙසේ සඳහන් වුණා. “වගකීමේ හැඟීමකින් යුතුව ප්‍රේමයෙන් තම දරුවන්ව හදා වඩා ගන්නා අතරම යම් සීමා පනවන දෙමව්පියන් යටතේ හැදී වැඩෙන දරුවන් අධ්‍යාපන කටයුතු සාර්ථකව කරන්නත් අන් අය සමඟ හොඳින් ඇසුරු කරන්නත් පෙලඹෙනවා. දරුවන්ට ඕනෑවට වඩා ඉඩ දෙන හෝ ඉතා තදින් ක්‍රියා කරන දෙමව්පියන්ගේ දරුවන්ට වඩා ඔවුන් තමන් ගැනම හොඳ හැඟීමක් ඇතුව සතුටින් සිටිනවා.”—Perents’, නම් සඟරාව.
ඊටත් වඩා ලැබෙන මහඟු ප්‍රයෝජනයක් ගැන හිතෝපදේශ 22:6හි [NW] මෙසේ පවසනවා. “දරුවෙකුට අවශ්‍ය නිසි මඟ පෙන්වීම දෙන්න. එවිට ඔහු වැඩුණු කලද එයින් අහක්ව යන්නේ නැත.” දරුවන් නොමඟ යන්නේ නැහැ කියා මෙම හිතෝපදේශයෙහි සහතිකයක් දෙනවාද? නැහැ. ඊට හේතුව දරුවා වැඩුණු විට තනිවම තීරණ ගැනීමට ඔහුට නිදහස තිබීමයි. නමුත් මේ බයිබල් පදයේ දෙමව්පියන්ට බලාපොරොත්තු තැබිය හැකි යම් හොඳ පැත්තක් ගැනත් පෙන්වනවා. ඒ කුමක්ද?
බයිබලයේ දී තිබෙන උපදෙස්වලට අනුව ඔබේ දරුවන්ව පුහුණු කරනවා නම් අනාගතයේදී හොඳ ප්‍රතිඵල අද්දැකිය හැකියි. ඔවුන් වගකීමෙන් කටයුතු කරමින් ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන වැඩිහිටියන් බවට පත් වෙනවා ඔබ දකියි. (හිතෝපදේශ 23:24) එසේ වීමට නම් අගනා ඊතල වැනි ඔබේ දරුවන්ව හොඳින් ඇති දැඩි කිරීමටත්, ආරක්ෂා කිරීමටත්, නිසි මඟ යැවීමටත් වෑයමක් දරන්න. එසේ කළොත් ඔබට කවදාවත් පසුතැවෙන්න සිදු වෙන්නේ නැහැ.
[13වන පිටුවේ පින්තූරය]
දරුවන් ඉල්ලන ඉල්ලන දේවල් දීම ප්‍රේමය පෙන්වීමක්ද?
[15වන පිටුවේ පින්තූරය]
ප්‍රේමණීය දෙමව්පියන් නීති පැනවීමට හේතුව දරුවන්ට පහදා දෙනවා
[15වන පිටුවේ පින්තූරය]
මේ පිරිහුණු ලෝකයේ හානිකර දේවලින් දෙමව්පියන් දරුවන්ව ආරක්ෂා කරනවා
[16වන පිටුවේ පින්තූරය]
දරුවන්ව හොඳින් හදා වඩා ගැනීමට වෑයමක් දැරිය යතු වුණත් එහි ප්‍රතිඵල මිල කරන්න බැහැ