සොබාදහමෙන් හෙළි වන දෙවිගේ ප්‍රඥාව
සොබාදහමෙන් හෙළි වන දෙවිගේ ප්‍රඥාව
“සතුන්ට ලබාගත නොහැකි දැනුම මිනිසාට ලබා දෙන්නේ ඔහුය. අහසේ පියාසර කරන පක්ෂීන්ට වඩා අපට ප්‍රඥාවන්තව ක්‍රියා කිරීමට හැකියාව ලබා දෙන්නේ ඔහුය.”—යෝබ් 35:11, නව ලොව පරිවර්තනය, NW.
පක්ෂීන් කිසිම වෙහෙසක් නොදරා පියාසර කරන ආකාරය දැක ගුවන් යානා නිපදවන අය පුදුම වෙනවා. සමහර කුරුලු විශේෂයන් මාර්ග සලකුණු නොමැති මහා සාගරය හරහා කිලෝමීටර් දහස් ගණනක් දුර පියඹා ගමනාන්තයට යනවා. ඇත්තෙන්ම ඒවා පුදුමාකාර හැකියාවන්.
කුරුල්ලන් සතු තවත් කැපීපෙනෙන හැකියාවක් වන්නේ සන්නිවේදනය කිරීමේ හැකියාවයි. උන්ව නිර්මාණය කළ දෙවි සතු ප්‍රඥාව එයින් පැහැදිලි වෙනවා. මේ සම්බන්ධයෙන් උදාහරණ කීපයක් සලකා බලමු.
කුරුලු කතා
සමහර කුරුල්ලන් බිත්තරයෙන් එළියට පැමිණීමට පෙර සිටම සන්නිවේදනය කරනවා. උදාහරණයකට වටු කිකිළි ගැන සලකා බලමු. ඌ දිනකට එක බැගින් බිත්තර අටක් පමණ දමනවා. ඒ හැම බිත්තරයක්ම එකම වේගයකින් වර්ධනය වුණොත් දවසට එක පැටියෙක් බැගින් බිත්තරයෙන් එළියට පැමිණෙයි. එවිට වටු කිකිළිට සිදු වන්නේ එක බිත්තරයක් රකින ගමන් අනිත් පැටවුන්වත් බලාගන්නයි. එය ලෙහෙසි කාර්යයක් නෙවෙයි. නමුත් බිත්තරවලින් පැටවුන් අටදෙනාම එළියට එන්නේ පැය හයක් ඇතුළතයි. එය සිදු වන්නේ කෙසේද? පර්යේෂකයන් සොයාගෙන තිබෙන ආකාරයට වටු පැටවුන් සන්නිවේදනය කිරීමට පටන්ගන්නේ බිත්තරය තුළ සිටියදීමයි. එලෙස උන් එකම වෙලාවේ බිත්තරයෙන් එළියට එන්න සැලසුම් කරගන්නවා.
සාමාන්‍යයෙන් ගී ගයන්නේ කුරුල්ලනුයි. උන් විශේෂයෙන්ම එය කරන්නේ කිරිල්ලියක්ව සොයාගෙන තම බලප්‍රදේශය ලකුණු කරගන්නයි. හැම කුරුලු විශේෂයකටම උන්ටම ආවේණික වූ භාෂාවක් තිබෙනවා. ඒ නිසා කිරිල්ලියන්ට තමන්ගේම වර්ගයේ කුරුල්ලන්ව හඳුනාගන්න පහසුයි.
කුරුල්ලන් වැඩියෙන්ම ගී ගයන්නේ හිමිදිරි උදෑසන හෝ සවස් යාමයේදීයි. එසේ කිරීමට හොඳ හේතුවක් තිබෙනවා. ඒ වෙලාවට වැඩි සුළඟක් හමන්නේවත් අවටින් වැඩි සද්දයක් ඇසෙන්නේවත් නැහැ. දහවල් කාලයට වඩා උදෑසන හා සවස් යාමයේ උන්ගේ හඬ 20ගුණයකින් පැහැදිලිව ඇසෙන බව පර්යේෂකයන් පවසනවා.
කුරුල්ලන්ට මෙන්ම කිරිල්ලියන්ටත් විවිධ අර්ථයන් දෙන හඬවල් නිකුත් කිරීමේ හැකියාව තිබෙනවා. උදාහරණයකට චැෆින්ච් නම් කුරුලු විශේෂයට හැකියි එවැනි විවිධාකාර හඬවල් නවයක් නිකුත් කරන්න. අහසින් පැමිණෙන පක්ෂියෙකුගෙන් හානියක් සිදුවෙයි කියා අනතුරු ඇඟවීමට මේ කුරුල්ලන් එක්තරා ආකාරයේ හඬක් නිකුත් කරනවා. පොළොවෙන් පැමිණෙන යම් හානියක් ගැන අනතුරු අඟවන්න උන් නඟන්නේ වෙනත් ආකාරයක හඬක්.
මිල කළ නොහැකි ත්‍යාගයක්
අදහස් හුවමාරු කරගැනීමට කුරුල්ලන්ට හා වෙනත් සතුන්ට තිබෙන හැකියාවට වඩා විශිෂ්ට හැකියාවක් මිනිසාට තිබෙනවා. ඒ නිසයි ‘අහසේ පියාසර කරන පක්ෂීන්ට වඩා ප්‍රඥාව’ ඇතුව දෙවි මිනිසුන්ව නිර්මාණය කළ බව යෝබ් පැවසුවේ. (යෝබ් 35:11) ගැඹුරු අදහස් හා සංකීර්ණ කාරණා වචනවලට පෙරළීමේ හෝ අංගචලනයන් දැක්වීමේ පුදුමාකාර හැකියාව තිබෙන්නේ මිනිසුන්ට පමණයි.
අනිකුත් ජීවීන්ට වඩා වෙනස්ව කුඩා අවධියේදීම ළදරුවෙකුට විවිධ භාෂා ඉගෙනගැනීමේ හැකියාව තිබෙනවා. එක් සඟරාවක මෙසේ සඳහන් වුණා. “ළදරු අවධියේදී දෙමව්පියන් දරුවා සමඟ කතා නොකළත් තනිවම භාෂාවන් ඉගෙනගැනීමේ හැකියාව ළදරුවෙකුට තිබෙනවා. එමෙන්ම බිහිරි දරුවන්ට දෙමව්පියන් සංඥා භාෂාව ඉගැන්නුවේ නැතත් තමන්ගේම සංඥා භාෂාවකින් අදහස් ප්‍රකාශ කරන්න ඔවුන් පටන්ගන්නවා.”—අන්තර්ජාලයෙන් ලබාගත හැකි American Scientist සඟරාව.
අපේ හැඟීම් හා සිතුවිලි වචනවලින් හෝ සංඥාවලින් අන් අය සමඟ බෙදාගැනීමට තිබෙන හැකියාව පුදුමාකාරයි. මේ සියල්ලටම වඩා යාච්ඤාව තුළින් දෙවි සමඟ අදහස් හුවමාරු කිරීමට ලැබී තිබෙන ප්‍රස්තාව අගනා ත්‍යාගයක්. “කිසි දෙයක් ගැන කනස්සලු නොවී සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න” කියා දෙවිම අපට ආරාධනා කරනවා.—ෆිලිප්පි 4:6.
අපි ප්‍රශ්නවලට මුහුණ දෙද්දී බයිබලයේ ඇති ප්‍රඥාවන්ත උපදෙස් අදාළ කරගන්නවා දකින්න දෙවි කැමතියි. ඒ සඳහා ඔහු අපට උපකාර කරන ආකාරය ගැන බයිබල් ලේඛකයෙක් මෙසේ පැවසුවා. “එබැවින්, දෙවි සියල්ලන්ට නොමසුරුව, දොස් නොතබා දෙන හෙයින් ඔබෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, ඔහු නොකඩවා දෙවිගෙන් ඉල්ලාවා! එවිට එය ඔහුට දෙනු ලැබේ.”—යාකොබ් 1:5.
ඔබ ප්‍රයෝජන ලබන්නේ කෙසේද?
කුරුල්ලන්ගේ මිහිරි නාදය ඇසෙද්දී හෝ දරුවෙක් මුල්ම වචන තෙපළන්න උත්සාහ කරද්දී ඔබට හැඟෙන්නේ කෙසේද? යෙහෝවා දෙවි නිර්මාණය කර තිබෙන දේවලින් ඔහුගේ ප්‍රඥාව ඔබ දකිනවාද?
තමාව සාදා තිබෙන ආකාරය ගැන ගැඹුරින් කල්පනා කළ ගීතිකාකාර දාවිත් දෙවිට මෙසේ ප්‍රශංසා කළා. “ඔබ මාව කොතරම් පුදුමාකාර ලෙස සාදා ඇද්ද! ඒ ගැන මා කල්පනා කර බලන විට මා තුළ මහත් ගරුබියක් ඇති වන්නේය. මම ඔබට ප්‍රශංසා කරමි. ඔබේ ක්‍රියා පුදුමාකාරය. මම එය හොඳින් දනිමි.” (ගීතාවලිය 139:14, NW) දෙවි නිර්මාණය කර තිබෙන දේවලින් පිළිබිඹු වන ප්‍රඥාව අගය කරද්දී නිසි මඟ පෙන්වීම් ලබා දෙන්න ඔහුට තිබෙන හැකියාව ගැන ඔබගේ විශ්වාසය තවත් වැඩි වෙයි.
[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
අදහස් හුවමාරු කිරීමේ හැකියාව දෙවිගෙන් ලද වටිනා ත්‍යාගයක්
[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
© Dayton Wild/Visuals Unlimited