යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යුද්ධවලට හවුල් නොවන්නේ ඇයි?
පාඨකයන් අසයි
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යුද්ධවලට හවුල් නොවන්නේ ඇයි?
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෝකයේ කොතැනක ජීවත් වුණත් ඔවුන් කිසිම යුද්ධයකට සහභාගි වන්නේ නැහැ. ඒ ගැන එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වුණා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කිසි දිනෙක යුද්ධවලදී පැති ගන්නේ නැහැ.”—Australian Encyclopædia නම් විශ්වකෝෂය.
ඔවුන් යුද්ධවලට හවුල් නොවීමට ප්‍රධාන හේතුව නම් යේසුස් දුන් ආඥා හා ඔහුගේ ආදර්ශයට එකඟව ඔවුන් ක්‍රියා කිරීමයි. අසල්වැසියන්ට ප්‍රේම කරන්න කියා ඉගැන්වූ යේසුස් මෙසේද පැවසුවා. “ඔබේ සතුරන්ට නොකඩවා ප්‍රේම කරන්න. ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න.” (ලූක් 6:27; මතෙව් 22:39) එක් අවස්ථාවකදී යේසුස්ව ආරක්ෂා කිරීමට ඔහුගේ ගෝලයෙක් කඩුවක් අතට ගත් විට “ඔබේ කඩුව තිබුණ තැනට ආපසු දමන්න. මන්ද කඩු ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසින්නේය” කියා යේසුස් පැවසුවා. (මතෙව් 26:52) මෙසේ යේසුස් වචනයෙන් මෙන්ම ආදර්ශයෙන් පෙන්වූයේ තම අනුගාමිකයන් කිසිදාක යුද්ධ නොකළ යුතු බවයි.
සාක්ෂිකරුවන් යුද්ධවලට සම්බන්ධ නොවීමට බලපාන තවත් හේතුවක් නම් ‘එකිනෙකා අතරේ ප්‍රේමය ඇතුව සිටින්න’ කියා යේසුස් දුන් ආඥාවට ඔවුන් කීකරු වීමයි. (යොහන් 13:35) ඒ අනුව ඔවුන් යුධ කටයුතුවලට සම්බන්ධ වුණොත් එය තම සහෝදරයන්ට විරුද්ධව නැඟී සිටීමක් වෙනවා. හේතුව ඔවුන් ලොව පුරා විසිරී සිටින එක්සත් සෙනඟක් වීමයි.
ඉහත සඳහන් කළ ප්‍රේමය පිළිබඳ ආඥා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ක්‍රියාවට නංවා තිබෙනවා. උදාහරණයකට 1939 සිට 1945 දක්වා කාලයේ පැවති දෙවන ලෝක මහා යුධ සමයේදී ඔවුන් ක්‍රියා කළ ආකාරය සලකා බලන්න. යුද්ධයට සම්බන්ධ නොවීම නිසා එක්සත් ජනපදයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 4,300කට වඩා වැඩි පිරිසක්ව සිරගත කළා. බ්‍රිතාන්‍යයේද යුධමය කටයුතුවලට හවුල් නොවූ සාක්ෂිකරුවන් 1,500කට වඩා වැඩිදෙනෙකුව සිරගත කළා. ඒ අතර ස්ත්‍රීන් 300කට අධික පිරිසක්ද සිටියා. ජර්මනියේ නාට්සි පාලන සමයේදී සාක්ෂිකරුවන් 270කට වඩා වැඩිදෙනෙකුව ඝාතනය කළ අතර තවත් 10,000කට අධික සංඛ්‍යාවක් සිර කඳවුරුවලට හෝ ගාල් කඳවුරුවලට දමනු ලැබුවා. ජපානයේ සිටි සාක්ෂිකරුවන්ද මුහුණ දුන්නේ එවැනිම තත්වයකටයි. දෙවන ලෝක මහා යුද්ධය නිසා හෝ ඉන්පසුව ඇති වූ වෙනත් යුද්ධවලින් ඔබ ආදරය කළ අය මිය ගොස් තිබෙනවාද? එසේනම් එවැනි මරණවලට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කිසිම ආකාරයකින්වත් සම්බන්ධ නොවූ බවට සහතික වන්න ඔබට හැකියි.
විසි හැවිරිදි වෝල්ෆ්ගාං කුසරෝ නම් ජර්මානු ජාතිකයා මිය යෑමට පෙර පැවසූ වදන්වලින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යුද්ධය ගැන දරන ආකල්පය අපට තේරුම්ගත හැකියි. ඔහු යුද්ධයට බැඳීම ප්‍රතික්ෂේප කළ නිසා 1942දී නාට්සි හමුදාව ඔහුගේ හිස ගසා දැමීමට තීරණය කළා. (යෙසායා 2:4) මිය යෑමට පෙර ඔහු පැවසුවේ මෙයයි. “මම හැදී වැඩුණේ බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ක්‍රියා කරන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහටයි. ‘සියල්ලට වඩා ඔබේ දෙවිට ප්‍රේම කරන්න, ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේම කරන්න’ යන ආඥාව තමයි දෙවි මිනිසුන්ට දීලා තියෙන වැදගත්ම ආඥාව. ඒ වගේම ‘මිනී නොමරන්න’ කියලත් දෙවි ආඥා කරලා තියෙනවා. දෙවි මේ ආඥාවන් දීලා තියෙන්නේ ගස්වලටද නැත්නම් අපිටද?”—මාක් 12:29-31; නික්මයාම 20:13.
මුළු ලෝකයටම සාමය උදා කළ හැක්කේ සියලු බලැති යෙහෝවා දෙවිට පමණක් බව ඔහුගේ සෙනඟ දැඩි සේ විශ්වාස කරනවා. ‘පොළොවේ සිදු වන සියලු යුද්ධ නවත්වන්නේය’ කියා දෙවි දී තිබෙන පොරොන්දුව ඉටු කරන තෙක් ඔවුන් ඉතා ආශාවෙන් බලා සිටිනවා.—ගීතාවලිය 46:9, නව ලොව පරිවර්තනය.