Skip to content

පටුනට යන්න

ඉතිහාසයේ පෙරළියක් ඇති කළ “තර්ෂිෂ්හි නැව්”

ඉතිහාසයේ පෙරළියක් ඇති කළ “තර්ෂිෂ්හි නැව්”

ඉතිහාසයේ පෙරළියක් ඇති කළ “තර්ෂිෂ්හි නැව්”

“ඔබේ භාණ්ඩ ප්‍රවාහණය කිරීමට තර්ෂිෂ්හි නැව් යොදාගන්නා ලදි.”—එසකියෙල් 27:25, නව ලොව පරිවර්තනය, NW.

තර්ෂිෂ්හි නැව් ඊශ්‍රායෙලයේ සලමොන් රජුව පොහොසත් කළා. එම නැව් සෑදූ ෆිනීෂියානුවන් ග්‍රීක හා රෝම භාෂාවට අලුතින් අකුරු එකතු කළා. ලොව වැඩියෙන්ම බෙදාහැර තිබෙන පොත වන ශුද්ධ බයිබලයට එම නම ලැබී තිබෙන්නේත් ෆිනීෂියානුවන්ගේ බෙබ්ලස් යන නගරය මුල් කරගෙනයි.

ෆිනීෂියානුවන්ගේ නැව්වලට තර්ෂිෂ් යන නම ලැබුණේ කෙසේද? ෆිනීෂියානුවන් හා ඔවුන්ගේ නැව් සම්බන්ධ තොරතුරුවලින් බයිබලයේ නිවැරදිභාවය තහවුරු වන්නේ කෙසේද?

මධ්‍යධරණී මුහුද අරක්ගත්තන්

යේසුස් උපත ලබන්න වසර දහසකට පෙර සිටම ෆිනීෂියානුවන් මුහුදු ගමන්වලට නම් දරා සිටියා. ඔවුන්ගේ දේශය පිහිටා තිබෙන්නේ වෙරළාසන්නයේයි. උතුරෙන් නැඟෙනහිරෙන් හා දකුණෙන් වෙනත් අධිරාජ්‍යයන් පිහිටා තිබූ අතර බස්නාහිර දෙසින් පිහිටා තිබුණේ මධ්‍යධරණී මුහුදයි. ෆිනීෂියානුවන්ට ධනවත් වීමට මඟ පෑදුවේ එම මුහුදයි.

ෆිනීෂියානු වැසියන් වෙළඳ කටයුතු සඳහා නැව් තැනුවා. වෙළඳාමෙන් ලාභ ලැබෙනවාත් සමඟම ඔවුන් දීර්ඝ මුහුදු ගමන් යා හැකි වඩා විශාල නැව් ඉදි කළා. මේ ආකාරයට ඔවුන්ට සයිප්‍රසය, සාර්ඩිනියාව සහ බැලියැරික් දූපත් වෙත යාත්‍රා කිරීමටත් උතුරු අප්‍රිකානු වෙරළ තීරය ඔස්සේ ගොස් ස්පාඤ්ඤයට ගොඩ බසින්නත් හැකි වුණා. (සිතියම බලන්න.)

ෆිනීෂියානුවන් අඩි 100ක් දිග විශාල නැව් තැනුවා. වෙළඳ කටයුතු සඳහා ෆිනීෂියාවේ සිට කිලෝමීටර 4,000ක් දුරින් පිහිටා තිබූ දකුණු ස්පාඤ්ඤය වෙත යන්න එම නැව් යොදාගත්තා. බොහෝවිට තර්ෂිෂ් කියා හැඳින්වූ ප්‍රදේශය පිහිටා තිබෙන්න ඇත්තේ ස්පාඤ්ඤයේ විය හැකියි. එමනිසා ඒ නැව් “තර්ෂිෂ්හි නැව්” ලෙස හඳුන්වනවා. *

ෆිනීෂියානුවන් වෙළඳාම් කර ලාභ ලැබීමෙන් පමණක් සෑහීමට පත් වුණා කියා සිතන්න බැහැ. ඔවුන් පොළොව පුරා තම අණසක පතුරුවන්නත් අරමුණු කරන්න ඇති. ඒ නිසා ඔවුන් විවිධ රටවල්වල ඔවුන්ගේ ජනපද පිහිටුවාගත්තා. මෙලෙස වෙළඳාමේ නිරත වූ ෆිනීෂියානුවන් මධ්‍යධරණී මුහුද අරක්ගත් ජාතියක් බවට පත් වුණා.

මධ්‍යධරණී මුහුද පසු කරමින්

ලාභ උපයන්න ෆිනීෂියානුවන් තුළ දැඩි ආශාවක් තිබූ නිසා ඔවුන් මධ්‍යධරණී මුහුදු සීමාව පසු කරමින් අත්ලාන්තික් සාගරයට පිවිසියා. ඔවුන් ස්පාඤ්ඤයේ දකුණු මුහුදු තීරය ඔස්සේ යාත්‍රා කර ටර්ටෙටස් වෙත ළඟා වුණා. ක්‍රිස්තු පූර්ව 1,100දී පමණ ෆිනීෂියානුවන් ස්පාඤ්ඤයේ වෙරළාසන්නයේ ගේඩර් කියා හැඳින්වූ නගරයක් පිහිටෙව්වා. වර්තමානයේ එය හඳුන්වන්නේ කාඩිස් යන නමිනුයි. මෙය බටහිර යුරෝපයේ විශාලතම නගරයක් බවට පත් වුණා.

ෆිනීෂියානුවන් දේවදාර සහ පයින් වැනි ලී වර්ග, ලුණු, වයින්, කරවල, ලෝහ භාණ්ඩ, වීදුරු, විවිධ මෝස්තරවලින් යුත් රෙදි පිළි සහ දම් පැහැයෙන් වර්ණ ගැන්වූ රෙදි ස්පාඤ්ඤයට අලෙවි කළා. ඒ වෙනුවෙන් ස්පාඤ්ඤය ෆිනීෂියානුවන්ට දුන්නේ මොනවාද?

දකුණු ස්පාඤ්ඤය වටිනා ලෝහවලට ප්‍රසිද්ධත්වයක් ඉසිලුවා. ෆිනීෂියානුවන්ගේ ප්‍රධාන නගරයක් වූ තීර් ගැන අනාගතවක්තෘ එසකියෙල් මෙවැනි දෙයක් පැවසුවා. “තර්ෂිෂ්හි [ස්පාඤ්ඤයේ] වැසියෝ ඔබ සමඟ වෙළඳාම් කළෝය. රිදී, යකඩ, බෙලෙක් හා ඊයම් ඔවුන්ගෙන් ලබාගත් ඔබ, ඔවුන්ට ඔබේ භාණ්ඩ ලබා දුන්නෙහිය.”—එසකියෙල් 27:12NW.

කාඩිස් ප්‍රදේශයට නුදුරෙන් පිහිටි ග්වාඩිල්ක්විවර් ගඟ ආශ්‍රිතව ඛනිජ ලවණ තිබෙන බව ෆිනීෂියානුවන් සොයාගත්තා. වර්තමානයේ එම ස්ථානය හඳුන්වන්නේ රෙඕ ටේන්ටෝ ලෙසයි. දැනට අවුරුදු 3,000ක පමණ කාලයක් තිස්සේ උසස් වර්ගයේ ලෝ පස් එම ස්ථානයෙන් ලබාගෙන තිබෙනවා.

ස්පාඤ්ඤය සහ ෆිනීෂියාව අතර වෙළඳ කටයුතු කඩිනමින් සිදුවීමත් සමඟම ස්පාඤ්ඤයේ වටිනා රිදී ෆිනීෂියාව වෙත ගෙන ආවා. එම රිදීවලින් අසල්වැසි ඊශ්‍රායෙල් රාජ්‍යයත් ප්‍රයෝජන ලැබුවා. උදාහරණයකට ඊශ්‍රායෙලයේ සලමොන් රජත් ෆිනීෂියාවේ හීරාම් රජත් වෙළඳ ගිවිසුම් ඇති කරගත් නිසා ඊශ්‍රායෙලයට බොහෝ රිදී ලැබුණා. ඒ නිසා ඊශ්‍රායෙලයේ සිටි අය රිදී එතරම් ‘වටිනා දෙයක් ලෙස සැලකුවේ නැහැ.’—1 රාජාවලිය 10:21NW. *

ෆිනීෂියානුවන් වෙළඳාමට දක්ෂකම් පෑවත් ඔවුන් කපටි ලෙසත් ක්‍රියා කර තිබෙනවා. තමන් අලෙවි කරන භාණ්ඩ පෙන්වනවා යන මුවාවෙන් මිනිසුන්ව ගෙන ගොස් ඔවුන්ව වහල්කමට විකුණූ බව වාර්තා වෙනවා. කාලයක් පුරා තමන් සමඟ හිතවත්ව වෙළඳාම් කටයුතු කළ ඊශ්‍රායෙල්වරුන්වත් ඔවුන් වහලුන් ලෙස වික්කා. ඒ නිසා ඊශ්‍රායෙලයේ සිටි අනාගතවක්තෘවරුන් ෆිනීෂියාවේ තීර් යන නගරය විනාශ වෙන බවට අනාවැකි පැවසුවා. එම අනාවැකි ඉටු කරමින් මහා ඇලෙක්සැන්ඩර් රජු ක්‍රිස්තු පූර්ව 332දී තීර් නගරය විනාශ කළා. (යෝවෙල් 3:6; ආමොස් 1:9, 10) මෙසේ ෆිනීෂියානු යුගය අවසන් වුණා.

ෆිනීෂියානුවන්ගේ දායාදය

වෙළඳ කටයුතු සම්බන්ධයෙන් ලිඛිත වාර්තා තබාගැනීම ෆිනීෂියානුවන්ගේ විශේෂ ලක්ෂණයක් වුණා. ඔවුන්ගේ භාෂාවේ තිබූ අක්ෂර බොහෝදුරට හෙබ්‍රෙව් අක්ෂරවලට සමානයි. ෆිනීෂියානුවන්ගේ අක්ෂර මාලාව වෙනත් ජාතීන්ගේ අවධානයටත් ලක් වුණා. ප්‍රතිඵලයක් ලෙස වෙනස්කම්වලට ලක් වූ ඔවුන්ගේ අක්ෂරවලින් ග්‍රීක හෝඩිය බිහි වුණා. ඉන්පසුව ග්‍රීක අක්ෂරවලින් අද ලොව වැඩියෙන්ම භාවිත වන රෝම අක්ෂර බිහි වුණා.

ෆිනීෂියාවේ බෙබ්ලස් යන නගරය ලේඛන කටයුතු සඳහා පැපිරස් කොළ බෙදාහැරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධත්වයක් ඉසිලුවා. ප්‍රතිඵලයක් ලෙස ඒ අවධියේ බොහෝ පොත් පත් ලියැවුණා. ලොව වැඩියෙන්ම බෙදාහැර තිබෙන එකම පොත වන ශුද්ධ බයිබලයට ඒ නාමය ලැබී තිබෙන්නේ බෙබ්ලස් යන නම මුල් කරගෙනයි. ෆිනීෂියානුවන් ගැනත් ඔවුන්ගේ නැව් ගැනත් අපි සලකා බැලූ තොරතුරුවලින් පැහැදිලි වෙන්නේ බයිබලය සත්‍ය තොරතුරු ඇතුළත් පොතක් බවයි.

[පාදසටහන්වල]

^ 8 ඡේ. දීර්ඝ මුහුදු ගමන්වලට සුදුසු නැව් විශේෂයක් හැඳින්වීමටත් “තර්ෂිෂ්හි නැව්” යන නම යොදාගැනුණා.

^ 15 ඡේ. සලමොන් රජුට “තර්ෂිෂ් කියා හැඳින්වූ නැව් සමූහයක්” තිබුණු අතර ඒවා හීරාම්ගේ නැව් සමූහය සමඟ එක් වී එෂියොන්-ගෙබෙර් සිට රතු මුහුදේ සහ ඉන් එහා වෙළඳ කටයුතු සඳහා යාත්‍රා කළා.—1 රාජාවලිය 10:22NW.

[27වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ෆිනීෂියානු වෙළඳ මාර්ග

ස්පාඤ්ඤය

ටාර්ටෙසස් (තර්ෂිෂ්)

ග්වාඩිල්ක්විවර් ගඟ

ගේඩර්

කෝර්සිකා

බැලියරික් දූපත්

සාර්ඩිනියාව

සිසිලිය

ක්‍රීටය

සයිප්‍රසය

බෙබ්ලස්

තීර්

මධ්‍යධරණී මුහුද

එෂියොන්-ගෙබෙර්

රතු මුහුද

අප්‍රිකාව

[27වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තු පූර්ව තුන්වන හෝ හතරවන සියවසට අයත් ෆිනීෂියානු නැවක් දැක්වෙන කාසියක්

[27වන පිටුවේ පින්තූරය]

ස්පාඤ්ඤයේ කාඩිස්හි දක්නට ලැබෙන ෆිනීෂියානු ජනපදයක නටබුන්

[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Museo Naval, Madrid

[27වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Coin: Museo Arqueológico Municipal. Puerto de Sta. María, Cádiz; remains: Yacimiento Arqueológico de Doña Blanca, Pto. de Sta. María, Cádiz, España