Skip to content

පටුනට යන්න

යේසුස් අපායක් ගැන ඉගැන්වූවාද?

යේසුස් අපායක් ගැන ඉගැන්වූවාද?

යේසුස් අපායක් ගැන ඉගැන්වූවාද?

“ඔබේ වැටීමට හේතුව ඔබේ ඇස නම් එය උපුටා දමන්න. දෑස ඇතිව අපායේ හෙළනු ලැබීමට වඩා එක ඇසක් ඇතිව දෙවිගේ රාජ්‍යයට ඇතුල් වීම ඔබට යහපත. අපායේදී ඔවුන් කාදමන පණුවා නොනසියි. ඔවුන් දවාළන ගින්නද නොනිවෙයි.”—මාක් 9:47, 48, නව අනුවාදය.

“මා වෙතින් ඉවත් වී යක්ෂයාටද ඔහුගේ දූතයන්ටද සූදානම් කර තිබෙන සදාකාල ගින්නට යන්න” කියා යේසුස් අනාගතයේදී දුෂ්ටයන්ට පවසන බවත් එවිට “ඔවුන් සදාකාල දඬුවම” ලබන බවත් බයිබලයේ සඳහන් වෙනවා.—මතෙව් 25:41, 46, න.අ.

යේසුස් පැවසූ ඉහත වදන් කියවන විට, මිය ගිය මිනිසුන් අපායක දුක් විඳිනවා යන ඉගැන්වීම යේසුස්ද අනුමත කළා කියා කෙනෙකුට හැඟෙන්න පුළුවන්. නමුත් බයිබලයට පටහැනි එවැනි දෙයක් යේසුස් අනුමත කරයි කියා අපට කොහෙත්ම සිතන්න බැහැ. ඊට හේතුව “මිය ගිය අය කිසිවක් නොදනිති” කියා බයිබලයේ සඳහන් වී තිබීමයි.—දේශනාකාරයා 9:5, නව ලොව පරිවර්තනය, NW.

පුද්ගලයෙකුව ‘අපායට හෙළනවා’ කියා පැවසීමෙන් යේසුස් අදහස් කළේ කුමක්ද? යේසුස් සඳහන් කළ “සදාකාල ගින්න” සැබෑ එකක්ද නැතිනම් සංකේතාත්මක එකක්ද? පව්කාරයන්ව ‘සදාකාල දඬුවමට’ පමුණුවනවා කියා පැවසීමෙන් යේසුස් අදහස් කළේ කුමක්ද? දැන් අපි එම ප්‍රශ්නවලට පිළිතුරු සලකා බලමු.

පුද්ගලයෙකුව ‘අපායට හෙළනවා’ කියා පැවසීමෙන් යේසුස් අදහස් කළේ කුමක්ද? මාක් 9:47හි ‘අපාය’ ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක වචනය වන්නේ ගිඑන්නා (ගෙහෙන්නා) යන්නයි. එම ග්‍රීක වචනය සෑදී තිබෙන්නේ ගෙ හින්නොම් යන හෙබ්‍රෙව් වචනයෙනුයි. එම හෙබ්‍රෙව් වචනයේ අර්ථය වන්නේ “හින්නොම්ගේ නිම්නය” යන්නයි. එම නිම්නය පිහිටා තිබුණේ පැරණි යෙරුසලම් නගරයෙන් පිටතයි. අතීතයේ ඊශ්‍රායෙල් රජවරුන් පාලනය කළ සමයේ දරුවන්ව ගින්නට දමා දෙවිවරුන්ට පූජා කළේ මෙම නිම්නයේදීයි. දෙවි එය කොතරම් හෙළාදැක්කාද කියනවා නම් එවැනි ක්‍රියා කරන අයව විනාශ කර දමන බව ඔහු පැවසුවා. එය තවදුරටත් හින්නොම්ගේ නිම්නය ලෙස නොව “මළ මිනී ගොඩගසනු” ලබන “මිනී මරන” නිම්නය ලෙස හඳුන්වනු ලබන බව දෙවි සඳහන් කළා. (යෙරෙමියා 7:30-34NW) හින්නොම්ගේ නිම්නය කියන්නේ මිනිසුන් දුක් වේදනා විඳින ස්ථානයක් කියා දෙවි කිසිම අවස්ථාවක පැවසුවේ නැහැ. ඒ වෙනුවට ඔහු පැවසුවේ එය මළ කඳන් ගොඩගසනු ලබන තැනක් වන බවයි.

යේසුස් මේ පොළොවේ සිටි කාලයේදී හින්නොම්ගේ නිම්නය නැතිනම් ගෙහෙන්නාව පොදුවේ භාවිත කළේ කුණු කසළ දැමීමටයි. එමෙන්ම අපරාධකරුවන්ගේ මළ සිරුරුද එම ස්ථානයට දමනු ලැබුවා. එහි නොනිවෙන ගින්නක් තිබූ නිසා කැළි කසළ හා මළ සිරුරු විනාශ වී ගියා.

නොනසින පණුවන් හා නොනිවෙන ගින්න ගැන යේසුස් සඳහන් කළ විට ඔහුගේ මනසේ තිබෙන්න ඇත්තේ යෙසායා 66:24හි [NW] සඳහන් වදන් විය හැකියි. දෙවිට “විරුද්ධව කැරලිගැසූ සියලුදෙනාගේ මළ මිනී” ගැන එහි සඳහන් වන්නේ මෙයයි. “ඔවුන්ගේ මළ මිනී කා දමන පණුවෝ කිසිදා නොනසින්නෝය. ඒවා දවාලන ගින්නද කිසිදා නොනිවෙන්නේය.” යෙසායා මෙහිදී සඳහන් කරන්නේ අපරාධකරුවන්ගේ මළ සිරුරු කැළි කසළ පුලුස්සන ස්ථානයට දැමීමෙන් සිදු වන දේ ගැනයි. යේසුස් හා ඔහුට සවන් දෙමින් සිටි අය ඒ කාරණය තේරුම්ගෙන සිටියා.

මේ අනුව යේසුස් හින්නොම්ගේ නිම්නය නැතිනම් ගෙහෙන්නාව යොදාගත්තේ ජීවත් වීමට නැවත අවස්ථාවක් නොලැබෙන සේ විනාශ වී යන අයගේ තත්වය සංකේතවත් කිරීමටයි. “ජීවයද ශරීරයද යන දෙකම ගෙහෙන්නාවෙහි විනාශ කළ හැකි තැනැත්තාට බියව සිටින්න” කියා පැවසීමෙන් යේසුස් එම කාරණය තවත් තහවුරු කළා. (මතෙව් 10:28) මේ අනුව ගෙහෙන්නාවෙන් සංකේතවත් කරන්නේ සදාකාල විනාශය මිස සදාකාලිකව වධ වේදනා විඳීම නොවෙයි.

යේසුස් සඳහන් කළ “සදාකාල ගින්න” සැබෑ එකක්ද නැතිනම් සංකේතාත්මක එකක්ද? මතෙව් 25:41හි යේසුස් සඳහන් කළ ‘සදාකාල ගින්නට’ ‘යක්ෂයාව හා ඔහුගේ දූතයන්ව’ හෙළන බව සැලකිල්ලට ගන්න. යක්ෂයාට හා ඔහුගේ දූතයන්ට තිබෙන්නේ මිනිසුන්ට මෙන් ලේ, ඇට, මස්, නහරවලින් සෑදුණු ශරීර නොවෙයි. එසේනම් ඔවුන්ව ගින්නෙන් පිලිස්සිය හැකිද? ඒ අනුව බලන විට යේසුස් සඳහන් කළ “ගින්න” සංකේතවත් එකක් විය යුතුයි. එම පරිච්ඡේදයේම යේසුස් “බැටළුවන්” හා “එළුවන්” ගැනත් සඳහන් කළා. එයටත් තිබෙන්නේ සංකේතවත් අර්ථයක්. එයින් නියෝජනය කළේ හොඳ සහ නරක මිනිසුන්වයි. (මතෙව් 25:32, 33) මෙයින් අපට පැහැදිලි වන්නේ යේසුස් සඳහන් කළ සදාකාල ගින්න සංකේතවත් එකක් මිස සැබෑ එකක් නොවන බවයි.

පව්කාරයන්ව ‘සදාකාල දඬුවමට’ පමුණුවනවා කියා පැවසීමෙන් යේසුස් අදහස් කළේ කුමක්ද? මතෙව් 25:46හි “දඬුවම” ලෙස පරිවර්තනය කර තිබෙන්නේ කෝලාසින් යන ග්‍රීක වචනයයි. එම වචනයෙන් අදහස් වෙන්නේ ‘ශාකයක පල නොදරන අතු කපා දැමීම’ යන්නයි. ඒ අනුව දුෂ්ටයන්ව ‘සදාකාල දඬුවමට’ පමුණුවනවා කියා පැවසීමෙන් යේසුස් අදහස් කළේ සදාකාල ජීවනය ලැබීමේ ප්‍රස්තාව ඔවුන්ගෙන් කපාහැර තිබෙන බවයි. එයින් අදහස් වන්නේ සහමුලින්ම විනාශ කිරීමයි.

ඔබ සිතන්නේ කුමක්ද?

කෙනෙක් මිය ගිය පසු ඔහුගේ ශරීරයෙන් පිට වී යන අමරණීය ආත්මයක් ගැන යේසුස් කිසිම අවස්ථාවක සඳහන් කළේ නැහැ. ඒ වෙනුවට යේසුස් පැවසුවේ මිය ගිය අයට නැවතත් මේ පොළොව මත ජීවත් වීමට අවස්ථාව ලැබෙන බවයි. (ලූක් 14:13, 14; යොහන් 5:25-29; 11:25) මිය ගිය අයට නොනැසී පවතින ආත්මයක් තිබෙනවා කියා යේසුස් විශ්වාස කළා නම් මිය ගිය අයට නැවත ජීවිතය ලබා දීමක් ගැන ඔහු පවසයිද?

වැරදි කරන අයට යෙහෝවා දෙවි කෲර ලෙස සදාකාලයටම වධ වේදනා පමුණුවන බව යේසුස් කිසිම අවස්ථාවක සඳහන් කළේ නැහැ. ඒ වෙනුවට ඔහු පැවසුවේ “දෙවි ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිස” කියායි. (යොහන් 3:16) එසේ පැවසීමෙන් යේසුස් ඇඟවූයේ තමා කෙරෙහි ඇදහිල්ල නොපෙන්වන අය විනාශ වන බවයි. මෙවැනි අය සදාකාලයටම ගිනිමය අපායක දුක් විඳීමට නියමිත නම් යේසුස් ඒ ගැන සඳහන් නොකළේ ඇයි?

අපායක් කියා ස්ථානයක් තිබෙන බව බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. එය මිථ්‍යා ආගමික ඉගැන්වීමක්. (හයවන පිටුවේ ඇති “අපායේ සුල මුල” නමැති කොටුව බලන්න.) දෙවි කිසිදාක මිනිසුන්ව අපායකට දමා සදහටම වධ වේදනා දෙන්නේ නැහැ. අපාය ගැන සත්‍යය දැනගැනීම දෙවි පිළිබඳව ඔබ දරන ආකල්පයට බලපාන්නේ කෙසේද?

[6වන පිටුවේ කොටුව]

අපායේ සුල මුල

අතීතයේ පටන් පැවත එන විශ්වාසයක්. අතීතයේ සිටි ඊජිප්තු ජාතිකයන් අපායක් ගැන විශ්වාස කළා. උදාහරණයකට ක්‍රිස්තු පූර්ව 1375 අයත් එක් පොතක අපායේ වධ විඳින අය ගැන මෙවැනි දෙයක් සඳහන් වුණා. ‘ගිනි ගන්නා විශාල ආගාධයකට හෙළූ අයට පසු ඉන් ගොඩ එන්න ලැබෙන්නේ නැහැ.’ (The Book Ȧm-Ṭuat) එමෙන්ම ක්‍රිස්තු වර්ෂ 46ත් 120ත් අතර කාලයේ ජීවත් වූ ප්ලූටාච් නම් ග්‍රීක දර්ශනවාදියාද පැවසුවේ අපායේ “කෲර දඬුවම්වලින් වේදනා විඳින අය විලාප තියමින් කෑගසනවා” කියායි.

යුදෙව් නිකායන්වලට ඇතුල් වෙයි. ක්‍රිස්තු වර්ෂ 37ත් 100ත් අතර කාලයේ ජීවත් වූ ඉතිහාසාඥ ජොසීෆස් පැවසුවේ එසනිවරුන් ලෙස හැඳින්වූ යුදෙව් නිකායේ අය “නොමියන ආත්මයක් මිනිසාට තිබෙනවා” කියා විශ්වාස කළ බවයි. එමෙන්ම “පව් කළ අයගේ ආත්ම භයානක, අඳුරු ආගාධයක හිර කර සදහටම වධ වේදනා පමුණුවනවා” කියාත් ඔවුන් විශ්වාස කළා.

ක්‍රිස්තියානි යැයි කියාගන්නා ආගම්වලට ඇතුල් වෙයි. පේතෘස් ගැන අසත්‍ය තොරතුරු ඇතුළත් ක්‍රිස්තු වර්ෂ දෙවෙනි සියවසට අයත් පොතක දුෂ්ටයන්ට සිදු වන දේ ගැන මෙවැන්නක් සඳහන් වුණා. “ඔවුන්ට ඉතිරිව තිබෙන්නේ නොනිවෙන ගින්නයි. එස්රියෙල් දේවදූතයා ගිනි ගනිමින් සිටින ස්ත්‍රීන්ව හා පුරුෂයන්ව ගෙනැවිත් අඳුරු ස්ථානයකට දමනවා. එහිදි ඔවුන් දුක් විඳිනවා.” (Apocalypse of Peter) දෙවෙනි සියවසේ ජීවත් වූ අන්තියෝකියේ සිටි තියෝෆිලස් නම් ලේඛකයා ග්‍රීක අනාගතවක්තෘවරියක් වූ සිබිල් ගැන යමක් වාර්තා කළා. ඇය දුෂ්ටයන්ට අත්විඳීමට සිදු වන දඬුවම් ගැන මෙවැනි දෙයක් පවසා තිබෙනවා. “ඔබ පිට ගිනි පැමිණ ඔබව සදහටම දවාලනවා.” “ඒවා සත්‍ය වදන් බවත් එය සියල්ලන්ට ප්‍රයෝජනවත් බවත්” තියෝෆිලස් පවසනවා.

කුරිරු ක්‍රියා සඳහා නිදහසට කරුණක්. වර්ෂ 1553 සිට 1558 අතර කාලයේ සිටි “ලේ පිපාසිත මේරි” ලෙස හඳුන්වන එංගලන්තයේ පළමුවෙනි මේරි රැජින රෙපරමාදු ආගමට අයත් 300දෙනෙකුව කණුවල ගැටගසා පුලුස්සා තිබෙනවා. එසේ කිරීමට හේතුව ඇය විස්තර කළේ මෙලෙසයි. “මේ පව්කාරයන් කොහොමත් යන්නේ අපායට. ඒ නිසා දෙවිව අනුකරණය කරමින් ඔවුන්ව පණපිටින්ම පුච්චන එක තමයි මට කරන්න පුළුවන් හොඳම දේ.”

මෑත කාලීන නිර්වචනයක්. මෑතක සිට බොහෝ ආගම් අපාය ගැන වෙනස් ආකාරයේ මතයක් ඉදිරිපත් කරමින් සිටිනවා. උදාහරණයකට 1995දී එංගලන්ත සභාව පැවසූ දේ සලකා බලන්න. “අපාය කියන්නේ වධ වේදනා විඳින ස්ථානයක් නෙවෙයි. ඒ වෙනුවට එයින් අදහස් කරන්නේ දෙවිගේ අණ පනත්වලට පටහැනිව ක්‍රියා කිරීමයි. ප්‍රතිඵලය නම් ජීවිතය අහිමි වීමයි.”

[7වන පිටුවේ කොටුව/පින්තූරය]

‘ගින්නෙන් හා ගෙන්දගමින් යුත් විල’ කුමක්ද?

‘යක්ෂයාව ගින්නෙන් සහ ගෙන්දගමින් යුත් විලට හෙළන’ බවත් එහිදී ඔහුට ‘සදාකාලයෙන් සදාකාලයට රෑ දාවල් දෙකේ වධ දෙනු ලබන’ බවත් බයිබලයෙහි සඳහන් වෙනවා. (එළිදරව් 20:10) යක්ෂයාට සදාකාලයටම වධ දීමට නම් ඔහුට ජීවත් වීමට ඉඩහරින්න යෙහෝවා දෙවිට සිදු වෙනවා. නමුත් බයිබලයේ සඳහන් වෙන්නේ යේසුස් “යක්ෂයාව නැති කර දමන” බවයි. (හෙබ්‍රෙව් 2:14) ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙන් සංකේතවත් වන්නේ “දෙවන මරණයයි.” (එළිදරව් 21:8) දෙවනි මරණය කියන්නේ ආදම් පව් කළ නිසා සියලුදෙනාටම උරුම වූ මරණය නොවෙයි. (1 කොරින්ති 15:21, 22) ඒ වෙනුවට ඉන් අදහස් කරන්නේ සදාකාල විනාශයයි. එසේ පැවසීමට හේතුව ‘දෙවන මරණය’ අද්දකින අයට නැවත ජීවිතය ලැබෙන බව බයිබලයේ සඳහන් නොවීමයි.

ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලේ සදාකාලයටම වධ දෙනු ලැබීම යන්නෙන් අදහස් වෙන්නේ කුමක්ද? එක් අවස්ථාවකදී යේසුස් භූතයන්ට තරවටු කළ විට ඔවුන් යේසුස්ට මෙසේ පැවසුවා. “නියම කරන ලද කාලයට කලින් අපට වධ දෙන පිණිස ඔබ මෙහි ආවේද?” (මතෙව් 8:29; ලූක් 8:30, 31) යම් දෙයක් කිරීමෙන් කෙනෙකුව වැළැක්වීමත් වධ දීමක් ලෙස හැඳින්විය හැකියි. ඒ අනුව ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලේ සදහටම වධ විඳීම යන්නෙන් ජීවත් වීමේ ප්‍රස්තාව කෙනෙකුගෙන් වළක්වා තිබෙන බව අදහස් වෙනවා. ඉන් සදාකාල විනාශය හෙවත් ‘දෙවන මරණය’ සංකේතවත් වෙනවා.