Skip to content

පටුනට යන්න

අතීතයේදී ශුභාරංචිය ව්‍යාප්ත වන්න ඇත්තේ කෙසේද?

අතීතයේදී ශුභාරංචිය ව්‍යාප්ත වන්න ඇත්තේ කෙසේද?

අතීතයේදී ශුභාරංචිය ව්‍යාප්ත වන්න ඇත්තේ කෙසේද?

යේසුස්ගේ මරණයෙන් වසර 30ක් ගත වීමටත් පෙර බයිබල් ලේඛකයෙකු වූ පාවුල් පැවසුවේ “අහසින් යට මුළු මැවිල්ලෙහි” ශුභාරංචිය දේශනා කර තිබූ බවයි. (කොලොස්සි 1:23) ඔහු ඉන් අදහස් කළේ එවකට සිටි සියලුම ලෝවැසියන්ට ශුභාරංචිය දේශනා කර තිබූ බව නොවෙයි. කොහොමනමුත් අතීතයේ සිටි ක්‍රිස්තියානීන් ශුභාරංචිය දේශනා කිරීම සඳහා දුර ඈත ප්‍රදේශවලට ගිය බව නම් පැහැදිලියි.

ශුභාරංචිය දේශනා කිරීම සඳහා ඔවුන් කොතරම් දුරක් ගියාද? අතීතයේදී ඉතාලිය දක්වා යාත්‍රා කළ නැව් තිබුණු නිසා ඒ රටට ගොස් ශුභාරංචිය දේශනා කරන්න පාවුල්ට අවස්ථාව ලැබුණා. එමෙන්ම දේශනා සේවය සඳහා පාවුල්ට ස්පාඤ්ඤයට යෑමට වුවමනාව තිබූ බවත් බයිබලයේ පෙන්නුම් කරනවා.—ක්‍රියා 27:1; 28:30, 31; රෝම 15:28.

මුල් සියවසේ සිටි ඇතැම් ක්‍රිස්තියානීන් ශුභාරංචිය දේශනා කිරීම සඳහා බටහිර රටවලට ගිය බව බයිබලයේ සඳහන් වෙනවා. නමුත් මේ ක්‍රිස්තියානීන් ශුභාරංචිය දේශනා කිරීම සඳහා නැඟෙනහිර දෙසටත් ගමන් කළාද? ඒ ගැන බයිබලයේ නිශ්චිතවම යමක් සඳහන් කරන්නේ නැහැ. ඒ වුණත් එවකට මධ්‍යධරණී මුහුද සහ නැඟෙනහිර ආසියාතික රටවල් අතර තිබූ වෙළඳ මාර්ග ගැන සොයා බලන විට ක්‍රිස්තියානීන්ට නැඟෙනහිර රටවලට ගොස් ශුභාරංචිය දේශනා කිරීමට හැකියාව තිබුණු බව තහවුරු වෙනවා.

උතුරු ඉන්දියාවට ගිය මහා ඇලෙක්සැන්ඩර්

ග්‍රීසියේ මහා ඇලෙක්සැන්ඩර් රජ බැබිලෝනිය සහ පර්සියාව අත්පත් කරගැනීමෙන් පසු උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තය දක්වා ගමන් කළා. ප්‍රතිඵලයක් ලෙස ග්‍රීකයන්ට යුප්‍රටීස් ගඟේ සිට ගල්ෆ් බොක්ක දක්වාත් එතැනින් උතුරු ඉන්දියාවේ ඉන්දු නදිය දක්වාත් යෑමට මඟ විවර වුණා.

මේ නිසා ඉන්දියාවේ නිෂ්පාදිත කුළු බඩු හා සුවඳ ද්‍රව්‍ය ග්‍රීක පාලනය යටතේ පැවති ප්‍රදේශවලට ගෙන යනු ලැබුවා. මේවා ප්‍රවාහනය කළේ ඉන්දියන් සාගරය හරහා ගොස් රතු මුහුද ඔස්සේ යාත්‍රා කළ නැව්වලින්. මෙම මුහුදු මාර්ගය යොදාගනිමින් මුලින්ම වෙළඳ කටයුතු කළේ ඉන්දියානු සහ අරාබි ජාතිකයනුයි. ඔවුන්ට මෝසම් සුළං හමන ආකාරය ගැන මනා අවබෝධයක් තිබුණ නිසා මෙම වෙළඳ මාර්ගය ඔස්සේ යාත්‍රා කිරීම ඔවුන්ට පහසු කාර්යයක් වුණා. නමුත් පසු කාලයකදී ඊජිප්තුව පාලනය කළ ටොලමික රජවරුන්ද මෝසම් සුළං හමන ආකාරය ගැන තේරුම්ගත් නිසා ඔවුනුත් එම මුහුදු මාර්ගය ඔස්සේ වෙළඳ කටයුතු ආරම්භ කළා.

නිරිතදිග මෝසම් සුළං හමන්නේ මැයි සිට සැප්තැම්බර් අතර කාලයේදීයි. එමනිසා රතු මුහුදේ සිට යාත්‍රා කරන නැවකට අරාබි මුහුදු තීරය ඔස්සේ හෝ එසේත් නැත්නම් කෙළින්ම ඉන්දියාවට යා හැකි වුණා. ඒත් නොවැම්බර් සිට මාර්තු අතර කාලයේදී ඊසානදිග මෝසම් සුළං හමන නිසා මෙම නැව්වලට ආපසු රතු මුහුද දෙසට ඒමට හැකි වුණා. වර්ෂ ගණනාවක් පුරා මෝසම් සුළං හමන ආකාරය ගැන ඉන්දියානු සහ අරාබි ජාතිකයන් දැන සිටි නිසා මේ සුළං ආධාරයෙන් ඔවුන් කුරුඳු, සුවඳවත් තෙල් වර්ග සෑදීමට ගන්නා පැළෑටි හා ගම්මිරිස් වැනි දෑ නැව්වලින් රැගෙන ගියා.

රෝමය සහ ඇලෙක්සැන්ඩ්‍රියාව යා කළ මුහුදු මාර්ගය

ග්‍රීසිය යටතේ තිබුණු ප්‍රදේශ රෝමය යටතට පත් වූ පසු රෝමය ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් වුණා. අප්‍රිකාවෙන් ඇත් දළ, අරාබියෙන් සුවඳ ලාටු, ඉන්දියාවෙන් කුළු බඩු සහ වටිනා ගල් වර්ග මෙන්ම චීනයේ නිෂ්පාදිත සිල්ක් රෙදිද රෝමයේ වෙළඳපොළට එකතු වුණා. මෙවැනි භාණ්ඩ රැගෙන ආ නැව් මුලින්ම පැමිණියේ රතු මුහුදු වෙරළ තීරයේ පිහිටා තිබූ බෙරනිස් සහ මිඕස් ඕර්මෝස් යන ප්‍රධාන නගර දෙක වෙතටයි. එතැනින් මෙම භාණ්ඩ ගොඩබිම හරහා නයිල් ගඟ යාබදව පිහිටා තිබූ කෝප්ටෝස් නගරය වෙත ගෙන යනු ලැබුවා.

කෝප්ටෝස් නගරය වෙත ගෙන ආ මෙම භාණ්ඩ නයිල් ගඟ හරහා ඇලෙක්සැන්ඩ්‍රියාවට ගෙන ගියා. ඉන්පසු ඇලෙක්සැන්ඩ්‍රියාවේදී මෙම භාණ්ඩ මධ්‍යධරණී මුහුද හරහා රෝමය ඇතුළු වෙනත් රටවලට යාත්‍රා කළ නැව්වලට පටවනු ලැබුවා.

පළමුවන සියවසේ සිටි ග්‍රීක ජාතික භූ විද්‍යාඥයෙක් වූ ස්ට්‍රාබො පැවසුවේ ඔහුගේ කාලයේදී මිඕස් ඕර්මෝස් සිට ඇලෙක්සැන්ඩ්‍රියානු නැව් 120ක් වෙළඳ කටයුතු සඳහා සෑම වසරකම ඉන්දියාවට ගිය බවයි. එමෙන්ම ඊජිප්තුවේ දකුණු දිග ප්‍රදේශයේ සිට නැඟෙනහිර රටවලට යා හැකි වෙළඳ මාර්ග ගැන සඳහන් වන පළමු සියවසට අයත් පැරණි පොතක්ද සොයාගෙන තිබෙනවා. ලතින් නාමයකින් හඳුන්වන එම පොත පෙනෙන විදිහට ලියා තිබෙන්නේ ග්‍රීක භාෂාව කතා කළ ඊජිප්තු ජාතික වෙළෙන්දෙක් විසිනුයි. (Periplus Maris Erythraei) ඔහු එය ලියන්න ඇත්තේ වෙනත් වෙළෙඳුන්ගේ ප්‍රයෝජනය උදෙසා කියා සිතිය හැකියි. එම පොතෙන් හෙළි වන්නේ කුමක්ද?

ඊජිප්තුවේ සිට දකුණු දෙසින් පිහිටි සැන්සිබාර් දක්වා වැටී තිබුණු වෙළඳ මාර්ග ගැන එහි සඳහන් වෙනවා. මෙම ලේඛකයා නැඟෙනහිර ප්‍රදේශයේ පිහිටි රටවලට තිබෙන දුර ප්‍රමාණයන් ගැනත් බෝට්ටු නවතා තබන නැංගුරම් පොළවල් ගැනත් වෙළඳ මධ්‍යස්ථාන මෙන්ම වෙළඳ භාණ්ඩ ගැනත් සඳහන් කරනවා. අරාබි වෙරල තීරයේ ජීවත් වන මිනිසුන් ගැනත් ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ ජීවත් වන අය ගැනත් ශ්‍රී ලංකාවේ ජීවත් වන මිනිසුන් ගැනත් එතැන් සිට ඉන්දියාවේ නැඟෙනහිර ප්‍රදේශයේ පිහිටා තිබෙන ගංගා නම් නදිය දක්වා ජීවත් වන මිනිසුන් ගැනත් ඔහු සඳහන් කර තිබෙනවා. මෙම ප්‍රදේශ ගැන එහි ලේඛකයා ඉතා නිවැරදිව වාර්තා කර තිබීමෙන් පෙනී යන්නේ ඔහු ඒ සෑම තැනකටම ගොස් ඇති බවයි.

බටහිර ජාතිකයන් ඉන්දියාවට

කලින් සඳහන් කළ පොතේ පෙන්නුම් කරන ආකාරයට පළමු සියවසේදී බටහිර වෙළෙඳුන් දකුණු ඉන්දියාවට (මූසිරිස්වලට) පැමිණ තිබෙනවා. බොහෝවිට ඔවුන් පැමිණෙන්න ඇත්තේ කේරළ ප්‍රාන්තයට විය හැකි බව විචාරකයන්ගේ අදහසයි. ඒ කාලයේදී දෙමළ බසින් ලියන ලද කවිවලත් මේ වෙළෙඳුන්ගේ පැමිණීම ගැන සඳහන් වෙනවා. ඉන් එක් කවියක සඳහන් වන්නේ බටහිරින් පැමිණි වෙළෙඳුන් අලංකාර නැව්වලින් රත්තරන් ගෙනැවිත් ගම්මිරිස් රැගෙන ආපසු ගිය බවයි. තවත් කවියක සඳහන් වන්නේ මෙම වෙළෙඳුන් දකුණු ඉන්දියාවේ කුමාරයෙකුට වයින් බීමට පෙරැත්ත කළ බවයි. මෙම වෙළෙඳුන් ගෙනා වීදුරු භාණ්ඩ, ලෝහ, කොරල් හා රෙදි පිළිවලට ඉන්දියාවේ විශාල ඉල්ලුමක් තිබුණා.

බටහිර ජාතිකයන් ඉන්දියාවට පැමිණි බව සනාථ කරන සාක්ෂි පුරාවිද්‍යාත්මක කැණීම්වලින් සොයාගෙන තිබෙනවා. උදාහරණයකට රෝමවරුන් වයින් පානය කිරීමට භාවිත කළ කුසලාන හා නොයෙක් දීසිද දකුණු ඉන්දියාවේ ගිනිකොන ප්‍රදේශයෙන් (ආරිකාමෙඩූ ප්‍රදේශයෙන්) සොයාගෙන තිබෙනවා. මේවායේ ඇති වෙළඳ ලකුණුවලින් හෙළි වන්නේ මේවා ඉතාලියේ (අරෙස්) නිෂ්පාදනය කර ඇති බවයි. එමෙන්ම පළමු සියවසට අයත් රෝම කාසිද දකුණු ඉන්දියාවෙන් සොයාගෙන තිබෙනවා. මෙම කාසිවලින් බොහොමයක ඔගස්ටස්, ටයිබීරියස් සහ නීරෝ වැනි රෝම පාලකයන්ගේ පින්තූර දැකිය හැකියි. බටහිර ජාතිකයන්ට ඉන්දියාවට යෑමට හැකි වුණේ අතීතයේදී මධ්‍යධරණී මුහුදේ සිට ඉන්දියාව දක්වා යා හැකි වෙළඳ මාර්ගයක් තිබුණු නිසයි.

බටහිරින් පැමිණි රෝමවරුන් වෙළඳ කටයුතු සඳහා දකුණු ඉන්දියාවේ යම් ජනපද පිහිටුවා ගත් බවට සාක්ෂි සපයන පැරණි සිතියමක් සොයාගෙන තිබෙනවා. (Peutinger Table) එම සිතියමේ තිබෙන්නේ රෝමවරුන් අතීතයේදී හඳුනාගෙන සිටි ලෝකයයි. ඔගස්ටස් සඳහා ඉදි කළ දේවාලයක් දකුණු ඉන්දියාවේ තිබුණු බව එම සිතියමේ සඳහන් වෙනවා. එක් පොතක පෙන්නුම් කරන ආකාරයට මෙවැනි දේවාලයක් ඉදි කර ඇත්තේ එම ප්‍රදේශයට පැමිණි රෝම පාලකයා යටතේ සිටි අයයි.—එම පොත Rome’s Eastern Trade: International Commerce and Imperial Policy, 31 BC–AD 305.

අඩුම තරමින් ඉන්දියාවේ තානාපතීන් තිදෙනෙකුවත් ඔගස්ටස්ගේ පාලන සමයේදී (ක්‍රි.පූ. 27–ක්‍රි.ව. 14) රෝමයට පැමිණි බව පැරණි රෝම වාර්තාවල පෙන්නුම් කරනවා. ඔවුන් පැමිණියේ විශේෂ අරමුණක් සඳහායි. ඊට විදේශ රටවල් සමඟ ගනුදෙනු කරන ආකාරය ගැන එකඟතාවකට පැමිණීමත් බදු අය කළ හැකි ආකාරය සහ විදේශිකයන්ව පදිංචි කළ හැකි ප්‍රදේශ ගැන සාකච්ඡා කිරීමත් ඇතුළත් වුණා.

පළමු සියවසේදී මධ්‍යධරණී මුහුදේ සිට වෙළඳ නැව් නිතර දෙවේලේ ඉන්දියාවට යාත්‍රා කළ බව අපි මෙතෙක් සලකා බැලූ තොරතුරුවලින් සනාථ වෙනවා. එමනිසා අතීතයේ සිටි ක්‍රිස්තියානීන්ට ශුභාරංචිය දේශනා කිරීම සඳහා එවැනි නැවකින් ඉන්දියාව බලා යෑමට ප්‍රස්තාව තිබුණා.

ඉන්දියාවත් පසු කළාද?

බටහිරින් පැමිණි වෙළෙඳුන් ඉන්දියාව පසු කරමින් නැඟෙනහිර දෙසට කොපමණ දුරක් ගියාද කියා හරියටම කියන්න බැහැ. කෙසේවෙතත් මෙම වෙළෙඳුන් පළමු සියවසේදී තායිලන්තය, කාම්බෝජය, සුමාත්‍රා සහ ජාවා දක්වා ගිය බවට විශ්වාසයක් තිබෙනවා.

චීනය පාලනය කළ හැන් නමැති රාජ වංශය ගැන තොරතුරු ඇතුළත් පැරණි ලියවිල්ලක් තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 23 සිට ක්‍රි.ව. 220 අතර කාලයේදී සිදු වූ දේවල් එම ලියවිල්ලට ඇතුළත්. එහි පෙන්නුම් කරන ආකාරයට ක්‍රි.ව. 166දී රෝම පාලකයාව නියෝජනය කළ ඇන්ටෝනියෝ නමැත්තා චීන අධිරාජ්‍යයාව හමු වීමට පැමිණ තිබෙනවා. ඉතිහාසඥයන් පවසන ආකාරයට ඔහු පැමිණ තිබෙන්නේ නිල හමු වීමක් සඳහා නොව චීනයේ සිට සිල්ක් රෙදි කෙළින්ම මිල දී ගැනීමට හැකියාව තිබෙනවාද කියා දැනගැනීමටයි.

මෙයින් පෙනී යන්නේ අතීතයේදී මධ්‍යධරණී මුහුදේ සිට ඉන්දියාව දක්වාත් ඉන්දියාව පසු කරමින් දුර ඈත පිහිටි චීනය දක්වාත් යාත්‍රා කළ නැව් තිබූ බවයි. සමහරවිට එවැනි නැව්වලින් අතීතයේ සිටි ක්‍රිස්තියානීන් ශුභාරංචිය දේශනා කිරීමට ඉන්දියාවටත් ඉන් එහා පිහිටි චීනය දෙසටත් යන්න ඇති. නමුත් අපට ඒ ගැන නිශ්චිතව යමක් පැවසීමට නොහැකි වුණත් අතීතයේදී හඳුනාගෙන තිබූ ලොව පුරාම ශුභාරංචිය ව්‍යාප්ත වූ බව නම් ස්ථිරයි. ශුභාරංචිය “ලොව පුරා පල දරමින් වර්ධනය වෙමින්” තිබෙනවා කියා පාවුල් සඳහන් කළේ ඒ නිසයි.—කොලොස්සි 1:6.

[22වන පිටුවේ කොටුව⁄පින්තූරය]

රජෙකුගේ ශෝකය

ක්‍රිස්තු වර්ෂ 22දී රෝම පාලක ටයිබීරියස් බොහෝ සෙයින් ශෝකයට පත් වුණා. ඊට හේතුව රෝමයේ ධනය ක්‍රමක්‍රමයෙන් අඩු වීමයි. එසේ වූයේ ඇයි? එවකට සිටි සමහරුන් විදේශීය රටවලින් ආභරණ හා වෙනත් වටිනා දේවල් මිල දී ගැනීමට විශාල වශයෙන් මුදල් වැය කළා. රෝමවරුන්ගේ මෙම ක්‍රියා කලාපය නිසා වෙනත් රටවල් මුදල් ඉපයූ අතර ඔවුන් ධනවත් වුණා. මේ තත්වය ගැන අතීතයේ සිටි එක් රෝම ඉතිහාසඥයෙක් පවා අදහස් දැක්වුවා. ඔහු පැවසූ ආකාරයට ඉන්දියාව, චීනය හා අරාබිය වැනි රටවලින් වටිනා දේවල් මිල දී ගැනීමට වාර්ෂිකව රෝම අධිරාජ්‍යය උපයන මුදලින් සියයට දෙකක් වැය කර තිබෙනවා. වටිනා දේවල් මිල දී ගැනීමට මෙසේ මුදල් වැය කිරීම රටේ ආර්ථිකයට මහත් ගැටලුවක් කියා ඔහු තවදුරටත් පැවසුවා.

[හිමිකම් විස්තර]

Museo della Civiltà Romana, Roma; Todd Bolen/Bible Places.com

[23වන පිටුවේ කොටුව⁄පින්තූරය]

වෙළෙඳුන්ට වටිනා භාණ්ඩ ලැබුණේ කොහෙන්ද?

“අගනා මුතු සොයා ගිය සංචාරක වෙළෙන්දෙකු” ගැන උපමාවක් යේසුස් එක් අවස්ථාවකදී සඳහන් කළා. (මතෙව් 13:45) එමෙන්ම බයිබලයේ එළිදරව් පොතේද ‘සංචාරක වෙළෙන්දන්’ ගැන සඳහන් වෙනවා. ඔවුන් අළෙවි කළ භාණ්ඩවලට අනර්ඝ ගල්, වටිනා සිල්ක් රෙදි, ඇත් දළ, කුරුඳු, සුවඳ ද්‍රව්‍ය, ඉන්දියානු කුළු බඩු හා සඳුන් ලී වැනි සුවඳ ලීද ඇතුළත් වුණා. (එළිදරව් 18:11-13) වටිනා මුතු පර්සියානු බොක්කෙන්, රතු මුහුදෙන් හා ඉන්දියන් සාගරයෙන් සොයාගත හැකි වුණා. මිල අධික මුතු ලබාගත හැකි වුණේ ඉන්දියන් සාගරයෙන් පමණයි. එමෙන්ම සඳුන් වැනි සුවඳවත් ලී ඉන්දියාවෙන් ලබාගත හැකි වුණා.

[20, 21වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

පළමු සියවසේදී රෝමය සහ ආසියාව එක් කළ වෙළඳ මාර්ග

අරෙස්

රෝමය

මධ්‍යධරණී මුහුද

අප්‍රිකාව

ඇලෙක්සැන්ඩ්‍රියාව

ඊජිප්තුව

කෝප්ටෝස්

නයිල් ගඟ

මිඕස් ඕර්මෝස්

බෙරනිස්

සැන්සිබාර්

තු මුහුද

යෙරුසලම

අරාබිය

යුප්‍රටීස් ගඟ

බැබිලෝනිය

පර්සියානු බොක්ක

පර්සියාව

ඊසානදිග මෝසම් සුළං

නිරිතදිග මෝසම් සුළං

න්දු නදිය

පන්ජාබය

ගංගා නදිය

බෙංගාල බොක්ක

ඉන්දියාව

ආරිකාමෙඩූ

මූසිරිස්

ශ්‍රී ලංකාව

ඉන්දියන් සාගරය

චීනය

හාන් අධිරාජ්‍යය

තායිලන්තය

කාම්බෝජය

වියට්නාමය

සුමාත්‍රා

ජාවා

[21වන පිටුවේ පින්තූරය]

පැරණි රෝම වෙළඳ නෞකාවක ආකෘතියක්

[හිමිකම් විස්තර]

Ship: Pictorial Archive (Near Eastern History) Est.