දෙවිගේ ප්‍රේමය
දෙවිට ළං වෙන්න
දෙවිගේ ප්‍රේමය
පුරාණයේ සිටි ආබ්‍රහම් යෙහෝවා දෙවිට බොහෝ සෙයින් ප්‍රේම කළ කෙනෙක්. එමෙන්ම මහලු වියේදී ඔහුට ලැබුණු එකම පුත්‍රයා වූ ඊසාක්ටත් ඔහු බෙහෙවින් ප්‍රේම කළා. නමුත් ඊසාක් 25වන වියේ පමණ පසු වන විට ආබ්‍රහම්ට විශාල අභියෝගයකට මුහුණ දෙන්න සිදු වුණා. එනම් තම එකම පුතාව පූජාවක් ලෙස ඔප්පු කරන්න කියා යෙහෝවා දෙවි ඔහුට පැවසුවා. කොහොමවුණත් අවසානයේදී ආබ්‍රහම්ට ඔහුගේ පුත්‍රයාව පූජා කිරීමට යෙහෝවා දෙවි ඉඩ දුන්නේ නැහැ. මේ සිදු වීම බයිබලයේ උත්පත්ති 22:1-18 දක්වා ඡේදවල වාර්තා වී තිබෙනවා. ආබ්‍රහම් සහ ඊසාක් සම්බන්ධ එම සිදු වීමෙන් පෙන්නුම් කළේ යෙහෝවා දෙවි ඉදිරියේදී ශ්‍රේෂ්ඨ ආකාරයකින් ඔහුගේ ප්‍රේමය මුළු මිනිස් වර්ගයා වෙනුවෙන්ම පෙන්වන ආකාරයයි.
‘ආබ්‍රහම්ගේ ඇදහිල්ල කොතරම් ශක්තිමත්ද කියා සෝදිසි කර බලන්න’ යෙහෝවා දෙවිට අවශ්‍ය වුණා. (උත්පත්ති 22:1, නව ලොව පරිවර්තනය, NW) ඒ නිසා ‘ඔබ බොහෝ සෙයින් ආදරේ කරන ඔබේ එකම පුත්‍රයා වන ඊසාක්ව මා පෙන්වන කන්දට ගොස් දවන පූජාවක් ලෙස ඔප්පු කරන්න’ කියා යෙහෝවා දෙවි ආබ්‍රහම්ට පැවසුවා. (උත්පත්ති 22:2, NW) යෙහෝවා දෙවි කෙදිනකවත් තම සේවකයන්ට දරාගත නොහැකි අභියෝගවලට මුහුණ දීමට ඉඩහරින්නේ නැහැ කියා බයිබලයේ සඳහන් වෙනවා. ඒ අනුව යෙහෝවා දෙවි ආබ්‍රහම්ට ඔහුගේ එකම පුත්‍රයාව පූජා කරන්න කියා පැවසුවේ ආබ්‍රහම් එම අභියෝගයට සාර්ථකව මුහුණ දෙන බවට නිසැකකමක් දෙවිට තිබූ නිසයි.—1 කොරින්ති 10:13.
ආබ්‍රහම් කැමැත්තෙන්ම යෙහෝවා දෙවිට කීකරු වුණා. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙයයි. “ආබ්‍රහම් පාන්දරින්ම නැඟිට තම බූරුවාව ගමනට සූදානම් කළේය. පසුව ඔහුගේ සේවකයන් දෙදෙනෙකු හා ඊසාක් සමඟ ඔහු පිටත් වුණේය. ඔහු දවන පූජාව සඳහා දර පළාගෙන, සැබෑ දෙවි ඔහුට යන්න කියූ ස්ථානය වෙත ගමන් කළේය.” (උත්පත්ති 22:3, NW) පෙනෙන ආකාරයට යෙහෝවා දෙවි තමාට පැවසූ දේවල් ආබ්‍රහම් වෙන කිසිවෙකුටවත් පවසා නැහැ.
මේ ගමනට දින තුනක් පමණ ගත වූ නිසා ආබ්‍රහම්ට තමන්ගේ තීරණය වෙනස් කරන්න කාලය තිබුණත් ඔහු එසේ කළේ නැහැ. ආබ්‍රහම්ට යෙහෝවා දෙවි කෙරෙහි කොතරම් විශ්වාසයක් තිබුණාද කියා ඔහු තම සේවකයන් දෙදෙනාට පැවසූ මේ වදන්වලින් පැහැදිලි වෙනවා. “ඔබ මෙතන ඉන්න. මම දරුවාත් සමඟ එතැනට ගිහින් නමස්කාර කර එන්නම්.” ඔවුන් යන අතරවාරයේදී පූජාවට අවශ්‍ය බැටළුවා ගැන ඊසාක් ආබ්‍රහම්ගෙන් විමසුවා. එවිට ආබ්‍රහම් පැවසුවේ “අවශ්‍ය බැටළුවා දෙවිම සපයයි” කියායි. (උත්පත්ති 22:5, 8, NW) ඊසාක්ව ‘මළවුන්ගෙන් පවා නැඟිටුවන්න දෙවිට හැකි බව’ ආබ්‍රහම් දැනගෙන සිටියා. පූජාව ඔප්පු කර නැවත පුතා සමඟම එනවා කියා ඔහු තම සේවකයන් දෙදෙනාට පැවසුවේ ඒ නිසයි.—හෙබ්‍රෙව් 11:19.
කන්දට නැඟීමෙන් පසු ආබ්‍රහම් ඊසාක්ව ‘මරන්න පිහිය අතට ගත්තා.’ නමුත් ඒ මොහොතේම දේවදූතයෙක් පැමිණ ආබ්‍රහම්ව වැළැක්වූවා. ඉන්පසු “පුත්‍රයා වෙනුවට” පූජා කිරීමට දෙවි බැටළුවෙකුව ඔහුට සපයා දුන්නා. (උත්පත්ති 22:10-13, NW) ආබ්‍රහම්ට ඊසාක්ව පූජා කිරීමට සිදු නොවුණත් ඔහු යෙහෝවා දෙවිට කීකරු වී එසේ කිරීමට සූදානම් වූ නිසා යෙහෝවා දෙවි එය සැලකුවේ ඔහු ඊසාක්ව පූජා කළා හා සමානවයි.—හෙබ්‍රෙව් 11:17.
ආබ්‍රහම් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ නිසා දෙවි ඔහු සමඟ ඇති කරගෙන තිබූ ගිවිසුම නැවත වතාවක් ස්ථිර කළා. ඒ අවස්ථාවේදී දෙවි ඔහුට පැවසුවේ ඔහු මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීන් ආශීර්වාද ලබන බවයි.—උත්පත්ති 22:15-18.
යෙහෝවා දෙවි ආබ්‍රහම්ට ඔහුගේ එකම පුත්‍රයාව පූජා කිරීමට ඉඩ නොදුන්නත් යෙහෝවා දෙවි තමාගේ එකම පුත්‍රයා වූ යේසුස්ව මනුෂ්‍ය වර්ගයාගේ පව් වෙනුවෙන් පූජා කළා. ආබ්‍රහම් සහ ඊසාක්ගේ සිදු වීමෙන් සංකේතවත් කළේ යෙහෝවා දෙවි අපට පෙන්වූ ඒ මහත් ප්‍රේමයයි. (යොහන් 3:16) යෙහෝවා දෙවි අපට පෙන්වා තිබෙන එම ප්‍රේමය අගය කරමින් අපට දෙවි වෙනුවෙන් කළ හැකි දේ කුමක්ද කියා කල්පනා කර බලමු.