ශුද්ධාත්මය—වියවුලක සුලමුල
ශුද්ධාත්මය—වියවුලක සුලමුල
“ශුද්ධාත්මය” කියන්නේ කුමක්ද? එම වචනය සියවස් ගණනාවක් පුරා බොහෝ අය භාවිත කර තිබෙනවා. එය සිංහල භාෂාවට පරිවර්තනය වී තිබෙන්නේ “හෝලි ස්පිරිට්” යන ඉංග්‍රීසි යෙදුමෙනුයි. එම නිර්වචනය නිසා බොහෝ මත ගැටීම් ඇති වී තිබෙනවා.
මෑතකදී 16වන බෙනඩික් පාප්වරයා මෙවැනි දෙයක් පැවසුවා. ‘ශුද්ධාත්මය කියන්නේ කුමක්ද කියලා හරියටම තේරුම්ගන්න බැහැ.’
ශුද්ධාත්මය පිළිබඳව ලොව පුරා විවිධ මත තිබෙනවා. ඉන් කිහිපයක් නම්,
• ශුද්ධ වූ ත්‍රිත්වයේ තුන්වැනි පුද්ගලයා.
• කිතුණුවන් තුළ වැඩවසන සැබෑ පුද්ගලයෙක්.
• දෙවියන් ලොව පුරා වැඩවසන ආකාරය
• ජීවත් වන අයට උපකාර කරන මිය ගිය අයගේ ආත්ම
ශුද්ධාත්මය ගැන මෙතරම් වියවුලක් තිබෙන්නේ ඇයි? එය දැනගැනීමට හතරවන සියවසේ සිදු වූ දෙයක් ගැන සලකා බලමු. එවකට සිටි බොහෝ ආගමික නායකයන් ත්‍රිත්වය නමැති ඉගැන්වීම ප්‍රචලිත කිරීමට උත්සාහ කළා. එම අදහස තවත් ස්ථිර කිරීමට ශුද්ධාත්මය කියන්නේ දෙවිට සමාන, දෙවි තුළ සිටින පුද්ගලයෙක් කියා ඔවුන් ඉගැන්වුවා. එම හේතුව නිසා සිංහල භාෂාවෙන් තිබෙන බයිබල් පරිවර්තනවල “ශුද්ධාත්මය” සහ “ආත්මය” යන වචන යොදාගෙන තිබෙනවා. නමුත් ශුද්ධාත්මය පුද්ගලයෙක් කියා බයිබලයේවත් යේසුස්ගේ මුල් අනුගාමිකයන්වත් උගන්වා නැහැ. එක් ශබ්දකෝෂයක මෙසේ සඳහන් වුණා. ‘බයිබලයේ පැරණි ගිවිසුමේ සහ අලුත් ගිවිසුමේ ‘දෙවිගේ ආත්මය’ කියා සඳහන් කරන විට එය පුද්ගලයෙකුට යොමු දක්වා නැහැ. බයිබලයේ ඇතැම් ස්ථානවල ‘ශුද්ධාත්මය’ සහ ‘දෙවිගේ බලය’ යන යෙදුම් දෙකම එකට භාවිත කර තිබෙන්නේ දෙවිගේ බලය විස්තර කිරීමටයි.’—එම ශබ්දකෝෂය New Catholic Encyclopedia.
“ආත්මය” යන වචනය විවිධ දේවල් විස්තර කිරීමට යොදාගන්නවා. උදාහරණයකට මිය ගිය කෙනෙකුගේ ශරීරයෙන් පිට වී යන අමරණීය දෙයක් විස්තර කිරීමට යොදාගෙන තිබෙන්නේ ආත්මය යන වචනයයි. එය නොනැසී පවතින බවත් නැවත පුද්ගලයෙකු ලෙස උපදින බවත් සමහර අවස්ථාවලදී ජීවත්ව සිටින අයට යම් බලපෑම් කරන බවත් මිනිසුන් විශ්වාස කරනවා. ඒ නිසා “ආත්මය” කියා සඳහන් කරන විට මිනිසුන් තුළ ඇති වන්නේ බියක්. ඊට අමතරව ශුද්ධාත්මය ත්‍රිත්වයේ සිටින තුන්වන තැනැත්තා බව පල්ලිවලින් උගන්වා තිබෙනවා. මෙවැනි හේතු නිසා “ශුද්ධාත්මය” ගැන මිනිසුන් තුළ ඇති වී තිබෙන්නේ ව්‍යාකූලත්වයක්. එය දෙවිගේ බලය බව තේරුම්ගැනීමත් දුෂ්කර දෙයක් වී තිබෙනවා.
බයිබලය අධ්‍යයනය කිරීමෙන් ශුද්ධාත්මය යනු දෙවිගේ බලය බව පැහැදිලි වෙනවා. එමනිසා ‘ශුද්ධාත්මය’ යන වචනය වෙනුවට ‘දෙවිගේ බලය’ යන්න භාවිත කිරීම වඩාත් නිවැරදියි. මෙම බලය ක්‍රියාත්මක වන ආකාරය ගැන බයිබලයෙහි සඳහන් කර තිබෙනවා. එමනිසා බයිබලය අධ්‍යයනය කිරීම ඉතා ප්‍රයෝජනදායකයි. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි. එය ඉගැන්වීමටත් අවවාද කිරීමටත් කාරණා නිවැරදි කිරීමටත් ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත් ප්රයෝජනවත්ය.’—2 තිමෝති 3:16.
දෙවිගේ බලය ක්‍රියාත්මක වන ආකාරය අවබෝධ කරගැනීම වැදගත්. එසේ කිරීමෙන් දෙවිගේ බලයේ උපකාර ලබාගත හැක්කේ කෙසේද කියා අපට පැහැදිලි වෙනවා. සමහර අවස්ථාවලදී අපේම හැකියාවෙන් අපට දේවල් කරන්න බැහැ. එවැනි අවස්ථාවලදී අපිට දෙවිගේ බලය ඉල්ලිය හැකියි. යේසුස් මෙසේ පැවසුවේ ඒ නිසයි. ‘නොකඩවා ඉල්ලන්න. එවිට ඔබටත් ලැබෙයි. ඔබේ දරුවන්ට හොඳ තෑගි දෙන්න ඔබ දන්නවා. එසේනම් යමෙක් ස්වර්ගයෙහි සිටින පියාණන්ගෙන් ඔහුගේ බලය ඉල්ලුවොත් ඔහු ඊට වඩා කොතරම් වැඩියෙන් ඔහුට ඒ දේ ලබා දෙයිද!’—ලූක් 11:9, 13.
දෙවිගේ බලය ක්‍රියාත්මක වන ආකාරය ගැනත් එයින් අපේ ජීවිතවලට මොන තරම් ප්‍රයෝජන ලැබෙනවාද කියාත් ඊළඟ ලිපිවලින් සලකා බලමු.