කෝප වීම සුදුසුද?
කෝප වීම සුදුසුද?
සාමාන්‍යයෙන් අසාධාරණ දෙයක් දුටු විට ඒ සම්බන්ධයෙන් කෝපයක් ඇති වීම සාධාරණයි. බයිබලයේද සඳහන් වෙන්නේ “දුෂ්ට දේවල් පිළිකුල් කරන්න” කියායි. (රෝම 12:9) එලෙස දුෂ්ට දේවල් නිසා කෝපයට පත් වූ අය ගැන බයිබලයේද සඳහන් වෙනවා.—නික්මයාම 11:8; 32:19; ගණන් කතාව 16:12-15; 1 සාමුවෙල් 20:34; නෙහෙමියා 5:6; එස්තර් 7:7; 2 සාමුවෙල් 12:1-6.
බොහෝ අවස්ථාවලදී මිනිසුන් කෝප වෙන්නේ සාධාරණ හේතුවක් නොමැතිවයි. ඒ සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් මේ උදාහරණ කිහිපය සලකා බලන්න. පුරාණයේ සිටි දෙවිගේ අනාගතවක්තෘවරයෙක් වූ යෝනා ඉන් එක් කෙනෙක්. නිනිවය නගරය විනාශ නොකිරීමට දෙවි ගත් තීරණය ගැන ඔහු ‘බොහෝ සෙයින් කෝප වුණා.’ ඔහු දයානුකම්පිතව එම කාරණය දෙස බලනවා වෙනුවට කෝපයෙන් හැසිරුණු නිසා දෙවි ඔහුව නිවැරදි කළා. (යෝනා 4:1-11) එවැනි තවත් කෙනෙක් වන්නේ යූදා දේශය පාලනය කළ උසියා රජයි. එක් අවස්ථාවකදී ඔහු කළ වරදක් ගැන පූජකයන් ඔහුට පෙන්වා දුන් විට ඔහු ඒ ගැන මහත් සේ කෝප වුණා. කෙසේවෙතත් ඔහු වරදක් කළ නිසා දෙවි ඔහුට දඬුවම් කළා. (2 ලේකම් 26:16-21) සිරියාවේ හමුදාපතිව සිටි නාමන් තවත් කෙනෙක්. තම කුෂ්ඨ රෝගය සුව කරගැනීමට ඊශ්‍රායෙලයට ගිය අවස්ථාවේ ඔහුට හොඳ පිළිගැනීමක් නොලැබීම ගැන ඔහු කෝප වුණා. නමුත් ඔහු ඒ කෝපය ඉවත් කර නොගත්තා නම් දෙවිගෙන් ලැබීමට තිබූ ආශීර්වාද සියල්ලම ඔහුට අහිමි වීමට ඉඩ තිබුණා.—2 රාජාවලිය 5:10-14.
කෝපය පාලනය කරගත යුත්තේ ඇයි?
කෝපය පාලනය කර නොගැනීම නිසා සමහර අය බරපතළ වැරදි කිරීමට පෙලඹී තිබෙනවා. බයිබලයේ සඳහන් එවැනි සිදුවීම් කිහිපයක් සලකා බලන්න. ‘කායින් මහත් සේ කෝපයට පත් වී’ තම සහෝදරයා වූ ආබෙල්ව මරා දැමුවා. (උත්පත්ති 4:5, 8) එමෙන්ම පියාගෙන් තමන්ට ලැබිය යුතු ආශීර්වාද තම සහෝදරයා වූ යාකොබ්ට ලැබුණ නිසා කෝපයට පත් ඒසව් යාකොබ්ව මරා දමනවා කියා පැවසුවා. (උත්පත්ති 27:41-45) සාවුල් රජට දාවිත් කෙරෙහි දැඩි කෝපයක් ඇති වූ නිසා ඔහුව මරා දැමීමට සාවුල් උත්සාහ කළා. තවත් අවස්ථාවකදී තම පුත්‍රයා වූ යොනාතාන් කෙරෙහිද ඔහුට එවැනිම කෝපයක් ඇති වූ නිසා ඔහුට හෙල්ලයකින් දමා ගැසුවා. (1 සාමුවෙල් 18:11; 19:10; 20:30-34) නාසරෙත්හි සිනගෝගයේදී යේසුස් ඉගැන්වූ දේවල් ඇසීමෙන් කෝපයට පත් වූ සෙනඟ ඔහුව කන්දක් මුදුනකින් පහතට තල්ලු කිරීමට තැත් කළා. (ලූක් 4:28, 29) ස්තේපන්, යේසුස් ගැන සාක්ෂි දරනවා ඇසූ ආගමික නායකයන් ඔහු කෙරෙහි කෝප වී ඔහුට ගල් ගසා මරා දැමුවා.—ක්‍රියා 7:54-60.
සාධාරණ හේතුවක් නිසා කෝප වුණත් එය පාලනය කරගත්තේ නැත්නම් ඉන් භයානක ප්‍රතිඵල අත් විය හැකියි. උදාහරණයකට බයිබලයේ සඳහන් වන සිමියොන්ට සහ ලෙවීට සිදු වූ දෙය සලකා බලන්න. තම සහෝදරිය වූ දීනාව ෂීකෙම් නම් තරුණයා දූෂණය කළ විට සිමියොන් සහ ලෙවී ඒ ගැන අතිශයින් කෝප වුණා. ඒ අවස්ථාවේදී කෝප වීමට ඔවුන් දෙදෙනාට සාධාරණ හේතුවක් තිබුණත් එය පාලනය කර නොගැනීම නිසා ඔවුන් අතින් බරපතළ වරදක් සිදු වුණා. ඔවුන් ෂීකෙම්වත් ඒ දේශයේ සිටි පුරුෂයන්වත් මරා දැමුවා. ඔවුන් කළ ඒ වරද ඔවුන්ගේ පියා වූ යාකොබ් පවා හෙළාදුටුවා. (උත්පත්ති 34:1-31; 49:5-7) පොළොවේ ජීවත් වූ මෘදු පුද්ගලයෙක් ලෙස බයිබලයේ හඳුන්වා තිබෙන මෝසෙස්ට සිදු වූ දෙය සලකා බලන්න. එක් අවස්ථාවකදී ඊශ්‍රායෙල්වරුන් කැරලිගැසූ නිසා ඔහු කෝප වුණා. ඒ නිසා යෙහෝවා දෙවිට යා යුතු ගෞරවය ලබා දීමට ඔහු අපොහොසත් වුණා. එහි ප්‍රතිඵලය වූයේ ඔහු දෙවිගෙන් දඬුවම් ලැබීමයි.—ගණන් කතාව 12:3; 20:10-12; ගීතාවලිය 106:32, 33.
නින්දිත හැසිරීම, රූප වන්දනාව, භූතයන් හා සම්බන්ධ ක්‍රියා සහ බේබදුකම වැනි දේවල නිරත වන අයට දෙවිගේ රාජ්‍යය නොලැබෙනවා සේම හදිසි කෝපයෙන් ක්‍රියා කරන අයටද දෙවිගේ රාජ්‍යය ලැබෙන්නේ නැහැ කියා බයිබලයේ සඳහන් වෙනවා. (ගලාති 5:19-21) එමෙන්ම ක්‍රිස්තියානි සභාව ඉදිරියේ යෙහෝවා දෙවිට යාච්ඤා කරන සහෝදරයන් උදහසකින් තොරව සිටිය යුතු බවත් බයිබලයේ පෙන්නුම් කරනවා. (1 තිමෝති 2:8) කෝප වීමෙන් මිනිසෙකුට දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව කටයුතු කළ නොහැකි නිසා කෝප වීමට ප්‍රමාද වන්න කියා බයිබලයේ ආඥාවක් දී තිබෙනවා. (යාකොබ් 1:19, 20) එමෙන්ම ගැටලුවක් ඇති වූ විට පළිගැනීමෙන් වැළකී ගැටලුව දෙවිට භාර දෙන්න කියාත් බයිබලයේ සඳහන් වෙනවා. (රෝම 12:19) එපමණක්ද නොව ඉක්මනින් කෝප වන අයට ක්‍රිස්තියානි සභාවේ වගකීම් දරන්න ලැබෙන්නේද නැහැ.—තීතස් 1:7.
සාධාරණ හේතු මත කෙනෙක් කෝප විය හැකියි. නමුත් ඔහු එම කෝපය සිතේ තබාගෙන දිගටම අමනාපයෙන් සිටීම සුදුසු නැහැ. අමනාපයක් ඇති වූ විගස එය විසඳාගන්න කියා බයිබලයේ උපදෙස් දී තිබෙන්නේ ඒ නිසයි. එසේ කළේ නැත්නම් සාතන් ඉන් අයුතු ප්‍රයෝජන ගැනීමට ඉඩ තිබෙනවා. (එෆීස 4:26, 27) විශේෂයෙන්ම ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයෙක් සමඟ අමනාපයක් ඇති වූවා නම් දෙවි සපයා ඇති මඟ පෙන්වීම් අදාළ කරගෙන එය විසඳාගැනීමට පියවර ගත යුතුයි. (ලෙවී කතාව 19:17, 18; මතෙව් 5:23, 24; 18:15; ලූක් 17:3, 4) එමෙන්ම අපේ ආශ්‍රිතයන් ගැනත් අපි සැලකිලිමත් විය යුතුයි. ඊට හේතුව ඉක්මනින් කෝප වන අය සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමෙන් අපිත් ඒ තත්වයට වැටීමට ඉඩ තිබීමයි.—හිතෝපදේශ 22:24, 25.
කෝපය පාලනය කරගැනීම සම්බන්ධයෙන් යේසුස් අපට කදිම ආදර්ශයක් තබනවා. ඔහු කිසිම අවස්ථාවකදී කෝපයෙන් ක්‍රියා කළේ නැහැ. ඒ කාලයේ සිටි සමහර අය නීතිය නොසලකාහරිමින් කැරලිකාර මෙන්ම නපුරු ලෙස කටයුතු කළත් යේසුස් ඔහුගේ ගෝලයන් සහ සෙසු අය සමඟ එසේ කටයුතු කළේ නැහැ. එක් අවස්ථාවකදී පරිසිවරුන්ගේ සිත්වල දැඩිකම දුටු යේසුස් ඒ ගැන බොහෝ සෙයින් දුක් වී උදහස් වුණා. නමුත් ඔහු එම උදහස දිගටම සිතේ තබාගෙන සිටියේ නැහැ. ඒ බව පැහැදිලි වන්නේ ඔහු ඒත් සමඟම රෝගියෙකුව සුව කිරීමෙනුයි. (මාක් 3:5) තවත් අවස්ථාවකදී මෝසෙස්ගේ නීතිය නොතකමින් දේවමාලිගාවේ වෙළෙඳාම් කටයුතු කළ අයව ඔහු එළවා දැමුවා. නමුත් ඔහු එය කළේ පාලනය කරගත නොහැකි කෝපයක් නිසා නොවෙයි. ඔහු එසේ කළේ දේවමාලිගාවට තිබුණු ළැදිකම නිසයි.—යොහන් 2:13-17.
අහිතකර ප්‍රතිඵල මඟ හරවාගන්න
කෝපය පාලනය කර නොගැනීම දෙවි සමඟ තිබෙන මිත්‍රත්වයටත් ශරීර සෞඛ්‍යයටත් අහිතකර ලෙස බලපානවා. එමගින් අධිරුධිර පීඩනය, පරියන්ත ධමනි රෝග, ස්වසන රෝග, අක්මාවේ රෝග, පිත්තාශයේ රෝග, අග්න්‍යාශයේ රෝග, ඇස් පෙනීමේ දුර්වලතා, ඇදුම, මුඛ රෝග සහ ආහාර ජීර්ණ පද්ධතියේ රෝගද ඇති විය හැකියි. එමෙන්ම කෙනෙක් අධික ලෙස කෝප වූ පසුව මානසික අවපීඩන තත්වයකට පත් වෙනවා. එපමණක්ද නොව කෝප වූ විට එය කෙනෙකුගේ කල්පනා ශක්තියට බලපාන නිසා ඔහුට සිතා බලා තීරණ ගැනීමට තිබෙන හැකියාවද දුර්වල වෙනවා. එසේනම් කෝපය පාලනය කරගැනීම කොතරම් වැදගත්ද!—හිතෝපදේශ 14:29, 30; රෝම 14:19; යාකොබ් 3:17; 1 පේතෘස් 3:11.
යෙහෝවා දෙවි පොළොව කෙරෙහි රජකම් කිරීමට පටන්ගන්නා විට ජාතීන් ඒ ගැන මහත් සේ උදහස් වන බව බයිබලයේ සඳහන් වෙනවා. එමෙන්ම මේ වන විට “තමාට ඉතුරු වී ඇත්තේ ඉතා කෙටි කාල පරිච්ඡේදයක් බව දැන සිටින යක්ෂයා, මහත් කෝපයෙන්” සිටින බවත් බයිබලයේ පෙන්නුම් කරනවා. (එළිදරව් 11:17, 18; 12:10-12) අද සිටින බොහෝ මිනිසුන් කෝපයෙන් කටයුතු කළත් සැබෑ ක්‍රිස්තියානීන් නම් එවැනි තත්වයකට පත් නොවීමට වග බලා ගන්නවා.—හිතෝපදේශ 14:29; දේශනාකාරයා 7:9.