Skip to content

පටුනට යන්න

පවුලේ සමඟියට අත්වැලක්

වගකීම් දැරීමට දරුවන්ව පුහුණු කිරීම

වගකීම් දැරීමට දරුවන්ව පුහුණු කිරීම

ජෝජ්: * “මගේ පුතාට වයස අවුරුදු හතරයි. එයා සෙල්ලම් කරලා එයාගේ සෙල්ලම් බඩු ටික ගේ හැම තැනම දානවා. රෑට නිදාගන්න කලින් සෙල්ලම් බඩු ටික අස් කරන්න කිව්වාම එයාට හරියට කේන්ති යනවා. එතකොට එයා කෑගහලා අඬනවා. සමහර වෙලාවට මම එයාට සැර කරනවා. ඒත් ඒකෙන් වෙන්නේ අපි දෙන්නාගේම හිත රිදෙන එක විතරයි. ඒ නිසා පුතාගේ සෙල්ලම් බඩු ටික මමම අස් කරලා දානවා.”

එමලි: “මගේ දුවගේ නම ජෙනී. එයාට වයස අවුරුදු 13යි. දවසක් එයා ඉස්කෝලේ ඇරිලා ඇවිත් හොඳටම ඇඬුවා. ඒකට හේතුව පන්තියේ ගුරුතුමිය දෙන ගෙදර වැඩ කරන්නේ කොහොමද කියලා එයාට තේරුණේ නැති නිසයි. කොහොමවුණත් ඊළඟ දවසේ ඉස්කෝලෙට ගියාම ඒ දේවල් ගැන ගුරුතුමියගෙන් අහන්න කියලා මම ජෙනීට කිව්වත් ගුරුතුමිය හුඟක් සැර කෙනෙක් නිසා ජෙනී ඒකට කැමති වුණේ නැහැ. ඒ නිසා ඒ වෙලාවෙම මට හිතුණා ගිහින් ගුරුතුමියත් එක්ක කතා කරන්න.”

ඉහත සඳහන් කළ ජෝජ් සහ එමලි මුහුණ දුන්නා හා සමාන තත්වයන්වලට ඔබත් මුහුණ දෙනවා ඇති. තමන්ගේ දරුවන් අසීරු තත්වයකට මුහුණ දෙනවා දැකීමට හෝ දුකෙන් සිටිනවා දැකීමට ඔබ කැමති නැති බව ඇත්තයි. ඕනෑම දෙමාපියෙක් උත්සාහ කරන්නේ තමන්ගේ දරුවන්ව ආරක්ෂා කරගැනීමටයි. කොහොමවුණත් ඉහත සඳහන් කළ අවස්ථා දෙකේදීම ජෝජ්ටත් එමලිටත් වගකීම් දැරීම සඳහා තම දරුවන්ව පුහුණු කිරීමට අවස්ථාව ලැබුණා.

යම් දිනක දරුවන් වැඩිහිටියන් වී දෙමාපියන්ගෙන් වෙන් වූ පසු ‘තමාට පැවරී ඇති වගකීම්’ ඉටු කිරීමට ඔවුන්ට සිදු වෙනවා. (ගලාති 6:5; උත්පත්ති 2:24) ඒ නිසා අනාගතයේදී වගකීම් හොඳින් ඉටු කිරීම සඳහා දෙමාපියන් දරුවන්ව කුඩා කාලයේ සිටම පුහුණු කළ යුතුයි. කොහොමවුණත් එය ලෙහෙසි කාර්යයක් නොවෙයි.

යේසුස් තම ගෝලයන්ව පුහුණු කළ ආකාරය ආදර්ශයට ගන්න දෙමාපියන්ට හැකියි. යේසුස්ට අවශ්‍ය වූයේ තමා ඔවුන් සමඟ නැති කාලයේදී පවා තම අනුගාමිකයන් ඔවුන්ගේ වගකීම් සාර්ථකව ඉටු කරනවා දැකීමටයි. (මතෙව් 28:19, 20) එම වගකීම් හොඳින් ඉටු කිරීම සඳහා යේසුස් ඔවුන්ව කල් ඇතුව පුහුණු කළා. යේසුස්ගේ ආදර්ශයෙන් දෙමාපියන්ට ඉගෙනගත හැකි කරුණු තුනක් අපි දැන් සලකා බලමු.

ආදර්ශයක් තබන්න:

යේසුස් තම ගෝලයන්ට මෙසේ පැවසුවා. “මා ඔබට කළා වගේ ඔබත් කළ යුතුයි. ඔබට අනුගමනය කරන්න මම තබන ආදර්ශය එයයි.” (යොහන් 13:15) යේසුස් හා සමානව දෙමාපියන්ද වගකීම් නිසි ලෙස ඉටු කරන ආකාරය ගැන දරුවන්ට කියා දෙනවාට අමතරව එය ආදර්ශයෙන්ද පෙන්විය යුතුයි.

ඔබගෙන්ම මෙසේ අසාගන්න: ‘මට තිබෙන වගකීම් බරක් කියා මම පවසනවාද? අනික් අයට උපකාර කිරීම ගැන මම සතුටින් කතා කරනවාද? එසේත් නැත්නම් මගේ වගකීම් අනික් අයගේ වගකීම් සමඟ සසඳා මට වැඩි වගකීම් ප්‍රමාණයක් ඉටු කිරීමට තිබෙනවා කියා පවසනවාද?’

අප සෑම කෙනෙක්ම වෙහෙසට පත් වන නිසා සමහර අවස්ථාවලදී වගකීම් ඉටු කිරීම සම්බන්ධයෙන් යම් අතපසුවීම් සිදු විය හැකියි. කොහොමවුණත් වගකීමෙන් යුත් පුද්ගලයෙක් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම ගැන ඔබේ දරුවාට හොඳින්ම කියා දිය හැක්කේ ඔබ ඒ වගකීම් ඉටු කිරීම සම්බන්ධයෙන් ආදර්ශවත් වීමෙනුයි.

මෙය අත්හදා බලන්න: ඔබට හැකි නම් ඔබේ දරුවාව ඔබේ රැකියා ස්ථානය වෙත ගෙන යන්න. එවිට ඔබ ඔබේ පවුල වෙනුවෙන් කොතරම් වෙහෙස වෙනවාද කියා දරුවා දකියි. එමෙන්ම ඔබ වෙන කෙනෙකුට උපකාර කරන විට ඔබේ දරුවාවත් ඊට හවුල් කරගන්න. පසුව එසේ කටයුතු කිරීමෙන් ලැබූ සතුට ගැන දරුවා සමඟ කතා කරන්න.—ක්‍රියා 20:35.

හැකි පමණට වඩා බලාපොරොත්තු නොවන්න:

තම ගෝලයන්ට තනිවම වගකීම් දැරීම සඳහා යම් කාලයක් ගත වන බව යේසුස් තේරුම්ගත්තා. එක් අවස්ථාවකදී ඔහු මෙසේ පැවසුවේ ඒ නිසයි. “ඔබට කියන්න තව බොහෝ දේ මට තිබුණත් ඒවා දරාගන්න දැන් ඔබට බැහැ.” (යොහන් 16:12) යේසුස් කිසිම අවස්ථාවක ගෝලයන්ව සූදානම් නොකර ඔවුන්ට වගකීම් ලබා දුන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් සමඟ කාලය ගත කරමින් බොහෝ දේවල් ඉගැන්වූවා. ඉන්පසුව තම පැවරුම් තනිවම ඉටු කිරීමට අවස්ථාව දුන්නා.

ඒ හා සමානව දෙමාපියන්ද තම දරුවන්ට ඉටු කළ නොහැකි වගකීම් ඔවුන්ගෙන් බලාපොරොත්තු වීම සුදුසු නැහැ. ඒ වෙනුවට දරුවන් වයසින් වැඩෙන විට ඔවුන්ට ඉටු කළ හැකි වගකීම් මොනවාද කියා දෙමාපියන් තේරුම්ගත යුතුයි. උදාහරණයකට ශාරීරික පිරිසිදුකම, කාමරය පිරිසිදුව තබාගැනීම, වෙලාවට වැඩ කිරීම සහ මුදල් ඥානවන්තව පරිහරණය කිරීම යනාදී දේවල් දෙමාපියන් දරුවන්ට ඉගැන්විය යුතුයි. එමෙන්ම පාසැලෙන් දෙන ගෙදර වැඩ කිරීමට දරුවන්ට වගකීමක් තිබෙන බවත් ඔවුන්ට කියා දිය යුතුයි.

කොහොමවුණත් දරුවන් ඔවුන්ගේ වගකීම් ඉටු කිරීම සඳහා වෑයම් කරන විට ඔවුන්ට දෙමාපියන්ගේ උපකාරය අවශ්‍යයි. කලින් සඳහන් කළ ජෝජ් තමන්ගේ පුතා සෙල්ලම් බඩු අස් නොකිරීමට හේතුව කුමක්ද කියා තේරුම්ගත්තා. පුතා එය නොකළේ සෙල්ලම් බඩු අස් කිරීම ලොකු වැඩක් කියා ඔහු සිතූ නිසයි. ඒ ගැන ජෝජ් පැවසූ දෙය සලකා බලන්න. “මම ඒ ගැන පුතාට බණිනවා වෙනුවට යම් ක්‍රමයක් පාවිච්චි කරලා ඒ වගකීම ඉටු කරන්න පුතාට උදව් කළා.

“හැමදාම පුතාට සෙල්ලම් බඩු අස් කරන්න ඕනේ වෙලාවක් මම නියම කළා. ඊටපස්සේ ඒ දේ කරන්න මම පුතාට උදව් කළා. මට ඕනේ වුණේ පුතා ඒක සතුටින් කරනවා දකින්නයි. ඒ නිසා අපි ඒක තරඟයක් විදිහට කරන්න සැලසුම් කළා. කාලයත් එක්ක ඒක අපේ දිනචර්යාවේම කොටසක් වුණා. ඒ වගේම පුතා ඉක්මනටම එයාගේ සෙල්ලම් බඩු ටික අස් කරලා කාලය ඉතුරු කරගත්තොත් වැඩිපුර කතන්දරයක් කියලා දෙන්නම් කියලා මම එයාට කිව්වා. හැබැයි පුතාට කාලය ඉතුරු කරගන්න බැරි වුණොත් එයාට වැඩිපුර කතන්දරයක් අහන්න වෙලාව නැති වෙනවා කියලත් කිව්වා.”

මෙය අත්හදා බලන්න: පවුලේ සියලුදෙනාගේම යහපත වෙනුවෙන් දරුවන්ට ඉටු කළ හැකි වගකීම් මොනවාද කියා කල්පනා කරන්න. පසුව ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘දරුවන්ට තනියම කරන්න පුළුවන් වැඩ මම තාමත් කරනවාද?’ ඔබ එසේ කරනවා නම් දරුවන්ට එම වගකීම් තනිවම ඉටු කිරීම සඳහා ඔවුන්ව පුහුණු කරන්න. එසේ කිරීමේදී දරුවන් ඔවුන්ගේ වගකීම නිසි ලෙස ඉටු කළොත් ඔවුන්ට හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකි බව පවසන්න. උදාහරණයකට ඔවුන්ගේ වගකීම් නිසි ලෙස ඉටු කිරීම වෙනුවෙන් යම් දෙයක් ඔවුන් වෙනුවෙන් කරන්න හෝ යම් දෙයක් ලබා දෙන්න ඔබ එකඟ විය හැකියි. එමෙන්ම ඔවුන් තම වගකීම් නිසි ලෙස ඉටු නොකළොත් ඔබ එවැනි දෙයක් නොකරන බව පැවසිය හැකියි.

නිසි මඟ පෙන්වීම් දෙන්න:

යම් දෙයක් ඉගෙනගැනීමට නම් ඒ දෙය ක්‍රියාත්මක කළ යුතු බව යේසුස් දැන සිටියා. උදාහරණයකට දේශනා සේවයේ යැවීම සඳහා තම ගෝලයන් සුදුසු තත්වයක සිටින බව යේසුස් තේරුම්ගත් විට ඔහු ‘සෑම නුවරකටම සහ ස්ථානයකටම ඔවුන්ව දෙදෙනා බැගින් යවනු ලැබුවා.’ (ලූක් 10:1) නමුත් ඊට කලින් ඒ වගකීම ඉටු කිරීමට අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම්ද ලබා දුන්නා. (ලූක් 10:2-12) එමෙන්ම ඔවුන් දේශනා සේවයේ ගොස් පැමිණ තමන් ලැබූ අද්දැකීම් ගැන පැවසූ විට යේසුස් ඔවුන්ව අගය කරමින් ඔවුන්ව දිරිගැන්වූවා.—ලූක් 10:17-24.

ඔබේ දරුවන් යම් අභියෝගයකට මුහුණ දෙන විට ඔබ ක්‍රියා කරන්නේ කෙසේද? ඔවුන් අසරණ වෙයි කියා හෝ කලකිරෙයි කියා සිතමින් ඔවුන් කළ යුතු දේවල් කිරීමට ඔබ පෙලඹෙනවාද? බොහෝවිට එවැනි තත්වයකදී සිදු වන්නේ දරුවන් කළ යුතු දේවල් තමන් පිටට ගැනීමට දෙමාපියන් පෙලඹීමයි.

නමුත් මේ ගැන සිතන්න. දරුවා කළ යුතු දේවල් ඔබ කරනවා නම් කුමක් සිදු විය හැකිද? සමහරවිට යම් වගකීමක් ඉටු කිරීමට දරුවාට ඇති හැකියාව ඔබ සැක කරනවා කියන පණිවිඩය ඔබ දරුවාට ලබා දෙනවා විය හැකිද? එසේත් නැත්නම් දෙමාපියන් නැතුව ඔහුට කිසිවක් කරගන්න බැහැ කියන පණිවිඩය ඔබ දරුවාට ලබා දෙනවා විය හැකිද?

කලින් සඳහන් කළ එමලි ඇගේ දියණියට තිබූ ප්‍රශ්නය සම්බන්ධයෙන් කටයුතු කළේ කෙසේද? ඇය මුලින්ම ගොස් ගුරුතුමිය මුණගැසෙනවා වෙනුවට දියණියට ගොස් ගුරුතුමිය සමඟ කතා කරන්න කියා පැවසුවා. ඊට පෙර ඔවුන් දෙදෙනාම එකතු වී ගුරුතුමියගෙන් ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් සටහන් කළා. එමෙන්ම එම ප්‍රශ්න ඇසිය යුත්තේ කුමන අවස්ථාවේදීද කියාත් ඔවුන් තීරණය කළා. පසුව ගුරුවරිය සමඟ එම ප්‍රශ්න කතා කරන ආකාරය ඔවුන් පෙරහුරු කළා. ඉන් සිදු වූ දේ ගැන එමලි මෙසේ පැවසුවා. “මගේ දුවට පුළුවන් වුණා භය නැතුව ගුරුතුමිය එක්ක එයාගේ ප්‍රශ්නය ගැන කතා කරන්න. ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් කතා කිරීම ගැන ගුරුතුමියත් අගය ප්‍රකාශ කළා. ඒ වගේම මමත් මගේ දුවත් ඒ ගැන සතුටු වුණා.”

මෙය අත්හදා බලන්න: ඔබේ දරුවා මුහුණ දෙමින් සිටින අභියෝගයක් ගැන සටහන් කරගන්න. එම අභියෝගය ඔබ පිටට නොගෙන එය ජය ගැනීම සඳහා දරුවාට “උපකාර” කිරීමට ඔබට කළ හැකි දේත් එහි සටහන් කරන්න. පසුව දෙදෙනාම එක් වී එය පෙරහුරු කරන්න. දරුවාට එම අභියෝගය ජය ගත හැකියි යන විශ්වාසය ඔහු තුළ ඇති කරන්න.

අභියෝගවලට මුහුණ දීම සඳහා ඔබ ඔබේ දරුවාට ඉඩ දෙන්නේ නැත්නම් අනාගතයේදී ඔහු වැඩිහිටියෙකු වූ විට අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න ඔහුට හැකි වන්නේ නැහැ. ඒ නිසා කුඩා කාලයේ සිටම වගකීම් ඉටු කිරීමට ඔබේ දරුවාව පුහුණු කරන්න. එය දරුවාගේ මතු අනාගතය වෙනුවෙන් ඔබ ලබා දෙන වටිනා ත්‍යාගයක් කියා පැවසිය හැකියි.

^ 3 ඡේ. නම් වෙනස් කර ඇත.

ඔබගෙන්ම මෙසේ අසාගන්න . . .

  • මම දරුවන්ගෙන් බලාපොරොත්තු වන දේවල් ඔවුන්ට කළ හැකිද?

  • අනාගතයේදී වගකීම් ඉටු කරන පුද්ගලයෙක් වීම සඳහා කළ යුතු දේවල් කියා දෙනවාට අමතරව ඒවා කරන ආකාරය මම පෙන්වනවාද?

  • වගකීම් හොඳින් ඉටු කිරීම සම්බන්ධයෙන් මම අවසාන වතාවට මගේ දරුවාව අගය කළේ කවදාද?