පාඨකයන් අසයි
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නමස්කාරය සඳහා රැස් වෙන්නේ කොහේද?
ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නමස්කාරය සඳහා රැස් වෙන්නේ රාජ්‍ය ශාලා හෙවත් නමස්කාර මධ්‍යස්ථානවලයි. ලොව වටා එවැනි නමස්කාර මධ්‍යස්ථාන දහස් ගණනක් තිබෙනවා. එම නමස්කාර මධ්‍යස්ථාන මොන වගේද?
සෑම නමස්කාර මධ්‍යස්ථානයක්ම ඉදි කර තිබෙන්නේ බයිබලය මත පදනම් දේශන ඉදිරිපත් කළ හැකි ශාලාවක් ලෙසයි. බොහෝවිට එහි වේදිකාවක් දැකිය හැකි අතර දේශන ඉදිරිපත් කරන්නේත් ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේත් එම වේදිකාවේ සිටයි. සාමාන්‍යයෙන් 100ත් 300ත් අතර ප්‍රමාණයකට මෙම නමස්කාර මධ්‍යස්ථානවල රැස් වීමට ඉඩ පහසුකම් තිබෙනවා. සමහර මධ්‍යස්ථානවල අමතර ශාලාවක්ද දැකිය හැකි අතර බයිබලයට සම්බන්ධ විෂයන් ගැන පර්යේෂණ කටයුතු කිරීමට කුඩා පුස්තකාලයක්ද තිබෙනවා. එහි පැමිණෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට එම පුස්තකාලය භාවිත කළ හැකියි.
පල්ලි හෝ වෙනත් ආගමික ස්ථාන තුළ මෙන් මෙහි අල්තාර, පිළිම හෝ කුරුස වැනි දේවල් දකින්න නැහැ. ඊට හේතුව “රූප වන්දනාවෙන් පලා දුවන්න” කියා බයිබලයේ දී තිබෙන උපදෙස සාක්ෂිකරුවන් පිළිපැදීමයි. (1 කොරින්ති 10:14; යොහන් 4:24) බොහෝවිට පල්ලි හෝ වෙනත් ආගමික ස්ථාන ඉදි කර තිබෙන්නේ මිනිසුන්ගේ අවධානය ඇදගන්නා ආකාරයටයි. නමුත් සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථාන ඉදි කර තිබෙන්නේ එවැනි අරමුණක් ඇතුව නොවෙයි. ඔවුන් මූලික තැන දෙන්නේ ගොඩනැඟිල්ලට නොව එහි සිදු වන නමස්කාර කටයුතුවලටයි.
යේසුස් මේපොළොවේ සිටි විට ඔහු මූලික අවධානය දුන්නේ “දෙවිගේ රාජ්‍යය” ගැන මිනිසුන්ට කියා දීමටයි. (ලූක් 4:43) එමෙන්ම බයිබලයේ ප්‍රධාන තේමාවත් ‘දෙවිගේ රාජ්‍යයයි.’ ඒ අනුව සාක්ෂිකරුවන් නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන්නේ දෙවිගේ ‘රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය’ පුළුල්ව ප්‍රචාරය කරමින් සැබෑ නමස්කාරය තවත් වැඩි දියුණු කිරීමේ අරමුණ ඇතුවයි. (මතෙව් 24:14) ඒ නිසා මෙම මධ්‍යස්ථාන යොදාගනු ලබන්නේ නමස්කාරය හා සම්බන්ධ කටයුතු සඳහා පමණයි. ඒවා ව්‍යාපාර කටයුතු හෝ වෙනත් ක්‍රියාකාරකම් සඳහා යොදාගනු ලබන්නේ නැහැ. නමස්කාර මධ්‍යස්ථාන නඩත්තු කිරීමටත් අලුත් මධ්‍යස්ථාන ගොඩනැඟීමටත් මුදල් ලැබෙන්නේ කැමැත්තෙන්ම කරන පරිත්යාගවලිනුයි. මුදල් එකතු කරගැනීම සඳහා කිසිම විටක මුදල් බඳුන් එකිනෙකා වෙත යවනු ලබන්නේ නැහැ. ඒ වෙනුවට සෑම නමස්කාර මධ්‍යස්ථානයකම කැමැත්තෙන්ම ඒ සඳහා පරිත්‍යාග කිරීමට සම්මාදම් පෙට්ටි තබා තිබෙනවා.
දේශගුණික තත්වයන්, ගොඩනැඟිලි අමුද්‍රව්‍ය සහ මූල්‍යමය තත්වයන් රටින් රටට වෙනස් වෙනවා. ඒ නිසා සමහර රටවල නමස්කාර මධ්‍යස්ථාන ඉදි කර තිබෙන්නේ ගඩොල්, ලී හෝ කලු ගල් වැනි අමුද්‍රව්‍ය යොදාගෙනයි. තවත් ඒවා උණබට යොදාගෙන සාදා ඇති අතර ඊට පිදුරු සෙවිලි කර තිබෙනවා. ඒ නිසා නමස්කාර මධ්‍යස්ථානවල ප්‍රමාණය සහ පෙනුම එකිනෙකට වෙනස් විය හැකියි. ඒ වුණත් නමස්කාර මධ්‍යස්ථානය ඉදි කිරීමේ අරමුණ කිසිම විටක වෙනස් වෙන්නේ නැහැ.
නමස්කාර මධ්‍යස්ථානවල සාක්ෂිකරුවන් පවත්වන රැස්වීම්වලට සහභාගි වීම සඳහා ඕනෑම කෙනෙකුට අවස්ථාව තිබෙනවා. (හෙබ්‍රෙව් 10:25) සෑම සතියකම සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානවල බයිබලය ඇසුරෙන් දේශනයක් ඉදිරිපත් කරනු ලබනවා. එය සියලුදෙනාටම එක හා සමානව ප්‍රයෝජනවත්. ඒ නිසා සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානවල පැවැත්වෙන රැස්වීමකට හවුල් වෙන්න කියා ඔබටත් ආරාධනා කරන්න කැමතියි.