Skip to content

පටුනට යන්න

ග්‍රහ තාරකාවල පිහිටීම ඔබේ ජීවිතයට බලපානවාද?

ග්‍රහ තාරකාවල පිහිටීම ඔබේ ජීවිතයට බලපානවාද?

ග්‍රහ තාරකාවල පිහිටීම ඔබේ ජීවිතයට බලපානවාද?

පැහැදිලි අහසක් ඇති රාත්‍රියක තරු දහස් ගණනක් බැබළෙන ආකාරය ඔබ දැක ඇති. එවැනි දසුනක් දැකීමෙන් ඔබ පුදුමයට පත් වන බවට සැකයක් නැහැ. තරුවල විශාලත්වය සහ පෘථිවියේ සිට ඒවා පිහිටා ඇති දුර ප්‍රමාණය ගැන මිනිසුන් අධ්‍යයනය කිරීමට පටන්ගත්තේ මීට වසර 350කට පමණ ඉහතදීයි. කොහොමවුණත් අපගේ විශ්වය ගැනත් එහි තිබෙන අසංඛ්‍යාත ග්‍රහ වස්තූන් ගැනත් අපට තිබෙන්නේ ඉතා අල්ප දැනුමක් පමණයි.

ඈත අතීතයේ සිට ග්‍රහ වස්තූන් ගැනත් ඒවායේ පිහිටීම ගැනත් මිනිසුන් නිරීක්ෂණය කර තිබෙන අතර එසේ කිරීමෙන් සමහරු පුදුමයට පත් වී තිබෙනවා. (උත්පත්ති 1:14) මීට වසර 3,000කට පමණ පෙර ජීවත් වූ ඊශ්‍රායෙලය පාලනය කළ දාවිත් රජ එසේ පුදුම වූ කෙනෙක්. ඒ නිසා ඔහු ඒ සියල්ලේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිට ප්‍රශංසා කරමින් මෙසේ පැවසුවා. “ඔබේ දෑත්වලින් නිම කළ අහස්තලය දෙසද ඔබ සෑදූ සඳ හා තාරකා දෙසද මා බලන විට ඔබ මිනිසාව සිහි කිරීමට තරම් ඔහු කවුද?”—ගීතාවලිය 8:3, 4.

ඇත්තෙන්ම විශ්වයේ තිබෙන ග්‍රහ වස්තූන් පොළොවේ ජීවත් වන අපට බෙහෙවින් වැදගත් වෙනවා. උදාහරණයකට අපගේ සූර්යයා ගැන සලකා බලන්න. අපට දින සහ වර්ෂ මනින්න හැකි වී තිබෙන්නේ පෘථිවිය සූර්යයා වටා ගමන් කරන නිසයි. එමෙන්ම චන්ද්‍රයා නිසා ඍතු ඇති වෙනවා. “කාලය මැන බැලීමට ඔබ සඳ සෑදුවෙහිය” කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි. (ගීතාවලිය 104:19) ඊට අමතරව නාවිකයන්ට සහ ගගනගාමීන්ට දිශාව සොයාගැනීම සඳහා තාරකාවල පිහිටීම බෙහෙවින් වැදගත් වෙනවා. කෙසේවෙතත් තාරකා සහ ග්‍රහ වස්තූන්වලින් අපගේ අනාගතය සම්බන්ධයෙන් යම් තොරතුරු දැනගත හැකිද කියා සමහරු සිතනවා.

ජ්‍යෝතිඃ ශාස්ත්‍රයේ ආරම්භය

අනාගතය ගැන දැනගැනීමට හිරු සඳු සහ ග්‍රහ වස්තු නිරීක්ෂණය කිරීම ආරම්භ වුණේ මෙසපොතේමියාවෙනුයි. එය සිදු වන්න ඇත්තේ ක්‍රිස්තු පූර්ව 3000ත් 2000ත් අතර කාලයේදී විය හැකියි. මෙලෙස ආකාශ වස්තූන් නිරීක්ෂණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තරුවල පිහිටීම දැනගැනීමටත් දිනදර්ශන සකස් කිරීමටත් චන්ද්‍ර ග්‍රහණ සහ සූර්ය ග්‍රහණ ගැන දැනගැනීමටත් හැකියාව ලැබුණා. එමෙන්ම මෙහි තවත් ප්‍රතිඵලයක් ලෙස තාරකා විද්‍යාව ආරම්භ වුණා. නමුත් ජ්‍යෝතිඃ ශාස්ත්‍රය කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. එයින් සිදු වන්නේ ග්‍රහ වස්තූන්වල පිහිටීම මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට බලපාන ආකාරය ගැන සොයා බැලීමයි.

ඇතමුන් ජ්‍යෝතිඃ ශාස්ත්‍රය තුළින් අනාගතයේදී සිදු විය හැකි සුබ සහ අසුබ දේවල් පිළිබඳව දැනගැනීමට උත්සාහ කරනවා. තවත් අය යම් විශේෂ වැඩකටයුත්තක් ආරම්භ කිරීම සඳහා සුබ හෝරාව කුමක්ද කියා දැනගැනීමටත් ජ්‍යෝතිඃ ශාස්ත්‍රයේ පිහිට පතනවා. ඒ සඳහා ඔවුන් ග්‍රහ තාරකා සහ පෘථිවිය එකිනෙකට සාපේක්ෂව පිහිටා ඇති ආකාරය ගැන සොයා බලනවා. ඒ වගේම පුද්ගලයෙක් උපත ලබන වෙලාවේ ග්‍රහයන් පිහිටා තිබෙන ආකාරය අනුව ඒවා ඔහුගේ අනාගතයට බලපාන බවත් ඔවුන් විශ්වාස කරනවා.

ඈත අතීතයේ සිටි ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් විශ්වාස කළේ පෘථිවිය විශ්වයේ හරි මැද පිහිටා තිබෙනවා කියායි. එමෙන්ම ග්‍රහලෝක සහ තරු පෘථිවිය වටා ගමන් කරනවා කියාත් ඔවුන් සිතුවා. සූර්යයා වාර්ෂිකව ඒ තරු සහ ග්‍රහයන් අතරින් ගමන් කරනවා කියා ඔවුන් සිතූ නිසා ඒ ගමන් මඟ කොටස් 12කට වෙන් කළා. ඉන්පසු ඒ එක් එක් කොටසේ තිබූ තරු පන්ති සැලකිල්ලට ගෙන ඒවා නම් කරනු ලැබුවා. ලග්න 12කින් යුත් රාශි චක්‍රය ඇති වුණේ ඒ ආකාරයටයි. මෙසේ වෙන් කරනු ලැබූ කොටස් 12ටම දෙවි දේවතාවන් සිටිනවා කියාත් ඔවුන් විශ්වාස කළා. ඒත් විශ්වය ගැන මිනිසා සතු දැනුම තව තවත් පුළුල් වෙත්ම පෘථිවිය වටා ග්‍රහලෝක ගමන් කරනවා නොව සූර්යයා වටා පෘථිවිය ගමන් කරන බව ඔප්පු වුණා. එයින් පැහැදිලි වුණේ ජ්‍යෝතිඃ ශාස්ත්‍රය විද්‍යාවට එකඟ නැති බවයි.

මෙසපොතේමියාවෙන් ඇරඹුණු ජ්‍යෝතිඃ ශාස්ත්‍රය කාලයත් සමඟ විවිධ ස්වරූපවලින් ලොව පුරා පැතිරෙන්න පටන්ගත්තා. උදාහරණයකට පර්සියානු ජාතිකයන් බැබිලෝනිය යටත් කරගත් පසු ඊජිප්තුව, ග්‍රීසිය සහ ඉන්දියාව වැනි රටවලට එය ව්‍යාප්ත වුණා. එමෙන්ම ඉන්දියාවේ සිටි බෞද්ධ භික්ෂූන් වහන්සේලා මධ්‍යම ආසියාව, චීනය, ටිබේටය, ජපානය, අග්නිදිග ආසියාව දක්වා එය ව්‍යාප්ත කළා. කෙසේවෙතත් මධ්‍යම ඇමරිකාවේ සිටි මායාවරුන් අතරට ජ්‍යෝතිඃ ශාස්ත්‍රය පැමිණියේ කෙසේද කියා මේ වන තුරුත් කිසිම තොරතුරක් හෙළි වී නැහැ. ඒ වුණත් බැබිලෝනිවරුන් හා සමානව ඔවුන්ද ජ්‍යෝතිඃ ශාස්ත්‍රයේ ප්‍රබලව නියැලී තිබෙනවා. වර්තමානයේ ජනප්‍රියව පවතින ජ්‍යෝතිඃ ශාස්ත්‍රයේ බොහෝ අංග ග්‍රීක පාලනය යටතේ තිබූ මිසරයෙන් පැමිණි බව විශ්වාස කළ හැකියි. එමෙන්ම එය අද වන විට යුදෙව් ආගමටත් ඉස්ලාම් සහ ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම්වලටත් විශාල ලෙස බලපා තිබෙනවා.

අතීතයේ සිටි ඊශ්‍රායෙල්වරුන්ද ජ්‍යෝතිඃ ශාස්ත්‍රයේ බලපෑමට හසු වුණා. එය සිදු වුණේ ඔවුන් බැබිලෝනියේ වහල්භාවයට යෑමටත් පෙරයි. කොහොමවුණත් ඊශ්‍රායෙලය පාලනය කළ යොෂියා රජ එවැනි දේවල් දේශයෙන් ඉවත් කිරීමට පියවර ගත්තා. ඔහු ඒ දෙය කළේ “හිරු සහ සඳුට, රාශි චක්‍රයට හා ග්‍රහ තාරකාවලට” වැඳුම්පිදුම් කිරීමෙන් ජනයාව වැළැක්වීමෙනුයි.—2 රාජාවලිය 23:5.

ජ්‍යෝතිඃ ශාස්ත්‍රය පිටුපස සිටින්නේ කවුද?

ජ්‍යෝතිඃ ශාස්ත්‍රය පදනම් වී තිබෙන්නේ විශ්වය ගැනවත් එහි ක්‍රියාකාරීත්වය ගැනවත් ඇති සත්‍යය තොරතුරු මත නොවෙයි. ඒ නිසා ජ්‍යෝතිඃ ශාස්ත්‍රය පිටුපස මේ විශ්වය නිර්මාණය කළ දෙවි සිටිනවා කියා පවසන්න බැහැ. අනික් අතට වැරදි තොරතුරු මත පදනම් වී තිබෙන ජ්‍යෝතිඃ ශාස්ත්‍රයෙන් මිනිසුන්ගේ අනාගතය ගැන නිවැරදිව දැනගත හැකියි කියා පවසන්නත් බැහැ. ජ්‍යෝතිඃ ශාස්ත්‍රය සත්‍යයක් නොවන බව තේරුම්ගැනීමට අපි පුරාණයේ සිදු වූ සිද්ධීන් දෙකක් ගැන සලකා බලමු.

බැබිලෝනිය පාලනය කළ නෙබුකද්නෙෂර් රජ දිනක් සිහිනයක් දුටුවා. එය පැහැදිලි කර දෙන්න කියා ඔහු පූජකයන්ගෙන් සහ ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ගෙන් ඉල්ලා සිටියත් ඔවුන්ට එය කිරීමට හැකි වුණේ නැහැ. දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙකු වූ දානියෙල් ඒ ගැන මෙසේ පැවසුවා. “බුද්ධිමතුන්ටවත් පේන කියන්නන්ටවත් මන්තර ගුරුකම් කරන පූජකයන්ටවත් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ටවත් ඔබේ සිහිනය පැහැදිලි කරන්න බැහැ. නමුත් රහස් හෙළි කිරීමට හැකියාව ඇති දෙවි කෙනෙක් ස්වර්ගයේ ඉන්නවා. ඔහු මතු දවස්වලදී සිදු වීමට නියමිත දේ සිහිනයක් මාර්ගයෙන් ඔබට දන්වා තිබෙනවා.” (දානියෙල් 2:27, 28) සිහිනයේ අර්ථය පැහැදිලි කර දීමට හැක්කේ “රහස් හෙළි කිරීමට හැකියාව ඇති” දෙවිට මිස හිරු, සඳු හෝ තාරකාවලට නොවන බව දානියෙල් දැන සිටියා. ඒ නිසා දෙවිගේ උපකාරය ඇතුව දානියෙල් සිහිනයේ අර්ථය රජට පැහැදිලි කළා.—දානියෙල් 2:36-45.

ජ්‍යෝතිඃ ශාස්ත්‍රය තදින් විශ්වාස කළ මායාවරුන්ගේ ශිෂ්ටාචාරය ක්‍රිස්තු වර්ෂ නවවන සියවසේදී බිඳ වැටුණා. නමුත් එම බිඳ වැටීම ගැනවත් එය වළක්වා ගත හැකි ආකාරය ගැනවත් ඔවුන්ට ජ්‍යෝතිඃ ශාස්ත්‍රය තුළින් දැනගැනීමට හැකි වුණේ නැහැ. එයින්ද පැහැදිලි වන්නේ ජ්‍යෝතිඃ ශාස්ත්‍රය අසත්‍යය දෙයක් බවයි. ජ්‍යෝතිඃ ශාස්ත්‍රය නිසා සිදු වන භයානකම දෙය වන්නේ අනාගතය ගැන හෙළි කිරීමට හැකියාව ඇති දෙවි වෙතට යොමු වීමෙන් මිනිසුන් වැළකී සිටීමයි.

ජ්‍යෝතිඃ ශාස්ත්‍රය අසත්‍ය විශ්වාසයන් මත පදනම් වී තිබෙන නිසා ඒ පිටුපස සිටින්නේ කවුද කියා තේරුම්ගැනීම අපහසු දෙයක් නොවෙයි. ඒ පිටුපස සිටින්නේ වෙන කිසිවෙකු නොව සාතන් නමැති යක්ෂයායි. එක් අවස්ථාවකදී යේසුස් ඔහුව මෙසේ විස්තර කළා. “ඔහු වංචාවෙන් පිරී ඇති නිසා ඔහු සත්‍යයට ඇලී සිටියේ නැහැ. ඔහු තුළ බලපවත්වන්නේ බොරුවයි. ඒ නිසා ඔහු පවසන්නේ බොරු පමණයි. මන්ද ඔහු බොරුකාරයෙක්. බොරුවේ පියායි.” (යොහන් 8:44) නමුත් ඔහු උත්සාහ කරන්නේ ‘ආලෝකය ලබා දෙන දූතයෙකු ලෙස පෙනී සිටීමටයි.’ එමෙන්ම ඔහු සමඟ සිටින දුෂ්ට භූතයන්ද “ධර්මිෂ්ඨකමින් සේවය කරන අය ලෙස පෙනී සිටීමට උත්සාහ” කරනවා. (2 කොරින්ති 11:14, 15) ඒ වුණත් ඔවුන් ඇත්තටම කරමින් සිටින්නේ මිනිසුන්ව රවටා ඔවුන්ව නොමඟ යැවීමයි. කොහොමවුණත් “බලවත් ක්‍රියාද මුළා කරවනසුලු ආශ්චර්යයන්ද අමුතුම ආකාරයේ ලකුණුද” යන මේ සියල්ල පිටුපස සිටින්නේ යක්ෂයා බව බයිබලයේ පැහැදිලිව සඳහන් වෙනවා.—2 තෙසලෝනික 2:9.

ජ්‍යෝතිඃ ශාස්ත්‍රයෙන් වැළකී සිටිය යුත්තේ ඇයි?

යෙහෝවා දෙවි සත්‍යතාවේ දෙවි නිසා බොරුව මත පදනම් වී ඇති ජ්‍යෝතිඃ ශාස්ත්‍රය ඔහු දැඩි සේ හෙළාදකිනවා. (ගීතාවලිය 31:5) එයින් වැළකී සිටින්න කියා ඔහු අපට පවසා තිබෙන්නේ ඒ නිසයි. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘නැකත් බලන්නවත් මායා බලයෙන් දේවල් කරන්නවත් ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි. කට්ටඩියෙකුගේ හෝ ශාස්ත්‍ර බලන කෙනෙකුගේ උපකාර ලබන්නවත් මළවුන්ගෙන් තොරතුරු විචාරන්නවත් කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි. එවැනි දේවල් කරන කිසිවෙක් ඔබ අතරේ නොසිටිය යුතුයි. මන්ද එවැනි දේවලට හවුල් වන සෑම කෙනෙක්ම යෙහෝවා දෙවිට පිළිකුලක්.’—ද්විතීය කතාව 18:10-12.

ජ්‍යෝතිඃ ශාස්ත්‍රය පිටුපස සිටින්නේ සාතන් සහ ඔහුගේ භූතයන් නිසා කෙනෙක් ජ්‍යෝතිඃ ශාස්ත්‍රයේ හවුල් වෙනවා නම් ඔහු යක්ෂයාගේ සහ භූතයන්ගේ ග්‍රහණයට හසු වෙනවා. උදාහරණයකට මෙසේ සිතන්න. කෙනෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පටන්ගත්තොත් ඔහු පහසුවෙන්ම මත්ද්‍රව්‍ය අළෙවි කරන්නන්ගේ ග්‍රහණයට හසු වෙනවා. ඒ හා සමානව කෙනෙක් ජ්‍යෝතිඃ ශාස්ත්‍රයේ නියැලීමට පටන්ගත්තොත් ඔහු පහසුවෙන්ම යක්ෂයාගේ සහ භූතයන්ගේ බලපෑමට හසු වෙනවා. එමනිසා ‘දුෂ්ට දේට පිළිකුල් කර යහපත් දේට ඇලුම් කරන’ දෙවිගේ සේවකයන් ජ්‍යෝතිඃ ශාස්ත්‍රයෙන් වැළකී සිටිනවා.—ආමොස් 5:15.

මිනිසුන් ජ්‍යෝතිඃ ශාස්ත්‍රයේ නියැලෙන්නේ අනාගතය ගැන දැනගැනීමට තිබෙන ආශාව නිසයි. නමුත් අපේ අනාගත ගැන දැනගත හැකි හොඳම ක්‍රමය කුමක්ද? හෙට දිනයේ හෝ ඊළඟ මාසයේ හෝ ඊළඟ අවුරුද්දේදී අපට කුමක් වෙයිද කියා පැවසීමට කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. (යාකොබ් 4:14) නමුත් සමස්තයක් ලෙස මුළු මිනිස් වර්ගයාගේම අනාගතය කුමනාකාරයේ එකක් වෙනවාද කියා බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයකට නුදුරු අනාගතයේදී මුළු පොළොවම පාලනය කරන්න යන්නේ දෙවිගේ රාජ්‍යයෙන් බව එහි පෙන්නුම් කරනවා. (දානියෙල් 2:44; මතෙව් 6:9, 10) ඒ කාලයේදී සියලුම මිනිසුන් දුක් වේදනාවලින් තොර ජීවිතයක් ගත කරන බවත් එහි සඳහන් වෙනවා. (යෙසායා 65:17; එළිදරව් 21:4) ඇත්තෙන්ම යෙහෝවා දෙවි අපි කිසිම කෙනෙකුගේ අනාගතය කලින් නියම කර නැහැ. දෙවි අපට පවසන්නේ ඔහු අනාගතයේදී කිරීමට නියමිත යහපත් දේවල් මොනවාද කියා සොයා බලන්න කියායි. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔහුගේ කැමැත්ත නම් සෑම තරාතිරමකම සිටින මිනිසුන් ගැලවීම ලැබීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්ය.”—1 තිමෝති 2:4.

යෙහෝවා දෙවි ඉර, සඳ සහ ග්‍රහලෝක නිර්මාණය කළේ අපගේ ජීවිතය පාලනය කිරීමට නොවෙයි. විශ්වයේ තිබෙන එවැනි පුදුමාකාර නිර්මාණ දැකීමෙන් යෙහෝවා දෙවිගේ බලය සහ ඔහු සැබවින්ම දෙවි බව ඔප්පු වෙනවා. (රෝම 1:20) එමනිසා යෙහෝවා දෙවි නිර්මාණය කර තිබෙන ග්‍රහ වස්තූන් නිරීක්ෂණය කිරීමෙන් බොරු දේවලින් වැළකීමටත් බයිබලය තුළින් ජීවිතයට නිසි මඟ පෙන්වීම් ලබාගැනීමටත් අපි පෙලඹෙනවා. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙසේයි. “ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. ඔබේ ජීවන ගමනේදී ඔබ තබන සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න. එවිට ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත.”—හිතෝපදේශ 3:5, 6.

[19වන පිටුවේ හිමිකම් විස්තර]

මායාවරුන් ජ්‍යෝතිඃ ශාස්ත්‍රයේ නියැලුණා

[20වන පිටුවේ හිමිකම් විස්තර]

‘රහස් හෙළි කිරීමට හැකියාව ඇති දෙවි කෙනෙක් ස්වර්ගයේ ඉන්නවා. ඔහු මතු දවස්වලදී සිදු වීමට නියමිත දේ දන්වා තිබෙනවා’

[20වන පිටුවේ හිමිකම් විස්තර]

මායාවරුන්ට ජ්‍යෝතිඃ ශාස්ත්‍රය තුළින් ඔවුන්ගේ ශිෂ්ටාචාරයේ බිඳ වැටීම ගැනවත් එය වළක්වාගත හැකි ආකාරය ගැනවත් දැනගැනීමට හැකි වුණේ නැහැ

[19වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තු වර්ෂ 750ත් 900ත් අතර කාලයට අයත් මෙක්සිකෝවේ චිචෙන්-ඉට්සා ප්‍රදේශයේ මායාවරුන් ඉදි කර ඇති ආකාශ වස්තු නිරීක්ෂණාගාරය

[19වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Pages 18 and 19, left to right: Stars: NASA, ESA, and A. Nota (STScI); Mayan calendar: © Lynx/​Iconotec com/​age fotostock; Mayan astronomer: © Albert J. Copley/​age fotostock; Mayan observatory: El Caracol (The Great Conch) (photo), Mayan/​Chichen Itza, Yucatan, Mexico/​Giraudon/​The Bridgeman Art Library