Skip to content

පටුනට යන්න

පාපය එහි සත්‍යය කුමක්ද?

පාපය එහි සත්‍යය කුමක්ද?

පාපය එහි සත්‍යය කුමක්ද?

උණෙන් පෙළෙන රෝගියෙක් උණ කටුව විසි කළ පමණින් ඔහුට උණ නැහැ කියා පැවසිය හැකිද? බැහැ. ඒ හා සමානව පාපය ගැන දෙවිට හැඟෙන ආකාරය අමතක කර දැමීමෙන් පාපය කියා දෙයක් නැති බව අදහස් වෙන්නෙත් නැහැ. ඇත්තෙන්ම පාපය සම්බන්ධයෙන් බොහෝ තොරතුරු බයිබලයේ සඳහන් වෙනවා.

සියලුදෙනාම පව් කරනවා

මීට අවුරුදු දෙදහසකට පමණ කලින් සිටි බයිබල් ලේඛකයෙකු වූ පාවුල් කනස්සල්ලෙන් යුතුව මෙවැනි දෙයක් පැවසුවා. “මා යහපත කරන්න කැමති වුණත් මා අතින් සිදු වන්නේ මා කරන්න අකමැති නපුරු දේමයි.” (රෝම 7:19) පාවුල් පැවසූ ඒ දේ අපත් අද්දකින්නේ නැද්ද? සමහරවිට අපි දසපනතට හෝ වෙනත් ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න උත්සාහ කළත් අපි අසමත් වෙන අවස්ථාවන් තිබෙනවා. එසේ සිදු වෙන්නේ අපි උවමනාවෙන්ම එම පනත් කඩ කරන නිසා නොවෙයි. එසේනම් එයට හේතුව කුමක්ද? ඒ ප්‍රශ්නයට පාවුල් පැවසූ මේ වදන්වලින් පිළිතුර ලබාගත හැකියි. “මා කරන්නේ මා අකමැති දේ නම් එය කරන්නේ මා නොව මා තුළ වාසය කරන මාගේ පව්කාර ස්වභාවයයි.”—රෝම 7:20.

පාවුල්ට මෙන් අපි හැමෝටමත් පව්කාර ස්වභාවය උරුම වී තිබෙන නිසා අපි කවුරු අතිනුත් වැරදි සිදු වෙනවා. පාවුල් මෙවැනි දෙයක් පැවසුවේ ඒ නිසයි. “සියලුම මනුෂ්‍යයෝ පව් කර ඇත. එහෙයින් දෙවිගේ අතිශ්‍රේෂ්ඨ ගුණාංග පිළිබිඹු කිරීමට ඔවුහු අසමත් වෙති.” එමෙන්ම ඔහු මෙසේද පැවසුවා. “එක් මිනිසෙකු [ආදම්] පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.”—රෝම 3:23; 5:12.

බයිබලයේ සඳහන් ආකාරයට මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය උරුම වී තිබෙන්නේ ආදම් සහ ඒව නිසයි. එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන්ට දෙවි සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගැනීමට තිබුණු අවස්ථාවට බාධා එල්ල වූ අතර මිනිසුන් ඉතා දුක්ඛිත තත්වයකට ඇද වැටුණා. නමුත් බොහෝ අය ආදම් සහ ඒව කියා දෙදෙනෙක් සිටි බව පිළිගන්නේ නැහැ. ඇත්තටම ආදම් සහ ඒව කියා දෙදෙනෙක් සිටියේ නැද්ද? එය සැබෑවක් නම් යේසුස් උත්පත්ති වාර්තාවට යොමු දක්වමින් ඔවුන් දෙදෙනා ගැන සඳහන් කරයිද?—උත්පත්ති 1:27; 2:24; 5:2; මතෙව් 19:1-5.

යේසුස් මේ පොළොවට පැමිණ ඔහුගේ ජීවිතය පූජා කළ නිසා මිනිසුන්ට පව්කාර ස්වභාවයෙන් නිදහස් වීමට මාර්ගය විවෘත වුණා. (යොහන් 3:16) එය බයිබලයේ සඳහන් එක් මූලික ඉගැන්වීමක්. ඇත්තෙන්ම යේසුස්ව මේ පොළොවට එවීමෙන් මිනිස් වර්ගයාව ගලවාගැනීමට පියවර ගත්තේ යෙහෝවා දෙවියි. එම කාරණය විශ්වාස කරන අයට අනාගතයේදී සදාකාල ජීවිතය භුක්ති විඳීමට අවස්ථාව ලැබෙනවා. නමුත් පාපය ගැන අපට නිසි අවබෝධයක් නැත්නම් ඉන් අපව ගලවාගැනීම සඳහා යෙහෝවා දෙවි තම පුත්‍රයා වන යේසුස්ගේ ජීවිත පූජාව ලබා දීම අගය කරන්න අපි පෙලඹෙන්නෙත් නැහැ.

යේසුස්ගේ ජීවිත පූජාව අවශ්‍ය වුණේ ඇයි

යෙහෝවා දෙවි මුල්ම මිනිසා වූ ආදම්ට සදහටම ජීවත් වීමේ අවස්ථාව ලබා දුන්නා. නමුත් ආදම් උවමනාවෙන්ම යෙහෝවා දෙවිට අකීකරු වූ නිසා ඔහු ඒ අනඟි අවස්ථාව නැති කරගත්තා. එතැන් පටන් ඔහු පව්කාරයෙක් බවට පත් වුණා. (උත්පත්ති 2:15-17; 3:6) එහි ප්‍රතිඵලයක් ලෙස දෙවි සමඟ තිබුණු මිත්‍රත්වය ඔහු අහිමි කරගත් අතර අවසානයේදී මහලු වී මිය ගියා. නමුත් එය ආදම්ට පමණක් සීමා වුණේ නැහැ. ඔහුගෙන් පැවතෙන සියලුදෙනාටම පව්කාර ස්වභාවයත් මරණයත් උරුම වුණා. එවැනි දෙයක් සිදු විය හැක්කේ කෙසේද?

පාපය උරුම වූ දෙමාපියන්ගෙන් කිසිවිටක පාපය උරුම නොවූ දරුවන් බිහි වන්නේ නැහැ. ආදම්ගෙන් අපි සියලුදෙනාටම පව්කාර ස්වභාවය උරුම වූ නිසා අපි සියලුදෙනාම මිය යනවා. “පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි” කියා පාවුල් පැවසුවේ ඒ නිසයි. (රෝම 6:23) නමුත් අපි සියලුදෙනාටම බලාපොරොත්තුවක් ඇති කරමින් ඔහු තවදුරටත් මෙසේද පැවසුවා. “අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවි අපට ලබා දෙන තෑග්ග නම් සදාකාල ජීවනයයි.” ඉන් පැහැදිලි වන්නේ යේසුස්ගේ ජීවිත පූජාව අගය කරන සියලුදෙනාටම ආදම්ගෙන් උරුම වූ පව්කාර ස්වභාවයෙන් මිදෙන්න අවස්ථාව තිබෙන බවයි. * (මතෙව් 20:28; 1 පේතෘස් 1:18, 19) ඔබට ඒ ගැන හැඟෙන්නේ කෙසේද?

යේසුස් කෙරෙහි ඇති ප්‍රේමය

යේසුස්ගේ ජීවිත පූජාව ගැන අපිට හැඟිය යුතු ආකාරය සම්බන්ධයෙන් පාවුල් මෙසේ පැවසුවා. ‘ක්‍රිස්තුස්ට ඇති ප්‍රේමය අප තුළ මහත් පෙලඹීමක් ඇති කරයි. සියලුදෙනා උදෙසා එක් මිනිසෙකු මිය ගිය බව අපි පිළිගනිමු. ඔහු මිය ගියේ ඔහුගේ මරණය නිසා ජීවත් වන සියලුදෙනා තවදුරටත් තමන් වෙනුවෙන් ජීවත් නොවී තමන් වෙනුවෙන් මිය ගොස් මරණයෙන් නැඟිටුවනු ලැබූ තැනැත්තා වන ඔහු උදෙසා ජීවත් වීම සඳහාය.’ (2 කොරින්ති 5:14, 15) යම් කෙනෙක් යේසුස්ගේ ජීවිත පූජාව අගය කරනවා නම් ඔහු දෙවිගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් විය යුතුයි. ඒ සඳහා දෙවි තමන්ගෙන් බලාපොරොත්තු වන්නේ මොනවාද කියා තේරුම්ගැනීමත් බයිබලයේ සඳහන් ප්‍රමිතිවලට අනුව තමන්ගේ හෘදය සාක්ෂිය පුහුණු කිරීමත් ඊට එකඟව ජීවත් වීමත් අත්‍යවශ්‍යයි. එසේ කිරීමෙන් යේසුස්ගේ ජීවිත පූජාව සඳහා තමන්ගේ අගය ප්‍රකාශ කළ හැකියි.—යොහන් 17:3, 17.

පව්කාර ක්‍රියා කිරීමෙන් අපට දෙවි සමඟ තිබෙන මිත්‍රත්වයට හානි සිදු වෙනවා. පුරාණයේ සිටි දාවිත් රජ එය අද්දුටුවා. ඔහු බැත්-ෂෙබා සමඟ අනාචාරයේ යෙදීමෙන් පසු ඇගේ සැමියාවත් මරා දැමුවා. එසේ කිරීම ගැන දාවිත් රජ මහත් සේ දුක් වුණා. නමුත් ඔහු වැඩියෙන්ම දුක් වුණේ එසේ කිරීමෙන් යෙහෝවා දෙවිට විරුද්ධව පව් කළ නිසයි. “මා පව් කළේ ඔබට විරුද්ධවය. දුෂ්ටයි කියා ඔබ සලකන දේ මම කළෙමි” කියා ඔහු දෙවිට පැවසුවේ ඒ නිසයි. (ගීතාවලිය 51:4) ඒ හා සමානව අතීතයේ සිටි දෙවිගේ සේවකයෙකු වූ යෝසෙප්ටත් අනාචාරයේ යෙදීමට ස්ත්‍රියකගෙන් බලපෑම් එල්ල වුණා. නමුත් දෙවිට විරුද්ධව එවැනි පාපයක් කිරීමට ඔහුගේ හෘදය සාක්ෂිය ඉඩ නොදුන් නිසා ඔහු මෙසේ පැවසුවා. “මේ තරම් දුෂ්ට දෙයක් කර දෙවිට විරුද්ධව මම පව් කරන්නේ කොහොමද?”—උත්පත්ති 39:9.

ඒ අනුව අපි පව්කාර ක්‍රියා කිරීම ගැන දුක් විය යුත්තේ එය අන් අයට හෙළි වීමෙන් ලැජ්ජා විඳීමට සිදු වන නිසාවත් ඒ සම්බන්ධයෙන් අන් අයට පිළිතුරු දීමට සිදු වන නිසාවත් නොව ඉන් දෙවිගේ අනුමැතිය අහිමි වන නිසයි. උදාහරණයකට යම් කෙනෙක් දෙවිගේ නීතිවලට පිටු පාමින් අනාචාරයේ යෙදෙනවා නම් වංක ලෙස ක්‍රියා කරනවා නම් වැරදි නමස්කාරයේ හවුල් වෙනවා නම් හෝ වෙනත් වැරදි දේවල් කරනවා නම් ඔහුට දෙවිගේ අනුමැතිය අහිමි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු දෙවිගේ සතුරෙක් බවට පත් වෙනවා. එය සුළුපටු දෙයක් නොවෙයි.—1 යොහන් 3:4, 8.

පාපය කියලා දෙයක් නැහැ කියා සිතමින් තමන්ට කැමති කැමති දේවල් කරන්න අද සමාජයේ මිනිසුන් උත්සාහ කරමින් සිටිනවා. ඔවුන් පාපය සම්බන්ධයෙන් එවැනි ආකල්පයක් දරන්නේ එහි බරපතළකම අඩු කිරීමටයි. ඇතැම් අය තම හෘදය සාක්ෂියටවත් අවනත නොවී පව් කරනවා. නමුත් දෙවිගේ අනුමැතිය ලබාගැනීමට කැමති අය එවැනි දේවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුයි. අපි මෙතෙක් සලකා බැලූ තොරතුරුවලට අනුව පාපය කියන්නේ කෙනෙකුව කලකිරීමට පත් කරන හෝ ලැජ්ජාවක් ඇති කරවන දෙයක් පමණක් නොවෙයි. එය මරණයද ගෙන දෙනවා.

යම් කෙනෙක් තමන් කළ පව් ගැන අවංකව පසුතැවී ඒවායින් වැළකී සිටීමට උත්සාහ කරනවා නම් එවැනි අයට යේසුස්ගේ ජීවිත පූජාව තුළින් සමාව ලබාගැනීමට හැකියි. පාවුල් මෙසේ පැවසුවේ ඒ නිසයි. “වරදට සමාව ලැබූ තැනැත්තා සන්තෝෂවත්ය. ඔහු කළ පාප මකා දැමූ විට ඔහු සන්තෝෂවත්ය. යමෙකු කළ පාපය යෙහෝවා දෙවි සිහියේ තබා නොගන්නේ නම් ඔහු සන්තෝෂවත්ය.”—රෝම 4:7, 8.

[පාදසටහන]

^ 10 ඡේ. යේසුස්ගේ ජීවිත පූජාව නිසා පව්කාර ස්වභාවයෙන් මිදෙන්න යහපත් මනුෂ්‍යයන්ට හැකි වී තිබෙන්නේ කෙසේද කියා දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 47 සිට 54 දක්වා පිටු බලන්න.

[10වන පිටුවේ කොටුව⁄පින්තූරය]

කතෝලික සභාව වෙනස් කරගත් ඉගැන්වීමක්

ලිම්බෝ නමැති ඉගැන්වීම බොහෝ කතෝලිකයන්ට ප්‍රහේලිකාවක් වී තිබෙනවා. ඒ නිසා දැන් කතෝලික සභාව ඒ ගැන උගන්වන්නේ නැහැ. වර්ෂ 2007දී ලිම්බෝ නමැති ඉගැන්වීම අහෝසි කරමින් කතෝලික සභාව ලියූ ලියවිල්ලේ මෙවැනි දෙයක් සඳහන් වුණා. “බව්තීස්මය නොලබා මිය ගිය බිලිඳුන් ගැලවීම ලබා සදහටම සන්තෝෂයෙන් ජීවත් වීමට අවස්ථාව උදා කරගනියි කියා සිතන්න පුළුවන්.”—International Theological Commission.

ප්‍රංශ ජාතික ලේඛකයෙක් වූ ආන්රි ටෙන්ක් මෙසේ පැවසුවා. “ලිම්බෝ නමැති ඉගැන්වීම මිනිසුන්ගේ සිත්වල ලොකු පීඩනයක් ඇති කළා. කතෝලික සභාව ඒ ඉගැන්වීමෙන් දෙමව්පියන්ව බිය ගන්වා තමන්ගේ ළදරුවන්ව හැකි ඉක්මනින්ම බව්තීස්ම කරන්න පෙලඹෙව්වා.” කොහොමවුණත් ලිම්බෝ නමැති ඉගැන්වීම ඉවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තවත් ගැටලු මතු වුණා.

පදනම සපයන්නේ කුමක්ද? ලිම්බෝ නමැති ඉගැන්වීම ඇති වුණේ 12වන සියවසේදී ශුද්ධගිනිස්ථානය සම්බන්ධයෙන් ඇති වූ වාද විවාදවල ප්‍රතිඵලයක් ලෙසයි. මරණයෙන් පසු ආත්මයක් කියා දෙයක් පවතින බව කතෝලික සභාව උගන්වනු ලැබුවා. නමුත් බව්තීස්මය නොලබා මිය ගිය බිලිඳුන් ස්වර්ගයට හෝ අපායට යන්නේ නැති නිසා ඔවුන්ගේ ආත්මවලට සිදු වන්නේ කුමක්ද යන්න විශාල ප්‍රශ්නයක් වුණා. ඊට පිළිතුරු වශයෙන් කතෝලික සභාව ලිම්බෝ නමැති ඉගැන්වීම හඳුන්වා දුන්නා.

මිනිසුන් තුළ අමරණීය ආත්මයක් තිබෙනවා කියා බයිබලයේ සඳහන් වන්නේ නැහැ. ඒ වෙනුවට එහි සඳහන් වන්නේ මිය ගිය අය කිසිවක් දන්නේ නැහැ කියායි. ඔවුන් සිටින තත්වය බයිබලයේ තද නින්දකට සමාන කර තිබෙන්නේ ඒ නිසයි. (දේශනාකාරයා 9:5, 10; යොහන් 11:11-14) ඒ අනුව ආත්මයක් කියා දෙයක් නැත්නම් මිය ගිය බිලිඳුන්ගේ ආත්ම ලිම්බෝ නමැති ස්ථානයකට යනවා කියා පැවසිය හැකිද?

යෙහෝවා දෙවි තමාට නමස්කාර කරන අයගේ දරුවන්ව ශුද්ධ අය ලෙස සලකන බව බයිබලයේ පෙන්නුම් කර තිබෙනවා. (1 කොරින්ති 7:14) එසේනම් ළදරුවන්ට ගැලවීම අත් කර දීම සඳහා ළදරු බව්තීස්මය අවශ්‍යයි කියා පවසන්න බැහැ.

ඇත්තෙන්ම ලිම්බෝ නමැති ඉගැන්වීම නිසා බොහෝ අය දෙවිව දකින්නේ දරුවන්ට කෲර ලෙස සලකන නපුරු කෙනෙකු ලෙසයි. ඉන් ප්‍රේමණීය පියාණන් වන දෙවිට විශාල අගෞරවයක් වී තිබෙනවා. (ද්විතීය කතාව 32:4; මතෙව් 5:45; 1 යොහන් 4:8) බයිබලයට පටහැනි ලිම්බෝ නමැති ඉගැන්වීම ගැන අවංක සිත් ඇති ක්‍රිස්තියානීන් සතුටු නොවීමට හේතුව ඉන් පැහැදිලියි.

[9වන පිටුවේ පින්තූර]

බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වීමෙන් දෙවි සහ මිනිසුන් සමඟ හොඳ මිත්‍රත්වයක් ඇති කරගත හැකියි