Skip to content

පටුනට යන්න

මිනිසුන් දුෂ්ට ක්‍රියාවන් කරන්නේ ඇයි?

මිනිසුන් දුෂ්ට ක්‍රියාවන් කරන්නේ ඇයි?

මිනිසුන් දුෂ්ට ක්‍රියාවන් කරන්නේ ඇයි?

අපි හැමෝම පව්කාරකම උරුම කරගෙන සිටින නිසා අපි අතින් යම් වැරදි සිදු වෙනවා. සමහරවිට ඒ වැරදි ගැන අපි පසුතැවෙනවා. ඒ වුණත් අපිට දිනපතාම අහන්න දකින්න ලැබෙන සෑම දුෂ්ට ක්‍රියාවකටම හේතුව මිනිසුන් උරුම කරගෙන සිටින පව්කාරකම කියා පැවසිය හැකිද?

පව්කාරකම උරුම වී තිබෙන නිසා මිනිසුන් අතින් වැරදි සිදු වුණත් සමාජයේ තිබෙන සදාචාරාත්මක ප්‍රමිති කිසි දිනක කඩ නොකළ යුතු බව කවුරුත් දන්නා දෙයක්. එමෙන්ම දුෂ්ට ක්‍රියාවලින් වැළකී සිටීමට මිනිසුන්ට හැකියාව තිබෙන බවත් බොහෝ අය පිළිගන්නවා. ඊට අමතරව හිතාමතා කරන දුෂ්ටකම් සහ නොදැනුවත්කමින් කරන වැරදි අතර වෙනසක් තිබෙන බවත් බොහෝ අය වටහාගෙන තිබෙනවා. උදාහරණයකට අත්වැරදීමකින් සිදු වන ජීවිත හානියක් සහ සැලසුම්සහගතව සිදු කරනු ලබන මිනී මැරුමක් අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. කොහොමවුණත් අද සමාජයේ සාමාන්‍ය මිනිසුන් පවා අදහාගත නොහැකි ආකාරයේ අපරාද සිදු කරනවා. මිනිසුන් එතරම් දුෂ්ට ලෙස හැසිරෙන්නේ ඇයි?

මිනිසුන් හිතාමතාම වැරදි දේවල් කිරීමට බලපාන ප්‍රධාන හේතු බයිබලයේ පැහැදිලි කර තිබෙනවා. අපි දැන් ඒ ගැන සලකා බලමු.

“දුක් කරදරවලින් මිරිකී සිටින ප්‍රඥාවන්තයෙකු පවා මෝඩයෙකු සේ හැසිරීමට ඉඩ තිබේ.”දේශනාකාරයා 7:7.

එම බයිබල් පදයේ සඳහන් ආකාරයට මිනිසුන් දරුණු පීඩාවලට මුහුණ දෙන විට සාමාන්‍ය ජීවිතයේදී නොකරන දේවල් පවා කිරීමට පෙලඹෙනවා. අසාධාරණකම් සහ දුක් කරදරවලට විසඳුමක් ගෙන ඒම සඳහා ඇතැමුන් දරුණු අපරාධ කිරීමට පවා පෙලඹෙන්නේ ඒ නිසයි. “බොහෝ අවස්ථාවලදී පුද්ගලයෙක් ත්‍රස්තවාදියෙක් වීමට පෙලඹෙන්නේ දේශපාලනමය, සමාජීය හෝ ආර්ථික ප්‍රශ්නයක් නිසා දැඩි කලකිරීමට පත් වූ විටයි” කියා එක් පොතක සඳහන් වුණා.—Urban Terrorism.

▪ “සෑම හානිකර දෙයකටම මුල් වන්නේ මුදල්වලට තිබෙන දැඩි ආශාවය.”1 තිමෝති 6:10.

ඇති තරම් මුදල් දෙනවා නම් යහපත් මිනිසුන් පවා දරුණු අපරාධ හෝ පහත් ක්‍රියාවන් කිරීමට පෙලඹෙනවා කියා සමහරුන් පවසනවා. එමෙන්ම මුදල් අවශ්‍යතාවයක් පැනනැඟුණු විට යහපත් ජීවිතයක් ගත කළ මිනිසෙක් පවා දරුණු ලෙස ක්‍රියා කිරීමට පෙලඹෙනවා. මුදල්වලට තිබෙන කෑදරකම නිසා මිනිසුන් කොතරම් දරුණු ක්‍රියාවන් කරනවාද කියා මදකට සිතන්න. උදාහරණයකට මිනිසුන්ව බිය ගන්වා යම් දේවල් ලබාගැනීම, පැහැරගෙන යෑම, රැවටීම, සහ මිනී මැරුම් වැනි දේවල් ගැන අද කොතරම් අසන්න දකින්න ලැබෙනවාද!

▪ “වරදකට නිසි දඬුවම වහාම නොදෙන විට ජනයා කිසි බියක් සැකක් නොමැතිව දුෂ්ටකම් කිරීමට පෙලඹෙති.”දේශනාකාරයා 8:11.

එම බයිබල් පදයට අනුව වැරදිකරුවන්ට දඬුවම් නොලැබෙන විට මිනිසුන් කිසිම බියක් සැකක් නොමැතිව වැරදි කරනවා. උදාහරණයකට සමහරු මාර්ග නීති කඩ කරන්නෙත්, විභාගවලදී වංචා කරන්නෙත්, පොදු දේපළ සොරකම් කරන්නෙත් ඊටත් වඩා දරුණු අපරාධ කරන්නෙත් නීතිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවන නිසයි. එවිට නීතිගරුක මිනිසුන් පවා නීති කඩ කිරීමට පෙලඹෙනවා. “අපරාධකරුවන්ට නිසි දඬුවම් නොලැබෙන විට සාමාන්‍ය මිනිසුන් පවා ඉතා දරුණු අපරාධ කිරීමට පෙලඹෙනවා” කියා එක් සඟරාවක සඳහන් වුණා.—Arguments and Facts.

▪ “කෙනෙක් නොමඟ ගොස් වරදට පෙලඹෙන්නේ ඒ තැනැත්තා තුළ තිබෙන නුසුදුසු ආශාවන් නිසාය. ඒ ආශාවන් පාලනය කරගන්නේ නැත්නම් ඔහු තුළ පව් කිරීමට පෙලඹීමක් ඇති වෙයි.”යාකොබ් 1:14, 15.

ඕනෑම කෙනෙකු තුළ නරක සිතුවිලි ඇති වෙන අවස්ථාවන් තිබෙනවා. එමෙන්ම වැරදි දේවල් කිරීම සඳහා දිනපතාම අපට යම් බලපෑම්ද එල්ල වෙනවා. ‘වැරදි දේවල් කිරීමට යම් පෙලඹීමක් ඇති වන විට අන් සියලු මිනිසුන් තුළත් එවැනි පෙලඹීම් ඇති වන බව මතක තබාගන්න’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 කොරින්ති 10:13) කොහොමවුණත් අප ඒ පෙලඹීම ඉක්මනින්ම නැති කර ගන්නවාද නැත්නම් ඒ ගැන තව තවත් සිතනවාද යන්න මත අපට හොඳ හෝ නරක ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදු වෙයි. ඒ නිසා අප තුළ ඇති වන ‘නුසුදුසු ආශාවන් පාලනය කරගන්නේ නැත්නම්’ අපි වැරදි ක්‍රියා මාර්ගයක් ගන්නා බවට කිසිම සැකයක් නැහැ.

▪ “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය. නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.”හිතෝපදේශ 13:20.

අපි ඇසුරු කරන අයගෙන් අපට හොඳ හෝ නරක බලපෑමක් ඇති විය හැකියි. බොහෝවිට සම වයසේ මිතුරන්ගේ හෝ නරක ආශ්‍රිතයන්ගේ බලපෑම හේතුවෙන් ගත් තීරණ නිසා බොහෝ මිනිසුන් නරක ප්‍රතිඵල අද්දැක තිබෙනවා. ඉහත බයිබල් පදයේ “අඥානයන්” ලෙස හඳුන්වා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම් නොසලකා හරින අයවයි. ඒ නිසා අප කුමන වයස් මට්ටමක සිටියත් අපේ මිතුරන්ව සහ ආශ්‍රිතයන්ව තෝරාගැනීමේදී අප ප්‍රඥාවන්තව කටයුතු කළේ නැත්නම් අපට ‘විපත්තිවලට’ මුහුණ දීමට සිදු විය හැකියි.

මිනිසුන් දුෂ්ටකම් කිරීමට බලපාන තවත් හේතු ගැන බයිබලයේ සඳහන් වෙනවා. එම තොරතුරු සලකා බැලීම ප්‍රයෝජනවත්. කොහොමවුණත් දුෂ්ටකම් කවදා හෝ නිමාවෙයි කියා බලාපොරොත්තු විය හැකිද? ඇත්තෙන්ම ඔව්. එයට හේතුව අනාගතයේදී සියලුම දුෂ්ටකම්වලට නිමාවක් ලැබෙන බවට දෙවි පොරොන්දු වී තිබීමයි. ඒ පොරොන්දු මොනවාද? ඇත්තෙන්ම ලොව පුරාම සිදු වෙන සියලුම දුෂ්ටකම් නිමා වෙයිද? එම ප්‍රශ්නවලට පිළිතුරු අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.