Skip to content

පටුනට යන්න

ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක් - ශුද්ධාත්මය කියා පුද්ගලයෙක් සිටිනවාද?

ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක් - ශුද්ධාත්මය කියා පුද්ගලයෙක් සිටිනවාද?

ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක් - ශුද්ධාත්මය කියා පුද්ගලයෙක් සිටිනවාද?

බයිබලයේ තිබෙන තොරතුරු අන් අයට කියා දෙන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මහත් උනන්දුවක් දක්වනවා. බයිබලයේ සඳහන් ඉගැන්වීම් ගැන ඔබට යම් ප්‍රශ්නයක් තිබෙනවාද? එසේත් නැත්නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ආගමික විශ්වාසයන් ගැන ඔබට ප්‍රශ්න තිබෙනවාද? එසේනම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් ඒ ගැන විමසන්න. ඔවුන් ඔබ සමඟ ඒ ගැන කතා කිරීමට කැමැත්තෙන් සිටිනවා.

පහත සඳහන් වෙන්නේ සාක්ෂිකරුවෙකු වූ රිචඩ් සහ ගෙහිමියෙකු වූ ක්ලිෆඩ් අතර ශුද්ධාත්මය සම්බන්ධයෙන් ඇති වූ සාකච්ඡාවක්.

“ශුද්ධාත්මය කියන්නේ මොකක්ද?”

ක්ලිෆඩ්: මම අහලා තියෙන විදිහට නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ක්‍රිස්තියානීන් වෙන්න බැහැ. මොකද ඒ අය ශුද්ධාත්මයාණන්වහන්සේව පිළිගන්නේ නැහැනේ.

රිචඩ්: අපි ක්‍රිස්තියානීන් තමයි. අපි යේසුස්ව විශ්වාස කරනවා. ඇත්තටම මේ විදිහට අපි දේශනා සේවයේ යන්නෙත් යේසුස් දුන්න අණට කීකරු වෙන නිසයි. ඔයා හිතන විදිහට ශුද්ධාත්මය කියන්නේ මොකක්ද?

ක්ලිෆඩ්: ශුද්ධාත්මය කියන්නේ යේසුස් එවනවා කියලා පොරොන්දු වුණ සැනසිලිකාරයාණන්. ඒ කියන්නේ ශුද්ධ වූ ත්‍රිත්වයේ තුන්වෙනි තැනැත්තා.

රිචඩ්: හුඟක් අය හිතන්නේ එහෙම තමයි. ඔයාට ටික වෙලාවක් දෙන්න පුළුවන් නම් බයිබලයේ ඒ ගැන සඳහන් වෙලා තියෙන තොරතුරු ටිකක් ඔයාට පෙන්වන්න මම කැමතියි.

ක්ලිෆඩ්: හරි. ප්‍රශ්නයක් නැහැ.

රිචඩ්: යේසුස් පොරොන්දු වුණ සැනසිලිකාරයාණන් නැත්නම් ශුද්ධාත්මය කියන්නේ දෙවිට සමාන පුද්ගලයෙක් කියලද ක්ලිෆඩ් හිතන්නේ?

ක්ලිෆඩ්: ඔව්.

ශුද්ධාත්මය පුද්ගලෙයක්ද?

රිචඩ්: ක්ලිෆඩ් ඔයාගේ බයිබලය ටිකකට අරන් එන්න පුළුවන්ද? මම කැමතියි ඔයාට ඒකෙන් පද කිහිපයක් පෙන්නන්න. සමහරවිට මීට කලින් ඔයා මේ පද කියවලා ඇති. අපි ක්‍රියා 2:1-4 දක්වා කියවමුද. ඒක මම කියවන්නම්. “පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එක තැනක රැස්ව සිටියෝය. තද හුළඟක් හමන්නාක් මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ, එයින් ඔවුන් හිඳගෙන උන්නාවූ මුළු ගෙය පිරුණේය. ගිනි වැනිවූ දිව් බෙදී යනවා ඔවුන්ට පෙනුණේය; එය ඔවුන් එක් එක් කෙනා කෙරෙහි පිහිටුණේය. ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව, ආත්මයාණන් ඔවුන්ට කතා කරන්න පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කතා කරන්න පටන්ගත්තෝය.” *

ක්ලිෆඩ්: මම ඒක කියවලා තියෙනවා.

රිචඩ්: එතන කියනවා ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණ වුණා නැත්නම් පිරුණා කියලා. ඔයා හිතන විදිහට පුද්ගලයෙක්ට පුළුවන්ද තවත් කෙනෙකු තුළ පිරෙන්න?

ක්ලිෆඩ්: බැහැ.

රිචඩ්: දැන් අපි ක්‍රියා 2:17 කියවමුද? ඒකේ මුල් කොටසේ මෙහෙම කියනවා. “අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරුවන්නෙමි.” ක්ලිෆඩ්, පුද්ගලයෙකුව තවත් පුද්ගලයෙකු මත වගුරුවන්න පුළුවන් කියලා ඔයා හිතනවාද?

ක්ලිෆඩ්: බැහැනේ.

රිචඩ්: දැන් අපි තවත් බයිබල් පදයක් බලමු. ඔයාට පුළුවන්ද මතෙව් 3:11 කියවන්න.

ක්ලිෆඩ්: “මම වනාහි පසුතැවිල්ල පිණිස නුඹලා වතුරෙන් බව්තීස්ම කරමි. නමුත් මට පසුව එන තැනැත්තේ මට වඩා බලවත්ය, මම ඔහුගේ වහන් ගෙනයන්නවත් නොවටිමි. ඔහු ශුද්ධාත්මයාණන්ගෙන්ද ගින්නෙන්ද නුඹලා බව්තීස්මකරන්නේය.”

රිචඩ්: ක්ලිෆඩ් ඒ බයිබල් පදයේ පෙන්වන විදිහට බව්තීස්මය ගැන යොහන් මොකක්ද කිව්වේ?

ක්ලිෆඩ්: යොහන් කිව්වේ යේසුස් ශුද්ධාත්මයෙන් බව්තීස්ම කරනවා කියලයි.

රිචඩ්: හරි. ඒ වගේම ගින්නෙන් කරන බව්තීස්මයක් ගැනත් ඔහු කිව්වා. ගින්දර පුද්ගලයෙක් නෙමෙයි කියන එක පැහැදිලිනේ. එහෙමනම් ශුද්ධාත්මය කියනකොට ඒකෙන් පුද්ගලයෙක්ව නියෝජනය වෙනවා කියලා හිතන්න පුළුවන්ද?

ක්ලිෆඩ්: එහෙම හිතන්න අමාරුයි.

රිචඩ්: අපි බැලුව බයිබල් පදවලින් ශුද්ධාත්මය කියලා පුද්ගලයෙක් නැති බව දැන් ඔයාට හොඳටම පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා.

සැනසිලිකරුවෙක් වන්නේ කොහොමද?

රිචඩ්: ඔයා කලින් සැනසිලිකරුවෙක් ගැන කිව්වා නේද ක්ලිෆඩ්? දැන් අපි බලමු යොහන් 14:26 යේසුස් ඒ සැනසිලිකරු ගැන මොනවද කිව්වේ කියලා. ඒක මම කියවන්නම්. “නමුත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයාණන්වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියන ලද සියල්ල නුඹලාට සිහිකරවන සේක.” මේ බයිබල් පදයේ ශුද්ධාත්මය සැනසිලිකාරයාණන්වහන්සේ කියලා සඳහන් කරන නිසා බොහෝදෙනෙක් හිතන්නේ ශුද්ධාත්මය පුද්ගලයෙක් කියලයි.

ක්ලිෆඩ්: මමත් හිතාගෙන හිටියේ එහෙම තමයි.

රිචඩ්: සමහර අවස්ථාවලදී යේසුස් යම් දේවල් පුද්ගලයෙකුට සමාන කරමින් විස්තර කළා. උදාහරණයකට ලූක් 7:35 යේසුස් ප්‍රඥාව විස්තර කළ විදිහ අපි බලමුද? ඒක මම කියවන්නම්. “එහෙත් ප්‍රඥාව නිදොස් බව ඇගේ සියලු දරුවන් කරණකොටගෙන ඔප්පු වී තිබේයයි කීසේක.” යේසුස් කිව්ව ඒ දේ නිසා ප්‍රඥාව කියන්නේ පුද්ගලයෙකුට කියලා හිතන්න පුළුවන්ද?

ක්ලිෆඩ්: බැහැනෙ.

රිචඩ්: ඇත්තටම යේසුස් ඒ වගේ දෙයක් කිව්වේ කෙනෙක් කරන ක්‍රියාවලින් ඔහු ප්‍රඥාවන්තද නැද්ද කියලා ඔප්පු වෙන නිසයි. දැන් ඔයාට තේරෙනවද සමහර අවස්ථාවලදී බයිබලයේ යම් දේවල් පුද්ගලයෙකුට සමාන කරලා තියෙනවා කියලා.

ක්ලිෆඩ්: ඔව්. මට ඒක පැහැදිලියි. ඒත් ශුද්ධාත්මය පුද්ගලයෙක් නෙමෙයි නම් ඒක මොකක්ද?

ශුද්ධාත්මයද දෙවිගේ බලයද

රිචඩ්: ක්ලිෆඩ් ඔයාට පුළුවන්ද ක්‍රියා 1:8 කියවන්න?

ක්ලිෆඩ්: “නමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.”

රිචඩ්: ඒ පදයේ පෙන්වන විදිහට යේසුස් ඔහුගේ ගෝලයන්ට කිව්වා ඔවුන්ට බලය ලැබෙනවා කියලා. ඒ කාගෙන් කියලද ඔයා හිතන්නේ?

ක්ලිෆඩ්: දෙවියන්වහන්සේගෙන් කියලයි මට නම් හිතෙන්නේ.

රිචඩ්: ඔයා හරි. දෙවි මේ පොළොව නිර්මාණය කරන්න පාවිච්චි කළෙත් ඔහුගේ බලයයි. අපි ඒ ගැන දැනගන්න උත්පත්ති 1:2 කියවලා බලමුද? “පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය; ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන්වහන්සේගේ ආත්මය ජලමතුයෙහි හැසිරෙමින් සිටිසේක.” මේ බයිබලයේ සඳහන් කරලා තියෙන්නේ දෙවිගේ ආත්මය කියලයි. නමුත් මුල් හෙබ්‍රෙව් භාෂාවෙන් යොදාගෙන තිබුණු වචනයේ අර්ථය බලනකොට ශුද්ධාත්මය වෙනුවට දෙවිගේ බලය කියලා පරිවර්තනය කරන එක තමයි වඩාත් නිවැරදි. ඒ නිසා දෙවියන්වහන්සේගේ ආත්මය කියනවා වෙනුවට දෙවිගේ බලය කියලා කියන එක තමයි හරි. දෙවි ඔහුගේ අරමුණු ඉටු කරන්න ඒ බලය යොදාගන්නවා. මම ඔයාට තව බයිබල් පදයක් පෙන්වන්න කැමතියි. ඔයාට පුළුවන්ද ලූක් 11:13 කියවන්න?

ක්ලිෆඩ්: “මෙසේ නපුරු වූ නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දනිවු නම්, කොපමණ වැඩියෙන් නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මය නොදෙනසෙක්දැයි කීසේක.”

රිචඩ්: ඒ පදයේ පෙන්වන විදිහට දෙවි තමන් කැමති අයට ශුද්ධාත්මය දෙනවා කියලයි. එහෙනම් ක්ලිෆඩ් ශුද්ධාත්මය නැත්නම් දෙවිගේ බලය කියන්නේ දෙවිට සමාන පුද්ගලයෙක්ද? නැත්නම් දෙවි සතුව තියෙන දෙයක්ද?

ක්ලිෆඩ්: හරි, දැන් මට වෙනස තේරුණා.

රිචඩ්: යේසුස් කිව්ව තවත් දෙයක් ගැන අපි දැන් බලමුද?

ක්ලිෆඩ්: ඒ මොකක්ද?

රිචඩ්: අපි ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙනකොට අපිට දෙවිගෙන් බලය ඉල්ලන්න පුළුවන්. ඒ වගේම ඔහු ගැන සත්‍යය දැනගන්න උපකාර කරන්න කියලත් දෙවිගෙන් ඉල්ලන්න පුළුවන්.

ක්ලිෆඩ්: ආ, ඇත්තද? මම ඒක දැනගෙන හිටියේ නැහැනේ.

රිචඩ්: දෙවිට ඔහුගේ බලය යොදාගෙන ඕනෙම දෙයක් කරන්න පුළුවන් කියලා ඔයා දන්නවනේ?

ක්ලිෆඩ්: ඔව්.

රිචඩ්: එහෙමනම් මේ නරක සමාජය නැති කරන්න දෙවි ඔහුගේ බලය යොදාගන්නේ නැත්තේ ඇයි කියලා ඔයා කල්පනා කරලා තියෙනවාද? *

ක්ලිෆඩ්: ඔව්. මම ඒ ගැන කල්පනා කරලා තියෙනවා.

රිචඩ්: එහෙමනම් ඒ ගැන සාකච්ඡා කරන්න මම ලබන සතියේ මේ වෙලාවට එන්නද?

ක්ලිෆඩ්: ඒක හොඳයි. මම කැමතියි ඒ ගැන දැනගන්න. එහෙනම් ඔයා ලබන සතියෙත් මේ වෙලාවටම එන්නකෝ.

[පාදසටහන්වල]

^ 13 ඡේ. මෙම ලිපියේ සඳහන් බයිබල් පද රැගෙන තිබෙන්නේ ලංකා බයිබල් සමාගම විසින් පළ කරනු ලැබූ 1938දී සංශෝධනය කළ පැරණි අනුවාදය නමැති බයිබලයෙනුයි.

^ 48 ඡේ. වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ 11වන පරිච්ඡේදය බලන්න.