Skip to content

පටුනට යන්න

දෙවි යාච්ඤාවලට සවන් දී පිළිතුරු දෙයිද?

දෙවි යාච්ඤාවලට සවන් දී පිළිතුරු දෙයිද?

දෙවි අපගේ යාච්ඤාවලට සවන් දෙනවාද කියා බොහෝ අය කල්පනා කරනවා. කොහොමවුණත් දෙවි යාච්ඤාවලට සවන් දෙන බව බයිබලයේ සඳහන් වෙනවා. නමුත් දෙවි ඔබගේ යාච්ඤාවලට සවන් දෙනවාද නැද්ද යන්න තීරණය වන්නේ ඔබ යාච්ඤා කරන ආකාරය අනුවයි.

යේසුස්ගේ කාලයේ සිටි කුහක ආගමික නායකයන් යාච්ඤා කළේ තමන් ධර්මිෂ්ඨයයි පෙන්වමින් මිනිසුන්ගේ අවධානය ඇදගැනීම සඳහායි. නමුත් ඔවුන්ව හෙළාදුටු යේසුස් මෙසේ පැවසුවා. ‘ඔවුන්ට මිනිසුන්ගේ ගෞරවය ලැබුණත් වෙන කිසි දෙයක් ලැබෙන්නේ නැහැ.’ (මතෙව් 6:5) යේසුස් ඉන් අදහස් කළේ දෙවි ඔවුන්ගේ යාච්ඤාවලට සවන් දෙන්නේ නැති බවයි. එදා මෙන් අදත් බොහෝ අය දෙවි කැමති ආකාරයට යාච්ඤා කරනවා වෙනුවට තමන් කැමති ආකාරයෙන් යාච්ඤා කරනවා. එවැනි අය බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති නොසලකාහැර තිබෙන නිසා දෙවි ඔවුන්ගේ යාච්ඤාවලට සවන් දෙන්නේ නැහැ.

කොහොමවුණත් බයිබලයේ සඳහන් වෙන්නේ “කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා” කියායි. (ක්‍රියා 10:34, 35) ‘දෙවිට ගරුබිය දක්වමින් කටයුතු කිරීම’ යන්නෙන් අදහස් වෙන්නේ දෙවිව ඉතා උසස් කෙනෙක් ලෙස සලකමින් ඔහුව අසතුටට පත් කරන දේවලින් වැළකී සිටීමයි. එමෙන්ම ‘ධර්මිෂ්ඨව ක්‍රියා කරනවා’ කීමෙන් අදහස් වෙන්නේ තමන්ගේ කැමැත්තට අනුව හෝ අන් අය පවසන දේවල් අනුව කටයුතු කරනවා වෙනුවට දෙවි කැමති ආකාරයෙන් ජීවත් වීමයි. ඇත්තෙන්ම දෙවි ඔබේ යාච්ඤාවලට සවන් දීමට නම් ඔබ කළ යුත්තේ කුමක්ද කියා බයිබලයේ සඳහන් වෙනවා. *

තමන් කරන යාච්ඤාවලට දෙවි ආශ්චර්යවත් ආකාරයෙන් පිළිතුරු දෙයි කියා බොහෝ අය බලාපොරොත්තු වෙනවා. නමුත් අතීතයේදී පවා දෙවි ආශ්චර්යවත් දේවල් කළේ කලාතුරකිනුයි. එමෙන්ම යේසුස්ගේ මුල් අනුගාමිකයන් මිය ගිය පසුව ආශ්චර්යවත් දේවල් කිරීම සඳහා දෙවි තම බලය ලබා දීම නතර කළා. (1 කොරින්ති 13:8-10) එමනිසා මිනිසුන් සිතන ආකාරයට දෙවි අද දින යාච්ඤාවලට සවන්දී ආශ්චර්යවත් දේවල් කරයි කියා බලාපොරොත්තු වෙන්න බැහැ. අපේ යාච්ඤාවලට දෙවි පිළිතුරු දෙන්නේ අපි කුමක් සඳහා යාච්ඤා කළොත්ද කියා අපි දැන් සලකා බලමු.

ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කිරීම. යෙහෝවා දෙවි තරම් ප්‍රඥාවන්ත කෙනෙක් තවත් නැහැ. අපි දෙවිගේ මඟ පෙන්වීම් ඉල්ලා ඒ අනුව ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් ඔහු ඉතා ත්‍යාගශීලීව ප්‍රඥාව ලබා දෙනවා.—යාකොබ් 1:5.

බලය ඉල්ලා යාච්ඤා කිරීම. යෙහෝවා දෙවිගේ බලය ඉතා ප්‍රබලයි. එමනිසා අපට එම බලයේ උපකාරය ලැබෙනවා නම් ජීවිතයේ ඕනෑම ප්‍රශ්නයකට සාර්ථකව මුහුණ දීමටත් මනසේ සාමය ඇතුව කටයුතු කිරීමටත් හැකි වෙනවා. එමෙන්ම කදිම ගුණාංග වර්ධනය කරගැනීමටත් දෙවිගේ බලය මහඟු උපකාරයක්. (ගලාති 5:22, 23) අපි යෙහෝවා දෙවිගෙන් බලය ඉල්ලනවා නම් ඔහු එය නොඅඩුව ලබා දෙනවා.—ලූක් 11:13.

දෙවිව දැන හඳුනා ගැනීමට උපකාර ඉල්ලා යාච්ඤා කිරීම. (ක්‍රියා 17:26, 27) බොහෝ අය දෙවිව දැන හඳුනා ගැනීමට ඉතා ආශාවෙන් සිටිනවා. ඔවුන් දෙවිගේ නාමයේ අර්ථය ගැනත් මිනිස් වර්ගයා සහ පොළොව සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ කුමක්ද කියාත් දෙවිට ළං විය හැක්කේ කෙසේද කියාත් දැනගැනීමට ඉතා උනන්දුවක් දක්වනවා. (යාකොබ් 4:8) එවැනි අයට බයිබලය මාර්ගයෙන් දෙවි ගැන කියා දීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සූදානමින් සිටිනවා.

ඔබත් දෙවිව දැන හඳුනා ගැනීමට කැමැත්තෙන් සිටින කෙනෙක්ද? සමහරවිට ඔබට මෙම මුරටැඹ සඟරාව ලැබෙන්න ඇත්තේ දෙවි ඔබේ යාච්ඤාවලට සවන් දුන් නිසා විය හැකියි.

^ 5 ඡේ. දෙවිට පිළිගත හැකි ආකාරයට යාච්ඤා කිරීම සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 17වන පරිච්ඡේදය බලන්න.