Skip to content

පටුනට යන්න

යාච්ඤා කළ යුත්තේ කාටද?

යාච්ඤා කළ යුත්තේ කාටද?

මිනිසුන් විවිධ දෙවිවරුන්ගේ නම්වලින් යාච්ඤා කළත් සැබෑ දෙවි ඒ සියලුම යාච්ඤාවලට සවන් දෙනවාද? හැම ආගමකටම දෙවිගේ අනුමැතිය ලැබෙනවා කියා සිතන අය ඊට ඔව් කියා පිළිතුරු දිය හැකියි. නමුත් එය සැබෑවක්ද?

බොහෝ අවස්ථාවලදී මිනිසුන් යාච්ඤා කරන්නේ සැබෑ දෙවිට නොවෙයි. අද මෙන් අතීතයේදීත් මිනිසුන් විවිධ දෙවිවරුන්ගේ රූප ඉදිරියේ වැඳ වැටෙමින් යාච්ඤා කළා. නමුත් එසේ නොකරන්න කියා දෙවි අනතුරු අඟවා තිබෙනවා. උදාහරණයකට රූපවලට යාච්ඤා කිරීමේ ඇති නිෂ්ඵලභාවය ගැන බයිබලයේ සඳහන් මේ වදන් සලකා බලන්න. දේවතා රූපවලට “කන් තිබුණත් කිසිවක් ඇසෙන්නේ නැත.” (ගීතාවලිය 115:4-6) එසේනම් අපේ යාච්ඤාවලට සවන් නොදෙන දෙවි කෙනෙකුට යාච්ඤා කිරීමෙන් ඵලක් තිබෙනවාද? එය තේරුම්ගැනීමට අපි අතීතයේදී සිදු වූ දෙයක් සලකා බලමු.

සැබෑ දෙවිගේ සේවකයෙක් වූ එලියා එක අවස්ථාවකදී බාල් නමැති දෙවියාගේ අනාගතවක්තෘවරුන් පිරිසකට අභියෝගයක් එල්ල කළා. එලියා ඔවුන්ට පැවසුවේ පූජාවක් පිළියෙල කර ඒ පූජාවට අහසින් ගිනි එවා එය දවා දමන ලෙස බාල්ගෙන් ඉල්ලා සිටින්න කියායි. එමෙන්ම එලියාද පූජාවක් පිළියෙල කර ඊට ගිනි එවා දවා දමන මෙන් තමා නමස්කාර කරන දෙවිගෙන් ඉල්ලා සිටිනවා කියාත් පැවසුවා. එම යාච්ඤාවට පිළිතුරු දෙන දෙවි සැබෑ දෙවි බව ඔප්පු වෙනවා කියාත් ඔහු සඳහන් කළා. ඒ නිසා බාල් දෙවියාගේ අනාගතවක්තෘවරුන් බොහෝ වේලාවක් පුරා බාල් දෙවියාට යාච්ඤා කළා. නමුත් ‘කිසිවෙක් ඔවුන්ට පිළිතුරු දුන්නේ නැහැ. ඔවුන්ට උපකාර කිරීමට කිසිවෙක් පැමිණියෙත් නැහැ.’—1 රාජාවලිය 18:29.

නමුත් එලියා සැබෑ දෙවිට යාච්ඤා කිරීමට පටන්ගත් විට දෙවි අහසින් ගිනි එවා ඔහුගේ පූජාව දවා දැමුවා. එලියාගේ යාච්ඤාවට පමණක් පිළිතුරු ලැබුණේ ඇයි? බයිබලයේ වාර්තා වී තිබෙන එම යාච්ඤාව සලකා බලන විට එහි යම් විශේෂ ලක්ෂණයක් තිබෙන බව පැහැදිලි වෙනවා. එනම් ඔහු කළ එම කෙටි යාච්ඤාව තුළ අවස්ථා තුනකදීම යෙහෝවා යන සැබෑ දෙවිගේ නාමය සඳහන් කිරීමයි.—1 රාජාවලිය 18:36, 37.

යෙහෝවා යන දෙවිගේ නාමය අද්විතීයයි. මේ විශ්වයේ සිටින වෙන කිසිම කෙනෙකුව එම නාමයෙන් හඳුන්වන්නේ නැහැ. යෙහෝවා දෙවි මෙවැනි දෙයක් පවසා තිබෙන්නේ ඒ නිසයි. “මාගේ නාමය යෙහෝවාය. මට හිමි ගෞරවය වෙන කිසිවෙකු සමඟ මම බෙදා නොගන්නෙමි.” (යෙසායා 42:8) නමුත් “ස්වාමියා” සහ “අයිතිකරු” යන අර්ථ ඇති බාල් යන නාමය ඊට හාත්පසින්ම වෙනස්. එම නාමයෙන් මිනිසුන්වත් හඳුන්වා තිබෙනවා.

බාල් දෙවියාට කළ නමස්කාරයට අනාචාරය සහ මිනිසුන්ව පූජා කිරීමේ චාරිත්‍රද ඇතුළත් වුණා. නමුත් යෙහෝවා දෙවි ඔහුට නමස්කාර කළ අයට උපදෙස් දී තිබුණේ ගෞරවනීය සහ ශුද්ධ ආකාරයකින් තමන්ට නමස්කාර කරන්න කියායි.

සියලුම යාච්ඤාවලට දෙවි සවන් නොදෙන බව බාල් අනාගතවක්තෘවරුන්ට එලියා පැවසූ දෙයින් සනාථ වෙනවා

බයිබලයේ දෙවිව “අපගේ පියාණන්” ලෙස හඳුන්වා තිබෙනවා. (යෙසායා 63:16) ඒ නිසා ඔබ යෙහෝවා දෙවිගේ නාමය සඳහන් කරමින් යාච්ඤා කරන විට ඔබ යාච්ඤා කරන්නේ අපි සියලුදෙනාවම නිර්මාණය කළ පියාණන්ටයි. * එමෙන්ම යේසුස්ද ස්වර්ගයට යෑමට කලින් “‘මම මගේ පියාණන් හා ඔබේ පියාණන් ළඟටත් මගේ දෙවි හා ඔබේ දෙවි ළඟටත් යනවා’” කියා තම අනුගාමිකයන්ට පැවසුවා. (යොහන් 20:17) ඇත්තෙන්ම යේසුස්ගේ පියා වන්නෙත් යෙහෝවා දෙවිමයි. යේසුස් පවා යාච්ඤා කළේ යෙහෝවා දෙවිටයි. එමෙන්ම ඔහු තම අනුගාමිකයන්ට ඉගැන්වූයේත් යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න කියායි.—මතෙව් 6:9.

යේසුස්ට, මරියතුමියට, සාන්තුවරුන්ට හෝ දේවදූතයන්ට යාච්ඤා කරන්න කියා බයිබලයේ කොතැනකවත් සඳහන් වී නැහැ. එහි සඳහන් වන ආකාරයට අපි යාච්ඤා කළ යුත්තේ යෙහෝවා දෙවිට පමණයි. එයට මූලික වශයෙන් බලපාන හේතු දෙකක් තිබෙනවා. එක් හේතුවක් වන්නේ යාච්ඤාව අපි දෙවිට කරන නමස්කාරයේ කොටසක් වීමයි. අපි නමස්කාර කළ යුත්තේ දෙවිට පමණක් නිසා අපි යාච්ඤා කළ යුත්තේද දෙවිට පමණයි. (නික්මයාම 20:5) දෙවන හේතුව නම් යෙහෝවා දෙවිව “යාච්ඤා අසන තැනැත්තා” ලෙස බයිබලයේ හඳුන්වා තිබීමයි. (ගීතාවලිය 65:2) දෙවි බොහෝ අයට විවිධ වගකීම් පවරා තිබුණත් යාච්ඤාවලට සවන් දීමේ වගකීම ඔහු කිසිම කෙනෙකුට පවරා නැහැ. අපේ යාච්ඤාවලට සවන් දෙන්නේ ඔහු පමණයි.

අපේ යාච්ඤාවලට දෙවි සවන් දෙනවාට අපි කැමති නම් බයිබලයේ සඳහන් මේ දෙය අපි මතක තබාගත යුතුයි. “යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවාගනු ලබන්නේය.” (ක්‍රියා 2:21) නමුත් යෙහෝවා දෙවි අපේ යාච්ඤාවලට සවන් දීමට නම් අපි මතක තබාගත යුතු තවත් දෙයක් තිබෙනවා. ඒ කුමක්ද?

^ 9 ඡේ. යාච්ඤා කරන විට පවා දෙවිගේ නාමය උච්චාරණය කිරීම වැරදි බව ඇතැම් ආගම්වලින් උගන්වා තිබෙනවා. නමුත් දෙවිගේ නාමය 7,000 වාරයකට ආසන්න වතාවක් බයිබලයේ සඳහන් වෙනවා. ඒ අතරිනුත් අවස්ථා ගණනාවකම දෙවිගේ නාමය සඳහන් වී තිබෙන්නේ දෙවිගේ සේවකයන් කළ යාච්ඤා සහ ඔවුන් ගැයූ ගීතිකාවලයි.