Skip to content

පටුනට යන්න

හානිකර සිතුවිලි මඟහරවා ගනිමු

හානිකර සිතුවිලි මඟහරවා ගනිමු

හානිකර සිතුවිලි මඟහරවා ගනිමු

කෙදිනක හෝ ඔබ තුළ අධෛර්යය කරවන සිතුවිලි ඇති වී තිබෙනවාද? ඇත්තෙන්ම සියලුදෙනා තුළම එවැනි සිතුවිලි ඇති වෙනවා. ආර්ථික ගැටලු, දරුණු අපරාධ සහ අසාධාරණකම් ඊට බලපෑ හැකියි. එමෙන්ම අධික ශෝකය, වරදසහගත හැඟීම් සහ තමා නොවටිනා කෙනෙක් වැනි සිතුවිලි නිසාත් මිනිසුන් පීඩා විඳිනවා.

එවැනි සිතුවිලි නිසා කෙනෙකුගේ ආත්ම විශ්වාසය හා කල්පනා ශක්තිය දුර්වල වී සතුටත් අහිමි වෙනවා. බයිබලයේ සඳහන් මේ වදන් සලකා බලන්න. “දුක් කරදර පැමිණෙන විට ඔබ අධෛර්යයට පත් වන්නේ නම් ඔබේ ශක්තිය හීන වන්නේය.” (හිතෝපදේශ 24:10) දුක් කරදරවලින් පිරී තිබෙන මේ කාලය තුළ ජීවිතය සාර්ථක කරගන්න නම් අපි මානසිකව ශක්තිමත්ව සිටිය යුතුයි. ඒ නිසා හානිකර සිතුවිලි පාලනය කරගැනීම ඉතා වැදගත්. *

අපි කිසිම බලාපොරොත්තුවක් නොමැතිව අධෛර්යය වී සිටිනවාට අපට ජීවිතය දුන් යෙහෝවා දෙවි කැමති නැහැ. (ගීතාවලිය 36:9) ඒ නිසා හානිකර සිතුවිලි මඟහරවා ගැනීමට ඔහු වටිනා මඟ පෙන්වීම් බයිබලයේ ඇතුළත් කර තිබෙනවා. ඉන් තුනක් පිළිබඳව අපි දැන් සලකා බලමු.

දෙවි ඔබ ගැන සැලකිලිමත් බව මතක තබාගන්න

මිනිසුන්ගේ වේදනාකාරී හැඟීම් ගැන දෙවි සැලකිලිමත් නැහැ කියා ඇතැම් අය සිතනවා. කොහොමවුණත් බයිබලයේ ඉතා පැහැදිලිව සඳහන් වෙන්නේ යෙහෝවා දෙවි අපේ වේදනාකාරී හැඟීම් ගැන ඉතා සැලකිලිමත් බවයි. “යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි. තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගනියි” කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි. (ගීතාවලිය 34:18) මුළු විශ්වයම නිර්මාණය කළ යෙහෝවා දෙවි අප වේදනාවට පත්ව සිටින අවස්ථාවලදී අපි ළඟින්ම සිටින බව දැනගන්න ලැබීම මොන තරම් සහනයක්ද!

ඇත්තෙන්ම යෙහෝවා දෙවි මිනිසුන්ව තේරුම්ගැනීමට නොහැකි හැඟීම් දැනීම් නැති කෙනෙක් නොවෙයි. “දෙවි ප්‍රේමයයි” කියා බයිබලයේ සඳහන් වීමෙන් එය පැහැදිලි වෙනවා. (1 යොහන් 4:8) ඔහු මිනිසුන්ට බෙහෙවින් ප්‍රේම කරන නිසා මිනිසුන්ගේ වේදනාව ඔහුට හොඳින් තේරෙනවා. මීට වසර 3,500කට පමණ පෙර ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ වහලුන් ලෙස අද්දුටු වේදනාව ගැන දෙවි පැවසූ මේ දෙයින් එය පැහැදිලියි. “ඊජිප්තුවේ සිටින මාගේ සෙනඟ විඳින දුක් ගැහැට මම දුටුවෙමි. ඔවුන්ගෙන් බලෙන් වැඩ ගන්න අය ඔවුන්ට කරන පීඩා නිසා ඔවුන් අඬමින් කරන කන්නලව් මට ඇසිණ. ඔවුන් විඳින වේදනාව මට තේරුම්ගත හැකියි. ඒ නිසා මම ඔවුන්ව ඊජිප්තුවරුන්ගේ අතින් ගලවාගන්නෙමි.”—නික්මයාම 3:7, 8.

බයිබලයේ සඳහන් මේ වදන්ද සලකා බලන්න. ‘අපි අපවම නිර්මාණය කර නොගත්තෙමු. අපේ නිර්මාතෘ දෙවිය.’ (ගීතාවලිය 100:3) යෙහෝවා දෙවි අපේ නිර්මාතෘ නිසා මිනිසුන්ට වඩා හොඳින් ඔහුට අපේ ඇතුළාන්ත හැඟීම් සහ සිතුවිලි තේරුම්ගන්න පුළුවන්. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “දෙවි දේවල් දෙස බලන්නේ මනුෂ්‍යයන් බලන ආකාරයට නොවෙයි. මනුෂ්‍යයන් දකින්නේ පිටතින් පෙනෙන දේ පමණය. නමුත් යෙහෝවා දෙවි වන මම සිතේ තිබෙන දේ දකිමි.”—1 සාමුවෙල් 16:7.

ඊට අමතරව අප අතින් සිදු වන වැරදිත් යෙහෝවා දෙවි දකිනවා. නමුත් ඒ වැරදි ගැන අපි අවංකව පසුතැවිලි වෙනවා නම් දෙවි ඒ දේවල් අමතක කර දමනවා. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙලෙසයි. “පියෙකු තම පුත්‍රයන්ට දයාව දක්වන්නාක් මෙන් යෙහෝවා දෙවි තමා කෙරෙහි ගරුබිය ඇති අයට දයාව දක්වන්නේය. ඔහු අපේ ස්වභාවය හොඳින් දන්නේය. අපව දූවිල්ලෙන් සෑදූ බව ඔහු සිහි කරන්නේය.” (ගීතාවලිය 103:13, 14) අපි නිතරම අපේ අතින් සිදු වන වැරදි ගැනම කල්පනා කළත් යෙහෝවා දෙවි වැඩි අවධානයක් දෙන්නේ අපේ හොඳ ගතිගුණවලටයි. (ගීතාවලිය 139:1-3, 23, 24) ඒ ගැන අපි දෙවිට කොතරම් ස්තුතිවන්ත විය යුතුද!

අපව අධෛර්යය කරවන සිතුවිලි ඇති වන විට ඒවා මඟහරවා ගැනීමට අපි උපරිමයෙන් වෑයම් කළ යුතුයි. එවැනි අවස්ථාවලදී දෙවි අපි දෙස බලන්නේ කෙසේද කියාත් ඔහු අප ගැන සැලකිලිමත් බවත් අපි නිතරම මතකයේ තබාගනිමු.—1 යොහන් 3:20.

දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න

දෙවි අප දෙස බලන ආකාරයටම අපත් අප දෙස බැලීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? එසේ කිරීමෙන් හානිකර සිතුවිලි ඉවත් කරගෙන දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීම වඩාත් පහසු වෙනවා. නමුත් අපට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගත හැකිද?

ඇත්තෙන්ම ඔව්. ඒ සඳහා උපකාර කරන්න යෙහෝවා දෙවි කැමැත්තෙන් සිටිනවා. “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි” කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි. (යාකොබ් 4:8) අපි දුර්වල පව්කාර මිනිසුන් වුණත් යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමට අවස්ථාව තිබීම මොන තරම් දෙයක්ද!

තමන් කෙබඳු කෙනෙක්ද කියා දෙවි අපට බයිබලය තුළින් පහදා දී තිබෙනවා. ඒ නිසා අපි දිනපතා බයිබලය කියවනවා නම් දෙවිගේ යහපත් ගතිගුණ ගැන ඉගෙනගැනීමට අපට හැකියි. * එමෙන්ම ඒ දේවල් ගැන අපි ගැඹුරින් කල්පනා කරන විට දෙවි සමඟ වඩාත් කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට හැකි වෙනවා. එවිට දෙවි මොන තරම් ප්‍රේමණීය, දයානුකම්පිත පියෙක්ද කියා අපට වැටහෙයි.

අපි බයිබලය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කරමින් ඒ අනුව අපේ සිතුවිලි සකස් කරගෙන අපේ ජීවිතයට එයින් නිසි මඟ පෙන්වීම් ලබාගන්නවා නම් දෙවිට තවත් ළං වීමට අපට හැකියි. අපි විශේෂයෙන්ම එසේ කළ යුත්තේ අධෛර්යය කරවන සිතුවිලි අප තුළ ඇති වන විටයි. එමගින් අපට විශාල සහනයක් අද්දැකිය හැකියි. “මාගේ සිත නොසන්සුන් වූ විට ඔබේ ඉමහත් ප්‍රේමය මට සැනසීමක් විය” කියා දෙවිගේ සේවකයෙක් පැවසීමට පෙලඹුණේ ඒ නිසයි. (ගීතාවලිය 94:19) බයිබලයේ සඳහන් තොරතුරු හොඳින් සිතට ගැනීමෙන් අප තුළ ඇති වන හානිකර සිතුවිලි මඟහරවා ගෙන දෙවි ලබා දෙන සහනය හා සමාදානය අද්දැකීමට හැකි වෙනවා.

දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට උපකාරවත් වන තවත් දෙයක් වන්නේ දිනපතාම ඔහුට යාච්ඤා කිරීමයි. අපි ‘දෙවිගේ කැමැත්තට එකඟව යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙනවා.’ (1 යොහන් 5:14) අප තුළ කනස්සල්ලක් ඇති වන අවස්ථාවලදී උපකාර ඉල්ලමින් දෙවිට යාච්ඤා කළ හැකියි. අපි අවංකවම අපේ සිතුවිලි දෙවිට පවසනවා නම් දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට හැකි වෙනවා. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙසේයි. “යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න. එවිට ක්‍රිස්තුස් යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.”—ෆිලිප්පි 4:6, 7.

ඔබ දිනපතාම බයිබලය කියවමින් ඒ ගැන ගැඹුරින් කල්පනා කරනවා නම් සහ නිතරම දෙවිට යාච්ඤා කරනවා නම් ඔබට දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය තවත් ශක්තිමත් වෙනවා. එය හානිකර සිතුවිලි මඟහරවා ගැනීම සඳහා ඔබට විශාල පිටුවහලක් වන බවට සැකයක් නැහැ. හානිකර සිතුවිලි මඟහරවා ගැනීමට උපකාරවත් වන තවත් දෙයක් ගැන අපි දැන් සලකා බලමු.

බලාපොරොත්තුව ගැන සිතන්න

අපට ජීවිතයේ ඉතා අසීරු තත්වයන්ට මුහුණ දීමට සිදු වුණත් අනාගතය ගැන දෙවි දී තිබෙන පොරොන්දු වෙත අපේ අවධානය යොමු කිරීමට අපට හැකියි. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘දෙවි දී ඇති පොරොන්දුවට එකඟව සැමදා ධර්මිෂ්ඨකම රජයන අලුත් අහසක් සහ අලුත් පොළොවක් පැමිණෙන තුරු අපි බලා සිටින්නෙමු.’ (2 පේතෘස් 3:13) ඉන් අදහස් වන්නේ කුමක්ද?

ඉහත බයිබල් පදයේ සඳහන් ‘අලුත් අහසෙන්’ නියෝජනය වෙන්නේ දෙවි ස්වර්ගයේ පිහිටුවා තිබෙන රාජ්‍යයයි. ‘අලුත් පොළොවෙන්’ නියෝජනය වෙන්නේ දෙවිගේ අනුමැතිය ඇති ධර්මිෂ්ඨ මිනිස් සමාජයයි. දෙවිගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලයේදී මිනිසුන් තුළ හානිකර සිතුවිලි ඇති වීමට බලපාන කිසිම දෙයක් පවතින්නේ නැහැ. ඒ ගැන බයිබලයේ සඳහන් පොරොන්දුව මෙයයි. “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.”—එළිදරව් 21:4.

ඇත්තෙන්ම එය මොන තරම් ‘ප්‍රීතිමත් බලාපොරොත්තුවක්ද!’ (තීතස් 2:13) දෙවි මිනිස් වර්ගයාට දී තිබෙන එවැනි ප්‍රීතිමත් පොරොන්දු වෙත නිතරම අපේ මනස යොමු කරනවා නම් හානිකර සිතුවිලි මඟහරවා ගැනීමට අපට හැකි වෙනවා.—ෆිලිප්පි 4:8.

අපට තිබෙන බලාපොරොත්තුව බයිබලයෙහි සමාන කර තිබෙන්නේ හිස්වැස්මකටයි. (1 තෙසලෝනික 5:8) පුරාණයේ සිටි යුද සෙබළෙක් හිස්වැස්මක් නොමැතිව කිසිම දිනක යුධ පිටියට ගියේ නැහැ. එයට හේතුව හිස්වැස්මක් නොමැතිව යුද්ධයකට හවුල් වීම ජීවිතය අනතුරේ හෙළීමක් බව ඔහු දැන සිටීමයි. හිස්වැස්මක් පැළඳීමෙන් සෙබළෙකුට තම හිස ආරක්ෂා කරගැනීමට හැකි වුණා හා සමානව බලාපොරොත්තුව නමැති සංකේතාත්මක හිස්වැස්මෙන් පුද්ගලයෙකුට තම මනස ආරක්ෂා කරගැනීමට හැකි වෙනවා. අපි නිතරම අපේ බලාපොරොත්තුව වෙත මනස යොමු කරනවා නම් කනස්සල්ල සහ බිය ඇති කරවන සිතුවිලිවලින් ආරක්ෂා වී සිටීමට හැකි වෙනවා.

ඇත්තෙන්ම හානිකර සිතුවිලි මඟහරවා ගැනීමට අපි සියලුදෙනාටම හැකියාව තිබෙනවා. ඒ සඳහා දෙවි අප ගැන සැලකිලිමත් බව මතක තබාගනිමින් ඔහු සමඟ මිත්‍රත්වයක් ඇති කරගෙන අනාගතය සම්බන්ධයෙන් තිබෙන බලාපොරොත්තුව වෙත අපේ මනස යොමු කළ යුතුයි. එසේ කිරීමෙන් හානිකර සිතුවිලි කිසිවක් ඇති නොවන ප්‍රීතිමත් කාලයේ ජීවත් වීමට ඔබටත් හැකි වෙනවා.—ගීතාවලිය 37:29.

[පාදසටහන්වල]

^ 3 ඡේ. අධික ලෙස මානසික පීඩනයෙන් පෙළෙන අය ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම වඩාත් සුදුසුයි.—මතෙව් 9:12.

^ 14 ඡේ. බයිබලය කියවීම සඳහා උපකාරවත් වන කාලසටහනක් 2009 අගෝස්තු 1 මුරටැඹ කලාපයේ ඇතුළත් වෙනවා.

[19වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ඔවුන් විඳින වේදනාව මට තේරුම්ගත හැකියි.”—නික්මයාම 3:7, 8.

[20වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මාගේ සිත නොසන්සුන් වූ විට ඔබේ ඉමහත් ප්‍රේමය මට සැනසීමක් විය.”—ගීතාවලිය 94:19.

[21වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.’—ෆිලිප්පි 4:7.

[20, 21වන පිටුවේ කොටුව⁄පින්තූරය]

යෙහෝවා දෙවි ගැන බයිබලයේ සඳහන් තොරතුරු කිහිපයක්

“යෙහෝවා දෙවි වන මා දයාන්විතය. කරුණාවන්තය. කෝප වීමට ඉක්මන් නොවන්නෙමි. යෙහෝවා දෙවි වන මම ඉමහත් ප්‍රේමයක් පෙන්වන්නෙමි. සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නෙමි.”—නික්මයාම 34:6.

“යෙහෝවා දෙවි තම දෙනෙත් පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා. ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි.”—2 ලේකම් 16:9.

“යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි. තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගනියි.”—ගීතාවලිය 34:18.

“යෙහෝවා දෙවියනි, ඔබ සමාව දීමට කැමති, යහපත් දෙවි කෙනෙක්ය.”—ගීතාවලිය 86:5.

“යෙහෝවා දෙවි සියල්ලන්ට යහපත කරන්නේය. තම හස්තයෙන් නිර්මාණය කළ සියල්ලන්ට ඔහු දයාව පෙන්වන්නේය.”—ගීතාවලිය 145:9.

“යෙහෝවා දෙවි වන මම ඔබේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙමි. ‘භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි’ කියා ඔබට පැවසුවේ මමය.”—යෙසායා 41:13.

‘දෙවිට ප්‍රශංසා වේවා! මහත් දයාවක් පෙන්වන පියාණන් ඔහුය. සියලු සැනසිල්ලේ දෙවි ඔහුය.’—2 කොරින්ති 1:3.

“ඔහුගේ අනුමැතිය ලබාගෙන අපගේ සිත් ස්ථිර කරගැනීමට අපට පුළුවන. මන්ද අපගේ සිත් අපට දොස් නැඟුවත් අපට වඩා හොඳින් දෙවි අපගේ සිත් ගැන දන්නා බවත් ඔහු සියලු දේ දන්නා බවත් අපි දනිමු.”—1 යොහන් 3:19, 20.

[22වන පිටුවේ කොටුව⁄පින්තූර]

හානිකර සිතුවිලි මඟහරවා ගනිමින්

“මගේ තාත්තා මත්පැන්වලට ඇබ්බැහි වුණ කෙනෙක්. තාත්තා නිසා මම හුඟක් දුක් විඳලා තියෙනවා. මට නිතරම හිතුණේ මම කිසිම වටිනාකමක් නැති කෙනෙක් කියලයි. ඒ වුණත් මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තම පොළොවේ සදහටම ජීවත් වෙන්න දෙවි මිනිසුන්ට බලාපොරොත්තුවක් දීලා තියෙනවා කියලා දැනගත්තා. ඒ ගැන මට හුඟක් සතුටු හිතුණා. ඒ නිසා මම හැමදාම බයිබලය කියවන්න පටන්ගත්තා. ඒ වගේම මම යන හැම තැනකටම බයිබලය ගෙනියන්න මම අමතක කළේ නැහැ. අධෛර්යය කරවන සිතුවිලි ඇති වෙනකොට මම බයිබලය පෙරළලා යෙහෝවා දෙවිගේ යහපත් ගතිගුණ සඳහන් බයිබල් පද කියෙව්වා. ඒ වෙලාවට මාව යෙහෝවා දෙවිට කොයි තරම් වටිනවාද කියන එක මට මතක් වුණා.”—තිස් තුන්වන වියේ පසු වන කැත්‍රීන්. *

“මම මත්පැන්වලට, මරිජුවානාවලට වගේම කොකේන්වලට ඇබ්බැහි වෙලා හිටියා. ඒ වගේම මත් වෙන්න ඕනේ නිසා මම සැර ගම් වර්ගත් නහයට තියලා ඉරුවා. මං ළඟ තිබුණු හැම දෙයක්ම නාස්ති කරගත්ත නිසා අන්තිමේදී මම හිඟන්නෙක් වුණා. ඒත් මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තාට පස්සේ මගේ මුළු ජීවිතයම වෙනස් වුණා. දෙවි සැබෑ පුද්ගලයෙක් කියලා මම තේරුම්ගත්තා. තවමත් විටින් විට වරදසහිත සිතුවිලි මට ඇති වෙනවා. ඒත් යෙහෝවා දෙවි සමාව දෙන දයානුකම්පිත දෙවි කෙනෙක් කියලා මතක් කරගත්තාම මට ඒ සිතුවිලි මඟහරවා ගන්න පුළුවන්. ඇත්තටම හානිකර සිතුවිලි පාලනය කරගන්න මට ශක්තිය දෙන්නේ යෙහෝවා දෙවියි. ඔහු ඉදිරියටත් මට ඒ විදිහටම ශක්තිය දෙයි කියලා මම දන්නවා. බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න ලැබුණු අවස්ථාව තමයි මම ජීවිතයේ ලැබුව වටිනාම දේ.”—තිස් හත්වන වියේ පසු වන රෙනාටෝ.

“පොඩි කාලේ ඉඳන් මම නිතරම මාව මගේ අයියා එක්ක සන්සන්දනය කළා. ඒ නිසා මට නිතරම හිතුණේ මම අයියා තරම් දක්ෂ නැහැ කියලයි. දැන් මම වැඩිහිටියෙක්. ඒත් තවමත් මට හිතෙන්නේ මම අදක්ෂ කෙනෙක් කියලයි. ඒ හැඟීම් නැති කරගන්න මම ලොකු උත්සාහයක් දරනවා. මම ඒ ගැන යෙහෝවා දෙවිට දිගටම යාච්ඤා කළ නිසා ඒ හැඟීම් මඟහරවා ගන්න ඔහු මට උපකාර කළා. ඇත්තෙන්ම යෙහෝවා දෙවි අපට බෙහෙවින් ප්‍රේම කරනවා කියලත් අප ගැන හුඟක් සැලකිලිමත් කියලත් දැනගෙන ඉන්න එක ලොකු සහනයක්.”—හතළිස් පස්වන වියේ පසු වන රොබර්ටා.

[පාදසටහන]

^ 45 ඡේ. නම් වෙනස් කර ඇත.