ඔබේ දරුවන්ට උගන්වන්න
අනික් අය ඔයාට වෙනස් විදිහට සලකනවාද?
සාමාන්‍යයෙන් කෙනෙකුගේ පාට, ජාතිය, භාෂාව වෙනස් නම් ඒ අයට වෙනස් විදිහට සලකන්න මිනිසුන් පෙලඹෙනවා. අනික් අය ඔයාටත් ඒ විදිහට සලකනවා කියලා කවදා හරි හැඟිලා තියෙනවාද?— *
ඒ විදිහට හැඟුණු කෙනෙක් පුරාණයෙත් හිටියා. එයාගේ නම මෙෆිබොෂෙත්. එයාට එහෙම හැඟුණේ ඇයි කියලා අපි දැන් බලමු. ඔයාටත් කවදා හරි එහෙම හැඟිලා තියෙනවා නම් මෙෆිබොෂෙත්ගෙන් ඔයාට වටිනා පාඩමක් ඉගෙනගන්න පුළුවන්.
මෙෆිබොෂෙත් කියන්නේ දාවිත් රජගේ හොඳම යාළුවෙක් වුණු යොනාතාන්ගේ පුතාටයි. යොනාතාන් මැරෙන්න කලින් දාවිත් රජට කියලා තිබුණා තමාගේ ‘පවුලේ අයට ප්‍රේමණීයව සලකන්න’ කියලා. දාවිත් රජකමට පත් වෙලා අවුරුදු කිහිපයක් ගත වුණාට පස්සේ යොනාතාන් කිව්ව ඒ දේ දාවිත් රජට මතක් වුණා. හැබැයි ඒ වෙන කොට යොනාතාන්ගේ පවුලෙන් ඉතුරු වෙලා හිටියේ මෙෆිබොෂෙත් විතරයි. මෙෆිබොෂෙත් පොඩි කාලේදී අනතුරකට ලක් වුණ නිසා එයාගේ කකුල් කොර වෙලා තිබුණා. අනික් අය තමන්ට වෙනස් විදිහට සලකනවා කියලා එයාට හැඟෙන්න ඇත්තේ ඇයි කියලා ඔයාට දැන් තේරෙනවාද?—
දාවිත් රජ කැමති වුණා මෙෆිබොෂෙත්ට හොඳින් සලකන්න. ඒ නිසා දාවිත් රජු යෙරුසලමෙන් එයාට ගෙයක් දුන්නා. ඒ වගේම හැමදාම තමන් එක්ක එකට වාඩි වෙලා කෑම කන්නත් දාවිත් රජ ඔහුට ඉඩ දුන්නා. ඒ වගේම ෂීබා කියන මිනිසාවත් ඔහුගේ පුත්‍රයන් ඇතුළු තවත් සේවකයන්වත් මෙෆිබොෂෙත්ගේ මෙහෙකාරයන් විදිහට ලබා දුන්නා. ඊට පස්සේ මොකද වුණේ කියලා ඔයා දන්නවාද?—
දාවිත් රජගේ පුතෙක් වුණු අබ්සලොම්ට ඕනෙ වුණා දාවිත් රජව මරලා රජකම ලබාගන්න. ඒ නිසා ජීවිතේ
බේරගන්න දාවිත් රජ වෙන පළාතකට ගියා. රජකම් කිරීමට අයිතිය තියෙන්නේ දාවිත් රජුට කියලා දැන සිටිය ඔහුගේ මිතුරනුත් දාවිත් රජත් එක්කම ගියා. මෙෆිබොෂෙත්ගේ කකුල් කොර වෙලා තිබුණ නිසා එයාට යන්න ලැබුණේ නැහැ.හැබැයි මෙෆිබොෂෙත් දාවිත් රජ එක්ක ආවේ නැත්තේ එයත් රජකම ලබාගන්න උත්සාහ කරන නිසා කියලා ෂීබා දාවිත් රජට කිව්වා. ෂීබා කිව්ව ඒ බොරුව දාවිත් රජ විශ්වාස කළා. ඒ නිසා මෙෆිබොෂෙත්ට දීලා තිබුණු ඉඩකඩම් දාවිත් රජ ෂීබාට දුන්නා. වැඩි කල් යන්න කලින් දාවිත් රජ අබ්සලොම්ට විරුද්ධව කළ සටනින් ජය අරගෙන ආයෙත් යෙරුසලමට ආවා. ඊටපස්සේ දාවිත් රජ දැනගත්තා ෂීබා මෙෆිබොෂෙත් ගැන කිව්ව තොරතුරු බොරු කියලා. ඒ නිසා ෂීබාට දුන්න ඉඩකඩම්වලින් භාගයක් මෙෆිබොෂෙත්ට ගන්න කියලා දාවිත් රජ කිව්වා. ඔයා හිතන විදිහට ඒ වෙලාවේ මෙෆිබොෂෙත් මොනවා කරන්න ඇද්ද?—
දාවිත් රජගේ තීරණය නිසා තමාට අසාධාරණයක් වුණා කියලා මෙෆිබොෂෙත් කිව්වේ නැහැ. මොකද මෙෆිබොෂෙත්ට ඕනෙ වුණේ දාවිත් රජට සාමකාමීව පාලනය කරන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා දකින්නයි. ඒ නිසා ඉඩකඩම් ඔක්කොම ෂීබාටම දෙන්න කියලා ඔහු කිව්වා. හැම දේකටම වඩා මෙෆිබොෂෙත් සතුටු වුණේ දාවිත් ආයෙත් රජ හැටියට යෙරුසලමට ආව එක ගැනයි.
අනික් අය තමන්ට වෙනස් විදිහට සලකනවා කියලා මෙෆිබොෂෙත්ට හුඟක් අවස්ථාවලදී දැනෙන්න ඇති. හැබැයි යෙහෝවා දෙවි එයාව ආදරයෙන් රැකබලා ගත්තා. ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?— අපි හරි දේ කළත් සමහර අය අපි ගැන බොරු කියයි. එහෙම වුණොත් යේසුස් කිව්ව මේ දේ අපි මතක තියාගමු. ‘ලෝකය ඔබට වෛර කළොත් ඔබට වෛර කරන්න කලින් මට වෛර කළ බව ඔබ හොඳටම දන්නවා.’ යේසුස් කිසිම වරදක් කළේ නැතත් මිනිසුන් ඔහුව මරා දැමුවා. අපි දිගටම හරි දේ කළොත් යෙහෝවා දෙවි සහ යේසුස් අපට හුඟක් ආදරයෙන් සලකනවා.
බයිබලයෙන් කියවා බලන්න
^ 3 ඡේ. ඔබ මෙම ලිපිය කියවන්නේ දරුවෙකු සමඟ නම් (—) ඉරක් යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී දරුවාගෙන් ඒ ගැන අදහස් විමසන්න.