ඉගැන්වීම් පදනම් කරගත යුත්තේ කුමක් මතද?
ඉගැන්වීම් පදනම් කරගත යුත්තේ කුමක් මතද?
“මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි. එය ඉගැන්වීමටත් අවවාද කිරීමටත් කාරණා නිවැරදි කිරීමටත් ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත් ප්රයෝජනවත්ය.”—2 තිමෝති 3:16.
දරුවන්ට දෙවි ගැන නිවැරදි තොරතුරු ඉගැන්වීම වැදගත්. ඒවා සොයාගත හැක්කේ කොහෙන්ද? බොහෝදෙනා ගෞරවයෙන් සලකන ශුද්ධ පොතක් වන බයිබලයෙන් එම තොරතුරු සොයාගත හැකියි.
බයිබලය දෙවිගෙන් ලැබී තිබෙන ලිපියක් හා සමානයි. එය කියවීමෙන් දෙවි මොන වගේ ගතිගුණ ඇති කෙනෙක්ද කියා අවබෝධ කරගත හැකියි. බාල මහලු සියලුදෙනාට අවශ්‍ය මඟ පෙන්වීම්ද එහි සඳහන් වී තිබෙනවා. ඉන් කිහිපයක් සහ දරුවන් ඇතුළු අප සියලුදෙනාට ඉන් ඉගෙනගත හැක්කේ කුමක්ද කියා සලකා බලමු.
දෙවි ගැන සඳහන් වෙන්නේ මොනවාද?
▪ බයිබලයේ සඳහන් දේ: “යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තම දෙවි බව සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න.”—ගීතාවලිය 83:18.
උගත හැකි දේ: දෙවි සැබෑ පුද්ගලයෙක්. ඔහුට නමක් තිබෙනවා.
▪ බයිබලයේ සඳහන් දේ: “යෙහෝවා දෙවි සියලුදෙනාගේම සිත් සෝදිසි කර බලනවා. සෑම සිතුවිල්ලක්ම ඔහු හොඳින් තේරුම්ගන්නවා. ඔබ නිතරම ඔහුගේ මඟ පෙන්වීම් පතනවා නම් ඔහු ඔබව පිළිගෙන ඔබට උපකාර කරන බව නිසැකයි.”—1 ලේකම් 28:9.
උගත හැකි දේ: කුඩා දරුවන් ඇතුළු අප සියලුදෙනා ගැනම යෙහෝවා දෙවි බොහෝ සෙයින් සැලකිලිමත් වෙනවා. (ගීතාවලිය 10:14; 146:9) අප දෙවි ගැන ඉගෙනගන්නවාට දෙවි කැමතියි.
▪ බයිබලයේ සඳහන් දේ: ‘ඔබ පියා නැති දරුවන්ට හිරිහැර නොකළ යුතුයි. ඔබ ඔවුන්ට හිරිහැර කළොත් ඔවුන් හැඬූ කඳුළින් මට කරන කන්නලව්වලට මම අනිවාර්යයෙන්ම සවන් දෙන්නෙමි.’—නික්මයාම 22:22-24.
උගත හැකි දේ: යෙහෝවා දෙවි කුඩා දරුවන් ඇතුළු අප සියලුදෙනාට සවන් දෙනවා. ඒ නිසා නිතරම අපේ හැඟීම් දෙවිට පවසන්න පුළුවන්.
▪ බයිබලයේ සඳහන් දේ: “ඔවුහු දිගින් දිගටම දෙවිගේ ඉවසීම පරීක්ෂාවට ලක් කළෝය. ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ගේ සිතට වේදනා ඇති කළෝය.”—ගීතාවලිය 78:41.
උගත හැකි දේ: අප කරන කියන දේවලින් දෙවිව සතුටට හෝ දුකට පත් කළ හැකියි. ඒ නිසා යමක් කරන්න හෝ කියන්න කලින් ඒ ගැන හොඳින් සිතා බැලිය යුතුයි.
අපගේ ආගමට හෝ ජාතියට අයිති නැති අයට සැලකිය යුත්තේ කෙසේද?
▪ බයිබලයේ සඳහන් දේ: “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට දැන් හොඳට තේරෙනවා. මන්ද කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.”—ක්‍රියා 10:34, 35.
උගත හැකි දේ: දෙවි සියලුදෙනාටම එක හා සමානව සලකන නිසා අපත් ජාතිය, භාෂාව, ආගම හෝ සමේ පාට නොතකා සියලුදෙනාටම එක හා සමානව සැලකිය යුතුයි.
▪ බයිබලයේ සඳහන් දේ: “ඔබට තිබෙන බලාපොරොත්තුව ගැන විමසන සියලුදෙනාට පිළිතුරු දීමට ඔබ නිතරම සූදානම් වී සිටිය යුතුයි. එවැනි අවස්ථාවකදී මෘදුකමින් හා ගැඹුරු ගෞරවයක් පෙන්වමින් පිළිතුරු දීමට වගබලා ගන්න.”—1 පේතෘස් 3:15.
උගත හැකි දේ: අපගේ ආගමික විශ්වාසයන් ගැන අන් අය සමඟ කතා කරන විට ඒ සම්බන්ධයෙන් නිසැකකමක් තිබිය යුතු වුණත් අප කතා කළ යුත්තේ කාරුණිකවයි. අප සෑමවිටම අන් අයගේ ආගමික විශ්වාසයන්ට ගරු කළ යුතුයි.
පවුලේ සාමාජිකයන්ට සැලකිය යුත්තේ කෙසේද?
▪ බයිබලයේ සඳහන් දේ: “දරුවෙනි, සියලු කාරණාවලදී ඔබේ දෙමාපියන්ට කීකරු වන්න. මන්ද එසේ කිරීමෙන් ස්වාමීන් සතුටු වෙයි.”—කොලොස්සි 3:20.
උගත හැකි දේ: දෙමාපියන්ට කීකරු වීමෙන් ඔවුන්ට ප්‍රේම කරන බව පෙන්වන්න දරුවන්ට පුළුවන්. එසේ කිරීමෙන් දෙවිගේ සිත සතුටු කරන්නත් පුළුවන්.
▪ බයිබලයේ සඳහන් දේ: “අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් ඔවුන් ගැන ඉවසන්න. නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න. යෙහෝවා දෙවි ඔබට මුළු හදවතින්ම සමාව දී තිබෙන ආකාරයටම ඔබත් සමාව දෙන්න.”—කොලොස්සි 3:13.
උගත හැකි දේ: සමහර අවස්ථාවලදී අපගේ පවුලේ කෙනෙක් හෝ වෙනත් කෙනෙක් අපගේ සිත රිදවන්න පුළුවන්. හැමෝම අතින් වැරදි සිදු වන නිසා එවැනි අවස්ථාවලදී අප ඔවුන්ට සමාව දීමට ඉගෙනගත යුතුයි. අපගේ වැරදිවලට දෙවි සමාව දෙන්නේ එසේ කළොත් පමණයි.—මතෙව් 6:14, 15.
අවංක හා කාරුණික විය යුත්තේ ඇයි?
▪ බයිබලයේ සඳහන් දේ: “ඔබ දැන් සෑම වංචනික ක්‍රියාවක්ම අත්හැර දමා ඇති නිසා ඔබ එකිනෙකා තම අසල්වැසියා සමඟ සත්‍යය කතා කළ යුතුයි.”—එෆීස 4:25.
උගත හැකි දේ: සත්‍යය කතා කිරීමෙන් අප දෙවිව සතුටට පත් කරනවා. නමුත් අප පුරුද්දක් ලෙස බොරු කියනවා නම් “බොරුවේ පියා” ලෙස හඳුන්වා ඇති දෙවිගේ සතුරා වන යක්ෂයාව සතුටු කරනවා.—යොහන් 8:44; තීතස් 1:2.
▪ බයිබලයේ සඳහන් දේ: “අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න.”—මතෙව් 7:12.
උගත හැකි දේ: අපගේ පවුලේ අය ඇතුළු අප ඇසුරු කරන සියලුදෙනාගේ හැඟීම්, සිතුවිලි සහ අවශ්‍යතා ගැන අප සැලකිලිමත් විය යුතුයි. අප එසේ කරනවා නම් ඔවුන්ද අපට කාරුණිකව සලකන්න පෙලඹිය හැකියි.—1 පේතෘස් 3:8; ලූක් 6:38.
බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති ඉගෙනගැනීමෙන් අන් අයට ගරු කරන, අනුකම්පා කරන සහ කරුණාවන්ත වැඩිහිටියන් බවට පත් වීමට දරුවන්ට හැකි වෙනවා. එම වැදගත් ප්‍රතිපත්ති දරුවන්ට ඉගැන්විය යුත්තේ කවුද? ඊට පිළිතුර ඊළඟ ලිපියෙන් සලකා බලමු.