මට යෙප්තාගේ දුව වගේ වෙන්න ඕනේ වුණා
මට යෙප්තාගේ දුව වගේ වෙන්න ඕනේ වුණා
ජොඇනා සෝන්ස්
මම තරුණ කාලයේ ඉඳලා මට ලොකු ආසාවක් තිබුණා යෙප්තාගේ දුව වගේ වෙන්න. ඒකට හේතුව මොකක්ද කියලා මම විස්තර කරන්නම්.
මම මුල් වතාවට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවකට සහභාගි වුණේ 1956දීයි. ඒක තිබුණේ ඉන්දියාවේ බොම්බාය (දැන් මුම්බායි) කියන නගරයේයි. ඒ සමුළුවේදී යෙප්තාගේ දුව ගැන ඉදිරිපත් කළ කතාවක් මගේ හිතට තදින්ම කාවැදුණා.
යෙප්තාගේ දුව ගැන සඳහන් වෙලා තියෙන්නේ බයිබලයේයි. සමහරවිට ඕගොල්ලන් එයා ගැන අහලත් ඇති. එයා විවාහ නොවී ඉන්න කැමති වුණ නිසා ජීවිත කාලය පුරාම තනිකඩව යෙහෝවා දෙවිට සේවය කරන්න එයාට පුළුවන් වුණා.—විනිශ්චයකරුවෝ 11:28-40.
ඒ ආදර්ශය අනුගමනය කරමින් තනිකඩව දෙවිට සේවය කරන්න මටත් ලොකු ආශාවක් තිබුණා. ඒත් තනිකඩව ඉන්න එක අපේ සංස්කෘතියට විරුද්ධ දෙයක් නිසා ඒක කරන්න මට ලෙහෙසි වුණේ නැහැ.
මගේ පවුල් පසුබිම
මගේ තාත්තගේ නම බෙන්ජමින්. අම්මගේ නම මර්සිලිනා සෝන්ස්. අපේ පවුලේ දරුවන් හයදෙනාගෙන් පස්වෙනියා මමයි. අපි හැදී වැඩුණේ ඉන්දියාවේ උඩුපි කියන නගරයේයි. අපේ මව් භාෂාව ටුලූ. ඒ වුණත් අපි අධ්‍යාපනය ලැබුවේ කන්නාඩා භාෂාවෙන්.
විවාහ වෙන්න බැරි වුණ නිසා නැත්නම් තනිකම නිසා තමන්ට පාළුවක් දැනෙනවා කියලාවත් තමන්ට සතුටක් නැහැ කියලාවත් කියන අය මම දැකලා නැහැ. මොකද මේ පළාතේ ඉන්න අය ඒ වගේ තත්වයන්වලට මුහුණ දීලා නැති තරම්. හැමෝම විවාහ වෙනවා, දරුවන් හදනවා. ඒ වගේම පවුලේ හැමෝම එකට ජීවත් වෙනවා. අපිත් එහෙමයි. අපේ අච්චියි සීයයි, නැන්දලයි මාමලයි, ඒ අයගේ දරුවනුයි මේ හැමෝම ජීවත් වුණේ අපේ ගෙදර.
අපේ සංස්කෘතියට අනුව දරුවන්ට ලැබෙන්නේ අම්මගේ වාසගම. දේපළවලින් වැඩි කොටසක් ලැබුණේ දුවලටයි. ටුලූ භාෂාව කතා කරන සමහර පවුල්වල, දුවෙක් විවාහ වුණාට පස්සෙත් එයා දිගටම ඉන්නේ අම්මගේ ගෙදර. ස්වාමිපුරුෂයාත් ඒ ගෙදරම නතර වෙනවා.
අපේ පවුලේ අය කලින් හිටිය ආගම අත්හැරලා පල්ලි යන්න පටන්ගත්තට පස්සේ වෙනස්කම් කිහිපයක්ම සිද්ධ වුණා. හැම හැන්දෑවකම පවුලේ අයව එකතු කරගෙන යාච්ඤා කරන්නත් බයිබලයෙන් කොටසක් කියවන්නත් අපේ සීයා මූලිකත්වය ගත්තා. සීයා එයා ළඟ තියෙන බයිබලය හුඟක් වටිනා දෙයක් විදිහට සැලකුවා. සීයා ඒක හුඟක් පාවිච්චි කරන නිසා කොළත් ගැලවිලයි තිබුණේ. දවසක් සීයා කියවපු බයිබල් පදයක මෙහෙම තිබුණා. “යෙහෝවා දෙවි මාගේ එඬේරාය. මට කිසි හිඟයක් නොවන්නේය.” (ගීතාවලිය 23:1) ‘යෙහෝවා කියන්නේ කවුද, ඒ වගේම ඔහුව එඬේරෙක් විදිහට හඳුන්වලා තියෙන්නේ ඇයි’ කියලා එදා මම කල්පනා කළා.
හේතුව මම දැනගත්තා
දෙවන ලෝක මහා යුද්ධය නිසා ආර්ථික දුෂ්කරතා ඇති වුණා. ඒ නිසා අපි කිලෝමීටර් 900ක් දුරින් තිබුණු බොම්බායට පදිංචියට ගියා. එහේ ඉන්න කොට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙන්නෙක් අපේ ගෙදරට ආවා. ඒ 1945දීයි. එයාලා බයිබලය මත පදනම් පොතක් අපේ තාත්තට දුන්නා. තාත්තා පුදුම උනන්දුවකින් ඒක සම්පූර්ණයෙන්ම කියෙව්වා. ඊටපස්සේ ඒකේ තිබුණු
තොරතුරු අනිත් මිනිසුන්ටත් කිව්වා. වර්ෂ 1950 ගණන්වල මුල් කාලයේදී කන්නාඩා භාෂාවෙන් සාක්ෂිකරුවන්ගේ පළමු සභාව බොම්බායේ පිහිටෙව්වා.අම්මයි තාත්තයි නිතරම අපිට කිව්වා බයිබලයේ තියෙන දේවල් හොඳට ඉගෙනගෙන අනිත් අයටත් ඒ දේවල් උගන්වන්න කියලා. හැම දවසකම ඒ දෙන්නා අපිත් එක්ක එකට යාච්ඤා කරන්නත් බයිබලයේ තියෙන දේවල් අපිට කියලා දෙන්නත් වෙලාව වෙන් කරගත්තා. (ද්විතීය කතාව 6:6, 7; 2 තිමෝති 3:14-16) දවසක් මම බයිබලය කියවන කොට, යෙහෝවා දෙවිව එඬේරෙක් කියලා හඳුන්වන්නේ ඇයි කියලා මට තිබුණු ප්‍රශ්නෙට උත්තරය ලැබුණා. ඔහු අපිට මඟ පෙන්වමින්, අපිව පෝෂණය කරමින් අපිව ආරක්ෂා කරන නිසා ඔහුව එසේ හඳුන්වනවා කියලා මම ඉගෙනගත්තා.—ගීතාවලිය 23:1-6; 83:18.
යෙහෝවා දෙවි මාව පුහුණු කළා
බොම්බායේ 1956දී පැවැත්වූ සමුළුවෙන් ටික කාලයකට පස්සේ මම බව්තීස්ම වුණා. මාස හයකට පස්සේ මම මගේ අයියා වගේ යෙහෝවා දෙවිට පූර්ණකාලීනව සේවය කරන්න පටන්ගත්තා. අනිත් අයට බයිබලයේ තියෙන දේවල් කියලා දෙන්න මට ලොකු උවමනාවක් තිබුණත් මම කතා කරගෙන යන කොට මගේ උගුර කට වේළිලා යනවා. කියන්න හදන වචන ගොතගැහෙනවා. මාව වෙවුලන්නත් පටන්ගන්නවා. යෙහෝවා දෙවිගේ උපකාරය නැතුව මට තනියම මේ දේ කරන්න බැහැ කියලා මම හිතුවා.
කැනඩාවේ ඉඳලා මෙහේ සේවය කරන්න ආව හෝමර් සහ රූත් මර්කා යුවළ මට හුඟක් උදව් කළා. සේවයේදී දියුණු වෙන්න ඕන හැම පැත්තක් ගැනම එයාලා මට කියලා දුන්නා. හුඟක් වෙලාවට ගෙවල්වලට ගිහිල්ලා මිනිසුන් එක්ක කතා කරන විදිහ ගැන රූත් මාත් එක්ක පෙරහුරු කළා. මම කලබල වෙන වෙලාවට එයා මගේ අතින් අල්ලගෙන මාව සන්සුන් කරන්න මෙහෙම කියනවා. “දුක් වෙන්න එපා. ඊළඟ ගෙදරට කතා කරන්න බලමු.” ඒක මට ලොකු ශක්තියක් වුණා.
එලිසබෙත් චක්රනාරායන් කියන මහලු සහෝදරිය මාත් එක්ක පූර්ණකාලීන සේවය කරන්න හවුල් වෙනවා කියලා මට දැනගන්න ලැබුණා. ‘මහලු වයසේ ඉන්න එයත් එක්ක මට ඉන්න පුළුවන් වෙයිද’ කියලා මම කල්පනා කළා. හැබැයි එයත් එක්ක වැඩ කරන කොට මට ලොකු පුහුණුවක් ලැබුණා.
“අපි තනි වෙලා නැහැ”
අපිට මුල්ම පැවරුම ලැබුණේ බොම්බායේ ඉඳලා කිලෝමීටර් 400ක් විතර එහායින් තිබුණු ඕරන්ගබාද් නගරයටයි. මිලියනයක් විතර සෙනඟ හිටිය ඒ නගරයේ සාක්ෂිකාරයන් හැටියට හිටියේ අපි දෙන්නා විතරයි. එහේ හිටිය හුඟදෙනෙක් කතා කළේ මරාටි භාෂාව නිසා මට ඒ භාෂාව ඉගෙනගන්න සිද්ධ වුණා.
සමහර වෙලාවලට මට ලොකු තනිකමක් දැනුණා. ඒ වෙලාවට මම අම්ම කෙනෙක් නැති දරුවෙක් වගේ අඬනවා. හැබැයි එලිසබෙත් අම්ම කෙනෙක් වගේ මාව දිරිගන්වන්න මෙහෙම කියනවා. “සමහර වෙලාවට අපි හැමෝටම තනිකමක් දැනෙනවා. ඒත් අපි තනි වෙලා නැහැ. ඔයාගේ පවුලේ අය, යාළුවෝ දැන් ඔයා ළඟ නැති වුණත් යෙහෝවා දෙවි ඔයත් එක්ක ඉන්නවා. ඒ නිසා දෙවිව ඔයාගේ හොඳම යාළුවා කරගන්න. එතකොට ඔයාට දැනෙන තනිකම නැති වෙලා යයි.” එලිසබෙත් කියපු ඒ දේවල් කොච්චර වටිනවාද කියලා මම අදටත් අද්දකිනවා.
අපිට බස් එකේ යන්න සල්ලි මදි වුණාම අපි පයින් යනවා. සමහර වෙලාවට කිලෝමීටර් 20ක් විතර ඇවිදින්න වෙනවා. සමහර දවස්වලට හුඟක් රස්නෙයි. තවත් දවස්වලට හොඳටම සීතලයි. මෝසම් වැසි කාලයේදී සමහර තැන් මාස ගාණක් යනකම් මඩ වෙලා තියෙනවා. මේ හැම දෙයකටම වඩා පාරම්පරික අදහස්වල ගිලිලා හිටිය මිනිසුන්ට ශුභාරංචිය කියන එක ලොකු අභියෝගයක් වුණා.
සාමාන්‍යයෙන් ගැහැනු අය පිරිමි අය එක්ක කතා කරන්නේ නැහැ. එහෙම කතා කරන්නේ නෑදෑයන් එක්ක විතරයි. ඒ වගේම ගැහැනු අය පිරිමි අයට උගන්වන්නේත් නැහැ. ඒ නිසා අපිට සමච්චල්වලටත්
ප්‍රශ්න ගැටලුවලටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. මුල් මාස හයේදී රැස්වීම්වලට හිටියේ අපි දෙන්නා විතරයි. හැබැයි ඊටපස්සේ තවත් අය අපිත් එක්ක එකතු වුණා. සමහර අය අපිත් එක්ක ශුභාරංචිය ප්‍රකාශ කරන්නත් හවුල් වුණා.“හැකියාවන් දියුණු කරගන්න”
අවුරුදු දෙකහමාරකට විතර පස්සේ අපිට බොම්බායට පැවරුමක් ලැබුණා. එලිසබෙත් බොම්බායේ දිගටම දේවසේවය කරගෙන ගියා. පරිවර්තන කටයුතුවලට තාත්තට උදව් වෙන්න කියලා මට දැනුම් දුන්නා. ඒ වෙද්දී බයිබලය මත පදනම් ප්‍රකාශන කන්නාඩා භාෂාවට පරිවර්තනය කළේ අපේ තාත්තා විතරයි. තාත්තාට සභාවේත් හුඟක් වගකීම් තිබුණා. ඒ නිසා මං එහේ ගියාම තාත්තා හුඟක් සතුටු වුණා.
අම්මයි තාත්තයි 1966දී ආයෙත් උඩුපිවලට පදිංචියට ගියා. තාත්තා යන්න කලින් මට මෙහෙම කිව්වා. “දුවේ, දිගටම ඔයාගේ හැකියාවන් දියුණු කරගන්න. සරලව, පැහැදිලිව පරිවර්තන කරන්න. ඔයා ගැන ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා. නිහතමානී වෙලා දෙවි මත රඳා ඉන්න.” තාත්තා උඩුපිවලට ගිහින් වැඩි කාලයක් යන්න කලින් මැරුණා. තාත්තා මට දීපු ඒ උපදෙස් පරිවර්තන කටයුතු කරද්දී අදටත් මට ලොකු උදව්වක් වෙලා තියෙනවා.
“ඔයා විවාහ වෙලා දරුවන්ව හදන්න කැමති නැද්ද?”
ඉන්දියාවේ සංස්කෘතියට අනුව දරුවන් තරුණ වයසට ආව ගමන්ම දෙමාපියන් ඉක්මනින්ම එයාලව විවාහ කර දෙනවා. ඊටපස්සේ දරුමල්ලන්ව හදන්න කියලා ඒ අය දිරිගන්වනවා. ඒ නිසා අනිත් අය මගෙන් හුඟක් වෙලාවට මෙහෙම අහනවා. “ඔයා විවාහ වෙලා දරුවන්ව හදන්න කැමති නැද්ද? ඔයා වයසට ගියාම කවුද ඔයාව බලාගන්නේ? ඔයාට තනිකමක් දැනෙන එකක් නැද්ද?”
ගොඩක් අය එහෙම අහන කොට මට ඒක දරාගන්න අමාරුයි. ඒත් මම ඒක අනිත් අයට දැනෙන්න සලස්වන්නේ නැහැ. හැබැයි ඒ හැම දෙයක් ගැනම මම යෙහෝවා දෙවිට කියනවා. යෙහෝවා දෙවි මාව නොවටිනා කෙනෙක් විදිහට සලකන්නේ නැහැ කියලා මම හොඳටම දන්නවා. දිගටම තනිකඩයෙක් විදිහට දෙවිට සේවය කරන්න යෙප්තාගේ දුවගේ ආදර්ශයත් යේසුස්ගේ ආදර්ශයත් මට හුඟක් ප්‍රයෝජනවත් වුණා.—යොහන් 4:34.
යෙහෝවා දෙවිගෙන් ලැබුණු තෑග්ගක්
එලිසබෙත් සහ මම අවුරුදු 50ක් විතර හොඳ යාළුවන් විදිහට ආශ්‍රය කළා. එයා වයස අවුරුදු 98දී ඒ කියන්නේ 2005දී මැරුණා. එයා ජීවත් වෙලා හිටිය අන්තිම අවුරුදු කිහිපයේදී එයාගේ ඇස් පෙනීම දුර්වල වුණ නිසා එයාට බයිබලය කියවන්න පුළුවන් වුණේ නැහැ. ඒ නිසා එයා නිතරම යෙහෝවා දෙවිට යාච්ඤා කළා. සමහර දවස්වල එයා යාච්ඤා කරද්දී මට ඇහෙන්නේ එයා තව කෙනෙක් එක්ක කතා කරනවා වගේයි. එයා යෙහෝවා දෙවිව සැලකුවේ සැබෑ පුද්ගලයෙක් විදිහටයි. හැමතිස්සෙම යෙහෝවා දෙවි එයත් එක්ක ඉන්නවා කියලා එයා හිතුවා. යෙප්තාගේ දුව වගේ දිගටම දෙවිට සේවය කරන්න නම් යෙහෝවා දෙවිත් එක්ක ඒ වගේ මිත්‍රත්වයක් ඇති කරගැනීම අත්‍යවශ්‍යයි කියලා මම තේරුම්ගත්තා. මගේ තරුණ වයසේදීම එලිසබෙත් වගේ කෙනෙක්ව ඇසුරු කරන්න ලැබීම ගැන මම යෙහෝවා දෙවිට හුඟක් ස්තුතිවන්ත වෙනවා.—දේශනාකාරයා 4:9, 10.
යෙප්තාගේ දුව වගේ යෙහෝවා දෙවිට සේවය කරන්න ලැබුණු අවස්ථාව මම සලකන්නේ ලොකු ආශීර්වාදයක් විදිහටයි. බයිබල් ප්‍රතිපත්ති මගේ ජීවිතයට අදාළ කරගත්ත නිසා ‘සිත වෙනතකට යොමු නොකර ස්වාමීන්ට නොකඩවා සේවය කිරීමෙන්’ මම ලොකු සතුටක් ලබනවා.—1 කොරින්ති 7:35.
[28වන පිටුවේ පින්තූරය]
මගේ තාත්තා බොම්බායේ කතාවක් ඉදිරිපත් කරමින්, 1950දී
[28වන පිටුවේ පින්තූරය]
එලිසබෙත් මිය යන්න ටික කාලයකට කලින්
[29වන පිටුවේ පින්තූරය]
ප්‍රසිද්ධ කතාවකට මහජනයාට ආරාධනා කරමින්, 1960දී
[29වන පිටුවේ පින්තූරය]
පරිවර්තන කණ්ඩායම සමඟ