Skip to content

පටුනට යන්න

ඔහු කවුද?

ඔහු කවුද?

ඔහු කවුද?

පුරාණයේ සිටි ආගම දහමට ළැදි පුද්ගලයන් අතරින් අද වන විට මිනිසුන්ගේ මතකයේ රැඳී තිබෙන්නේ අතළොස්සකගේ නම් පමණයි. ආබ්‍රහම් ඒ අතරින් කෙනෙක්. * යුදෙව්වන්, ඉස්ලාම් භක්තිකයන් සහ ක්‍රිස්තියානීන් ඔහුව ගෞරවයෙන් සලකනවා. බයිබලයෙහි ඔහුව හඳුන්වා තිබෙන්නේ “ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලබන සියලුදෙනාගේම පියා” ලෙසයි.—රෝම 4:11.

අදටත් මිනිසුන් ආබ්‍රහම්ට ගරු කරන්නේ ඇයි? ඊට එක් හේතුවක් නම් දෙවිගේ මිතුරා ලෙස බයිබලයේ ඍජුවම හඳුන්වා තිබෙන්නේ ඔහුව පමණක් වීමයි.—යෙසායා 41:8; යාකොබ් 2:23.

අද අප මුහුණ දෙනවා හා සමාන ප්‍රශ්න ගැටලු ආබ්‍රහම්ද අද්දැක්කා. ඔහු ඒ සෑම අවස්ථාවකදීම ඒවාට සාර්ථකව මුහුණ දුන්නා. ඔහුට එසේ කිරීමට හැකි වුණේ කොහොමද කියා දැන් අපි සලකා බලමු.

හැදී වැඩුණු පරිසරය

ක්‍රිස්තු පූර්ව 2018දී උපත ලද ඔහු හැදී වැඩුණේ ඌර් නම් නගරයේයි. (උත්පත්ති 11:27-31) එම නගරය ඉතා විශාල මෙන්ම සව්සිරියෙන් පිරි නගරයක්. එම නගරය නම් දරා තිබුණේ බොරු දෙවිවරුන්ට නමස්කාර කළ මිනිසුන්ගෙන් පිරි නගරයක් ලෙසයි. ආබ්‍රහම්ගේ පියා වූ ටේරාද බොරු දෙවිවරුන්ට නමස්කාර කළ කෙනෙක්. (යොෂුවා 24:2) නමුත් ආබ්‍රහම් නමස්කාර කළේ එකම සැබෑ දෙවි වූ යෙහෝවාට පමණයි.

ආබ්‍රහම් යෙහෝවා දෙවිට පමණක් නමස්කාර කළේ ඇයි? නෝවාගේ පුත්‍රයෙක් වූ ෂෙම්ව කිට්ටුවෙන් ඇසුරු කිරීමට ඔහුට අවස්ථාව ලැබෙන්න ඇති. එසේ වූවා නම් නෝවාගේ කාලයේ සිදු වූ ජලගැල්මෙන් සියලුම දුෂ්ට මිනිසුන් විනාශ වූ ආකාරය ගැනත් දෙවිට පමණක් නමස්කාර කළ නිසා නෝවාගේ පවුලේ අය ඉන් ගැලවුණ ආකාරය ගැනත් ඔහු දැනගන්න ඇති. යෙහෝවා දෙවිට නමස්කාර කිරීම කොතරම් වැදගත්ද කියා ඔහු ඒ දේවලින් තේරුම්ගත් බවට සැකයක් නැහැ.

දෙවි කැමති ආකාරයෙන් ජීවත් වීමට ආබ්‍රහම් උපරිම වෑයමක් දැරුවා. මිනිසුන්ගේ සිතේ තිබෙන දේවල් තේරුම්ගැනීමට හැකියාව තිබෙන දෙවි, එම වෑයම දුටු අතර දිගටම යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම් ඔහුට ලබා දුන්නා.—හිතෝපදේශ 17:3; 2 ලේකම් 16:9.

ඔහු ගත කළ ජීවිතය

ආබ්‍රහම් තෘප්තිමත් ජීවිතයක් ගත කළා. ඉන් අදහස් කරන්නේ ඔහු දුෂ්කර තත්වයන්වලට මුහුණ නුදුන්නා කියා නොවෙයි. එවැනි අවස්ථා කිහිපයක් ගැන අපි දැන් බලමු.

ඌර් දේශයේ සිටියදී එම නගරයෙන් පිටත්ව තමා පෙන්වන ස්ථානයට යන්න කියා යෙහෝවා දෙවි ආබ්‍රහම්ට පැවසුවා. යෙහෝවා දෙවි එසේ පැවසුවේ ඇයි කියාවත් යෑමට සිදු වන්නේ කොහේටද කියාවත් ආබ්‍රහම් සහ සාරා දැනගෙන සිටියේ නැහැ. ඒ වුණත් ඔවුන් දෙවි පැවසූ දේට කීකරු වුණා. අවසානයේදී ඔවුන් කානාන් නම් නුවරට ගොස් කූඩාරම් ගසාගෙන විදේශිකයන් ලෙස ජීවත් වුණා.—ක්‍රියා 7:2, 3; හෙබ්‍රෙව් 11:8, 9, 13.

ඒ වන විට ඔවුන්ට දරුවන් සිටියේ නැහැ. නමුත් ආබ්‍රහම්ගෙන් විශාල ජාතියක් බිහි කරන බව යෙහෝවා දෙවි පොරොන්දු වුණා. ඒ වගේම ආබ්‍රහම් තුළින් පොළොවේ සියලුම වැසියන් ආශීර්වාද ලබන බවත් දෙවි පැවසුවා. (උත්පත්ති 11:30; 12:1-3) පසු කාලයකදී යෙහෝවා දෙවි එම පොරොන්දුව ගැන නැවත මතක් කරමින් ගණන් කළ නොහැකි තරම් විශාල ජාතියක් ඔහුගෙන් බිහි වීමට සලස්වන බව පැවසුවා.—උත්පත්ති 15:5, 6.

ආබ්‍රහම්ට පුත්‍රයෙක් ලබා දෙන බවට දෙවි පොරොන්දු වූ විට ආබ්‍රහම්ගේ වයස අවුරුදු 99ක් සහ සාරාගේ වයස අවුරුදු 90ක් වුණා. මහලු වයසේ සිටි නිසා එය ඇසීමෙන් ඔවුන් පුදුම වුණා. ඒ වුණත් ‘යෙහෝවා දෙවිට කළ නොහැකි දෙයක් නැති’ බව ඔවුන් ඉක්මනින්ම තේරුම්ගත්තා. (උත්පත්ති 18:14) ඊළඟ වසරේදී සාරා පුත්‍රයෙකුව බිහි කළ අතර ඔහුට ඊසාක් යන නම තැබුවා. (උත්පත්ති 17:21; 21:1-5) දෙවි ලබා දුන් පොරොන්දුව ඉටු කරන්නේ ඊසාක් තුළින් බව දෙවි ආබ්‍රහම්ට පැවසුවා.

ටික කාලයක් ගත වූ පසු ආබ්‍රහම් ආදරයෙන් හදා වඩා ගත් ඊසාක්ව පූජා කරන්න කියා දෙවි ඔහුට පැවසුවා. ඒ වන විට යෞවන වයසේ සිටි ඊසාක් විවාහ වී සිටියේ නැහැ. * තම පුත්‍රයාව පූජා කිරීම ගැන සිතන විටත් ආබ්‍රහම්ට දරාගත නොහැකි වේදනාවක් දැනුණු බවට සැකයක් නැහැ. ඒ වුණත් ඔහු දෙවිට කීකරු වුණා. දෙවි ලබා දී තිබූ පොරොන්දුව ඉටු කිරීම සඳහා අවශ්‍ය නම් ඊසාක්ව නැවත නැඟිටුවන්න දෙවිට හැකි බව ආබ්‍රහම් හොඳින්ම දැන සිටියා. (හෙබ්‍රෙව් 11:19) කොහොමවුණත් ආබ්‍රහම්, ඊසාක්ව පූජා කරන්න උත්සාහ කරන විටම දෙවි ඔහුව වැළැක්වුවා. ආබ්‍රහම්ට දෙවි කෙරෙහි එතරම් විශ්වාසයක් තිබීම ගැන දෙවි ඔහුව අගය කළා. පසුව ඔහුට ලබා දුන් පොරොන්දුව එලෙසම ඉටු කරන බවට දෙවි සහතික කළා.—උත්පත්ති 22:1-18.

ආබ්‍රහම්ට යහපත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලබා දෙන බවට දෙවි පොරොන්දු වුණා. (උත්පත්ති 15:15) වයස අවුරුදු 175දී ආබ්‍රහම් මිය යන විට එම පොරොන්දුව ඉටු වී තිබුණා.—උත්පත්ති 25:7, 8.

ඔහුගේ ආදර්ශය

ආබ්‍රහම් අතීතයේ සිටි ආගම දහමට ළැදිව ජීවත් වූ කෙනෙක් පමණක් නොවෙයි. ඔහු ජීවිතය ගත කළ ආකාරයෙන් අපටත් බොහෝ දේවල් ඉගෙනගත හැකියි. (හෙබ්‍රෙව් 11:8-10, 17-19) ඉන් කිහිපයක් ගැන ඉදිරි ලිපිවල සඳහන් වෙනවා.

[පාදසටහන්වල]

^ 2 ඡේ. “සමූහයකගේ පියා” යන අර්ථය ඇති ආබ්‍රහම් යන නාමයත් “කුමාරිකාව” යන අර්ථය ඇති සාරා යන නාමයත් ඔහුට සහ ඔහුගේ භාර්යාවට ලබා දුන්නේ යෙහෝවා දෙවි විසිනුයි. ඊට කලින් ඔවුන්ව හැඳින්වූයේ ආබ්‍රම් සහ සාරායි ලෙසයි.—උත්පත්ති 17:5, 15.

^ 14 ඡේ. මෙම සඟරාවේ 23වෙනි පිටුවේ ඇති “පාඨකයන් අසයි” නමැති ලිපිය බලන්න.

[4වන පිටුවේ කොටුව]

කැපීපෙනෙන චරිතයක්

බයිබලයේ මුල් පොත වන උත්පත්ති පොතේ සඳහන් පළමු පරිච්ඡේද දහය තුළ දෙවි කෙරෙහි විශ්වාසය තැබූ ආබෙල්, ඒනොක්, නෝවා ඇතුළු තවත් අය ගැන සඳහන් වෙනවා. නමුත් ඊළඟ පරිච්ඡේද 15 තුළ වැඩිපුරම සඳහන් වී තිබෙන්නේ ආබ්‍රහම් ගැනයි.

බයිබලයේ බොහෝ වැදගත් කාරණා මුලින්ම සඳහන් කර තිබෙන්නේ ආබ්‍රහම්ගේ ජීවිත කතාව සමඟයි. උදාහරණ කිහිපයක් පහත දැක්වෙනවා.

▪ දෙවි පලිහක් මෙන් ක්‍රියා කරන බව.—උත්පත්ති 15:1; ද්විතීය කතාව 33:29; ගීතාවලිය 115:9; හිතෝපදේශ 30:5.

▪ දෙවි කෙරෙහි විශ්වාසය තැබිය හැකි බව.—උත්පත්ති 15:6.

අනාගතවක්තෘවරයෙකු ගැන.—උත්පත්ති 20:7.

▪ පියෙකුගේ ආදරය ගැන.—උත්පත්ති 22:2.