Skip to content

පටුනට යන්න

හර්–මගෙදොන් එය සිදු වන්නේ කවදාද?

හර්–මගෙදොන් එය සිදු වන්නේ කවදාද?

හර්–මගෙදොන් එය සිදු වන්නේ කවදාද?

‘මම මහත් සමූහයක් දුටුවෙමි. බලන්න, එම සමූහය කිසිවෙකුට ගණන් කළ නොහැකි විය. සියලු ජාතීහුද ගෝත්‍රද ජනයාද සියලු භාෂා කතා කරන අයද එම සමූහයට අයත් වූහ. ඔවුන් මහත් පීඩාවෙන් බේරී එන අයයි.’—එළිදරව් 7:9, 14.

හර්–මගෙදොන් යුද්ධය ඉතා ළඟදීම ආරම්භ වීමට නියමිතයි.

සියලු ජාතීන්ට හා ගෝත්‍රවලට අයත් විවිධ භාෂා කතා කරන මහත් සමූහයක් මේ වන විටත් යෙහෝවා දෙවිට නමස්කාර කරමින් බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙනවා. ඔවුන් එකිනෙකාව සලකන්නේ සහෝදර සහෝදරියන් ලෙසයි. ඒ සෙනඟව හඳුන්වන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යන නමිනුයි.—යොහන් 13:35.

කිසි පිළිසරණක් නැති බව පෙනෙන්න තිබෙන එම සෙනඟට විරුද්ධව ඉතා ළඟදීම යක්ෂයා සිය අවසන් ප්‍රහාරය එල්ල කිරීමට ඔහුගේ දුෂ්ට සේනාව යොදාගැනීමට නියමිතයි. (එසකියෙල් 38:8-12; එළිදරව් 16:13, 14, 16) එය ළඟදීම සිදු වන බව ස්ථිරවම පැවසිය හැක්කේ ඇයි? එම ප්‍රහාරය ආරම්භ වීමට ආසන්න වන විට සිදු වන දේවල් ගැන බයිබලයේ සඳහන් කර තිබෙනවා. ඉන් බොහොමයක් දැනටමත් සිදු වෙනවා.

දැනටමත් සිදු වන දේවල්

‘පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදයේ’ සිදු වන දේවල් ගැන බයිබලයේ සඳහන් වෙනවා. (මතෙව් 24:3) ‘ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් නැඟී සිටින බවත් එක් තැනක් පාසා තවත් තැනක ආහාර හිඟකම්ද භූමිකම්පාද සිදු වන’ බවත් බයිබලයේ සඳහන් වෙනවා. “ඒ සියල්ල දරුණු විපත්වල ආරම්භයක් පමණයි” කියාද එහි සඳහන් වෙනවා. (මතෙව් 24:7, 8) බයිබල් ලේඛකයෙක් වන පාවුල්ද පැවසුවේ “අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන” බවයි. (2 තිමෝති 3:1) ඒවා දැනටමත් සිදු වන බව ඔබ පිළිගන්නවාද?

පවතින මේ සමාජයේ අවසාන කාලයේ ජීවත් වීම එතරම්ම අමාරු වන්නේ ඇයි? ඊට හේතුව, තමාට ඇත්තේ “ඉතා කෙටි කාල පරිච්ඡේදයක්” බව තේරුම්ගෙන සිටින යක්ෂයා “මහත් කෝපයෙන්” ක්‍රියා කිරීමයි. (එළිදරව් 12:7-12) ලොව පුරා ජීවත් වන මිනිසුන්ගෙන් බහුතරයක් යක්ෂයා මෙන් කෝපයෙන් සිටින බව ඔබ දැක තිබෙනවාද?

මේ අසීරු කාලයේදී සිදු වන ඉතා වැදගත් කාර්යයක් ගැන බයිබලයේ එක් අනාවැකියක මෙසේ සඳහන් වෙනවා. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.” (මතෙව් 24:14) වර්තමානයේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රටවල් 235ක භාෂා 500කට වඩා වැඩි ගණනකින් එම ශුභාරංචිය ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ ප්‍රකාශන දෙකක් වන මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ලෝකයේ වැඩියෙන්ම බෙදාහරින සඟරා දෙකයි. ඒ වගේම භාෂා 100කින් පමණ ඔවුන් බයිබලය පරිවර්තනය කර තිබෙනවා. ඒ කාර්යයන් සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට වැටුපක් ගෙවන්නේ නැහැ. ඒ සඳහා යන වියදම් ඔවුන් පියවගන්නේ ඔවුන්ට ලැබෙන සම්මාදම්වලිනුයි. ඒ සියලු දේ ඉහත සඳහන් අනාවැකියේ ඉටු වීමක් කියා ඔබ සිතන්නේ නැද්ද?

යෙහෝවා දෙවි සහ ඔහුගේ සතුරන් අතර ඇති වන යුද්ධයට පෙර සිදු විය යුතු තවත් සිදුවීම් කිහිපයක් තිබෙනවා. අපි දැන් ඒ ගැන බලමු.

ඉදිරියේදී සිදු වන්නේ කුමක්ද?

පළමු සිදුවීම. “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියා ලෝක නායකයන් පවසන බව බයිබලයේ සඳහන් වෙනවා. මිනිසා මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න ගැටලු ඉතා ඉක්මනින් විසඳීමට තමන්ට හැකි බව ඔවුන් සිතනවා. නමුත් කිසිම විටක ඔවුන්ට එවැනි සාමකාමී කාලයක් උදා කිරීමට හැකි වන්නේ නැහැ.—1 තෙසලෝනික 5:1-3.

දෙවන සිදුවීම. ඉන්පසු බොහෝ ආණ්ඩු විසින් ආගම්වලට එරෙහිව පියවර ගැනීමට නියමිතයි. එම ආණ්ඩු සංකේතවත් කිරීමට බයිබලයේ යොදාගන්නේ මෘගයෙකුවයි. දෙවි ගැන අසත්‍ය උගන්වන ආගම් සංකේතවත් කිරීමට යොදාගෙන තිබෙන්නේ ස්ත්‍රියකවයි. එම ස්ත්‍රිය මෘගයාගේ පිට උඩ හිඳගෙන සිටින බවත් අවසානයේදී මෘගයා විසින් ස්ත්‍රියව විනාශ කර දමන බවත් බයිබලයේ සඳහන් වෙනවා. (එළිදරව් 17:3, 15-18) ඉන් අදහස් කරන්නේ ආණ්ඩු විසින් දෙවි ගැන අසත්‍ය උගන්වන ආගම් සම්පූර්ණයෙන්ම විනාශ කර දමන බවයි. එම අදහස ආණ්ඩු තුළ ඇති කරන්නේ යෙහෝවා දෙවියි.

බයිබල් ලේඛකයෙක් වන යොහන් එම සිදුවීම මෙසේ වාර්තා කරනවා. “ඔබ දුටු අං දසය හා මෘගයා ගණිකාවට වෛර වී ඇයව පාළු කර, නිරුවත් කර, ඇගේ මස් මාංස කා දමා ඇයව සහමුලින්ම ගින්නෙන් දවන්නෝය. මන්ද දෙවි තමන් අරමුණු කරන දේ ඉටු කිරීමට ඔවුන්ගේ මනස් තුළට යම් අදහසක් දමා ඇත.”—එළිදරව් 17:16, 17.

තුන්වන සිදුවීම. දෙවි ගැන අසත්‍ය උගන්වන ආගම් පොළොවෙන් ඉවත් කිරීමෙන් පසු සාතන් ඔහුගේ සගයන්ව යොදාගෙන දෙවිට නමස්කාර කරන ජනයාට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස හර්–මගෙදොන් යුද්ධය ආරම්භ වෙනවා.—එළිදරව් 7:14; මතෙව් 24:21.

ඔබට එය බලපාන්නේ කොහොමද?

ඔබ බයිබලය ගැන ගැඹුරට අධ්‍යයනය කර නැත්නම් ඉහත සඳහන් කළ සිදුවීම් සිදු වෙයි කියා පිළිගැනීම ඔබට අමාරු විය හැකියි. නමුත් එම සිදුවීම් ඉතා ළඟදීම අකුරක් නෑර ඉටු වන බව විශ්වාස කිරීමට ඕනෑ තරම් හේතු තිබෙනවා. බයිබලයේ පවසා තිබෙන බොහෝ අනාවැකි දැනටමත් ඉටු වී තිබීම අනිකුත් අනාවැකි ඉටු වන බව විශ්වාස කිරීමට ප්‍රබල සාක්ෂියක්. *

හර්–මගෙදොන් යුද්ධය ඉතා ඉක්මනින් ඇති වන බව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ස්ථිරයි. ඊට හේතුව කුමක්ද කියා ඔබ ඔවුන්ගෙන් දැනගනිද්දී එම යුද්ධය ගැන බිය නොවීමට හේතු ඔබ තේරුම්ගනියි. එම යුද්ධයේදී දෙවි ඔබව ආරක්ෂා කිරීමට නම් ඔබ කළ යුත්තේ කුමක්ද කියාත් ඔවුන්ගෙන් අසා දැනගන්න. (එළිදරව් 16:14) අනාගතය ගැන ඔබට තිබෙන බිය නැති කරගැනීමට එය ඔබට උපකාරවත් වේවි.

[පාදසටහන]

^ 17 ඡේ. ඉටු වී තිබෙන අනාවැකි ගැන දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 2වෙනි සහ 9වෙනි පරිච්ඡේද බලන්න.

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සිදු කරන කාර්යය අනාවැකියක ඉටු වීමක් විය නොහැකිද?