Skip to content

පටුනට යන්න

දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න

“සියලු ආඥා අතරින් ප්‍රධානම ආඥාව කුමක්ද?”

“සියලු ආඥා අතරින් ප්‍රධානම ආඥාව කුමක්ද?”

දෙවියන්ව සතුටු කරන්න නම් අපි කරන්න ඕනේ මොනවද? ඒකට අපි හුඟක් නීතිරීති පිළිපදින්න ඕනෙද? නැහැ. දෙවියන්ව සතුටු කරන්න නම් අපි කරන්න ඕන එකම එක දෙයයි කියලා යේසුස් කියපු දේකින් පැහැදිලි වෙනවා.—මාක් 12:28-31 කියවන්න.

තම මරණයට දවස් කීපයකට කලින් ඒ කියන්නේ නීසාන් මාසේ 11වෙනිදා යේසුස් දේවමාලිගාවේ උගන්වමින් හිටියා. ඒ වෙලාවේ ඔහුගේ සතුරන් එක එක ප්‍රශ්න අහලා ඔහුගේ වරදක් අල්ලගන්න උත්සාහ කළා. හැබැයි යේසුස් ඒ ප්‍රශ්නවලට උත්තර දීපු විදිහ නිසා ඒ අයට කිසිම වරදක් අල්ලගන්න බැරි වුණා. අන්තිමේදී එතන හිටපු එක් කෙනෙක් යේසුස්ගෙන් මෙහෙම ඇහුවා. “සියලු ආඥා අතරින් ප්‍රධානම ආඥාව කුමක්ද?”—මාක් 12:28.

ඒක කල්පනාකාරීව උත්තර දෙන්න ඕන ප්‍රශ්නයක්. මොකද මෝසෙස් මාර්ගයෙන් දීපු නීතියට ඇතුළත් ආඥාවලින් වැදගත්ම ආඥාව මොකක්ද කියන එක ගැන ඒ කාලේ හිටිය යුදෙව්වන් අතරේ මතභේදයක් තිබුණා. තවත් සමහර යුදෙව්වන් හිතුවේ ආඥා 600කට වඩා වැඩියෙන් තියෙන නීතියේ හැම ආඥාවක්ම එක වගේ වැදගත් කියලයි.

යේසුස්ගෙන් අහපු ඒ ප්‍රශ්නෙට උත්තරේ හැටියට යේසුස් ආඥා දෙකක් ගැන කිව්වා. ඔහු කිව්ව පළවෙනි ආඥාව මේකයි. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. එලෙසම ඔබේ මුළු ශක්තියම ඔහු වෙනුවෙන් වැය කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.” (මාක් 12:30; ද්විතීය කතාව 6:5) අපේ මුළු හදවතින්, ජීවිතයෙන්, ශක්තියෙන් හා මනසෙන් දෙවිට ප්‍රේම කරන්න කියලා යේසුස් කිව්වේ දෙවි සඳහා අපිට කොයි තරම් ප්‍රේමයක් තියෙන්න ඕනේද කියලා කාවද්දන්නයි. අපි වැඩියෙන්ම ආදරේ කරන්න ඕනේ යෙහෝවා දෙවිට කියලා ඒකෙන් පැහැදිලියි. අපි ඒ විදිහට දෙවිට ආදරේ කරනවා නම් නිතරම උත්සාහ කරන්නේ ඔහුව සතුටු වෙන විදිහට ජීවත් වෙන්නයි.—1 යොහන් 5:3.

දෙවෙනි ආඥාව හැටියට යේසුස් කිව්වේ “ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න” කියලයි. (මාක් 12:31; ලෙවී කතාව 19:18) ඇත්තෙන්ම යේසුස් දීපු ඒ ආඥා දෙක එකිනෙකට සම්බන්ධයි. (1 යොහන් 4:20, 21) මොකද දෙවිට ප්‍රේම කරනවා නම් අනිවාර්යයෙන්ම අසල්වැසියන්ටත් ප්‍රේම කරන්න අපි පෙලඹෙනවා. අපි යේසුස් කියපු විදිහට අසල්වැසියන්ට ප්‍රේම කරද්දී අනිත් අය අපිට කරනවාට අකමැති කිසිම දෙයක් අපි කවදාවත් ඒ අයට කරන්නේ නැහැ. (මතෙව් 7:12) එකිනෙකාට ප්‍රේමයෙන් සලකන කොට ඒකෙන් පැහැදිලි වෙනවා අපිව නිර්මාණය කරපු දෙවිට අපි ආදරෙයි කියලා. දෙවි අපි සියලුදෙනාවම නිර්මාණය කරලා තියෙන්නේ ඔහුගේ ගතිලක්ෂණ ඇතුවයි.—උත්පත්ති 1:26.

එදත් අදත් මතුවටත් දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඔහුට ප්‍රේමය පෙන්වයි කියලයි

ඒ ආඥා දෙකට කීකරු වීම කොයි තරම් වැදගත්ද? යේසුස් කිව්වේ “ඒ ආඥා දෙකට වඩා උතුම් ආඥාවක් නැහැ” කියලයි. (මාක් 12:31) ඒ වගේම මුළු නීතියම රඳා පවතින්නේ ඒ ආඥා දෙක මත කියලත් යේසුස් කිව්වා.—මතෙ 22:40.

දෙවියන්ව සතුටු කරන එක අමාරු දෙයක් නෙමෙයි කියලා අපි බලපු තොරතුරුවලින් පැහැදිලි වෙනවා. එදත් අදත් මතුවටත් දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඔහුට ප්‍රේමය පෙන්වයි කියලයි. හැබැයි ඒ ප්‍රේමය හැඟීමකට විතරක් සීමා වෙන්න හොඳ නැහැ. අපේ ක්‍රියාවෙනුත් ඒ ආදරය පෙන්නන්න ඕන. (1 යොහන් 3:18) ප්‍රේමයේ උල්පත වන යෙහෝවා දෙවි කෙරෙහි ආදරයක් ඇති කරගන්නේ කොහොමද කියලත් ඒ ආදරය ක්‍රියාවෙන් පෙන්නන්න පුළුවන් කොහොමද කියලත් ඉගෙනගන්න ඔයා කැමති නැද්ද?—1 යොහන් 4:8.

මාර්තු මාසයට නියමිත බයිබල් කියවීම

මාක් 9-16 සිට ලූක් 1-6 දක්වා