දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න
“නොකඩවා ඉල්ලන්න. එවිට ඔබටත් ලැබෙයි”
දිනක් යේසුස්ගේ ගෝලයෙක් මේ වගේ ඉල්ලීමක් කළා. ‘ස්වාමීනි, යාච්ඤා කරන්නේ කොහොමද කියා අපට උගන්වන්න.’ (ලූක් 11:1) ඒ ගැන කියලා දෙද්දී යේසුස් උපමා දෙකකුත් කිව්වා. දෙවියන් ඔයාගේ යාච්ඤාවලට සවන් දෙනවාද කියලා ඔයා කවදාහරි කල්පනා කරලා තියෙනවාද? එහෙමනම් ඒ උපමා ගැන දැනගන්න ඔයා කැමති වෙයි.—ලූක් 11:5-13 කියවන්න.
පළවෙනි උපමාවෙන් යේසුස් කාවද්දන්න හැදුවේ යාච්ඤා කරන කෙනාට තියෙන්න ඕන ආකල්පයයි. (ලූක් 11:5-8) ඒ උපමාවට අනුව මිනිසෙකුගේ ගෙදරට රෑ අමුත්තෙක් එනවා. හැබැයි ඔහුට කන්න දෙන්න මුකුත් ඒ මිනිසා ළඟ නැහැ. ඒ නිසා රෑ ජාමෙම ඔහු මිතුරෙක්ගේ ගෙදරට ගිහින් ණයට රොටි ඉල්ලනවා. නමුත් මිතුරා ඒ වෙන කොටත් දරුවන් එක්ක නිදාගෙන ඉන්න නිසා රොටි දෙන්න කැමති වෙන්නේ නැහැ. ඒත් ඒ මිනිසා ලැජ්ජා වෙන්නේ නැතුව දිගින් දිගටම ඉල්ලන නිසා මිතුරා නැඟිටලා ඔහුට රොටි දෙනවා. *
අත් නෑර යාච්ඤා කරන එක කොච්චර වැදගත්ද කියලා ඒ උපමාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන්. (ලූක් 11:9, 10) දෙවියන් අපේ යාච්ඤාවලට සවන් දෙන්න අදිමදි කරයි කියලා හිතන නිසාද අපි අත් නෑර යාච්ඤා කරන්න ඕනේ? නැහැ. යේසුස් කියන්න හැදුවේ මුලින් රොටි දෙන්න අදිමදි කරපු මිතුරාට වඩා වෙනස්ව, දෙවි විශ්වාසයෙන් ඔහුට යාච්ඤා කරන අයගේ ඉල්ලීම් ඉටු කරන්න කැමැත්තෙන් ඉන්නවා කියලයි. අපි අත් නෑර යාච්ඤා කරද්දී දෙවි පිළිතුරු දෙයි කියන විශ්වාසය අපිට තියෙන බව පැහැදිලි වෙනවා. ඒ වගේම යාච්ඤා කරන කාරණය අපිට ගොඩක් වැදගත් කියලත් ඒකෙන් පෙන්නනවා. අපි ඉල්ලන දේ ගැන දෙවි සතුටු නම් ඔහු අනිවාර්යයෙන්ම පිළිතුරු දෙනවා.—මාක් 11:24; 1 යොහන් 5:14.
දෙවෙනි උපමාවෙන් යේසුස් කාවද්දන්න හැදුවේ “යාච්ඤා අසන” දෙවි අපේ යාච්ඤාවලට පිළිතුරු දෙන විදිහයි. (ගීතාවලිය 65:2) යේසුස් මෙහෙම ඇහුවා. “ඔබේ පුතෙක් ඔබෙන් මාළුවෙක් ඉල්ලුවොත් මාළුවා වෙනුවට සර්පයෙක් දෙන්නේ ඔබෙන් කවුද? ඔහු බිත්තරයක් ඉල්ලුවොත් ඔහුට ගෝනුස්සෙක් දෙයිද?” ප්‍රේමණීය තාත්තා කෙනෙක් කවදාවත් තම දරුවන්ට නරක දෙයක් දෙන්නේ නැහැ. පාපය උරුම කරගෙන ඉන්න තාත්තා කෙනෙක් වුණත් තමන්ගේ දරුවන්ට “හොඳ තෑගි” දෙනවා නම් ‘ස්වර්ගයෙහි සිටින පියාණන්ගෙන් ඔහුගේ බලය ඉල්ලුවොත් ඔහු ඊට වඩා කොතරම් වැඩියෙන් ඒ දේ ලබා දෙයිද!’ඇත්තෙන්ම දෙවියන්ගේ බලයට සමාන කරන්න පුළුවන් තව වටිනා තෑග්ගක් තියෙනවාද? *—ලූක් 11:11-13; මතෙව් 7:11.
දෙවියන් ගැන විශ්වාසයෙන් යාච්ඤා කරන අයගේ ඉල්ලීම් ඔහු ඉටු කරනවා
“යාච්ඤා අසන” යෙහෝවා දෙවියන් ගැන ඒ උපමාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? තම දරුවන්ගේ අවශ්‍යතා ඉටු කරන්න සැදී පැහැදී ඉන්න ප්‍රේමණීය තාත්තා කෙනෙක් වගෙයි යෙහෝවා දෙවියන්. ඒ නිසා අපේ හිතේ තියෙන දේවල් ඕන වෙලාවක දෙවියන්ට කියන්න අපිට පුළුවන්. දෙවියන් අපිට කවදාවත් නරක දෙයක් කරන්නේ නැති නිසා ඔහු දෙන පිළිතුර අපි බලාපොරොත්තු නොවුණු විදිහේ එකක් වුණත් ඒක කැමැත්තෙන් භාරගන්න අපිට පුළුවන්. *
අප්‍රියෙල් මාසයට නියමිත බයිබල් කියවීම
ලූක් 7 සිට 21 දක්වා
^ 2 ඡේ. යේසුස් ඔහුගේ උපමාවල කිව්වේ ඒ කාලේදී එදිනෙදා ජීවිතේ සිදු වුණ දේවලුයි. සාමාන්‍යයෙන් යුදෙව්වන් අමුත්තන්ට සංග්‍රහ කරන එක වැදගත් දෙයක් හැටියට සැලකුවා. රොටි හැදුවෙත් පවුලේ අයට දවසට ප්‍රමාණවත් වෙන විදිහටයි. ඒ නිසා මදි වුණොත් වෙන කෙනෙක්ගෙන් ඉල්ලන එක අමුතු දෙයක් වුණේ නැහැ. ඒ වගේම මුළු පවුලම එක කාමරයක නිදාගන්න එකත් දුප්පත් පවුල්වල සාමාන්‍ය දෙයක් වුණා.
^ 4 ඡේ. යේසුස් ඔහුගේ උපමාවල ‘ඊට වඩා කොතරම් වැඩියෙන්’ කියන යෙදුම හුඟක් අවස්ථාවලදී පාවිච්චි කරලා තියෙනවා. මේ අවස්ථාවේදී ඒ යෙදුම ඔහු පාවිච්චි කළේ දෙවියන් මිනිසුන්ට වඩා කොච්චර හොඳයිද කියලා පෙන්නන්නයි.
^ 5 ඡේ. අපේ යාච්ඤා දෙවියන් පිළිගන්න නම් අපි කරන්න ඕන මොනවාද කියන එක ගැන වැඩි විස්තර දැනගන්න බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු කියන පොතේ 17වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක්.