පවුලේ සමඟියට අත්වැලක්
දරුවන් එක්ක වාද ඇති වෙන එක වළක්වගන්නේ කොහොමද?
“දුව මට එකට එක කියන්න පටන්ගද්දී එයාට වයස 14යි. ‘රෑ කෑම කන්න එන්න’ කිව්වම ‘මට ඕන වෙලාවට මම කන්නං’ කියලා කියනවා. ‘දීපු වැඩේ කළාද’ කියලා ඇහුවම ‘මොන කරදරයක්ද මන්දා’ කියනවා. මේ කතාව අන්තිමට කෙළවර වෙන්නේ වාදයකින්.”—මාකි, ජපානය. *
ඔබටත් යොවුන් වියේ දරුවෝ ඉන්නවා නම් එයාලා එක්ක මතගැටීම් ඇති වෙන එක ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඉවසීම අත්‍යවශ්‍යයි. අවුරුදු 14ක දුවෙක් ඉන්න බ්‍රසීලයේ මාරියා මෙහෙම කිව්වා. “දුව මං කියන දේවල් ගණන් ගන්නේ නැති වුණාම මට තරහ යනවා. අන්තිමට අපි දෙන්නටම තරහ ගිහින් බැණගන්නවා.” ඉතාලියේ කාර්මෙලා කිව්වෙත් ඒ වගේ දෙයක්. “මායි පුතයි අතරේ ලොකු වාද ඇති වෙනවා. අන්තිමට එයා කරන්නේ කාමරේට ගිහින් දොර වහගන්න එකයි.”
යොවුන් වියේ දරුවන් දෙමව්පියන් එක්ක වාද කරන්න ඉගෙනගන්නේ එයාලගේ යාළුවන්ගෙන් වෙන්න පුළුවන්. බයිබලයේ කියන්නේ කෙනෙක් හොඳ හෝ නරක කෙනෙක් වෙන්න ආශ්‍රය බලපානවා කියලයි. (හිතෝපදේශ 13:20; 1 කොරින්ති 15:33) ඒ විතරක් නෙමෙයි දරුවන් ආසාවෙන් අහන, බලන, කියවන දේවල තියෙන්නෙත් ගරුසරුවක් නැතුව හැසිරෙන එක වැරදි නැහැ කියලයි.
යොවුන් වියේ දරුවන් දෙමව්පියන් එක්ක වාද කරන්න පෙලඹෙන තවත් හේතු තියෙනවා. ඒ ගැන අපි දැන් බලමු.
සිතීමේ හැකියාව වර්ධනය වෙන අවදියක්
බයිබලයේ මෙහෙම තියෙනවා. “මා කුඩා දරුවෙකුව සිටි කාලයේදී මා කතාබහ කළෙත් යම් දේවල් ගැන සිතුවෙත් අවබෝධ කරගත්තෙත් කුඩා දරුවෙකු ලෙසය. නමුත් මා දැන් වැඩිහිටියෙකි. එහෙයින් කුඩා දරුවෙකුට තිබෙන ගතිලක්ෂණ මම අහක දමා ඇත.” (1 කොරින්ති 13:11) වැඩිහිටියෙක් හිතන විදිහ හා දරුවෙක් හිතන විදිහ අතර ලොකු වෙනසක් තියෙනවා කියලා ඒකෙන් තේරෙනවා. ඒ වෙනසට හේතුව මොකක්ද?
වැඩිහිටියන්ට උඩින් පල්ලෙන් කාරණා දිහා බලන්නේ නැතුව ගැඹුරින් හිතලා බලන්න හැකියාව තියෙනවා. උදාහරණයකට තීරණයක් ගන්න කලින් ඒක හරිද වැරදිද කියලා හිතන්නත් අනිත් අයට ඒක කොහොම බලපායිද කියලා හිතන්නත් වැඩිහිටියන්ට පුළුවන්. හැබැයි යොවුන් දරුවන්ට ඒ හැකියාව නැහැ. එයාලා ගැඹුරට හිතන්න පටන්ගන්නේ ඒ වයසේදියි.
යොවුන් දරුවන්ට “හොඳින් සිතීමේ හැකියාව” දියුණු කරගන්න කියලා බයිබලයෙත් කියනවා. (හිතෝපදේශ 1:4) දරුවන්ට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් ‘බුද්ධිමත්’ විදිහට හිතන්න කියලා බයිබලයේ කියනවා. (රෝම 12:1, 2; හෙබ්‍රෙව් 5:14) යොවුන් විය, දරුවන්ගේ සිතීමේ හැකියාව වර්ධනය වෙන අවදියක් නිසා එයාලා පොඩි පොඩි දේවලටත් දෙමව්පියන් එක්ක වාද කරන්න පුළුවන්. දරුවන් වැරදි අදහස් ඉදිරිපත් කරන්නත් පුළුවන්. (හිතෝපදේශ 14:12) ඒ වගේ වෙලාවට වාද කරගන්නේ නැතුව දරුවන් හිතන විදිහ වැරදියි කියලා තේරුම් කරලා දෙන්නේ කොහොමද?
මෙහෙම කරලා බලන්න: ඔබේ දරුවා යම් දෙයක් ගැන එයාගේ අදහස ඔබට කිව්වා කියලා හිතන්න. සමහරවිට කියපු දේ සීයට සීයක් හරියි කියලා එයාට හිතෙන්නේ නැතුව ඇති. ඒ නිසා එයා එහෙම හිතපු එක ගැන අගය කරලා මෙහෙම කියන්න පුළුවන්. “ඔයා එහෙම කියන්නේ ඇයි කියලා මට තේරෙනවා. හැබැයි පුතේ ඔයා කියපු දේ හරියටම හරියි කියලා මම කියන්නේ නැහැ.” ඊටපස්සේ දරුවා හිතපු විදිහ හරිද වැරදිද කියලා තේරුම් කරලා දෙන්න මෙහෙම අහන්න පුළුවන්. “ඔයා කියපු දේ හැම අවස්ථාවකම හරියයි කියලා හිතනවද?” එහෙම කළාම දරුවා හිතන විදිහ හදාගන්න පෙලඹෙනවා.
යම් දෙයක් ගැන දරුවන් එයාලට හිතෙන දේ කිව්වාම ඔබ හරියි දරුවන් වැරදියි කියලා ඔප්පු කරන්න හදන්න එපා. දරුවන්ට යම් දේවල් තේරුම් කරලා දෙන්න හදන එක බිහිරි අලීන්ට වීණා වයනවා වගේ වැඩක් කියලා පෙනුණත් ඔබ හිතනවාට වඩා දේවල් එයාලා හිතට ගන්නවා. ටික දවසකින් දරුවා ඔබේ අදහසට කොච්චර එකඟ වෙන්න ඉඩ තියෙනවාද කියනවා නම් ඒක එයාගේ අදහසක් විදහට කියන්නත් පුළුවන්.
“මොකක් හරි දෙයක් නාස්ති කරපු එක ගැන හරි නංගිට විහිළු කරපු එක ගැන හරි පුතාට කිව්වම ලොකු වාදයක් ඇති වෙනවා. ඒත් පස්සේ මට තේරුණා ඒ හැම වෙලාවකම පුතාට ඕන වුණේ මම එයාව තේරුම්ගන්නවා දකින්නයි. ‘ආ ඔයා එහෙම කළේ ඒ නිසාද’ කියලා හරි ‘ඔයාට හිතෙන්නේ එහෙමද’ කියලා හරි අහලා තිබුණා නම් ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්නවලට පුතා එක්ක වාද කරගන්නේ නැතුව ඉන්න තිබුණා.”—කෙන්ජි, ජපානයේ පියෙක්.
හොඳ ප්‍රතිපත්ති හා හොඳ ගතිගුණ තියෙන පෞද්ගලිකත්වයක්
යොවුන් දරුවන්ව වගකීමෙන් වැඩ කරන්න පුහුණු කරන එක දෙමව්පියන්ට තියෙන ලොකු වගකීමක්. එහෙම කළොත් එයාලා වැඩිහිටියන් වෙලා ගෙදරින් ගිය දවසටත් වගකීමෙන් වැඩ කරයි. (උත්පත්ති 2:24) එහෙම වෙන්න නම් දරුවෙක් යෞවන කාලයේ ඉඳලම හොඳ ප්‍රතිපත්ති හා ගතිගුණ වර්ධනය කරගන්න ඕනේ. එහෙම වුණොත් වැරදි දෙයක් කරන්න කොච්චර බලපෑමක් ආවත් එයා ඒවාට අහු වෙන්නේ නැහැ. එයා වරදක් නොකරන්නේ ඒකෙන් මුහුණ දෙන්න වෙන නරක ප්‍රතිඵල නිසා නෙමෙයි. එයාගේ ප්‍රතිපත්තිවලට ඒක විරුද්ධ නිසයි. ඒ වගේ වෙලාවට එයා හිතන්නේ මෙහෙමයි. “මට තියෙන්නේ මොන වගේ ප්රතිපත්තිද? මං කොහොමද මේ වගේ දෙයක් කරන්නේ? හොඳ ප්‍රතිපත්ති තියෙන කෙනෙක් මේ වගේ වෙලාවක මොනවා කරයිද?”—2 පේතෘස් 3:11.
යොවුන් වයසෙම හොඳ ප්‍රතිපත්ති හා හොඳ ගුණාංග තිබුණු කෙනෙක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. එයාගේ නම යෝසෙප්. එයා ඊජිප්තුවේ හිටපු කාලේ පොතිෆර්ගේ බිරිඳ වැරදි හැසිරීමකට යෝසෙප්ව පොලඹවගන්න හැදුවා. ඒ වෙලාවේ යෝසෙප් කිව්වේ මෙහෙමයි. “මේ තරම් දුෂ්ට දෙයක් කර දෙවිට විරුද්ධව මම පව් කරන්නේ කොහොමද?” (උත්පත්ති 39:9) ඒ වෙනකොට අනාචාරය වැරදියි කියලා දෙවියන් නීතියක් දීලා නොතිබුණත් ඒ ගැන දෙවියන් හිතන විදිහ යෝසෙප් තේරුම් අරගෙන තිබුණා. “මම පව් කරන්නේ කොහොමද” කියලා එයා කියපු එකෙන් තේරෙන්නේ යෝසෙප්ට හොඳ ප්‍රතිපත්ති තිබුණේ දෙවියන් හිතන විදිහ එයා තේරුම් අරගෙන හිටිය නිසා කියලයි.—එෆීස 5:1.
ඔබේ දරුවාත් ඉන්නේ යොවුන් වියේ නම් එයා දැන් ඉන්නේ තමන්ටම කියලා හොඳ ප්‍රතිපත්ති හා ගුණාංග වර්ධනය කරගන්න කාලයකයි. දරුවෙක්ට හොඳ ප්‍රතිපත්ති තියෙනවා නම් අනිත් අය නරක දෙයක් කරන්න එයාව ඇදගන්න හැදුවත් එයා අහු වෙන්නේ නැහැ. (හිතෝපදේශ 1:10-15) අනිත් අතට දරුවා ඔබත් එක්ක වාද කරන්නෙත් එයාගේ පෞද්ගලිකත්වයේ සිද්ධ වෙන ඒ වෙනස නිසයි. එතකොට මොකද කරන්නේ?
මෙහෙම කරලා බලන්න: දරුවා යමක් කිව්වොත් තරහ ගන්න එපා. එයා කියපු දේ තේරුම්ගත්තා කියලා පෙන්වන්න ඒ දේම ආපහු එයාට කියන්න. කැමති නම් මෙහෙම කියන්න පුළුවන්. “ඔයා කියන්න හදන්නේ . . . “ ඊටපස්සේ මෙහෙම අහන්න පුළුවන්. “ඔයා එහෙම හිතුවේ ඇයි?” ඒ වගේ ප්‍රශ්න අහලා දරුවාගේ හිතේ තියෙන දේ එළියට ගන්න.
සමහරවිට ඔබ දරුවාගේ අදහසට එකඟ නොවෙන්න පුළුවන්. ඒත් දරුවා හිතන විදිහ වැරදි නැත්නම් එයාගේ අදහස්වලට ගරු කරනවා කියලා පෙන්වන්න.හොඳ ප්‍රතිපත්ති හා හොඳ ගුණාංග වර්ධනය කරගන්න එක හුඟක් හොඳ දෙයක්. ඒ නිසා යොවුන් වයසේ ඉන්න ඔබේ දරුවාට ඒ වගේ පෞද්ගලිකත්වයක් වර්ධනය කරගන්න දිරිගන්වන්න. ඒ වගේ පෞද්ගලිකත්වයක් නැති කෙනෙක් “සුළඟට ඒ මේ අත ගසාගෙන යන මුහුදේ රළ” වගෙයි.—එෆීස 4:14.
“මගේ දුවලා කියන දේවල් අහන්න මම කැමතියි කියලා එයාලට දැනෙද්දී මගේ අදහස් එයාලගේ අදහස්වලට වඩා වෙනස් වුණත් එයාලා මට ඇහුම්කන් දෙනවා. මම හිතන විදිහටම හිතන්න මම එයාලට බල කරන්නේ නැහැ. එයාලටම හිතලා තේරුම්ගන්න මම ඉඩහරිනවා.”—ඉවානා, චෙක් ජනරජය.
ස්ථිර වෙන්න හැබැයි සාධාරණ වෙන්න
පොඩි ළමයි දෙමව්පියන්ට කරදර කරලා එයාලට ඕන දේ කොහොමහරි කරගන්න හදනවා. ඒ වගේ සමහර යොවුන් දරුවනුත් යම් කාරණයක් ගැන නිතර නිතර වාද කරලා දෙමව්පියන් ලවා කොහොමහරි එයාලට ඕන දේ කරගන්නවා. ඔබේ දරුවනුත් නිතරම ඒ දේ කරනවාද? කරදරෙන් නිදහස් වෙන්න එයාලගේ කැමැත්තට ඉඩ දුන්නොත් දරුවන් හිතයි හැම තිස්සෙම වාද කරලා එයාලට ඕන දේ කරගන්න පුළුවන් කියලා. එහෙම නොවෙන්න නම් යේසුස් කිව්ව මේ උපදෙස අදාළ කරගන්න. ‘එසේය කියා කිව යුතු අවස්ථාවලදී එසේය කියාත් නැත කියා කිව යුතු අවස්ථාවලදී නැත කියාත් කියන්න.’ (මතෙව් 5:37) එතකොට දෙමව්පියන් වචනේ වෙනස් කරන අය නෙමෙයි කියලා දරුවන්ට තේරෙන නිසා එයාලා වාද කරලා දිනන්න හදන එකක් නැහැ.
හැබැයි ඕනෑවට වඩා තදින් ක්‍රියා කරන්න එපා. ගෙදරට එන්න ඕන වෙලාව පහු වෙලා ආවට කමක් නැද්ද කියලා දරුවා ඇහුවොත් ඒකට හේතුව එයාගෙන් අහන්න. ඔබ ඒකට අවසර දෙන්න තීරණය කරන්නේ හොඳ හේතුවක් ඇතුව නම් ඔබ කරන්නේ වචනේ වෙනස් කරන එක නෙමෙයි. එතකොට ඔබේ දරුවන්ට තේරෙයි ඔබ ‘සාධාරණ ලෙස කටයුතු කරන කෙනෙක්’ කියලා.—ෆිලිප්පි 4:5.
මෙහෙම කරලා බලන්න: පිළිපදින්න ඕන නීතිරීති මොනවාද කියලා දරුවන් එක්ක සාකච්ඡා කරන්න. එහෙම කරද්දී දරුවන් කියන දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න. නීතියක් දාන්න කලින් හැම පැත්තක් ගැනම හොඳට හිතලා බලන්න. බ්‍රසීලයේ ජීවත් වෙන පියෙක් මෙහෙම කිව්වා. “බයිබල් ප්‍රතිපත්තියක් කැඩෙන්නේ නැති දෙයක් කරන්න දරුවන් අවසර ඉල්ලද්දී දෙමව්පියන් ඒකට අවසර දෙයි කියලා දරුවන්ට හැඟෙන්න ඕනේ.”
හැබැයි දෙමව්පියන් අතිනුත් පොඩි පොඩි වැරදි වෙන්න පුළුවන්. බයිබලයේ කියන්නේ “අප සියලුදෙනා අතින් නොයෙක් අවස්ථාවලදී වැරදි සිදු වෙයි” කියලයි. (යාකොබ් 3:2) දරුවන් එක්ක ඇති වුණ වාදයකට ඔබත් යම් දුරකට හරි වග කියන්න ඕන නම් දරුවන්ගෙන් ඒකට සමාව ඉල්ලන්න පසුබට වෙන්න එපා. එහෙම කරද්දී ඔබ කොච්චර නිහතමානීද කියලා දරුවන් දකියි. එතකොට ඒ අයත් වරදක් වුණොත් නිහතමානීව සමාව ඉල්ලන්න පෙලඹෙනවා.
“දවසක් මායි පුතයි අතර වාදයක් ඇති වුණා. මම සන්සුන් වුණාට පස්සේ පුතාට කේන්තියෙන් කතා කරපු එක ගැන පුතාගෙන් සමාව ඉල්ලුවා. ඒ නිසා පුතත් සන්සුන් වෙලා මං කියන දේ ඇහුවා.”—කෙන්ජි, ජපානය.
^ 3 ඡේ. නම් වෙනස් කර ඇත.
මේ ගැන හිතන්න
-
දරුවන් එක්ක වාදයක් ඇති වෙන්න මගේ අතින් වෙන්නේ මොන අඩුපාඩුකම්ද?
-
මගේ යොවුන් දරුවන්ව තේරුම්ගන්න මේ ලිපියේ තියෙන තොරතුරු මට උදව් වෙන්නේ කොහොමද?
-
වාද නොකර හොඳින් කතා කරලා දේවල් විසඳගන්න මට පුළුවන් කොහොමද?