Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්

දෙවි පියාණන් ඔබ වෙනුවෙන් කර තිබෙන දේ

දෙවි පියාණන් ඔබ වෙනුවෙන් කර තිබෙන දේ

“දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.”යොහන් 3:16.

ඒ බයිබල් පදය තරම් මිනිසුන්ට හුරුපුරුදු, බොහෝ අවස්ථාවලදී උපුටා දක්වන තවත් බයිබල් පදයක් නැති තරම්. “දෙවියන් හා මනුෂ්‍යයන් අතර ඇති බැඳීම හා මිනිසුන්ව ගලවාගන්න දෙවියන් කර ඇති දේ කැටි කොට විස්තර කරන” එවන් බයිබල් පදයක් තවත් නැහැ කියා සමහරු පවසනවා. ඒ හේතුව නිසා බොහෝ ස්ටිකර්වල, ප්‍රසිද්ධ ස්ථානවල මුළු බයිබල් පදයම හෝ “යොහන් 3:16” කියා හෝ දක්නට ලැබෙනවා.

එයින් පැහැදිලි වෙන්නේ දෙවියන්ගේ ප්‍රේමය නිසා තමන්ට ගැලවීම ලැබෙනවා කියා ඔවුන් විශ්වාස කරන බවයි. ඔබත් එය විශ්වාස කරනවාද? දෙවියන්ගේ ප්‍රේමය ගැන ඔබට හැඟෙන්නේ කොහොමද? ඔබට දෙවියන් ප්‍රේමය පෙන්වා තිබෙන්නේ කොහොමද?

‘දෙවි මුළු ලෝකයටම ප්‍රේම කළා’

අප අවට පරිසරයේ ඇති සමහර දේවල් මොන තරම් සංකීර්ණද කියා කල්පනා කළාම අනිවාර්යයෙන්ම බුද්ධිමත් කෙනෙක් ඒ දේවල් නිර්මාණය කළ බව පිළිගන්න හේතු තියෙනවා. මේ විශ්වය, අප අවට පරිසරය හා මිනිසුන්ව නිර්මාණය කළේ දෙවියන් කියා බොහෝදෙනෙක් පිළිගන්නවා. තමන්ට ලැබී තිබෙන ජීවිතය ගැන සමහරු දිනපතාම දෙවියන්ට ස්තුති කරනවා. ජීවිතය දෙනවාට අමතරව එය පවත්වාගෙන යෑමට අවශ්‍ය කෑම බීම, ජලය, වාතය හා ස්වාභාවික චක්‍ර ඇතුළු හැම දෙයක්ම ලබා දී අපේ ජීවිත සතුටින් ගත කරන්න උදව් කරන්නෙත් දෙවියන්.

ඒ ගැන දෙවියන්ට මොන තරම් ස්තුතිවන්ත වෙන්න ඕනේද! ඔහු තමයි අපේ නිර්මාතෘ හා අපට සෑම දෙයක්ම සපයන තැනැත්තා. (ගීතාවලිය 104:10-28; 145:15, 16; ක්‍රියා 4:24) ජීවිතයේ පැවැත්ම වෙනුවෙන් දෙවියන් කරන සෑම දෙයක් ගැනම සිතන විට දෙවියන් අපිට මොන තරම් ප්‍රේම කරනවාද කියා ඔප්පු වෙනවා. “සියලුදෙනාටම ජීවිතයත් හුස්මත් අන් සියලු දේත් දෙන්නේ ඔහුයි [දෙවියන්]. අපේ ජීවිතයත් පැවැත්මත් අප කරන සෑම දෙයක්මත් රඳා පවතින්නේ ඔහු මතයි” කියා බයිබල් ලේඛකයෙක් වූ පාවුල් පැවසුවේ ඒ නිසයි.ක්‍රියා 17:25, 28.

දෙවියන් අපිට මොන තරම් ප්‍රේම කරනවාද කියා පැහැදිලි වෙන්නේ අපේ ජීවිතයට අවශ්‍ය දේවල් දීමෙන් පමණක් නෙවෙයි. දෙවියන්ව දැන හඳුනා ගෙන ඔහුගේ මඟ පෙන්වීම් පතන්න ආශාවක් ඇතුව අපිව නිර්මාණය කිරීමෙනුත් එය පැහැදිලි වෙනවා. ඒ ආශාව ඉටු කරගන්නත් දෙවියන් සෑමවිටම අපිට උදව් කරනවා. (මතෙව් 5:3) ඒ නිසා දෙවියන්ට කීකරු වෙන අයට ඔහුගේ “දරුවන්” වෙන්න අවස්ථාව ලැබෙනවා.රෝම 8:19-21.

යොහන් 3:16 සඳහන් ආකාරයට දෙවියන් තම පුත්‍රයාව අපි වෙනුවෙන් මේ පොළොවට එවීමෙන් ඔහුගේ ප්‍රේමය පෙන්වුවා. එසේ කිරීමෙන් දෙවියන් ගැන සත්‍යය කියා දීමටත් තම ජීවිතය මිනිසුන් වෙනුවෙන් පූජා කිරීමටත් යේසුස්ට හැකි වුණා. ඒත් මිනිසුන්ව ගලවාගන්න යේසුස්ට ජීවිතය පූජා කිරීමට සිදු වුණේ ඇයි කියාත් ඔහුගේ මරණයෙන් දෙවියන්ගේ ප්‍රේමය පිළිබිඹු වෙන්නේ කොහොමද කියාත් ඇතැම් අයට තේරුම්ගන්න බැහැ. ඒ නිසා අපි මේ ප්‍රශ්න දෙකට බයිබලයෙන් පිළිතුරු දැනගමු. යේසුස්ට මිය යන්න සිදු වුණේ ඇයි? ඔහුගේ ජීවිත පූජාව මොන තරම් වටිනවාද?

‘ඔහු තමාගේ එකම පුත්‍රයාව ලබා දුන්නා’

අපි හැමෝටම මරණය උරුමයි. නමුත් දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ මිය යන්න නෙවෙයි. ඔහු මුල්ම මිනිස් යුවළ නිර්මාණය කර ඔවුන්ට පාරාදීස පොළොවක සදහටම ජීවත් වෙන්න අවස්ථාව දුන්නා. ඒත් සදහටම ජීවත් වීමට නම් ඔවුන් දෙවියන්ට කීකරු විය යුතු වුණා. අකීකරු වුණොත් ඔවුන් මිය යන බව දෙවියන් පැවසුවා. (උත්පත්ති 2:17) මුල්ම මිනිසා දෙවියන්ට අකීකරු වුණ නිසා ඔහුටත් ඔහුගෙන් පැවතෙන අයටත් මරණය උරුම වුණා. බයිබලයේ ඒ ගැන කියන්නේ මෙහෙමයි. “එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.”රෝම 5:12.

ඒත්, දෙවියන් “යුක්තියට ප්‍රිය” කෙනෙක්. (ගීතාවලිය 37:28) ඒ නිසා මුල්ම මිනිසා කළ පාපය දෙවියන් නොසලකා නොහැරියත් සියලුම මිනිසුන් එක මිනිසෙක් නිසා දුක් විඳ මිය යනවාට දෙවියන් කැමති වුණේ නැහැ. “ජීවිතයකට ජීවිතයක්” යන තමන් විසින්ම ඇති කළ නීතියට යටත් වුණු දෙවියන් මිනිස් වර්ගයාට නැවතත් සදාකාල ජීවිතය ලබා දීමට පියවර ගත්තා. (නික්මයාම 21:23) ආදම් නැති කරගත්තේ පරිපූර්ණ ජීවිතයක් නිසා දෙවියන්ගේ නීතියට අනුව ඒ වෙනුවෙන් වන්දියක් ලෙස ගෙවිය යුතු වුණෙත් පරිපූර්ණ ජීවිතයක්. එය කරන්න පුළුවන් වුණේ කාටද?

යේසුස් මිනිසුන්ව පාපයෙන් හා මරණයෙන් ගලවාගන්න කැමැත්තෙන්ම පොළොවට ඇවිත් ජීවිතය පූජා කළා

ආදම්ගෙන් පැවතෙන හැමෝටම පාපය උරුම වී තියෙන නිසා කවුරුත් පරිපූර්ණ නැහැ. (ගීතාවලිය 49:6-9) ඒත් යේසුස්ට ආදම්ගේ පාපය උරුම වී නොතිබුණු නිසා ඔහු පරිපූර්ණ කෙනෙක්. ඒ නිසා යේසුස්ට හැකි වුණා ඔහුගේ ජීවිතය අපි වෙනුවෙන් පූජා කර අපිව පාපයෙන් ගලවාගන්න. ඔහුගේ ජීවිත පූජාව නිසා මුල් මිනිස් යුවළ නැති කරගත් පාරාදීස පොළොවක සදාකාල ජීවනය යළි ලබාගන්න මිනිස් වර්ගයාට මාර්ගය විවෘත වුණා. (රෝම 3:23, 24; 6:23) එතරම් ප්‍රේමයක් අපිට පෙන්වා ඇති නිසා එයින් ප්‍රයෝජන ලබන්න අපි කළ යුත්තේ මොනවාද?

“ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම”

යොහන් 3:16 තවදුරටත් සඳහන් වෙන්නේ ‘ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව’ ලබාගන්නා බවයි. ඉන් අදහස් වෙන්නේ ‘සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීමට’ නම් අපිත් යමක් කළ යුතු බවයි. ඒ කුමක්ද? යේසුස් කෙරෙහි විශ්වාසය තැබීම හා ඔහුට කීකරු වීමයි.

ඒ පදයේ සඳහන් වෙන්නේ යේසුස් කෙරෙහි විශ්වාසය තැබීම ගැන පමණයි. එසේනම් ඔහුට කිකරු වීමත් අවශ්‍යයි කියා පවසන්නේ ඇයි? බයිබලයේ පෙන්වන විදිහට විශ්වාසය කියන්නේ යේසුස් ජීවමානයි කියා පිළිගැනීම පමණක් නෙවෙයි. යොහන් 3:16 විශ්වාසය යන වචනය සඳහා යොදාගෙන තිබූ මුල් ග්‍රීක වචනයට ‘රඳා සිටීම’ යන අර්ථය ඇතුළත් බව එක් ශබ්දකෝෂයක සඳහන් වෙනවා. (Vine’s Expository Dictionary of Old and New Testament Words) දෙවියන්ගේ අනුමැතිය ලබාගන්න නම් යේසුස් අපේ ගැලවුම්කරු කියා විශ්වාස කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඔහු ඉගැන්වූ දේවල් පිළිපදින්නත් ලොකු උත්සාහයක් දැරිය යුතුයි. බයිබලයේ කියන්නේ “ක්‍රියාවන් නැති විශ්වාසය මිය ගොස් ඇති විශ්වාසයකි” කියායි. (යාකොබ් 2:26) එසේනම් යේසුස්ව විශ්වාස කරන කෙනෙක් ඔහුගේ ඉගැන්වීම් අදාළ කරගෙන ඒ අනුව ජීවත් වෙන්න උත්සාහ කළ යුතුයි.

පාවුල් ඒ කාරණය විස්තර කළේ මෙහෙමයි. “ක්‍රිස්තුස්ට ඇති ප්‍රේමය අප තුළ මහත් පෙලඹීමක් ඇති කරයි. සියලුදෙනා උදෙසා එක් මිනිසෙකු මිය ගිය බව අපි පිළිගනිමු. . . . ඔහු මිය ගියේ ඔහුගේ මරණය නිසා ජීවත් වන සියලුදෙනා තවදුරටත් තමන් වෙනුවෙන් ජීවත් නොවී තමන් වෙනුවෙන් මිය ගොස් මරණයෙන් නැඟිටුවනු ලැබූ තැනැත්තා වන ඔහු උදෙසා ජීවත් වීම සඳහාය.” (2 කොරින්ති 5:14, 15) යේසුස් අපි වෙනුවෙන් ජීවිතය පූජා කිරීම ගැන ඇත්තටම අපිට අගයක් තිබෙනවා නම් අපේම පව්කාර ආශාවන් වෙනුවෙන් ජීවත් නොවී යේසුස් වෙනුවෙන් ජීවත් වෙන්න අපි පෙලඹෙනවා. අපි එසේ කරනවා නම් සෑමවිටම මුල් තැන දෙන්නේ යේසුස්ගේ ඉගැන්වීම් අනුව ජීවත් වීමටයි. එවිට අපි සිතන්නෙත් තීරණ ගන්නෙත් ක්‍රියා කරන්නෙත් ඔහුගේ මඟ පෙන්වීම්වලට එකඟවයි. යේසුස් කෙරෙහි විශ්වාසය තබා ඊට එකඟව ජීවත් වෙන අයට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

‘විනාශ නොවී සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව’

යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි විශ්වාසය තබා දෙවියන්ගේ මඟ පෙන්වීම් අනුව ජීවත් වෙන අයට දෙවියන් ලබා දෙන ආශීර්වාදය ගැන යොහන් 3:16 අවසන් කොටසේ සඳහන් වෙනවා. ඔවුන්ට ලැබෙන්නේ ‘විනාශ නොවී සදහටම ජීවත් වීමේ ප්‍රස්තාවයි.’ දෙවියන්ගේ ප්‍රේමය නිසා සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබන කණ්ඩායම් දෙකක් ගැන බයිබලයේ සඳහන් වෙනවා.

එක කණ්ඩායමකට සදාකාල ජීවනය ලැබෙන්නේ ස්වර්ගයේ. තමන් සමඟ තේජසින් යුතුව පාලනයට හවුල් වීම සඳහා ගෝලයන්ට ස්වර්ගයේ ස්ථානයක් සූදානම් කරන බව යේසුස් පැවසුවේ ඒ නිසයි. (යොහන් 14:2, 3; ෆිලිප්පි 3:20, 21) ඒ අය ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. “ඔවුහු දෙවිගෙත් ක්‍රිස්තුස්ගෙත් පූජකයෝ වන්නෝය. එමෙන්ම ඔවුහු අවුරුදු දහස පුරා ක්‍රිස්තුස් සමඟ රජකම් කරන්නෝය.”එළිදරව් 20:6.

යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවා. “කුඩා රැළ භය නොවන්න. මන්ද ඔබට රාජ්‍යය ලබා දෙන්න ඔබේ පියාණන් තම අනුමැතිය දී තිබෙනවා.” (ලූක් 12:32) යේසුස් ඔවුන්ව ‘කුඩා රැළ’ කියා හැඳින්වීමෙන් පැහැදිලි වෙන්නේ ස්වර්ගයට යන්නේ සුළු පිරිසක් බවයි. එළිදරව් 14:1, 4හි ඒ සුළු පිරිසට ඇතුළත් වෙන්නේ කීදෙනෙක්ද කියා සඳහන් වෙනවා. “බලන්න, බැටළු පැටවා [යේසුස්] සියොන් කන්ද මත [ස්වර්ගයේ] සිටගෙන සිටින ආකාරය මම දුටුවෙමි. ඔහු සමඟ එක්ලක්ෂ හතළිස් හාරදහස්දෙනෙක් සිටියෝය. ඔවුන්ගේ නළල් මත ඔහුගේ නාමයද ඔහුගේ පියාණන්ගේ නාමයද ලියා තිබිණ. . . . දෙවි සහ බැටළු පැටවා වෙනුවෙන් පළමු පල ලෙස මිනිසුන් අතරින් මිල දී ගෙන තිබෙන්නේ ඔවුන්වය.” පොළොව මත ජීවත් වුණු බිලියන ගණන් මිනිසුන් හා සසඳන විට ඒ 1,44,000දෙනා ඇත්තෙන්ම ‘කුඩා රැළක්.’

සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබන දෙවන කණ්ඩායම ගැන යේසුස් පැවසුවේ මෙහෙමයි. “මේ ගාලට අයිති නැති වෙනත් බැටළුවන්ද මට සිටිනවා. මම උන්ටද මඟ පෙන්විය යුතුයි. එවිට උන් මගේ හඬට කීකරු වෙනවා. උන් සියලුදෙනාම එක එඬේරෙක් යටතේ සිටින එක රැළක් වෙයි.” (යොහන් 10:16) එහි “වෙනත් බැටළුවන්” කියා හඳුන්වන්නේ මේ පොළොව මත සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුව තිබෙන මිනිසුන්වයි. ඔවුන් සදහටම ජීවත් වෙන්නේ මේ පොළොවේ කියා පවසන්න ඇති පදනම කුමක්ද?

මේ පොළොව පාරාදීසයක් වෙන කාලයේදී අද්දකින්න ලැබෙන ආශීර්වාද ගැන බයිබලයේ හුඟක් තැන්වල සඳහන් වෙනවා. ඒ ගැන දැනගන්න ඔබේ බයිබලයෙන් මේ පද කියවන්න. ගීතාවලිය 37:9-11; 46:8, 9; 72:7, 8, 16; යෙසායා 35:5, 6; 65:21-23; මතෙව් 5:5; යොහන් 5:28, 29; එළිදරව් 21:4. ඒ බයිබල් පදවල යුද්ධ, සාගත, ලෙඩ රෝග හා මරණය නැති වීම ගැනත් ධර්මිෂ්ඨ මිනිසුන් ගෙවල් ගොඩනඟා ගෙන තම දරුවන් සමඟ සුරක්ෂිතව හා ප්‍රීතියෙන් ජීවත් වෙන ආකාරය ගැනත් සඳහන් වෙනවා. * එවැනි කාලයක ජීවත් වීමට ලැබීම මොන තරම් ආශීර්වාදයක්ද! බයිබලයේ සඳහන් ඒ පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියා විශ්වාස කරන්න අපිට ඕන තරම් හේතු තියෙනවා.

දෙවියන් කර ඇති දේ මොන තරම්ද!

ඔබ වෙනුවෙනුත් මුළු මිනිස් වර්ගයා වෙනුවෙනුත් දෙවියන් කර තිබෙන දේවල් ගැන සිතා බලන්න. ඔහු අපි හැමෝටම ජීවිතයත් ජීවිතය ගෙන යෑමට අවශ්‍ය දේත් සිතීමේ හැකියාවත් යම් දුරකට හෝ නිරෝගී සෞඛ්‍යයත් ලබා දී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි යොහන් 3:16 සඳහන් ආකාරයට මිනිස් වර්ගයාව ගලවාගන්න යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් දෙවියන් පියවර ගත් නිසා තවත් ආශීර්වාද රැසක් ලැබීමටත් නියමිතයි.

ලෙඩ රෝග, යුද්ධ, සාගත හා මරණය නැති කාලයක සදහටම ජීවත් වෙන්න ලැබෙන විට එය මොන තරම් ප්‍රීතිමත් කාලයක් වෙයිද! නමුත් ඇත්තටම එවැනි කාලයක ඔබට ජීවත් වෙන්න ලැබෙනවාද නැද්ද කියා තීරණය වෙන්නේ ඔබ දැන් කරන දේ අනුවයි. ඒ නිසා ඔබ වෙනුවෙන් මෙතරම් දේවල් කර තිබෙන දෙවියන් වෙනුවෙන් ඔබ කළ යුත්තේ කුමක්ද කියා සිතා බලන්න.

^ 24 ඡේ. වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 3වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.