පැනයට පිළිතුර බයිබලයෙන්
ඇත්තටම මේ පොළොව පාලනය කරන්නේ කවුද?
හුඟක් අය හිතන්නේ දෙවියන් මේ පොළොව පාලනය කරනවා කියලා. එහෙනම් මෙච්චර දුක් වේදනා තියෙන්න පුළුවන්ද? (ද්විතීය කතාව 32:4, 5) බයිබලයේ කියන්නේ මුළු ලෝකයම දුෂ්ටයෙක්ගේ බලපෑමට යටත්ව තියෙනවා කියලයි.—1 යොහන් 5:19 කියවන්න.
දුෂ්ට කෙනෙක් මිනිසුන්ව පාලනය කරන්න පටන්ගත්තේ කොහොමද? මිනිසුන්ගේ ආරම්භයේදීම දේවදූතයෙක් දෙවියන්ට විරුද්ධව කැරලිගැහුවා. ඒ දේවදූතයා මුල් මිනිස් යුවළවත් එහෙම කරන්න පෙලඹුවා. (උත්පත්ති 3:1-6) ඔහු තමයි සාතන්. දෙවියන්ට අකීකරු වුණ ඒ යුවළ සාතන්ව තමන්ගේ පාලකයා කරගත්තා. ඒත් අපේ පාලකයා වීමේ අයිතිය තියෙන්නේ අපිව නිර්මාණය කරපු දෙවියන්ටයි. ඔහු කැමති අපි ඔහුට තියෙන ප්‍රේමය නිසා ඔහුගේ පාලනය පිළිගන්නවාටයි. (ද්විතීය කතාව 6:6; 30:16, 19) සාතන් මුල් මිනිස් යුවළව නොමඟ යැව්වා වගේ හුඟදෙනෙක්වත් නොමඟ යවලා තියෙන නිසා ඒ අය දෙවියන්ව ප්‍රතික්ෂේප කරලා තියෙනවා.—එළිදරව් 12:9 කියවන්න.
මිනිසුන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් ගේන්නේ කවුද?
දිගටම සාතන්ට පාලනය කරන්න දෙවියන් ඉඩහරියිද? නැහැ. සාතන් නිසා මේ ලෝකයට වෙලා තියෙන හානිය දෙවියන් යේසුස් මගින් නැති කරනවා.—1 යොහන් 3:8 කියවන්න.
සාතන්ව විනාශ කරන්න දෙවියන් යේසුස්ට බලය දෙනවා. (රෝම 16:20) ඊටපස්සේ දෙවියන්ගේ පාලනය යටතේ ඔහු මුලින් අරමුණු කළ විදිහට මිනිසුන්ට ප්‍රීතිමත් කාලයක් උදා වෙනවා.—එළිදරව් 21:3-5 කියවන්න.