Skip to content

පටුනට යන්න

ජීවනය ලබා දෙන ආහාරය ගැන අහලා තියෙනවාද?

ජීවනය ලබා දෙන ආහාරය ගැන අහලා තියෙනවාද?

බෙත්ලෙහෙම් නගරයේ සංචාරය කරන්න පිරිසක් ගියා. ඉතිහාසගත තැන් කීපයක් නැරඹුවට පස්සේ ලොකු බඩගින්නක් දැනුණ නිසා ඒ ප්‍රදේශයට ආවේණික කෑමක රස බලන්න ඔවුන් අවන්හලකට ගොඩ වුණා. එහිදී තක්කාලියි ලූනුයි කඩලයි මිශ්‍ර කරලා වඩේ වගේ හදපු කෑමක් රොටි එක්ක කන්න ලැබුණා. රස නහර පිනා යන ඒ කෑම කෑවට පස්සේ ගමනේ ඉතුරු ටික යන්න ඔවුන්ට නව පණක් ආවා.

ඔවුන් රස බලපු රොටිවලට දිග ඉතිහාසයක් තියෙනවා කියලා ඔවුන් දන්නේ නැතුව ඇති. දැනට අවුරුදු දහස් ගණනකට කලින් ඉඳලම බෙත්ලෙහෙමේ ප්‍රධාන ආහාරය වුණේ රොටියි. බෙත්ලෙහෙම යන නමේ තේරුම රොටිවලට ප්‍රසිද්ධ නගරයක් කියන එකයි.රූත් 1:22; 2:14.

දැනට අවුරුදු 4,000කට විතර කලින් බෙත්ලෙහෙමට දකුණින් පිහිටා තිබුණු නගරයක තමයි ආබ්‍රහම් හා සාරා ජීවත් වුණේ. ඔවුන්ව හමු වෙන්න ආපු අමුත්තන්ට සාරා ‘රොටි’ හදලා දුන්නා කියලා වාර්තා වෙනවා. (උත්පත්ති 18:6) සාරා රොටි හදන්න පාවිච්චි කරපු “සිහින් පිටි” ලබාගන්න ඇත්තේ ඒ ප්‍රදේශයේ වැවෙන එමර් කියන තිරිඟුවලින් හරි බාර්ලිවලින් හරි කියලා හිතන්න පුළුවන්. සාරා රොටි පුලුස්සගන්න ඇත්තේ රත් වුණ ගල්වල තියලයි.1 රාජාවලිය 19:6.

ඒ වාර්තාවේ හැටියට ආබ්‍රහම්ගේ පවුලේ අයට අවශ්‍ය රොටි ඔවුන්ම හදාගත්තා කියලා පැහැදිලියි. තැනින් තැන ගිහින් ජීවත් වුණු නිසා සාරාට හා ඇගේ සේවකයන්ට ඌර් දේශයේ තිබුණා වගේ උදුන් තියෙන්න නැතුව ඇති. සාරා සිහින් පිටි ලබාගත්තේ ධාන්‍ය වර්ගවලින්. මුලින්ම ඇඹරුම් ගලකින් ධාන්‍යය ටික අඹරලා ඊටපස්සේ වංගෙඩියකට දාලා කොටාගත්තා. ඒක ලේසි පහසු කාර්යයක් වුණේ නැහැ.

ආබ්‍රහම්ගේ කාලයෙන් අවුරුදු හාරසීයකට විතර පස්සේ දෙවියන් මෝසෙස් මාර්ගයෙන් දීපු නීතියේ කියලා තිබුණේ කෙනෙක් ණයක් ගත්තොත් ඒකට ඇපයක් විදිහට ඇඹරුම් ගලක් ගන්න එපා කියලයි. දෙවියන් එහෙම නීතියක් දුන්නේ ඇඹරුම් ගල “ජීවිතය රැකගන්න” අත්‍යවශ්‍ය දෙයක් නිසයි. (ද්විතීය කතාව 24:6) පවුලකට අවශ්‍ය කෑම පිළියෙල කරගන්න ඇඹරුම් ගලක් නැතුවම බැරි වුණා.—‘ ඉපැරණි කාලවල දිනචර්යාවේ කොටසක්’ යන කොටුව බලන්න.

හිත සතුටු කරන කෑම

බයිබලයේ රොටි ගැන බොහෝ වාර ගාණක් සඳහන් කරලා තියෙනවා. කෑම කියන වචනය වෙනුවට බයිබලයේ සමහර තැන්වල රොටි කියලා සඳහන් වෙනවා. “දිනපතා අපට අවශ්‍ය ආහාර අපට ලබා දෙන්න” කියලා දෙවියන්ගේ සේවකයන්ට යාච්ඤා කරන්න පුළුවන් කියලා යේසුස් කිව්වා. (මතෙව් 6:11) ඔහු එහෙම කිව්වේ දෙවියන් එදිනෙදාට අවශ්‍ය කෑම දෙනවා කියලා ස්ථිර වෙන්න පුළුවන් නිසයි.ගීතාවලිය 37:25.

කොහොමවුණත් කෑමට වඩා වැදගත් දෙයක් ගැනත් යේසුස් කිව්වා. “මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත පමණක් නොව යෙහෝවා දෙවි පවසන සෑම දෙයක් මතයි.” (මතෙව් 4:4) යේසුස් කිව්වේ එදා ඊශ්‍රායෙල්වරුන් තමන්ට අවශ්‍ය කෑම සඳහා යෙහෝවා දෙවියන් මත සම්පූර්ණයෙන්ම රඳා සිටිය කාලය ගැනයි. ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිට වෙලා මාසයකට විතර පස්සේ සීනයි පාළුකරයට ආවා. ඒ වෙද්දී ඒ අය ගෙනාපු කෑම ඉවර වේගන ගිහින් තිබුණ නිසා කිසිම දෙයක් නැති පාළුකරයේ කෑම නැතුව මැරෙන්න සිද්ධ වෙයි කියලා ඔවුන් හිතුවා. ඒ නිසා ඒ අය ඊජිප්තුවේදී “කොච්චර කෑම ජාති අපි කෑවද” කියලා මැසිවිලි නඟන්න පටන්ගත්තා.නික්මයාම 16:1-3.

මෝසෙස්ගේ කාලයේදී විවිධ රොටි වර්ග හා රසකැවිලි හදන්න දක්ෂ අය හිටියා. ඒ නිසා ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ ඉද්දී අනිවාර්යයෙන්ම රසවත් කෑම කන්න ඇති. ඒත් ඔවුන් පාළුකරයේ හිටියත් දෙවියන් තම සෙනඟට හාමතේ මැරෙන්න ඉඩහැරියේ නැහැ. ඔහු ඒ අයට මෙහෙම පොරොන්දු වුණා. “මම ඔබට අහසෙන් කෑම වැටෙන්න සලස්වන්නෙමි.” පොරොන්දු වුණ විදිහටම ඔහු හැම උදේකම “හිමවලට සමාන වූ ඉතා කුඩා ඇට වර්ගයක්” අහසෙන් වැටෙන්න සැලැස්සුවා. ඒක දැකපු පළවෙනි දවසේම ඊශ්‍රායෙල්වරුන් කුතුහලයෙන් “ඒ මොනවාද” කියලා ඇහුවා. එතකොට මොසෙස් මෙහෙම කිව්වා. “මේ තිබෙන්නේ යෙහෝවා දෙවි ඔබට දුන් කෑම.” ඒ අය ඒකට මන්නා * කියලා කිව්වා. අවුරුදු 40ක්ම ඊශ්‍රායෙල්වරුන් කෑවේ ඒ මන්නා.නික්මයාම 16:4, 13-15, 31.

මුලින් ආශ්චර්යවත් විදිහට මන්නා ලැබුණම ඊශ්‍රායෙල්වරුන් හුඟක් සතුටු වෙන්න ඇති. ඒවා “පැණි දමා සෑදූ කැවිලිවල රසට” සමානයි. (නික්මයාම 16:18) ඒ අය ඊජිප්තුවේ විවිධ කෑම වර්ග කාලා තිබුණු නිසා කාලයක් යද්දී මන්නා ගැන මෙහෙම කිව්වා. “දැන් අපිට කන්න තියෙන්නේ මන්නා විතරයි.” (ගණන් කතාව 11:6) පස්සේ කාලෙකදී “මේ කිසි කමකට නැති කෑම අපිට දැන් එපා වෙලා” කියලා ඔවුන් මැසිවිලි නැඟුවා. (ගණන් කතාව 21:5) අන්තිමේදී “ස්වර්ගයෙන්” ලැබුණු මන්නා ඒ අයට තිත්ත වුණා.ගීතාවලිය 105:40.

ජීවනය ලබා දෙන ආහාරය

අපිට ලැබෙන හුඟක් දේවල් අපි අගය නොකරනවා වගේ කෑමත් අගය නොකරන්න ඉඩ තියෙනවා. ඒත් අනිවාර්යයෙන්ම අගය කරන්න ඕන කෑමක් ගැන බයිබලයේ කියනවා. යේසුස් ඒ කෑම සමාන කළේ ඊශ්‍රායෙල්වරුන් එපා කියපු මන්නාවලටයි.

යේසුස් ඒ ගැන මෙහෙම කිව්වා. “ජීවනය ලබා දෙන ආහාරය මමයි. පාළුකරයේ සැරිසරමින් සිටි ඔබේ මුතුන්මිත්තන් මන්නා ආහාරයට ගත්තත් ඔවුන් සියලුදෙනාම මහලු වී මිය ගියා. නමුත් ස්වර්ගයෙන් පැමිණෙන සැබෑ ආහාරය කන කිසි කෙනෙකු මිය යන්නේ නැහැ. ස්වර්ගයෙන් පැමිණි ඒ ජීවනදායක ආහාරය මමයි. කෙනෙක් එම ආහාරය කෑවොත් ඔහු සදාකල් ජීවත් වෙනවා. ඇත්තටම මා ලබා දෙන ආහාරය නම් ලෝකයට ජීවනය ලබා දීම සඳහා මා පූජා කරන මගේ ශරීරයයි.”යොහන් 6:48-51.

යේසුස් කියපු “ආහාරය” හා “ශරීරය” ගැන හුඟදෙනෙක්ට තේරුණේ නැහැ. අතීතයේදී යුදෙව්වන්ගේ ප්‍රධාන ආහාරය වුණේ රොටි. ඒ වගේම පාළුකරයේදී අවුරුදු 40ක් පුරා ඊශ්‍රායෙල්වරුන්ගේ පණ රැකුණේ මන්නා නිසයි. මන්නා දෙවියන්ගෙන් ලැබුණු දෙයක් වුණත් ඒකෙන් කාටවත් සදාකාල ජීවනය හිමි වුණේ නැහැ. ඒත් යේසුස්ගේ ජීවිත පූජාව නිසා ඔහු ගැන විශ්වාසය තියන අයට සදාකාල ජීවනය ලැබෙනවා. ඒ අර්ථයෙන් බලද්දී යේසුස් ඇත්තෙන්ම “ජීවනය ලබා දෙන ආහාරයයි.”

බඩගිනි වුණාම ඔබ යමක් කනවා වෙන්න පුළුවන්. ඒ කෑම දුන්න එක ගැන ඔබ දෙවියන්ට ස්තුති කරනවා වෙන්නත් පුළුවන්. (මතෙව් 6:11) ඒත් අපි ඊටත් වඩා “ජීවනය ලබා දෙන ආහාරය” වන යේසුස්ව අගය කරන්න ඕන.

ඊශ්‍රායෙල්වරුන් තමන්ට ලැබුණ දේ අගේ කළේ නැහැ. ඒත් අපි දෙවියන්ගෙන් ලැබුණු මිල කරන්න බැරි ආහාරය කිසිදාක සුළු නොකරමු. යේසුස් කිව්වේ “ඔබ මට ප්‍රේම කරනවා නම් මම ආඥා කළ දේවල් ඔබ පිළිපදිනවා” කියලයි. (යොහන් 14:15) යේසුස්ගේ ආඥා පවත්වනවා නම් අපිට සදාකාල ජීවිතය භුක්ති විඳින්න පුළුවන්.ද්විතීය කතාව 12:7.

^ 10 ඡේ. හෙබ්‍රෙව් භාෂාවෙන් “මන්නා” කියන වචනයේ තේරුම “ඒ මොනවාද” කියන එක වෙන්න ඇති.