Skip to content

පටුනට යන්න

 ජීවිත කතාව

ප්‍රීතියෙන් දෙවියන්ට සේවය කරන්න පුළුවන් වුණා

ප්‍රීතියෙන් දෙවියන්ට සේවය කරන්න පුළුවන් වුණා

පොඩි කාලේ ඉඳලම මං හිටියේ ලොකු පීඩනයකින්. ඒ කාලයේ ජාති භේද තිබුණ නිසා මං හිතුවා මට සමාජයේ තැනක් නැති වෙයි කියලා. අනික මං කොහොමටත් ලැජ්ජාශීලී කෙනෙක්. සහනයක් ලබාගන්න හිතාගෙන මම බයිබලය ඉගෙනගන්න පල්ලියට ගියා. ඒත් හිතපු විදිහට සහනයක් ලැබුණේ නැති හින්දා ක්‍රීඩාවට යොමු වුණා.

මම ජිම් එකටත් ඒ වගේම ජිම්නාස්ටික් පුහුණු වෙන්නත් ගියා. කාලයක් යද්දී මම මගේම කියලා ජිම් එකක් කැලිෆෝර්නියාවේ පටන්ගත්තා. ඇමරිකාවේ අයෝමය පුරුෂයා හැටියට තේරුණු කෙනා එක්ක වගේම ඒ වගේ තව අය එක්කත් මං වැඩ කළා. මටත් ඒගොල්ලෝ වගේ ඇඟ හදාගන්න පුළුවන් වුණත් ලොකු හිස්කමක් දැනුණා.

හොයපු දේ හම්බ වුණා

මට බයිබලය ගැන ඉගෙනගන්න ආසාවක් තියෙනවා කියලා මාත් එක්ක වැඩ කරන කෙනෙක් දැනගෙන හිටියා. එයා කිව්වා මට කෙනෙක්ව මුණගස්වන්නම් කියලා. ඊළඟ දවසේ උදේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් අපේ ගෙදර ආවා. පැය හතරක් තිස්සේ මං අහපු ප්‍රශ්නවලට එයා බයිබලයෙන්ම උත්තර දුන්නා. එදාම හැන්දෑවේ ආයෙත් එන්න කියලා මං එයාට කිව්වා. අපි රෑ දොළහ විතර වෙනකම්ම බයිබලයේ තියෙන දේවල් ගැන කතා කෙරුවා. දැනගත්ත දේවල් ගැන කොච්චර ආසාවක් ඇති වුණාද කියනවා නම් දේශනා සේවය කරන විදිහ බලන්න ඊළඟ දවසෙම මාවත් එක්කගෙන යන්න කියලා මං එයාට කිව්වා. මිනිසුන් අහන ප්‍රශ්නවලට එයා බයිබලයෙන් උත්තර දෙනවා දැක්කම මට පුදුම හිතුණා. එදාම මං හිතාගත්තා කවදාහරි මාත් එයා වගේ සේවය කරනවා කියලා.

ඒ නිසා මං මගේ ව්‍යාපාරය නතර කරලා එයත් එක්ක සේවයේ ගියා. එයා පුරෝගාමියෙක්. ඒ කියන්නේ දෙවියන්ට පූර්ණකාලීනව සේවය කරපු කෙනෙක්. 1948 මැයි මාසයේ කැලිෆෝර්නියාවේ තිබ්බ සමුළුවකදී මම බව්තීස්ම වුණා. ඒ අවුරුද්දෙම මාත් පුරෝගාමි සේවය පටන්ගත්තා.

මම මගේ අම්මාටත් සත්‍යය කියලා දෙන්න සාක්ෂිකරුවන්ව යැව්වා. අම්මා ඉක්මනින්ම සත්‍යය පිළි අරන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් වුණා. පවුලේ අය විරුද්ධ වුණත් අම්මා මරණය දක්වාම විශ්වාසවන්තව හිටියා. පවුලේ වෙන කවුරුවත් සත්‍යය පිළිගත්තේ නැහැ.

සහකාරියක් හම්බ වුණා

මම 1950දී කොලරාඩොවල පදිංචියට ගියා. මට බිලීව හම්බ වුණේ එහෙදියි. බිලී ඉපදිලා තිබුණේ 1928. ඒ කාලයේදී ඇමරිකාවේ ආර්ථිකය බිඳ වැටිලා තිබුණ නිසා මිනිසුන් ජීවිතය ගැටගහගත්තේ හරිම අමාරුවෙන්. බිලීගේ අම්මා මිනී. අම්මා හැමදාම රෑට භූමිතෙල් ලාම්පු එළියෙන් බිලීත් එක්ක බයිබලය කියෙව්වා. ඒ නිසා එයාට අවුරුදු හතරක් වෙද්දී කියවන්නත් ගොඩක් බයිබල් කතන්දර කටපාඩමින් කියන්නත් පුළුවන්කම තිබුණා. 1940 ගණන්වල අගභාගය වෙද්දී එයාගේ අම්මා දැනගත්තා නිරය කියලා පරිවර්තනය කරලා තියෙන වචනයෙන් අදහස් කරන්නේ මිනීවළ මිසක් මිනිසුන් වධ විඳින තැනක් නෙමෙයි කියලා. (දේශනාකාරයා 9:5, 10) එයාගේ අම්මායි තාත්තායි දෙන්නම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වුණා.

 1949දී බිලී ඉගෙනීම අවසන් කළාට පස්සේ බයිබලයේ තියෙන දේවල් ගැඹුරින් අධ්‍යයනය කරන්න පටන්ගත්තා. ගුරු වෘත්තිය තෝරගන්නවාට වඩා දෙවියන්ට කැප වෙලා සේවය කරන්න එයා තීරණය කළා. 1950 නිව් යෝර්ක්වල යැංකි ක්‍රීඩාංගණයේ තිබුණු ජාත්‍යන්තර සමුළුවේදී එයා බව්තීස්ම වුණා. ඒකෙන් ටික කාලෙකට පස්සේ අපි විවාහ වෙලා පුරෝගාමි සේවය පටන්ගත්තා.

අපි මුලින්ම සේවය කෙරුවේ ඔරිගන්වල ඉයුජින් කියන ප්‍රදේශයේ. අපිට හිතවත් යාළුවෝ ගොඩක් හම්බ වුණා. ඊටපස්සේ අපි 1953දී තවත් කුඩා සභාවකට උදව් කරන්න ගියා. අපිට ඒ අවුරුද්දෙම සාක්ෂිකරුවන් නිව් යෝර්ක්වල පවත්වන 23වෙනි ගිලියද් පාසැලට යන්න අවස්ථාව ලැබුණා. ඒක වෙන රටකට ගිහින් සේවය කරන්න පුහුණුවක් ලබා දෙන පාසැලක්.

බ්‍රසීලයට ගියා

මාස පහක ගිලියද් පුහුණුවෙන් පස්සේ, ඒ කියන්නේ 1954 දෙසැම්බර් මාසයේ අපිට බ්‍රසීලයේ සේවය කරන්න පැවරුමක් ලැබුණා. බ්‍රසීලයට පිටත් වෙලා පැයක් යද්දී අපේ ගුවන් යානයේ කාර්මික දෝෂයක් ඇති වුණ නිසා බර්මියුඩාවලදී ගුවන් යානය බැස්සුවා. එතනින් පිටත් වෙලා යද්දී ආයිත් හදිසියෙන්ම කියුබාවල යානය නවත්වන්න සිද්ධ වුණා. පැය 36ක් එතන හිටියා. අන්තිමට අපි බ්‍රසීලයේ රියෝ ඩි ජැනිරෝවල තියෙන සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ආවා.

1955දී බව්රුවල මුල්ම නමස්කාර මධ්‍යස්ථානය. කුලියට ගත්ත ගොඩනැඟිල්ලේ අකුරු ඇන්දේ මමයි

ඊටපස්සේ මායි බිලීයි තවත් දෙන්නෙකුයි සේවය කරන්න සාඕ පවුලෝවල බව්රු නගරයට ගියා. ඒ නගරයේ 50,000කට වැඩි සෙනඟක් හිටියා. අපි තමයි එහෙට මුලින්ම ගිය සාක්ෂිකරුවන්.

අපි ඒ නගරයේ ගෙයින් ගෙට සේවයේ යන එක ආරංචි වුණාම එහෙ හිටපු කතෝලික පූජකයා අපිට විරුද්ධ වුණා. ඔහු අපි යන යන තැන්වලට ඇවිල්ලා අපේ පණිවිඩේ අහන්න එපා කියලා මිනිසුන්ට තර්ජනය කළා. ඒත් සති කීපයක් තරම් කෙටි කාලයකදී ලොකු පවුලක් සත්‍යය ඉගෙනගන්න පටන්ගත්තා. පස්සේ ඒ අය බව්තීස්ම වුණා. අනිත් අයත් සත්‍යය ඉගෙනගන්න පෙලඹුණා.

බව්තීස්ම වුණ පවුලේ අයගේ නෑදෑයෙක් එහේ තිබුණු සමිතියක සභාපති හැටියට සේවය කළා. මම ඔවුන්ගේ ශාලාවේ සමුළුවක් තියන්න අවසර ඉල්ලගත්තා. ඒත් අපිට ශාලාව දෙන්න එපා කියලා පූජකයා තදින්ම කිව්වා. එතකොට සභාපති අනිත් සාමාජිකයන්ට මෙහෙම කිව්වා. “ඔයගොල්ලන් ඒ අයට දීපු අවසරය අවලංගු කෙරුවොත් මම ඉල්ලලා අස් වෙනවා.” අපිට සමුළුව තියන්න පුළුවන් වුණා.

1956දී අපිට සාඕ පවුලෝවල සැන්ටොස් නගරයේ තිබුණු සමුළුවකට සහභාගි වෙන්න ආරාධනාවක් ලැබුණා. අපේ සභාවෙන් 40දෙනෙක් විතර ඒකට සහභාගි වුණා. සමුළුවෙන් පස්සේ ආපහු බව්රුවලට ආවාම, සංචාරක සේවකයෙක් විදිහට සේවය කරන්න කියලා මට ලියුමක් එවලා තිබුණා. සංචාරක සේවය කියන්නේ සභාවලට ගිහින් අනිත් අයව දිරිගන්වන සේවයටයි. එදා ඉඳලා මම අවුරුදු 25ක් විතර ඒ විදිහට සේවය කරපු නිසා බ්‍රසීලයේ හුඟක් තැන්වලට යන්න ලැබුණා.

බව්රුවල උද්‍යෝගයෙන් සේවය කරපු කණ්ඩායමක් අවුරුද්දක් ඇතුළත ඇති වුණා

අපේ සේවය

ඒ දවස්වල ගමන් යන එක ලේසි වුණේ නැහැ. අපි බස් එකේ, කෝච්චියේ, බයිසිකලෙන් වගේම පයිනුත් ගියා. ඒ විදිහට අපි මුළු රට පුරාම සේවය කෙරුවා. සාඕ පවුලෝවල මුලින්ම ගිය නගරයක පූජකයෙක් අපිට මෙහෙම තර්ජනය කළා.

“ඔයාලට මෙහේ දේශනා කරන්න බැහැ. මෙහේ ඉන්නේ මගේ බැටළුවෝ.”

එතකොට අපි කිව්වා “බැටළුවෝ අයිති ඔයාට නෙමෙයි දෙවියන්ට” කියලා.

මුළු ලෝකේ පුරාම කරන අපේ සේවය ගැන විස්තර තියෙන වීඩියෝ එකක් (The New World Society in Action) පෙන්නන්න අපි සැලසුම් කළා. පූජකයාට මේක ආරංචි වෙලා එයා මැර කල්ලියක් ලෑස්ති කෙරුවා අපිට පහර දෙන්න. ඒක දැනගත්තම අපි ඉක්මනටම පොලීසියට දැන්නුවා. අපි වීඩියෝ එක පෙන්නන තැනට පූජකයා එයාගේ මැර කල්ලිය එක්ක  එනකොට ඇතුල් වෙන තැනම පොලීසියෙන් මුරට හිටියා. කරදරයක් නැතුව හැමෝම වීඩියෝ එක බලලා හුඟක් ප්‍රීති වුණා.

අපි බ්‍රසීලයේ සේවය කරපු හැම තැනකම වගේ විරුද්ධවාදිකම් තිබුණා. අපි සභාවලට යද්දී සාන්ත කතරිනාවල දරුණු පීඩා යටතේ සේවය කරපු පුරෝගාමීන් දෙන්නෙක්ව මුණගැහුණා. ඒ අය විඳදරාගත්ත නිසා ගොඩක් ආශීර්වාද ලැබුණා. ඒ ප්‍රදේශයේ සේවය පටන් අරන් අවුරුදු 50කට පස්සේ දැන් සභා 60කට වැඩියෙන් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ ළඟම තියෙන ඉටජායි කියන නගරයේ ලස්සන සමුළු ශාලාවකුත් තියෙනවා.

අපේ සේවයේ අපිට ලැබුණු අමතක නොවෙන දෙයක් තමයි අනිත් අයත් එක්ක එකතු වෙලා විශාල සමුළු සංවිධානය කරපු එක. 1970 ගණන්වලදී විශාල ක්‍රීඩාංගණයක පවත්වපු සමුළුවක සමුළුව භාර වැඩිමහල්ලා හැටියට මට සේවය කරන්න අවස්ථාව ලැබුණා. අවට සභා 100ක් විතර තිබුණා. එක සභාවකින් 10දෙනා ගාණේ සමුළුවට කලින් දවසේ රෑ පිරිසිදු කරන්න එන්න කියලා අපි දැනුම් දුන්නා.

එදා රෑ ක්‍රීඩකයන් පිට වෙලා යද්දී අපේ පිරිසිදු කරන කණ්ඩායමට මෙහෙම විහිළු කෙරුවා. “කොසු, මොප් අරගෙන ඉන්න මේ පොඩි ගෑනු ටිකට පුළුවන්ද මේක සුද්ද කරන්න?” ඒත් අපි රෑ 12වෙන කොට මුළු ක්‍රීඩාංගණයම පිරිසිදු කරලා ඉවර කළා. “ඔයගොල්ලන් පැය කීපයකින් කරපු දේ කරන්න අපේ අයට සතියක් විතර යාවි” කියලා ඒකේ කළමනාකරු කිව්වා.

ආපහු ඇමරිකාවට

1980දී මගේ තාත්තා නැති වුණා. ඒ නිසා අපි අම්මාව බලාගන්න කැලිෆෝර්නියාවට ගියා. ඒත් අපි පුරෝගාමි සේවය අත්හැරියේ නැහැ. පෘතුගීසි කතා කරන අය හිටිය ප්‍රදේශවල සේවය කළා. අපේ වියදම් පිරිමහගත්තේ රෑට ගොඩනැඟිලි පිරිසිදු කරලයි. කැලිෆෝර්නියාවල පෘතුගීසි අය ඉන්න විශාල ප්‍රදේශයක සේවය කෙරුවා. දැන් එහේ පෘතුගීසි කතා කරන සභා 10ක්ම තියෙනවා.

මගේ අම්මා 1995දී නැති වුණාට පස්සේ අපි බිලීගේ තාත්තාව බලාගන්න ෆ්ලොරිඩාවලට ගියා. බිලීගේ අම්මා නැති වුණේ 1975දියි. බිලීගේ තාත්තා මැරෙනකම්ම අපි එයාව බලාගත්තා. 2000දී අපි කොලරාඩෝවලට නිරිත දිගින් පිහිටලා තියෙන කාන්තාර ප්‍රදේශයක සේවය කරන්න ගියා. අපි පූර්ණකාලීන සේවකයන් හැටියට ඒ ප්‍රදේශවල ඉන්න රතු ඉන්දියානු අයට සත්‍යය ඉගෙනගන්න උපකාර කළා. 2014 පෙබරවාරි මාසේ ආදරණීය බිලී නැති වුණා.

හැම ප්‍රශ්නයකටම බයිබලයෙන්ම උත්තර දෙන්න පුළුවන් සාක්ෂිකරුවෙක්ව අවුරුදු 65කට කලින් හම්බ වුණු එක මොන තරම් වරප්‍රසාදයක්ද! එයා කියපු හැම දෙයක්ම සත්‍යයද කියලා බයිබලයෙන් හොයලා බලපු එක ගැන මං සතුටු වෙනවා. මට ප්‍රීතියෙන් දෙවියන්ට සේවය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසයි.