Skip to content

පටුනට යන්න

ඔයා ඉන්නේ දෙවියන් ගැන කලකිරිලාද?

ඔයා ඉන්නේ දෙවියන් ගැන කලකිරිලාද?

“ඇයි මට මෙහෙම වුණේ? මෙහෙම වෙන්න දෙවියන් ඉඩ ඇරියේ ඇයි?” එහෙම හිතුවේ අනතුරක් නිසා ජීවිත කාලෙටම රෝද පුටුවේ ඉන්න වුණ වයස අවුරුදු 24ක් වන බ්‍රසීලයේ සිඩ්නේ.

අනතුරක්, අසනීපයක්, මරණයක්, ස්වාභාවික විපතක් හෝ යුද්ධයක් නිසා වේදනා විඳින අය දෙවියන් ගැන කලකිරෙන්න ඉඩ තියෙනවා. ඒක අලුත් දෙයක් නෙමෙයි. අතීතයේ හිටිය යෝබ්ටත් විපත්තිවලට මුහුණ දෙද්දී දෙවියන් ගැන හැඟුණේ ඒ විදිහට. ඔහු කිව්වේ මෙහෙමයි. “මා උපකාරය පතා මොරගැසුවද ඔබ මට පිළිතුරු දුන්නේ නැත. මම සිටගත්තෙමි. එහෙත් ඔබ මා දෙස බැලුවේ නැත. ඔබ වෙනස් වී ඇත. මට කුරිරු ලෙස සැලකුවෙහිය. ඔබ මා සමඟ උදහස් වී ඔබේ මුළු වැර යොදා මට පහර දුන්නෙහිය.”—යෝබ් 30:20, 21.

ඒ විපත්ති ගෙනාවේ කවුද, ඒවාට මුහුණ දෙන්න වුණේ ඇයි, ඒවාට ඉඩහැරියේ ඇයි කියන දේ යෝබ් දැනගෙන හිටියේ නැහැ. ඒත් ඒ වගේ දේවල් වෙන්නේ ඇයි, අපි ප්‍රතිචාරය දක්වන්න ඕන කොහොමද කියලා බයිබලයේ පැහැදිලි කරන එක සතුටට කරුණක්.

දෙවියන්ගේ අරමුණ මිනිසුන් දුක් විඳින එකද?

බයිබලයේ මෙහෙම කියනවා. දෙවියන් “කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත. දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි. ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි. ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි. දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.” (ද්විතීය කතාව 32:4) ‘ධර්මිෂ්ඨ, ප්‍රතිපත්තිගරුක’ දෙවියන් මිනිසුන්ට දුක් වේදනා ගෙනෙයි කියලත් ඔවුන්ට දඬුවම් කරන්න හරි ඔවුන්ව පවිත්‍ර කරන්න හරි විපත්ති පමුණුවයි කියලත් හිතන්න පුළුවන්ද?

බයිබලයේ කියන්නේ “සැබෑ දෙවි කවදා හෝ දුෂ්ට ලෙස ක්‍රියා කරයිද? සියලු බලැති දෙවි අයුක්තියක් කරයි කියා සිතිය හැකිද? එවැනි සිතුවිල්ලක්වත් ඔහුගේ සිතට පහළ වන්නේ නැත” කියලයි. (යෝබ් 34:10) දෙවියන් නිර්මාණය කරපු මුල් මිනිස් යුවළ වන ආදම් සහ ඒවට දුන්නේ පරිපූර්ණ ජීවිතයක්. ඔවුන් හිටියේ කිසි දේකින් අඩුවක් නැති පාරාදීසයක. ඒ වගේම ඔවුන්ට කරන්න අර්ථවත් වැඩත් තිබුණා. දෙවියන් ඔවුන්ට මෙහෙම කිව්වා. “දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න.” එදා ආදම් සහ ඒවට දෙවියන් ගැන කලකිරෙන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ.—උත්පත්ති 1:28.

ඒත් අද හැම දේම කණපිට හැරිලා. දිනෙන් දින මිනිසුන්ගේ ප්‍රශ්න දරුණු වෙනවා. ‘මුළු මිනිස් වර්ගයාම මේ දක්වා එක්ව කෙඳිරිගාමින් හා වේදනා විඳිමින් සිටිනවා’ කියලා බයිබලයේ කියන දේ ඇත්තයි. (රෝම 8:22) සිද්ධ වුණේ මොකක්ද?

ඇයි මෙච්චර දුක් වේදනා?

දුක් වේදනා තියෙන්නේ ඇයි කියලා දැනගන්න ඉතිහාසයේ මුලටම යන්න ඕනේ. කැරලිකාර දේවදූතයෙක් ඒ කියන්නේ සාතන් නැමති යක්ෂයා, ආදම් සහ ඒවව පෙලඹෙව්වා දෙවියන්ට අකීකරු වෙන්න. ඒ දෙන්නාට “හොඳ හා නරක හඳුනාගැනීම යන නමින් හැඳින්වෙන ගසෙන්” කන්න එපා කියලා දෙවියන් ආඥාවක් දුන්නා. ඒත් යක්ෂයා ඒවට කිව්වේ දෙවියන්ට අකීකරු වුණොත් ඔවුන් මැරෙන්නේ නැහැ කියලයි. ඒකෙන් ඔහු ඇඟෙව්වා දෙවියන් බොරුකාරයෙක් කියලා. ඒ වගේම මිනිසුන්ට හොඳ නරක තීරණය කරන්න තියෙන අයිතිය දෙවියන් නැති කරලා කියලත් සාතන් චෝදනා කෙරුවා. (උත්පත්ති 2:17; 3:1-6) සාතන් ඇඟෙව්වේ දෙවියන්ගේ පාලනය නැත්නම් මිනිසුන්ට යහපතක් වෙනවා කියලයි. මේ දේවල් නිසා පාලනය කරන්න දෙවියන්ට සුදුසුකමක් තියෙනවාද කියන ප්‍රශ්නය මතු වුණා.

යක්ෂයා තවත් ප්‍රශ්නයක් මතු කරමින් යෝබ් ගැන මෙහෙම කිව්වා. “ඔබ ඔහුගේ නිවස හා ඔහු සතු සියල්ල වටා ආරක්ෂක පවුරක් දමා තිබෙනවා නොවේද? . . . එහෙත් දැන් ඔහුට විරුද්ධව ඔබේ බලය පාවිච්චි කර ඔහුට අයිති සියල්ල විනාශ කර දමන්න. එවිට ඔහු ඔබේ මුහුණටම ශාප කරන්නේ නැද්ද කියා බලන්න.” (යෝබ් 1:10, 11) සාතන් කිව්වේ යෝබ් ගැන වුණත්, ඔහු ඇඟෙව්වේ හැම කෙනෙක්ම දෙවියන්ට සේවය කරන්නේ ආත්මාර්ථකාමී චේතනාවකින් කියලයි.

දෙවියන් ප්‍රශ්න විසඳුව විදිහ

ඒ ප්‍රශ්න සදහටම විසඳන්න හොඳම ක්‍රමය මොකක්ද? කාටත් වඩා ප්‍රඥාවන්ත, අපේ බලාපොරොත්තු සුන් කරන්නේ නැති දෙවියන් ළඟයි විසඳුම තියෙන්නේ. (රෝම 11:33) කාගේ පාලනයද වඩා උසස් කියලා ඔප්පු කරන්න ඔහු මිනිසුන්ටම මිනිසුන්ව පාලනය කරන්න යම් කාලයකට ඉඩහැරියා.

අද ලෝකය දූෂණය වෙලා තියෙන එකෙන් පැහැදිලි වෙන්නේ මිනිසුන්ගේ පාලනය සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා තියෙනවා කියලයි. මිනිස් පාලනයන් සාමය, සුරක්ෂිතභාවය සහ සතුට ගෙනෙන්න අසමත් වෙලා විතරක් නෙමෙයි මුළු පොළොවම විනාශය අද්දරටම ගෙනැවිත් තියෙනවා. “තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට ඔහුට හැකියාවක්ද නැත” කියලා මිනිසුන් ගැන බයිබලයේ කියන දේ අද සත්‍යයක් වෙලා. (යෙරෙමියා 10:23) මිනිසුන් සඳහා දෙවියන්ගේ අරමුණ වන සදාකාලික සාමය, සතුට හා සෞභාග්‍යය ගෙනෙන්න හැකියාව තියෙන්නේ දෙවියන්ගේ පාලනයට විතරයි.—යෙසායා 45:18.

දෙවියන් තමන්ගේ අරමුණට අනුව පොළොව වෙනස් කරන්නේ කොහොමද? යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්ව යාච්ඤාව මතකයට නඟාගන්න. “ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා!” (මතෙව් 6:10) දෙවියන් ළඟදීම දේවරාජ්‍යය මගින් සියලුම දුක් වේදනා ඉවත් කරනවා. (දානියෙල් 2:44) දිලිඳුකම, අසනීප සහ මරණය අතීතයට එක් වෙනවා. බයිබලයේ කියන්නේ “උපකාරය පතා හඬ නඟන දුප්පතාව ඔහු [දෙවියන්] ගලවාගන්නේය” කියලයි. (ගීතාවලිය 72:12-14) “කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත” කියලත් බයිබලයේ පොරොන්දුවක් දීලා තියෙනවා. (යෙසායා 33:24) දෙවියන්ගේ මතකයේ ඉන්න මැරුණු අය ගැන යේසුස් කිව්වේ “සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාටම ඔහුගේ හඬ ඇසෙන කාලය පැමිණෙනවා” කියලයි. (යොහන් 5:28, 29) ඒවා කොයි තරම් සැනසිලිදායක පොරොන්දුද!

දෙවියන්ගේ පොරොන්දු විශ්වාස කරනවා නම් දෙවියන් ගැන කලකිරෙන්නේ නැතුව ඉන්න අපිට පුළුවන්

කලකිරීමෙන් මිදෙන්න නම්

මුලින් සඳහන් කරපු සිඩ්නේ අනතුර වෙලා අවුරුදු 17කට පස්සේ කියන්නේ මෙහෙමයි. “අනතුර සිද්ධ වුණ එක ගැන මම යෙහෝවා දෙවියන්ට දොස් කියන්නේ නැහැ. ඒත් මුලින් නම් දෙවියන් ගැන කලකිරුණා. සමහර දවස්වලට මගේ ආබාධිත තත්වය ගැන හිතලා මානසිකව වැටෙනවා. ඒත් බයිබලයෙන් මං දැනගත්තා මගේ අනතුර දෙවියන් මට දීපු දඬුවමක් නෙවෙයි කියලා. මොකද බයිබලයේ කියන්නේ ‘නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් අපි සියලුදෙනාටම සිද්ධ වෙනවා’ කියලයි. යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන එකෙන්, සැනසිල්ල ලැබෙන බයිබල් පද කියවන එකෙන් දෙවියන්ට ළං වෙලා ඉන්නත් සතුටෙන් ඉන්නත් මට පුළුවන් වෙලා තියෙනවා.”—දේශනාකාරයා 9:11; ගීතාවලිය 145:18; 2 කොරින්ති 4:8, 9, 16.

දෙවියන් දුක් වේදනාවලට ඉඩහැරලා තියෙන්නේ ඇයි කියලත් ළඟදීම ඒවා නැති කරනවා කියලත් දැනගෙන ඉන්න එක දෙවියන් ගැන කලකිරෙන්නේ නැතුව ඉන්න අපිට උදව්වක්. ‘දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට ඔහු ආශීර්වාද කරනවා’ කියලා සහතිකයක් දීලා තියෙනවා. ඔහුවත් ඔහුගේ පුත්‍රයාවත් විශ්වාස කරන අයට කවදාවත් කලකිරෙන්න වෙන්නේ නැහැ.—හෙබ්‍රෙව් 11:6; රෝම 10:11.