Skip to content

පටුනට යන්න

පාඨකයන් අසයි

නත්තල් චාරිත්‍රවල වරදක් තියෙනවාද?

නත්තල් චාරිත්‍රවල වරදක් තියෙනවාද?

නත්තල කියන්නේ යේසුස්ගේ උපත සමරන්න පටන්ගත්ත උත්සවයක්. ඒකෙදී පවත්වන හුඟක් චාරිත්‍ර යේසුස්ගේ උපන් දිනයට සම්බන්ධ වුණේ කොහොමද?

දැන් අපි නත්තල් සීයා කියන මිථ්‍යාව ගැන බලමු. 1931දී උතුරු ඇමරිකාවේ බීම සමාගමක් නත්තල් කාලෙදී කරපු වෙළඳ දැන්වීමකින් ලොකු සාර්ථකත්වයක් ලැබුවා. ඒකේ තිබුණේ අද අපිට දකින්න ලැබෙන සුදු රැවුලක්, රෝස පාට කම්මුල් තියෙන, රතු ලෝගුවක් දාගෙන හිනා වෙලා ඉන්න නත්තල් සීයාගේ පින්තූරයක්. 1950 ගණන්වලදී බ්‍රසීල ජාතිකයන් මේ නත්තල් සීයා වෙනුවට බ්‍රසීල ජනප්‍රවාදයක එන ඉන්දියානු සීයාව හඳුන්වලා දෙන්න හැදුවා. ඒත් ඉන්දියානු සීයා පැරදුණා. නත්තල් සීයා “බිලිඳු යේසුස්වත් පරදවමින් දෙසැම්බර් 25 වෙනිදා පවත්වන උත්සවයේ ප්‍රධාන චරිතය වුණා” කියලා මහාචාර්ය කාලෝස් ඊ. ෆාන්ටිනාටි කිව්වා. මේ උත්සවයට තියෙන්නේ නත්තල් සීයා කියන මිථ්‍යාව විතරද? අපි ඒකට උත්තරේ බලමු.

“ක්‍රිස්තියානි ධර්මය ආරම්භ වුණ මුල් සියවස් දෙකේදී ආගම වෙනුවෙන් දිවි පිදුව අයව සිහි කරන්න ඔවුන්ගේ උපන් දින උත්සව පවත්වන එකට දැඩි විරෝධයක් තිබුණා. ඒ නිසා යේසුස්ගේ උපන් දින උත්සවය පැවැත්තුවෙත් නැහැ” කියලා විශ්වකෝෂයක කියනවා. (Encyclopedia Britannica) උපන් දින උත්සව පැවැත්තුවේ නැත්තේ ඒක අන්‍යාගමික චාරිත්‍රයක් නිසයි. ක්‍රිස්තියානීන් ඒකෙන් වැළකිය යුතු වුණා. අනික යේසුස් ඉපදුණේ කවදාද කියලා බයිබලයේ කියලත් නැහැ.

මුල් ක්‍රිස්තියානීන් උපන් දින උත්සව පවත්වන එකෙන් සම්පූර්ණයෙන්ම වැළකිලා හිටියත් ක්‍රි. ව. 4වෙනි සියවසේදී කතෝලික සභාව නත්තල පටන්ගත්තා. ඔවුන්ට ඕන වුණේ රෝමයේ මිථ්‍යා ආගම් ශීත කාලෙදි පැවැත්තුව උත්සවවල තිබුණ චාරිත්‍ර වාරිත්‍ර ඈඳගෙන ඒ ආගම්වලට වඩා ජනප්‍රිය වෙන්නයි. හැම අවුරුද්දකම දෙසැම්බර් 17 ඉඳලා ජනවාරි 1 වෙන කල් ඒ උත්සවවලදී “රෝමවරු තම තමන්ගේ දෙවිවරුන්ට වන්දනාමාන කෙරුවා. ඔවුන් ප්‍රීති ඝෝෂා නඟමින්, නොයෙකුත් සෙල්ලම් කරමින් විනෝද වුණා” කියලා පොතක කියනවා. (Christmas in America) දෙසැම්බර් 25වෙනිදා රෝමවරු නොමියෙන හිරුගේ උපත සැමරුවා. ඒ වෙනුවට එදාට යේසුස්ගේ උපත සමරන එක සුදුසුයි කියලා කතෝලික සභාව රෝමවරුන්ට ඒත්තුගැන්නුවා. ඒ හින්දා රෝමවරුන්ට “අවස්ථාව ලැබුණා ශීත කාලෙදී පැවැත්තුව උත්සවවල තිබුණ චාරිත්‍ර වාරිත්‍ර දිගටම කරගෙන යන්න” කියලා තවත් පොතක කියනවා. ඇත්තටම වුණේ “අලුතෙන් දාගත්ත දිනයේදී පරණ චාරිත්‍ර කරගෙන යන එකයි.”—Santa Claus, a Biography.

එහෙම බලද්දී නත්තල් උත්සවයට තියෙන්නේ මිථ්‍යා ආරම්භයක්. ඒ ගැන පොතක කියන්නේ මෙහෙමයි. “ඒක ක්‍රිස්තියානි මුහුණුවරකින් දිස් වුණ මිථ්‍යා උත්සවයක්.” (The Battle for Christmas) ඒ නිසා නත්තලෙන් වෙන්නේ දෙවියන්ටත් ඔහුගේ පුතා වන යේසුස්ටත් අගෞරවයක්. ඒක සුළුපටු දෙයක් කියලා හිතනවාද? මොකද බයිබලයේ මෙහෙම අහනවා. “ධර්මිෂ්ඨකම සහ අධර්මිෂ්ඨකම අතර සම්බන්ධයක් තිබිය හැකිද? නැත්නම් ආලෝකය සහ අන්ධකාරය අතර සමානකමක් තිබිය හැකිද?” (2 කොරින්ති 6:14) විශාල ගහක් ඇදේට ගියොත් ඒක කෙළින් කරන්න බැහැ. මිථ්‍යා දේවල් ඇතුල් වෙලා තියෙන නත්තලත් දැන් “කෙළින් කරන්න” බැහැ.—දේශනාකාරයා 1:15.