අතීතයෙන් බිඳක්
බෙදුණු රටක එක්සත්ව
1948 ඉඳන් 1994 වෙන කල්ම දකුණු අප්‍රිකාවේ රජයෙන් වර්ණ භේදයක් ඇති කරන්න නීති දාලා තිබුණා. a ඒ නිසා ගොඩක් අය අනිත් ජාතීන්වලට අයිති අයව පහත් කරලා සැලකුවා. කොලී කියන්නෙත් ඒ නීතියෙන් කලු ජාතිකයෙක් විදිහට වර්ග කරලා හිටපු සහෝදරියක්. ඒ කාලේ තිබුණ තත්වය ගැන එයා හරිම දුකෙන් මෙහෙම කියනවා. “ඒ දවස්වල සුදු ජාතික නොවන අය අතරෙත් උස් පහත් භේද තිබුණා.”
දකුණු අප්‍රිකාවේ ජීවත් වෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර විවිධ ජාතීන්වලට, විවිධ ගෝත්‍රවලට අයිති අය ඉන්නවා. රටේ බෙදීම් තිබුණ කාලේ එයාලා වැඩ කළේ කොහොමද? එයාලා පහු කරපු ඒ අඳුරු අතීතයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
දරුණු කාලෙක මධ්‍යස්ථව
සමහරු මේ නීතියට විරුද්ධව කැරලිගැහුවා. ඒ වගේ කැරලිගහපු හුඟදෙනෙක්ව පොලිසිය හිරේ දැම්මා. සමහර අයව මරලා දැම්මා. ඒකෙන් වුණේ මිනිස්සුන්ගේ කේන්තිය තව තවත් ඇවිළුණු එක. ඒ නිසා කැරලිකරුවන් තවත් දරුණු දේවල් කරන්න පටන්ගත්තා. ඒත් සාක්ෂිකරුවන් වැඩ කළේ ඊට වඩා වෙනස් විදිහට. එයාලා රටේ නීතියට කීකරු වුණා. ආණ්ඩුව පෙරළන්න කරපු උද්ඝෝෂණවලට එයාලා කිසිම විදිහකින් හවුල් වුණේ නැහැ. එයාලා මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් වගේ දිගටම “උසස් බලධාරීන්ට යටත් වුණා.”—රෝම 13:1, 2.
ඒ කාලේ සාක්ෂිකරුවන්ට පැති ගන්න ලොකු පීඩනයක් ආවා. පැත්තක් ගත්තොත් වෙන්නේ එයාලා දරුණු දේශපාලනික ගැටුම්වලට අතහිත දෙන එක. ඒ විතරක් නෙවෙයි එයාලා පැත්තක් ගත්තා නම් එයාලාගේ අතින් වෙනත් ජාතීන්වල ඉන්න සහෝදරයන්ට හානියක් වෙන්නත් ඉඩ තිබුණා. සහෝදරි ටෙම්සී මෙහෙම කියනවා. “1976 කැරලි ඇති වෙච්ච කාලේදී උසස් පෙළ කරන ළමයින්ව දේශපාලනික කල්ලිවලට බලෙන් බඳවාගත්තා. ඒ කල්ලිවලට බැඳිච්ච ළමයි ගෙයක් ගෙයක් ගාණේ ගිහිල්ලා තවත් ළමයින්ව ඒකට බඳවාගන්න උත්සාහ කළා. කවුරු හරි බෑ කිව්වා නම් එහෙම කියපු සමහර අයගේ ගෙවල් ගිනි තිබ්බා. නැත්නම් එයාලට මැරෙන කල්ම ගැහුවා.” විරුද්ධ පක්ෂයේ නායකයෙක් තියෝෆිලස් කියන තරුණ සහෝදරයාට මෙහෙම කියලා තිබුණා. “අපි සුද්දන්ව පැරැද්දුවාට පස්සේ ඊළඟට මරන්නේ ඔයාලව. මොකද ඔයාලා වගේ ද්‍රෝහීන්ව තියන්න වටින්නේ නෑ.”
රැස්වීම් තියපු විදිහ
රටේ තත්වය නිසා ගොඩක් අමාරුකම් තිබුණත් දකුණු අප්‍රිකාවේ හිටපු අපේ සහෝදරයෝ දිගටම යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න එකට රැස් වුණා. (හෙබ්‍රෙව් 10:24, 25) ඒ කාලේ එහේ හිටපු සමහර සහෝදරයෝ ගොඩක් දුප්පත්. මොකද රටේ තිබුණ නීතිය නිසා එයාලට ඔළුව උස්සන්න පුළුවන් වුණේ නැහැ. ඒ නිසා සමහර සභාවලට තමන්ටම කියලා නමස්කාර මධ්‍යස්ථානයක් හදාගන්න හැකියාව තිබුණේ නැහැ. b සහෝදර එන්වර් ඒ ගැන මෙහෙම කියනවා. “ඒ කාලේ රැස්වීම් තියන්න අපිට කුලියට ගන්න වුණේ ගරා වැටිච්ච තැන්. අවුරුදු ගාණක් යන කල්ම අපි එහෙමයි කළේ. ඉතිං අපේ තාත්තා රැස්වීම් තියන්න අපේ ගේ දෙන්න කැමති වුණා. අපි සතියට දෙපාරක්ම අපේ ගේ රැස්වීම් තියන්න පුළුවන් විදිහට අස්පස් කළා. සමහර දවස්වලට රැස්වීම්වලට සීයකට වඩා ඉන්නවා. එදාට ගෙදර ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ. රැස්වීමෙන් පස්සේ අපිට තියෙන දෙයක් එයාලා එක්ක බෙදාගෙන අපි සතුටු වුණා.”
සහෝදරයන්ට ආපු සමහර අභියෝග එයාලා ජය ගත්තේ හරිම අපූරු විදිහට. උදාහරණයකට ලිම්පෝපෝ පළාතේ කලු ජාතිකයන් ඉන්න පැත්තක තියපු චාරිකා සමුළුවක කතාවක් දෙන්න සුදු ජාතික සහෝදරයෙක්ට පැවරුමක් ලැබුණා. හැබැයි ඒ පැත්තට ඇතුල් වෙන්න ඒ සහෝදරයාට අවසර ලැබුණේ නැහැ. ඉතින් එයා මොකද කළේ? කලු ජාතිකයන් ඉන්න පැත්තේ මායිමේ එක සුදු ජාතික කෙනෙක්ට අයිති ගොවිපොළක් තිබුණා. ඉතින් ඒ සහෝදරයා ඒ කෙනාව හම්බ වෙන්න ගියා. එයාගේ ගොවිපොළේ මායිමේ ඉඳන් කතාව දෙන්න පුළුවන්ද කියලා සහෝදරයා ඇහුවා. ඒ කෙනා ඒකට කැමති වුණා. ඉතින් සුදු ජාතික සහෝදරයා මායිමේ ඉඳන් කතාව දෙනකොට වැටෙන් එහා පැත්තේ ඉඳන් කලු ජාතික සහෝදරයෝ ඒ කතාව ඇහුවා.
මායිම් අබිබවා ගිය ශුභාරංචිය
ඒ කාලේදී එක එක ජාතිවල අය පදිංචි වෙන්න ඕනෙ කොයි වගේ පැතිවලද කියලා රජයෙන් නීති දාලා තිබුණා. ඒ නිසා හුඟක් වෙලාවට සභාවකට සේවය කරන්න පැවරිලා තියෙන ප්‍රදේශයේ හිටියේ එකම ජාතියකට අයිති අය විතරයි. ඒ වගේම එක එක පැතිවල සේවය සැලසුම් කරද්දී ඒක කරන්න වුණෙත් රටේ තත්වයට ගැළපෙන විදිහට. මේ වගේ හේතු නිසා ප්‍රචාරකයන් නැති පැතිවල සේවය කරන එක ලේසි වුණේ නැහැ. ක්‍රිෂ් කියන්නේ ඉන්දියානු ජාතිකයෙක් විදිහට රටේ නීතියෙන් වර්ග කරලා හිටපු සහෝදරයෙක්. එයා මෙහෙම කියනවා. “ඒ කාලේ හුඟක් වෙලාවට සුදු ජාතික නොවන අයට රෑ නතර වෙන්න තැන් තිබුණේ නෑ. ඒ නිසා අපි නිදාගත්තේ එක්කෝ අපේ වාහනේ නැත්නම් ගහක් යට. ඉතිං අපි උදේට නැඟිටලා මූණ කට හෝදගත්තේ පෙට්‍රල් ෂෙඩ්වල ටොයිලට්වල තිබුණ ටැප්වලින්. ඒත් සමහර වෙලාවට ඒවාවලත් ‘සුදු ජාතිකයින්ට විතරයි’ කියලා ගහලා තිබුණා.” ඔය මොන අභියෝග තිබුණත් ඈත පැතිවල හිටපු අයට ශුභාරංචිය කියලා සහෝදරයෝ ලොකු සතුටක් ලැබුවා.
මේ අභියෝග මැද වුණත් යෙහෝවා දෙවියන්ගේ සෙනඟ හිතාගන්න බැරි විදිහට දවසින් දවස වැඩි වුණා. 1948 වර්ණ භේදය නීතිගත කරද්දී දකුණු අප්‍රිකාවේ සාක්ෂිකරුවන් හිටියේ 4,831යි. 1994 මේ නීතිය අහෝසි කරද්දී සාක්ෂිකරුවන්ගේ ගාණ 58,729යි! ඒත් ඒක එතනින් නතර වුණේ නැහැ. 2021 වෙද්දී දකුණු අප්‍රිකාවේ 1,00,112ක උපරිම ප්රචාරක සංඛ්‍යාවක් වාර්තා වුණා.
වෛරය මැද ආදරයෙන් බැඳී
දකුණු අප්‍රිකාව කියන්නේ කාලයක් යන කල්ම වර්ණ භේදය නිසා බෙදිලා තිබුණ රටක්. ඒත් සාක්ෂිකරුවන් කෙනෙක්ගේ හමේ පාට, ජාතිය බලන්නේ නැතුව හැමෝටම එක විදිහට බයිබල් සත්‍යයන්, ප්‍රතිපත්ති කියලා දුන්නා. ඒ වගේම එයාලත් ඒ බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන්න ගොඩක් මහන්සි වුණා. (ක්‍රියා 10:34, 35) ඒ විදිහට එයාලා වෛරය මැද ආදරයෙන් බැඳිලා වෛරයේ බැමි බිඳලා දැම්මා.—යොහන් 13:34, 35.
1993දී දකුණු අප්‍රිකාවේ ලොකු සමුළුවක් පැවැත්තුවා. ඒකට විවිධ රටවල්වල, විවිධ ජාතීන්වල හිටපු සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් ආවා. ඒ ආපු සහෝදර සහෝදරියන්ව දකුණු අප්‍රිකාවේ සහෝදරයන් ගුවන් තොටුපොළේදී හරිම ආදරෙන් පිළිගත්තා. ඒක දැකපු දේශපාලන නායකයෙක් මෙහෙම කිව්වා. “ඔයාලා වගේ අපිට එකමුතුව ඉන්න පුළුවන් නං අපේ ප්‍රශ්න විසඳෙන්නේ මීට හුඟ කාලෙකට කලින්.”
a ඒ නීතිය නිසා කෙනෙක්ගේ ජාතියට අනුව එයාට මොන වගේ අධ්‍යාපනයක් ලබන්න පුළුවන්ද, මොන වගේ රස්සාවක් කරන්න පුළුවන්ද, පදිංචි වෙන්න පුළුවන් කොහේද, විවාහ වෙන්න පුළුවන් මොන වගේ අය එක්කද කියලා තීරණය වුණා.
b ලෝකේ පුරාම ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙන සම්මාදම් 1999 ඉඳලා අවශ්‍යතා තියෙන පැතිවල නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන්න පාවිච්චි කරනවා.