කන බොන දේ ගැන ආයෙත් හිතලා බලන්න!
කෑම බීම ගැන එච්චරටම හිතන්න ඕනෙද?
කන බොන දේවල් ඔයාගේ සෞඛ්‍යයට කෙළින්ම බලපානවා. සෞඛ්‍ය ආරක්ෂිතව පිළියෙල කරපු, පෝෂ්‍යදායී ආහාර ගන්නවා නම් ඒකෙන් ඔයාට නිරෝගීව ඉන්න පුළුවන්. අනිත් අතට කිසිම පරෙස්සමක් නැතුව හදපු, ඔහේ තියලා තියෙන අහිතකර කෑම බීම ගන්නවා නම් ඒකෙන් ඔයා ලෙඩ වෙන්න පුළුවන්. ඒක හරියට වාහනයකට බාල වර්ගයේ තෙල් ගහනවා වගේ වැඩක්. සමහරවිට තෙල් ගහපු මුල් කාලේදී ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි. හැබැයි කාලයක් යද්දී අනිවාර්යයෙන්ම වාහනේ ලෙඩ දෙන්න පටන්ගනියි.—ගලාති 6:7.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කියනවා හරිහමන් පෝෂණයක් නැති හින්දා ලෝකේ හැම රටකම මන්දපෝෂණය, තරබාරුකම වගේ දේවල් දකින්න තියෙනවා කියලා. අහිතකර කෑම බීම වැඩි වැඩියෙන් ගන්න නිසා හෘදයාබාධ, ආඝාතය, දියවැඩියාව සහ පිළිකා වගේ රෝග වැඩි වෙලා තියෙනවා. එක වාර්තාවකට අනුව අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැති නිසා මෑතකදී එක අවුරුද්දක් ඇතුළත මිලියන 11ක් විතර මැරිලා තියෙනවා. WHO කියනවා විෂබීජ සහ අහිතකර දේවල් එකතු වුණ අපිරිසිදු කෑම ගන්න නිසා හැම දවසකම 1,000කටත් වඩා වැඩිය මැරෙනවා කියලා, ඒ විතරක් නෙවෙයි මිලියන සිය ගාණකටත් වඩා වැඩි දෙනෙක් අසනීප වෙනවා කියලා.
අපි කන කෑම ගැන සැලකිලිමත් වෙන එක කොච්චර වැදගත්ද කියලා තේරුම්ගන්න බයිබලේ තියෙන ප්‍රතිපත්ති අපිට උදව් වෙනවා. බයිබලේ කියනවා දෙවියන් තමයි “ජීවිතයේ උල්පත” කියලා. (ගීතාවලිය 36:9) ජීවිතය කියන්නේ දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්. අපි අපේ සහ අපේ පවුලේ අයගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙද්දී ඒ තෑග්ග අගය කරනවා කියලා පෙන්නන්න අපිට පුළුවන්. ඒක කරන්න උදව් වෙන දේවල් කීපයක් දැන් අපි බලමු.
සෞඛ්‍ය ආරක්ෂිත කෑම වේලකට පියවර හතරක්
1. කෑම පිළියෙළ කරද්දී පරෙස්සම් වෙන්න.
ඒ ඇයි? සමහර කෑමවල, වතුරවල විෂබීජ a තියෙන්න පුළුවන්. ඒවා කෑවොත් අපි ලෙඩ වෙනවා.
ප්‍රවීණයන් කියන දේ:
කෑමක් හදන්න කලින් ඔයාගේ අත් දෙක සබන් දාලා හොඳට හෝදන්න. b අඩුම ගාණේ තත්පර 20ක්වත් හොඳට අතුල්ලලා හෝදන්න. අත් හෝදද්දී අතේ අනිත් පැත්ත, ඇඟිලි කරු අතර, නියපොතු අස්සේ හොඳට අතුල්ලන්න අමතක කරන්න එපා. හෝදලා ඉවර වුණාට පස්සේ තෙත මාත්තු කරලා අත් දෙක හොඳට වේලගන්න.
කපන ලෑල්ල, වළං පිඟන් සහ උයන්න පාවිච්චි කරන හැම බඩුවක්ම හොඳට සබන් දාලා හෝදන්න. ඊට අමතරව උයන කෑම ජාති සහ උයන්නේ නැතුව අමුවෙන් කන කෑම ජාති කපන්න වෙන වෙනම ලෑලි දෙකක් තියාගන්න.
කන්න කලින් පලතුරු සහ එළවළු හොඳට හෝදන්න. සමහරවිට එළවළු, පලතුරු කොළ ජාති වගා කරන තැන්වල වතුරට මළපහ වගේ අපිරිසිදු දේවල් මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන්. ඔයාගේ පැත්තෙත් එහෙම වෙනවා නම් නිකම්ම වතුරවලින් හෝදනවා වෙනුවට ලුණු, විනාකිරි වගේ දෙයක් පාවිච්චි කරලා විෂබීජහරණය කරන එක වඩා හොඳයි.
2. අමු ආහාර සහ උයපු ආහාර වෙන් කරන්න.
ඒ ඇයි? මස් වගේ අමු ආහාරවලින් ගලන දියර නිසා අනිත් ආහාරවලටත් විෂබීජ පැතිරෙන්න පුළුවන්.
ප්‍රවීණයන් කියන දේ:
අමු ආහාර අනිත් ඒවාත් එක්ක එකට තියන්න එපා. විශේෂයෙන්ම මස් වගේ ඒවා කඩෙන් ගේද්දී වෙනමම බෑග් එකක ගේන්න. ඒවා ගෙදර ගෙනාවාට පස්සෙත් අනිත් කෑමත් එක්ක එකට තියන්න එපා.
අමු මස් කැපුවාට පස්සේ වෙන දෙයක් කපන්න කලින් ඔයාගේ අත් දෙක, පිහිය, කපන ලෑල්ල හොඳට හෝදන්න.
3. නියමිත උෂ්ණත්වයෙන් කෑම උයන්න.
ඒ ඇයි? කෑමක තියෙන විෂබීජ මැරෙන්නේ ඉහළ උෂ්ණත්වයකදී විතරයි.
ප්‍රවීණයන් කියන දේ:
කෑමක් උයද්දී ඒක හොඳට රත් කරන්න. උදාහරණෙකට මස් උයද්දී මස් කෑල්ලක මැද තියෙන විෂබීජ, බැක්ටීරියා විනාශ වෙන්න නම් ඒක අඩුම තරමේ තත්පර 30ක්වත් සෙල්සියස් අංශක 70ක උෂ්ණත්වයේ දිගටම තියෙන්න ඕනේ.
සුප්, ස්ටූ වගේ දේවල් උතුරන කල් රත් කරගන්න.
කලින් හදපු කෑමක් වුණත් හොඳට දුම් දාන කල් රත් කරලා කන්න.
4. නියමිත උෂ්ණත්වයකින් ගබඩා කරන්න.
ඒ ඇයි? සෙල්සියස් අංශක 5ත් 60ත් අතර උෂ්ණත්වයක කෑම තිබ්බොත් විනාඩි 20ක් ඇතුළත ඒකේ තියෙන බැක්ටීරියා දෙගුණ වෙන්න පුළුවන්. අමු මස් වගේ දෙයක් එහෙම තිබ්බොත් ඒකේ තියෙන බැක්ටීරියාවලින් ශරීරයට හානිකර දේවල් නිපදවෙනවා. ඉව්වාට පස්සෙවත් ඒ විෂබීජ මැරෙන්නේ නැහැ.
ප්‍රවීණයන් කියන දේ:
කෑම සාමාන්‍ය උෂ්ණත්වයක තියනවා වෙනුවට අධික සීතලේ හරි අධික රස්නේ හරි තියන්න. එහෙම කරන එකෙන් බැක්ටීරියාවල ක්‍රියාකාරිත්වය අඩාළ කරන්න එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම නවත්තන්න පුළුවන්.
කෑමක් කාමර උෂ්ණත්වයේ පැය දෙකකට වඩා තියන්න එපා. සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ට වඩා වැඩියි නම් කෑමක් පැයකට වඩා එළියේ තියන්න එපා.
ඉව්වාට පස්සේ කෑම බෙදාගන්න කල් දිගටම ඒක රස්නෙන් තියන්න.
පෝෂ්‍යදායී කෑම රටාවකට යෝජනා තුනක්
1. හැම දවසකම විවිධ එළවළු, පලතුරු කන්න.
එළවළු සහ පලතුරුවල ගොඩක් විටමින්, ඛනිජ ලවණ සහ අපේ ශරීරයට ඕනෙ තවත් පෝෂ්‍ය පදාර්ථ තියෙනවා. WHO කියන විදිහට හැම දවසකම අපේ ශරීරයට එළවළු සහ පලතුරු විතරක් ග්‍රෑම් 400ක්වත් ඕනේ. අර්තාපල්, බතල, මඤ්ඤොක්කා වගේ අල වර්ග ඒකට ඇතුළත් වෙන්නේ නැහැ.
2. මේදය සහ තෙල් කන එක පුළුවන් තරම් අඩු කරන්න.
කල් තබාගැනීමේ ද්‍රව්‍යය දාලා තියෙන කෑම, ක්ෂණික කෑම, තෙලේ බැදපු කෑම සහ පාන්, බනිස් වගේ මහා පරිමාණයෙන් බේකරිවල නිෂ්පාදනය කරන කෑමවල ගොඩක් අහිතකර මේදය තියෙනවා. WHO කියනවා ඒ වගේ කෑම පුළුවන් තරම් අඩු කරන්න කියලා. පුළුවන් නම් කෑම උයද්දී කාමර උෂ්ණත්වයේදී මිදෙන්නේ නැති එළවළු තෙල් වර්ග පාවිච්චි කරන්න.
3. ලුණු සහ සීනි කන එක අඩු කරන්න.
WHO කියන විදිහට වැඩිහිටි කෙනෙක් දවසකට ලුණු තේ හැන්දකට වඩා කන්න හොඳ නැහැ. ඒ වගේම සීනි තේ හැඳි 12කට වඩා කන්නත් හොඳ නැහැ. c ඔයාලා දන්නවාද කඩෙන් ගන්න කෑම බීමවල වැඩිපුරම තියෙන්නේ සීනි කියලා? උදාහරණෙකට මිලිලීටර් 355ක සිසිල් බීම එකක් ගැන හිතන්න. ඒකේ විතරක් සීනි තේ හැඳි 10ක් තියෙනවා. ඒවායේ කැලරි ඕන තරම් තිබුණාට කිසිම ගුණයක් නම් නැහැ.
බයිබලේ මෙහෙම කියනවා. “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති.” (හිතෝපදේශ 22:3) ඉතින් බුද්ධිමත් විදිහට හිතලා ඔයා කෑම බීම ගන්න රටාව වෙනස් කරගන්නවා නම් දෙවියන් දුන්න ජීවිතය කියන මේ තෑග්ග අගය කරනවා කියලා ඔයාටත් පෙන්නන්න පුළුවන්.
හුඟක් අයට තියෙන වැරදි මත
වැරදි මතය: “කෑමක් හොඳ පෙනුමට, සුවඳට, රහට තියෙනවා නම් ඒක කෑවා කියලා මොකද වෙන්නේ?”
ඇත්ත මේකයි: පිරිසිදු වතුර ලීටරයක් අවපැහැගැන්වෙන්න නම් අඩුම තරමින් ඒකේ බැක්ටීරියා බිලියන 10කටත් වඩා තියෙන්න ඕනේ. හැබැයි ඔයාව අසනීප කරන්න භයානක බැක්ටීරියා 15ක් 20ක් තිබුණොත් හොඳටම ඇති. ඒ නිසා කෑමක් උයද්දී, බෙදද්දී සහ ගබඩා කරද්දී ඒක හරි ප්‍රමිතියට කරනවාද කියන එක ගැන සැලකිලිමත් වෙන්න. ඒ විතරක් නෙවෙයි ඒ කෑම කොච්චර කාලයක් එළියේ තියලා තිබ්බාද, ඒවා ගබඩා කරලා තිබුණේ හරි උෂ්ණත්වයෙන්ද කියන එක ගැනත් හොඳට හොයලා බලන්න.
වැරදි මතය: “කෑමකට මැස්සෝ ටිකක් වැහුවා කියලා මොකුත් වෙන්නෑ.”
ඇත්ත මේකයි: සාමාන්‍යයෙන් මැස්සෝ කියන්නේ මලපහවල වහලා, ඒවා කාලා ඒවා උඩම බිත්තර දාන සත්තු ජාතියක්. ඉතින් මිලියන ගාණක් ලෙඩ රෝගවලට හේතු වෙන විෂබීජ උන්ගේ කකුල්වල තැවරිලා තියෙන එක අහන්නත් දෙයක්ද! ඒ නිසා මැස්සන්ගෙන් කෑම ආරක්ෂා කරගන්න ඒවා සම්පූර්ණෙන්ම වහලා තියන්න.
වැරදි මතය: “මෙච්චර කල් අතට අහු වුණ හැම දේම කාපු මං දැන් පරෙස්සම් වෙලා වැඩක් තියෙනවාද?”
ඇත්ත මේකයි: පර්යේෂකයන් කියනවා ඔයා දැන් ඉඳලා හරි කන බොන දේ ගැන පරෙස්සම් වුණොත් ඔයාගේ ආයු කාලය තව ටිකක් හරි දික් කරගන්න පුළුවන් කියලා. ඒ වගේම පෝෂ්‍යදායි ආහාර ගන්න තරමටම ඔයාට ඒකෙන් ලැබෙන ප්‍රයෝජනත් වැඩියි.
a විෂබීජ, ක්ෂුද්‍ර ජීවීන් අපේ පියවි ඇහැට පේන්නේ නැහැ. ඒවාට බැක්ටීරියා, වයිරස් සහ ඇහැට පේන්නේ නැති පරපෝෂිතයන් ඇතුළත්. සමහර ක්ෂුද්‍ර ජීවීන්ගෙන් අපිට ප්‍රයෝජන තියෙනවා. හැබැයි අහිතකර ක්ෂුද්‍ර ජීවීන් කොච්චර භයානකද කියනවා නම් ඒවායින් අපි ලෙඩ වෙන්න විතරක් නෙවෙයි මැරෙන්න වුණත් පුළුවන්.
b නිකන් වතුරෙන් හෝදනවාට වඩා සබන් ගාලා හෝදද්දී විෂබීජ මැරෙනවා.
c සීනි කියද්දී මී පැණි, පොල් පැණි සහ කිතුල් පැණි වගේ පැණි වර්ග, පලතුරු බීම එකක් හදද්දී ඒකට දාන සීනි ඇතුළත් වෙනවා. හැබැයි නැවුම් පලතුරු, එළවළු සහ කිරිවල ස්වාභාවිකව තියෙන සීනි ඒකට ඇතුළත් වෙන්නේ නැහැ.