රක්තහීනතාවයෙන් ප්‍රවේසම් වෙන්න
බෙත් මෙහෙම කියනවා. “ඉස්කෝලේ යන කාලේ මට හැම වෙලේම කම්මැළිකමක් දැනුණා. පොඩි දෙයක් කළත් දැනුණේ පුදුම මහන්සියක්. ඇටකටු සේරමත් රිදුණා. කිසිම දේකට හරි හැටි අවධානයක් දෙන්නත් බැරි වුණා. මට හැදිලා තිබුණේ රක්තහීනතාවය. ඩොක්ටර් ගාවට ගියාම එයා මට යකඩ පෙති දුන්නා. මං ඒවාත් බීලා ගුණදායක කෑමත් කන්න පටන්ගත්තා. ඒ නිසා ටික දවසක් යද්දී මගේ ලෙඩේ හොඳ වුණා.”
හුඟක් අයට බෙත්ට තිබුණු ලෙඩේ හැදිලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව බිලියන දෙකක් ඒ කියන්නේ ලෝක ජනගහනයෙන් සියයට 30ක් විතර රක්තහීනතාවයෙන් පෙළෙනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල ගර්භිණී කාන්තාවන්ගෙන් සියයට 50කුත් අවුරුදු 2ත් 5ත් අතරේ වයසේ දරුවන්ගෙන් සියයට 40කුත් රක්තහීනතාවයෙන් පෙළෙනවා කියලා ගණන් බලලා තියෙනවා.
පාණ්ඩුව විදිහටත් හඳුන්වන රක්තහීනතාවයට ප්‍රතිකාර කළේ නැත්නම් භයානක ප්‍රතිඵල අද්දකින්න වෙනවා. තත්වය උග්‍ර වුණොත් හෘදයේ ක්‍රියාකාරිත්වය දුර්වල වෙන්න විතරක් නෙවෙයි ඇණහිටින්න වුණත් ඉඩ තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට “සමහර රටවල මාතෘ මරණවලින් සියයට 20ක්ම සිද්ධ වෙන්නේ රක්තහීනතාවය නිසයි.” යකඩ ඌණතාවය නිසා රක්තහීනතාවයෙන් පෙළෙන මව්වරුන්ට නොමේරු දරුවන් නැත්නම් අඩු බර දරුවන් බිහි වෙන්න ඉඩ තියෙනවා. හුඟක් වෙලාවට රක්තහීනතාවයෙන් පෙළෙන දරුවන්ගේ වර්ධන වේගය අඩුයි. ඒ දරුවන්ට විෂබීජයක් ඇතුල් වෙලා ආසාදන ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. හැබැයි බය වෙන්න එපා. මොකද රක්තහීනතාවය හැදෙන එක වළක්වගන්නත් ඒක සුව කරගන්නත් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. a
රක්තහීනතාවය කියන්නේ මොකක්ද?
ශරීරයේ රතු රුධිරාණු අඩු වෙන එක තමයි රක්තහීනතාවය විදිහට හඳුන්වන්නේ. එහෙම වෙන්න හේතු රැසක්ම බලපානවා. විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා රක්තහීනතාවයේ ප්‍රභේද එහෙමත් නැත්නම් වර්ග 400කටත් වඩා තියෙනවා කියලා. සමහර අයට රක්තහීනතාවය බලපාන්නේ කෙටි කාලයකට විතරයි. තවත් අයට ඒක දිගුකාලීනව බලපානවා. සමහර රෝගීන්ගේ තත්වය ඒ තරම් දරුණු නැති වුණත් තවත් අයගේ තත්වය හුඟක් දරුණු වෙන්න පුළුවන්.
රක්තහීනතාවය ඇති වෙන්න හේතු වෙන්නේ මොනවාද?
රක්තහීනතාවය ඇති වෙන්න බලපාන ප්‍රධාන හේතු තුනක් තියෙනවා.
රුධිර වහනයකින් ශරීරයේ රතු රුධිරාණු අඩු වීම.
ශරීරය තුළ රතු රුධිරාණු අඩුවෙන් නිපදවීම.
රතු රුධිරාණු ශරීරය තුළදීම විනාශ වීම.
ලොව පුරාම රක්තහීනතාවය වැළඳෙන හුඟක් අයට ඒකට හේතු වෙලා තියෙන්නේ යකඩ ඌනතාවයයි. ශරීරයේ ප්‍රමාණවත් යකඩ ප්‍රමාණයක් නැති වුණාම ඇති තරම් හිමොග්ලොබින් නිපදවන්න පුළුවන් වෙන්නේ නැහැ. රතු රුධිරාණු තුළ තියෙන හිමොග්ලොබින් තමයි සිරුර පුරාම ඔක්සිජන් ප්රවාහණය කරන්නේ.
යකඩ ඌනතාවය නිසා ඇති වෙන රක්තහීනතාවයේ රෝග ලක්ෂණ මොනවාද?
සමහර අය තමන්ට රක්තහීනතාවය වැලඳිලා තියෙනවා කියලා දන්නෙත් නැතුව ඇති. පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව රක්තහීනතාවයේ රෝග ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්. යකඩ ඌනතාවය නිසා වැළඳෙන රක්තහීනතාවයේ රෝග ලක්ෂණ කිහිපයක් බලන්න.
අධික වෙහෙසක් දැනීම
අත් පා සීතල වීම
ශරීරය දුර්වල වීම
සුදුමැලි වීම
හිසරදය සහ කරකැවිල්ල
පපුවේ කැක්කුම, හෘද ස්පන්දන වේගය වැඩි වීම, හුස්ම ගැනීමේ අපහසුතාව
නියපොතු පහසුවෙන් කැඩී යෑම
කෑම අරුචිය (විශේෂයෙන්ම බිළිඳුන්ට සහ දරුවන්ට)
අයිස්, හාල් සහ වළං කෑලි වගේ දේවල් කන්න ආසාවක් ඇති වීම
වැළඳෙන්න වැඩි ඉඩකඩක් තියෙන්නේ කාටද?
කාන්තාවන්ට. ඔසප් වීම ඇති වෙන කාලයේදී රුධිරය වහනය වෙන නිසා කාන්තාවන් රක්තහීනතාවයට ගොදුරු වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. බී කාණ්ඩයට අයත් විටමිනයක් වන ෆෝලේට අඩංගු කෑම කන්නේ නැති ගර්භිණී කාන්තාවන්ටත් රක්තහීනතාවය හැදෙන්න ඉඩ තියෙනවා.
ළදරුවන්ට. නොමේරු සහ අඩු බර සහිතව ඉපදුණු දරුවන්ට මව්කිරිවලින් නැත්නම් ළදරු කිරිපිටිවලින් ඇති තරම් යකඩ ලැබෙන්නේ නැත්නම් රක්තහීනතාවය වැළඳෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා.
දරුවන්ට. ගුණදායක කෑම කන්නේ නැති දරුවන්ට රක්තහීනතාවය වැළඳෙන්න තියෙන අවස්ථාව වැඩියි.
නිර්මාංශ පුද්ගලයන්ට. ඇති තරම් යකඩ සහිත කෑම කන්නේ නැති නිර්මාංශ ආහාර විතරක් ගන්න අයට රක්තහීනතාවය වැළඳෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා.
කාලයක් තිස්සේ අසනීපයෙන් ඉන්න අයට. රුධිරය ආශ්රිත රෝග, පිළිකා, වකුගඩු දුර්වලතා, බඩවැල්වල තුවාල සහ සමහර ආසාදන ඇති අයට රක්තහීනතාවය වැළදෙන්න තියෙන අවස්ථාව වැඩියි.
රක්තහීනතාවයට තියෙන ප්‍රතිකාර මොනවාද?
රක්තහීනතාවයේ හැම ප්‍රභේදයකටම ප්‍රතිකාර නැහැ. හැබැයි යකඩ ඌනතාවය නිසා හරි විටමින් ඌනතාවය නිසා හරි වැළඳෙන රක්තහීනතාවය සුව කරගන්නත් ඒක හැදෙන එක වළක්වගන්නත් පුළුවන්. පහත දැක්වෙන පෝෂ්‍ය පදාර්ථ ඇතුළත් ගුණදායක කෑම කන එක ඒකට උදව් වෙනවා.
යකඩ. මස්, බෝංචි, ඇට වර්ග, පරිප්පු සහ තද කොළ පැහැති එළවළුවල යකඩ ඇති තරම් තියෙනවා. b චීනචට්ටිවලින් හදපු භාජනවල උයද්දී කෑමවල තියෙන යකඩ ප්‍රමාණය වැඩි වෙනවා කියලා එක අධ්‍යයනයකින් හොයාගෙන තියෙනවා.
ෆෝලේට. පලතුරු, තද කොළ පැහැති පලා වර්ග සහ එළවළු, ග්‍රීන්පීස්, කිඩ්නි බීන්ස්, කව්පි, චීස්, බිත්තර, මාළු, ආමන්ඩ් ඇට, රටකජු වගේ දේවල ෆෝලේට බහුලව තියෙනවා. විටමින්වලින් අනූන ධාන්‍ය අඩංගු පාන් වර්ගවල, සීරියල්වල, පැස්ටාවල වගේම නිවුඩ්ඩ සහිත හාල්වලත් ෆෝලේට තියෙනවා. ෆෝලේට කෘත්‍රිමව නිෂ්පාදනය කරද්දී ඒක හඳුන්වන්නේ ෆෝලික් අම්ලය කියලයි.
විටිමින් B-12. මස්වල, කිරි ආහාරවල, සීරියල්වල, සෝයා නිෂ්පාදනවල විටිමින් B-12 බහුලව තියෙනවා.
විටමින් C. පැඟිරි කුලයට අයත් පලතුරු සහ ඒ පලතුරුවල යුෂ, මාළුමිරිස් සහ වෙනත් මිරිස් වර්ග, බ්‍රොකලි, තක්කාලි, කොමඩු වර්ග, ස්ට්‍රෝබෙරි වගේ දේවල විටමින් c බහුලව තියෙනවා. විටමින් c අඩංගු ආහාර ශරීරයට යකඩ උරාගන්න උදව් වෙනවා.
හැම රටකටම ආවේණික ආහාර වර්ග තියෙනවා. ඔයා ජීවත් වෙන රටේ තියෙන ඔයාගේ ශරීරයට ඕන කරන පෝෂ්‍ය පදාර්ථ ඇතුළත් ආහාර මොනවාද කියලා හොයලා බලන්න. කාන්තාවන් විශේෂයෙන්ම ගැබිනි කාන්තාවන් සහ දරුවෙක් හදන්න සැලසුම් කරන කාන්තාවන් ඒ ගැන වැඩි අවධානයක් දෙන්න ඕනේ. ඔයාගේ ශරීර සෞඛ්‍යය ගැන ඔයා සැලකිලිමත් වෙනවා නම් ඔයා බිහි කරන දරුවාට රක්තහීනතාවය වැළඳෙන්න තියෙන ඉඩකඩ අඩුයි. c
a මේ ලිපියේ සමහර තොරතුරු අරන් තියෙන්නේ වෙබ් අඩවියකින් (Mayo Clinic) සහ විශ්වකෝෂයකින් (The Gale Encyclopedia of Nursing and Allied Health). ඔයාටත් රක්තහීනතාවය වැලඳිලා කියලා ඔයාට හිතෙනවා නම් ඒකට වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.
b වෛද්‍යවරයෙකුගෙන් අහන්නේ නැතුව යකඩ අතිරේක ලබාගන්නවත් දරුවන්ට දෙන්නවත් එපා. මොකද ශරීරයට යකඩ වැඩි වුණොත් ඒකෙන් අක්මාවට හානියක් වෙන්න පුළුවන්. වෙන සෞඛ්‍ය ගැටලු ඇති වෙන්නත් පුළුවන්.
c රක්තහීනතාවයෙන් පෙළෙන අයට වෛද්‍යවරු සමහර අවස්ථාවලදී ප්‍රතිකාරයක් විදිහට රුධිරය ශරීරගත කරනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රුධිරය ශරීරගත කරන්නේ නැහැ.—ක්‍රියා 15:28, 29.