Skip to content

පටුනට යන්න

වංචා, දූෂණ නැති ආණ්ඩුවක් එයිද?

වංචා, දූෂණ නැති ආණ්ඩුවක් එයිද?

 ආණ්ඩුවලින් සිද්ධ වෙන අල්ලස, දූෂණය, වංචාව අද මුළු ලෝකෙටම බලපාලා තියෙනවා. a උදාහරණයක් විදිහට මේ කොරෝනා වසංගත කාලේ මිනිස්සු වෙනුවෙන් වෙන් කරලා තිබුණ මුදල් පාලකයන් අයුතු විදිහට එයාලගෙම ප්‍රයෝජනයට අරන් තියෙනවා. ඒ නිසා නියම විදිහට මිනිස්සුන්ට ප්‍රතිකාර කරන්න සමහර රටවල්වලට සල්ලි තිබුණේ නැහැ. ඒකෙන් මිනිස්සු ගොඩක් දුක් වින්දා. සමහරුන්ගේ ජීවිත පවා නැති වුණා.

 මුළු ලෝකෙටම බලපාලා තියෙන මේ ප්‍රශ්නේ ගැන බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති වන ඩේවිඩ් කැමරන් මෙහෙම කියනවා. “අල්ලස, දූෂණය කියන්නේ හරියට මකුළු දැලක් වගේ. හැම රටක්ම ඒ දැලේ පැටලිලායි තියෙන්නේ.”

 හැබැයි අපි දන්නවා ආණ්ඩුවලින් සිද්ධ වෙන මේ වංචා, දූෂණ හැම එකක්ම ළඟදීම නැත්තටම නැති වෙනවා කියලා. ඒ කොහොමද? බලන්න බයිබලේ ඒ ගැන කියන දේ.

වංචාවට, දූෂණයට විරුද්ධව දෙවියන් පියවර ගන්නවා කියලා අපි දන්නේ කොහොමද?

 බයිබලේ මෙහෙම කියලා තියෙනවා. “යෙහෝවා දෙවි වන මම යුක්තියට ප්‍රිය කරමි. අධර්මිෂ්ඨකමත් සොරකමත් මම හෙළාදකිමි.” b (යෙසායා 61:8) වංචාව, දූෂණය දෙවියන්ගේ ඇස්වලින් වසං කරන්න කාටවත් බැහැ. ඒවා නිසා මිනිස්සු පීඩා විඳින විදිහ දෙවියන් දකිනවා. (හිතෝපදේශ 14:31) ඒ නිසයි ඔහු මෙහෙම පොරොන්දු වෙන්නේ. ‘පීඩිත අයගේ දේපළ උදුරාගත් හැටි මම දුටුවෙමි. එබැවින් දැන් මම නැඟී සිටිමි.’—ගීතාවලිය 12:5.

 දෙවියන් මේ ප්‍රශ්නේ කොහොම විසඳයිද? මිනිස් ආණ්ඩුවල වැරදි හදලා ඒවාම ආයෙත් බලයට පත් කරනවා වෙනුවට දෙවියන් ඒ හැම ආණ්ඩුවක්ම සම්පූර්ණයෙන්ම අයින් කරලා ඔහුගේ ආණ්ඩුවක් මේ පොළොවට ගේනවා. ඒ ආණ්ඩුව හඳුන්වන්නේ “දෙවිගේ රාජ්‍යය” කියලයි. (මාක් 1:14, 15; මතෙව් 6:10) බයිබලේ ඒ ගැන මෙහෙම කියනවා. ‘ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවයි. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. නමුත් එය සදහටම පවතියි.’ (දානියෙල් 2:44) ඒ විදිහටයි අද සිද්ධ වෙන වංචාවට, දූෂණයට දෙවියන් නැවතීමේ තිත තියන්න යන්නේ.

අල්ලසෙන්, දූෂණයෙන් තොර ආණ්ඩුවක්!

 දෙවියන් ගේන ආණ්ඩුවේ අල්ලසට, දූෂණයට කිසිම ඉඩක් නැහැ. ඒක අපි දන්නේ කොහොමද? මේ හේතු බලන්න.

  1.  1. බලය. මේ ආණ්ඩුවට බලය ලැබෙන්නේ සියලු බලැති දෙවියන්ගෙන්.—එළිදරව් 11:15.

     ඒක වැදගත් ඇයි? මිනිස් ආණ්ඩු රඳා පවතින්නේ මහජනතාවගේ සල්ලි මත. ඒ නිසයි මෙච්චර හොරකම්, වංචා සිද්ධ වෙන්නේ. ඒ වගේම ඒ නිසා පාලකයන්ටත් අවස්ථාව උදා වෙලා තියෙනවා අයුතු විදිහට මිනිස්සුන්ගේ සල්ලි ගසා කන්න. හැබැයි දෙවියන්ගේ ආණ්ඩුවට මිනිස්සුන්ගේ සල්ලි ඕනෙ නැහැ. මොකද ඒක රඳා පවතින්නේ සියලු බලැති දෙවියන් මත. ඒ නිසයි මිනිස්සුන්ව හූරා කනවා වෙනුවට මිනිස්සුන්ට අවශ්‍ය දේවල් දෙන්න දේවරාජ්‍යයට පුළුවන්.—ගීතාවලිය 145:16.

  2.  2. පාලකයා. දේවරාජ්‍යයේ පාලකයා විදිහට දෙවියන් යේසුස්ව පත් කරලා තියෙනවා.—දානියෙල් 7:13, 14.

     ඒක වැදගත් ඇයි? කොච්චර හොඳ පාලකයෙක් වුණත් කාලයක් යද්දී අනිත් අයගේ බලපෑමට යට වෙලා වැරදි දේවල් කරන්න පෙලඹෙන්න පුළුවන්. (දේශනාකාරයා 7:20) හැබැයි යේසුස් ඊට වඩා වෙනස්. අල්ලස් දීලා ඔහුව නම්මගන්න කාටවත් බැහැ. ඒක ඔහු දැනටමත් ඔප්පු කරලයි තියෙන්නේ. (මතෙව් 4:8-11) යේසුස් හැම දෙයක්ම කරන්නේ ආදරෙන් පෙලඹිලා. ඔහු හැමතිස්සෙම වැඩ කරන්නේ යටත් වැසියන්ගේ යහපත ගැන හිතලා.—ගීතාවලිය 72:12-14.

  3.  3. නීති. දේවරාජ්‍යයේ නීති පරිපූර්ණයි. ඒවා පිළිපදින අයගේ හිතට ලොකු සතුටක් ලැබෙනවා.—ගීතාවලිය 19:7, 8.

     ඒක වැදගත් ඇයි? හුඟක් වෙලාවට මිනිස්සු දාන නීති හරිම සංකීර්ණයි. ඒවා නිසා මිනිස්සු මත ලොකු බරක් පැටවෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ නීති හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා ඕනම කෙනෙක්ට ඒවායින් රිංගන්න පුළුවන්. ඒ නිසයි වංචාව, දූෂණය අද ලෝකේ රජ කරන්නේ. හැබැයි දෙවියන්ගේ නීති ඊට වඩා වෙනස්. ඒවා ප්‍රායෝගිකයි. ඒවා පිළිපදින එකෙන් ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. (යෙසායා 48:17, 18) ඒ වගේම ඒ නීති නිසා නරක ක්‍රියාවලින් විතරක් නෙවෙයි මිනිස්සුන්ව නරක සිතුවිලිවලිනුත් ආරක්ෂා වෙනවා. (මතෙව් 22:37, 39) දෙවියන්ට මිනිස්සුන්ගේ හිත් කියවන්න පුළුවන් නිසා ඔහු හැම කෙනෙක් ගැනම හොඳට දන්නවා. ඒ නිසා ඔහු නීති ක්‍රියාත්මක කරන්නේ මිනිස්සු මුහුණ දෙන හැම තත්වයක්ම සැලකිල්ලට අරගෙනයි.—යෙරෙමියා 17:10.

 අනාගතේදී වංචා, දූෂණ නැති වෙන විදිහ ගැන තවත් තොරතුරු බයිබලෙන් දැනගන්න කැමතිද? ඒකට මේ දේවල් ඔයාට උදව් වෙයි.

a එක නිර්වචනයකට අනුව “වංචාව, දූෂණය” කියන්නේ තමන්ගේ වාසියට බලය අයුතු විදිහට පාවිච්චි කරන එකටයි

b යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) වැඩි විස්තර දැනගන්න “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.